BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
Opinion

'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි

T

The Leader Desk

August 20, 2026 • 10:31 AM

'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ජාතක පාලියේ එන ගාථාවක කොටසක් පමණක් උපුටා ගනිමින් සර්වසාධාරණ බුද්ධ නියමයක් ලෙස සමාජගත කිරීමේ සාවද්‍ය බව මූලාශ්‍රගතව පෙන්වා දීමක්.
  • වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය තුළ ඇතැම් බෞද්ධ ගාථා, සූත්‍ර පාඨ හා ධර්ම කරුණු ඉතා ජනප්‍රියව භාවිත වන ආකාරය දැකගත හැකිය.
  •   එහෙත්, ගැටලුව පැන නගින්නේ මෙම ගාථා කොටස බුදුරජාණන් වහන්සේගේ සර්වසාධාරණ ධර්ම නියමයක් ලෙස හෝ ලෝකයේ ස්වභාවය පිළිබඳ අනිවාර්ය නියාම ධර්මයක් ලෙස ඉදිරිපත් කිරීමේදී ය.
  • ඉන් එකක් පන්සිය පනස් ජාතකයේ 483 වැන්න වන සරභ මෘග ජාතකයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*හුදෙක් සිතීමෙන් හෝ ප්‍රාර්ථනාවෙන් පමණක් සම්පත් නොලැබෙන බවත්, සාර්ථකත්වයට වීර්යය සහ අප්‍රමාදී ක්‍රියාව අත්‍යවශ්‍ය බවත් පැහැදිලි කෙරෙන ධර්ම විග්‍රහයක්.

වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය තුළ ඇතැම් බෞද්ධ ගාථා, සූත්‍ර පාඨ හා ධර්ම කරුණු ඉතා ජනප්‍රියව භාවිත වන ආකාරය දැකගත හැකිය. ඒවා පන්සල්, නිවෙස් හා ආගමික ස්ථානවල පමණක් නොව ත්‍රිරෝද රථ, බස් රථ, ලොරි රථ වැනි පොදු ප්‍රවාහන මාධ්‍යවල පවා ප්‍රදර්ශනය කරනු දක්නට ලැබේ. අද වන විට  එවැනි ජනප්‍රියතම  පාඨයක් වන්නේ “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” යන්නයි. සාමාන්‍යයෙන් මෙය “නොසිතූ දෙය සිදුවෙයි; සිතූ දෙය සිදු නොවෙයි” යන අදහසින් භාවිත කෙරේ.

 



එහෙත්, ගැටලුව පැන නගින්නේ මෙම ගාථා කොටස බුදුරජාණන් වහන්සේගේ සර්වසාධාරණ ධර්ම නියමයක් ලෙස හෝ ලෝකයේ ස්වභාවය පිළිබඳ අනිවාර්ය නියාම ධර්මයක් ලෙස ඉදිරිපත් කිරීමේදී ය. එම නිසා ගාථාවේ මූලික මූලාශ්‍රය, සන්දර්භය හා සම්පූර්ණ අර්ථය විමසා බැලීම අතිශයින් වැදගත් වේ.

මෙහි සම්පූර්ණ ගාථාව මෙසේය.

“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා.”


මෙහි සරල අර්ථය වන්නේ, “නොසිතූ දෙය ද සිදුවෙයි; සිතූ දෙය ද විනාශ වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ හුදෙක් සිතීමෙන් පමණක් සම්පත් ලැබෙන්නේ නැත” යන්නයි. මෙහි අවසාන පාදය වන “න හි චින්තාමයා භොගා” යන්න විශේෂයෙන් වැදගත් ය. එය නොසලකා පළමු පාද දෙක පමණක් උපුටා ගැනීමෙන් ගාථාවේ සම්පූර්ණ අදහස විකෘති විය හැකිය.


