BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

සහාය වීමේ සිට සවිබල ගැන්වීම වෙත : දිට්වා, එල් නිනෝ සහ වැසි එළැඹෙන්නට පෙර තිබෙන සති හතර | ලයනල් බෝපගේ

T

The Leader Desk

September 2, 2026 • 10:59 AM

සහාය වීමේ සිට සවිබල ගැන්වීම වෙත : දිට්වා, එල් නිනෝ සහ වැසි එළැඹෙන්නට පෙර තිබෙන සති හතර | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දිට්වා සුළි කුණාටුවේ බිඳවැටීම් සහ එළඹෙන ප්‍රබල එල් නිනෝ තත්ත්වය හමුවේ හුදු සහනාධාර බෙදීමෙන් ඔබ්බට ගොස් ප්‍රජාව සවිබල ගැන්වීමට පෙරමුණ ගත යුතු තීරණාත්මක කාල හෝරාව.
  • ඒ නිසා අද මම කතා කරන්නේ රොටරි මිතුරෙකු ලෙස, සාමාජිකයෙකු ලෙස නොවෙයි.
  • පළමු වැන්න, 2025 නොවැම්බර් 28 වන දා.
  • එදා සවස දිට්වා සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුල් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


*පරිත්‍යාග මත යැපෙන සමාජයක් වෙනුවට ස්වයං-නඩත්තු වන ප්‍රජා නායකත්වයක් හරහා ඉදිරි ගංවතුර හා නියඟ අභියෝගයට මුහුණ දෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක්.

හිතවත් රාමනා මහතාණෙනි, රොටරි සහ සෙසු මිතුරනි,

මුලින්ම මම පැහැදිලි කරන්න කැමතියි. මම රොටරි සාමාජිකයෙකු නොවෙයි. ඒත් මම පෝල් හැරිස් සම්මානලාභියෙක්. වසර කිහිපයක් තිස්සේ මම ඕස්ට්‍රේලියාවේ රොටරි සාමාජිකයන් සමඟ කටයුතු කර තිබෙනවා, විශේෂයෙන්ම හරන් රාමචන්ද්‍රන් මහතා සමඟත්, අවශ්‍යතාවලින් පෙලෙන ජනයා වෙත ප්‍රායෝගිකව සහාය වීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාවේ රොටේරියානු සාමාජිකයන් සමඟ ත්. ඒ නිසා අද මම කතා කරන්නේ රොටරි මිතුරෙකු ලෙස, සාමාජිකයෙකු ලෙස නොවෙයි.

අද රාත්‍රියේ මට සාකච්ඡා කරන්නට අවශ්‍යයි, විශේෂ දින දෙකක් ගැන.

පළමු වැන්න, 2025 නොවැම්බර් 28 වන දා. එදා සවස දිට්වා සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුල් වුණා. දෙසැම්බර් 2 වැනිදා වන විට එය අවසන් වුණා. එහෙත් ඒ දින හතර තුළ එය වසර විස්සක දී ශ්‍රී ලංකාව දුටු දරුණුතම ගංවතුර සහ නායයෑම් ඇති කළා. දිස්ත්‍රික්ක විසිපහම එහි බලපෑමට ලක් වුණා. ජලයට සහ නායයෑම්වලට හසු වූ ජන සංඛ්‍යාව මිලියන 2.2ක් පමණ වුණා. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් දහයෙන් එකකට ආසන්න ප්‍රමාණයක්. ඒ අතර දරුවන් 522,000ක් පමණ සිටියා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මරණ 646ක් වාර්තා කළා. තව පුද්ගලයන් 173 දෙනෙකු අතුරුදහන් ව සිටියා. එහි උච්චතම අවස්ථාවේදී, ආරක්ෂිත මධ්‍යස්ථාන 990ක පුද්ගලයන් 233,000ක් රැඳී සිටියා. ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව, සෘජු භෞතික හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක්. එය මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරකට ආසන්න ප්‍රමාණයක්. ඒ සියල්ල විනාශ වුණේ දින හතරක පමණ කාලයක් තුළ.

දෙවැනි දිනය මේ අවුරුද්දේ නොවැම්බරයේ.

ඒ ගැන මම පසුව කතා කරන්නම්. දිට්වා වෙත ලැබුණු ප්‍රතිචාරය, මා දුටු වඩාත්ම ත්‍යාගශීලී ප්‍රතිචාරවලින් එකක්. එහෙත් එය ප්‍රමාණවත් වී නැහැ. කතාව තවමත් දිග හැරෙමින් පවතිනවා.