මෙම ගාථාව ඛුද්දක නිකායට අයත් ජාතක පාලියේ ජාතක කථා දෙකකම හමුවේ. ඉන් එකක් පන්සිය පනස් ජාතකයේ 483 වැන්න වන සරභ මෘග ජාතකයයි. එහි බරණැස් රජු බෝසත් සරභ මුවා පසුපස හඹා යන අතරතුර වළකට වැටෙයි. රජුගේ අපේක්ෂාව වූයේ සරභ මුවා අල්ලා ගැනීම හෝ මරා ගැනීමයි. එහෙත් සිදුවන්නේ ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් තමාම අනතුරට පත්වීමත්, අවසානයේ සරභ මුවා විසින්ම තමන් ගලවා ගැනීමත් ය.

මෙහිදී ජාතක අට්ඨකථාව ද ගාථාවේ අර්ථය සන්දර්භය තුළ පැහැදිලි කරයි. රජු සිතා සිටියේ මුවා අල්ලා ගැනීමට ය. නමුත් එම අරමුණ ඉටු නොවී, ඔහු නොසිතූ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව “අචින්තිතම්පි” යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ සෑම අවස්ථාවකදීම මිනිසා නොසිතූ දේ පමණක් සිදුවන බවක් නොව, යම් පුද්ගලයකුගේ අපේක්ෂාව හා සැබෑ සිදුවීම අතර ඇති වෙනසයි.

 

images 2026 08 20T153845.265

මෙම ගාථාව පන්සිය පනස් ජාතකයේ 539 වැන්න වන මහා ජනක ජාතකයේ ද නැවත හමුවෙයි.ඒ මෙහි දී මහා ජනක රජු සාගරයේ අතරමංව හිඳින විට මුහුදට අධිපති මණිමේකලා දෙවඟන ඇසූ පැනයකට පිළිතුරු ලෙසිනි.  ජාතක කථාවල වර්තමාන කථා රාමුව තුළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා දේශනා කරන අවස්ථා තිබුණ ද, අතීත කථාවල චරිත විසින් ප්‍රකාශ කරන ගාථා ද එහි බහුලව දක්නට ලැබේ. සරභ මෘග  ජාතකයේ මෙම ගාථාව පවසන්නේ එදා බරණැස් රජුය. අට්ඨකථාවේ චරිත සම්බන්ධතා පැහැදිලි කරමින් එම රජු ආනන්ද හිමියන් බවත්, පුරෝහිතයා සාරිපුත්ත හිමියන් බවත්, සරභ මුවා බුදුරජාණන් වහන්සේ බවත් දක්වයි. ඒ අනුව මෙම  ගාථාව බුදුරජාණන් වහන්සේගේ සෘජු දේශනාවක් ලෙස හඳුනා ගැනීම වැරදිය.

එබැවින් “අචින්තිතම්පි භවති — චින්තිතම්පි විනස්සති” යන පද දෙක පමණක් පදනම් කරගෙන “මිනිසා සිතන කිසි දෙයක් සිදු නොවේ; සිතාගත නොහැකි දේ පමණක් සිදුවේ” යන ලෝක නියාමයක් බුදු දහම විසින් ඉදිරිපත් කර ඇතැයි පැවසීම නිවැරදි නොවේ. ගාථාවේ සන්දර්භයට වඩාත් සමීප අදහස වන්නේ, හුදෙක් සිතීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ප්‍රතිඵලයක් සහතික නොවන බවත්, ක්‍රියාව, වීර්යය සහ විවිධ තත්ත්වයන් මත වුව ද  අපේක්ෂා නොකළ ප්‍රතිඵල ඇති විය හැකි බවත්, සිතූ අරමුණ අසාර්ථක විය හැකි බවත්ය.එහෙත් එය නියතයක් නොවන බව ද සැලකිය යුතු වේ.


විශේෂයෙන්ම “න හි චින්තාමයා භොගා” යන අවසාන පාදයෙන් පැහැදිලි වන්නේ සම්පත් හෝ ප්‍රතිඵල හුදෙක් සිතීමෙන් පමණක් නොලැබෙන බවයි. එබැවින් පළමු පද දෙක පමණක් උපුටාගෙන ඒවා සර්වසාධාරණ ලෝක නියමයක් ලෙස ප්‍රචාරය කිරීමෙන් ගාථාවේ අර්ථයට බරපතල හානියක්  සිදු වේ. සම්පූර්ණ පාඨයක් තුළ ඇති තීරණාත්මක කොටසක් ඉවත් කර අර්ථය වෙනත් ආකාරයකට ගොඩනැඟීම ධර්ම සන්නිවේදනයේදී සැලකිලිමත් විය යුතු කරුණකි.

අනෙක් අතට බුදු දහම මිනිසාගේ ජීවිතය උත්සාහයෙන්, සිහියෙන් හා ධාර්මිකව ගොඩනඟා ගැනීමට මඟ පෙන්වයි. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ සඳහන් වන කුම්භඝෝෂකයා අරභයා දේශිත ගාථාවයි.

“උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති.”


මෙම ගාථාව මිනිසාගේ ජීවිත සංවර්ධනය සඳහා අතිශයින් වැදගත් ගුණාංග කිහිපයක් පෙන්වා දෙයි. එහි උට්ඨානවතෝ යන්නෙන් උත්සාහවත්භාවය හා නැඟී සිටීමේ වීර්යය ද, සතිමතෝ යන්නෙන් සිහියෙන් සිටීම ද, සුචිකම්මස්ස යන්නෙන් පිරිසුදු ක්‍රියා ද, නිසම්මකාරිනෝ යන්නෙන් විමසිලිමත්ව කටයුතු කිරීම ද, සඤ්ඤතස්ස යන්නෙන් සංවරය ද, ධම්මජීවිනෝ යන්නෙන් ධාර්මික ජීවනෝපාය ද, අප්පමත්තස්ස යන්නෙන් නොපමා බව ද අදහස් කරයි.

 

bawana monks 1

මෙහිදී විශේෂයෙන් උට්ඨාන වීර්යය වැදගත්ය. කිසියම් අරමුණක් සපුරා ගැනීමට නම් මුලින්ම කාර්යයට අවතීර්ණ වීමේ ශක්තිය තිබිය යුතුය. අත්තකාර සූත්‍රයේ ද උත්සාහය පවත්වාගෙන යන ආකාරය ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු, ථාම ධාතු, ඨිති ධාතු හා උපක්කම ධාතු වශයෙන් විග්‍රහ කරයි. එයින් පැහැදිලි වන්නේ සාර්ථකත්වය සඳහා හුදෙක් සිතීම පමණක් නොව, ආරම්භ කිරීම, ඉදිරියට යාම, නොපසුබැසීම, ස්ථාවරව සිටීම සහ උපායශීලීව කටයුතු කිරීම අවශ්‍ය බවයි.

එසේම කිසියම් කාර්යයක් කිරීමේදී සති සම්පජඤ්ඤය හා විමසිලිමත්භාවය ද අවශ්‍යය. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමෙන් ගෝචර හා අගෝචර කරුණු හඳුනාගෙන සුදුසු දේ තෝරා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම පිරිසුදු ක්‍රියා, කායවාග් සංවරය සහ ධාර්මික ජීවනෝපාය යහපත් ජීවිතයකට මඟ සලසයි. ධාර්මිකව උපයාගත් සම්පත් භුක්ති විඳීමෙන් අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවජ්ජ සුඛ යන සැප සතර ද අත්විඳිය හැකිය.

ජීවිතයේ සාර්ථකත්වය සඳහා නොපමා බව ද ඉතා වැදගත්ය. ධම්මපදයේ “පමාදෝ මච්චුනෝ පදං” යනුවෙන් ප්‍රමාදය පිරිහීමට හා විනාශයට මඟ බව පෙන්වා දෙයි. එබැවින් අරමුණක් සාර්ථක කර ගැනීමට හුදෙක් “සිතීම” ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා සැලසුම් කිරීම, උත්සාහ කිරීම, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම, සිහියෙන් කටයුතු කිරීම සහ නොපසුබට වීම අවශ්‍ය වේ.මෙය බුදු දහමින් අපට ලබා දෙන ප්‍රධානතම ධර්මාවවාදයකි.


මෙහිදී බුදු දහම වැරදි ලෙස ග්‍රහණය කර ගැනීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අලගද්දූපම සූත්‍රයේ උපමාව ද සිහිපත් කළ යුතුය. ධර්මය නිවැරදිව අවබෝධ කර නොගෙන වැරදි ලෙස අල්ලා ගැනීම විෂකුරු සර්පයකු වලිගයෙන් අල්ලා ගැනීමට සමාන බව එහි පෙන්වා දෙයි. එම උපමාව වර්තමාන ධර්ම සන්නිවේදනයට ද ඉතා අදාළ ය. ධර්ම පාඨයක කොටසක් පමණක් ගෙන, එහි සන්දර්භය හා සම්පූර්ණ අර්ථය නොසලකා ජනප්‍රිය අදහසක් නිර්මාණය කිරීමෙන් සාවද්‍ය අවබෝධයක් සමාජගත විය හැකිය.

 

thinking pussle

ඒ අනුව “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” යන ගාථා පාඨය සම්පූර්ණ සන්දර්භයෙන් වෙන් කර “සිතූ දේ සිදු නොවේ; නොසිතූ දේම සිදුවේ” යන නිරපේක්ෂ ලෝක නියමයක් ලෙස ඉදිරිපත් කිරීම සුදුසු නොවේ. එය බුදුරජාණන් වහන්සේගේ සෘජු දේශනාවක් ලෙස හැඳින්වීම ද නිවැරදි නොවේ. ගාථාවේ සම්පූර්ණ පාඨය හා ජාතක සන්දර්භය සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ හුදෙක් සිතීමෙන් පමණක් ප්‍රතිඵලයක් සහතික නොවන බවත්, ජීවිතයේ ප්‍රතිඵල සඳහා ක්‍රියාව, වීර්යය හා තත්ත්වයන් බලපාන බවත්ය.

නමුත් මේ පිළිබඳව කාලීන වශයෙන් විමසා බලන විට උකහා ගත හැකි ඉතා වැදගත් කරුණක් ද වෙයි.එනම් වත්මන් තෘෂ්ණාභරිත සමාජය තුළ ඉඡ්චා භංගත්වය  ද බහුල වීම මත එම ගාථාවේ එන නොසිතූ දෙය ද සිදුවෙයි; සිතූ දෙය ද විනාශ වෙයි යන්න කාලීන යථාර්ථයක් වීම ය.ඒ අනුව “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;” යන්න වර්තමානයේ මෙතරම්  ජනප්‍රිය වීමට හේතුව සමකාලීන සිතුම් පැතුම් හා බද්ධ වීම නිසා බව අප ගේ වැටහීම ය.

 

578256916 10162956761317435 3424063337042896810 n

අවසාන වශයෙන් කිව යුත්තේ බොහෝ ත්‍රිපිටක දේශනා මෙන්ම “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” යන පාඨය සම්පූර්ණ ගාථාවෙන් හා එහි ජාතක සන්දර්භයෙන් වටහා ගත යුතු බවයි. හුදෙක් සිතීමෙන් සම්පත් හෝ ජීවිතයේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැත. ඒ සඳහා උත්සාහය, සිහිය, පිරිසුදු ක්‍රියා, විමසිලිමත්භාවය, සංවරය, ධාර්මික ජීවනෝපාය සහ අප්‍රමාදය අවශ්‍ය වේ. එබැවින් ගාථා කොටස් උපුටාගෙන ඒවා බුදු දහමේ සර්වසාධාරණ නියාම ධර්ම ලෙස ඉදිරිපත් නොකර, සම්පූර්ණ සන්දර්භය සමඟ නිවැරදිව සන්නිවේදනය කිරීම සැබෑ බෞද්ධ වගකීමකි. එසේ කිරීමෙන් පමණක් බුද්ධ ධර්මයේ නිවැරදිභාවය හා පාරිශුද්ධත්වය අනාගත පරපුර වෙත සුරක්ෂිතව ගෙන යා හැකිය.



(සටහන | කඳුරුපොකුණේ සුමංගල හිමි)

උපුටා ගැනීම -  vinivida.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...