දිට්වා ගෙනා විනාශය: දේපළ අහිමිවීමක් ද? ආදායම් මාර්ග බිඳවැටීමක් ද?

ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 ඇත්තටම සමන්විත වූයේ කුමකින් ද යන්න විමසා බලමු. එහි මුළු එකතුවට වඩා වැදගත් වන්නේ සංයුතිය.

විශාලතම හානි පැමිණි ප්‍රභේදය වුනේ ගොඩනැගිලි නොවෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 814 ක කෘෂිකර්මය: වී, එළවළු, ජීවනෝපාය සැපයූ වගා බිම්, ඉරිඟු, පශු සම්පත්, මිරිදිය ධීවර කටයුතු, සහ ඒ සියල්ලට ජලය සපයන වාරිමාර්ග පද්ධති. නැගෙනහිර දිස්ත්‍රික්කවල පමණක් වී වගා බිම් හෙක්ටයාර 58,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට යට වුණා. ජලාශ හතළිස් හයක් තීරණාත්මක ලෙස පිටාර ගලන තත්වයට පත් වුණා. නැත්නම් සම්පූර්ණයෙන් අඩපණ වුණා.


එය දේපළ හානියක් පමණක් නොවෙයි. ආදායම විනාශ වීමක්. ආරම්භයේ සිටම කිසිදු අමතර ඉතිරි කිරීමක් නොතිබුනු ගේදොරවල උපයා ගැනීමේ හැකියාව විනාශ වී යෑම.

පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, කුඩා ව්‍යාපාර, සහ ගංගා අසළ තිබූ කර්මාන්තශාලා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 562ක හානියක් එක කළා. වේගවත්ව කළ අධ්‍යාපන අංශ ඇගයීමකට අනුව පාසල් 1,682ක් දිට්වා බලපෑමට ලක් වුණා. දරුවන් 555,000කට වැඩි පිරිසකට පාසල් යාමට නොහැකි වුණා. ජල සැපයුම් යෝජනා ක්‍රම 622ක් ක්‍රියා විරහිත වුණා. නිවාස 113,000ක් පමණ හානියට හෝ විනාශයට ලක් වී තිබුණා.

දිට්වා විනාශ කළේ සුඛෝපභෝගී බව නොවෙයි. එය විනාශ කළේ තම ආහාර සපයා ගන්නා, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන, සෞඛ්‍යය රැක ගන්නා දුප්පත් පවුලක ආදායම උපය ගැනීමේ නිශ්චිත යාන්ත්‍රණයයි. ඒ වෙනස තමයි මගේ තර්කයේ මුළු හරය වන්නේ. ආපදාවකදී සන්තක දේවල් විනාශ වුනොත්, අපි ඒ සන්තක දේවල් වෙනුවට වෙනත් දේවල් ලබා දෙනවා. එහෙත් පවුලක ආදායම් උපයා ගැනීමේ හැකියාව විනාශ වුනොත්, ආහාර පාර්සල් කොපමණ දුන්නත් එයින් ජීවිත නැවත සකස් කරන්න බැහැ. ජීවිත සකස් කළ හැක්කේ ඒ හැකියාව නැවත ගොඩනැගීමෙන් පමණයි.

ඕස්ට්‍රේලියානු සහයෝගය සහ සංවිධානාත්මක මානුෂීය මැදිහත්වීම

ඕස්ට්‍රේලියාවෙන් ලබා දුන් සහාය පිළිබඳව මම මෙහි සටහන් කරන්න කැමතියි. මේ වගේම කාමරවල එකතු වූ අයගෙන් ඒ සහායෙන් විශාල කොටසක් ලැබුණ නිසා.


ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන තුනහමාරක දායකත්වයක් ලබා දුන්නා. ඒ මුදල් භාණ්ඩාගාර හරහා නොව, සැපයුම් කරන හවුල්කරුවන් හරහා යොමු කිරීමට හිතාමතාම තීරණය ක‍ර තිබුණා. ඒ හවුල්කරුවන් අතර World Vision Australia, Save the Children, World Food Programme, UN Population Fund සහ UNOPS යන ආයතන තිබුණා. රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හදිසි අරමුදල්වල ස්ථාවර දායකයෙකු ලෙසත් ඕස්ට්‍රේලියාව කටයුතු කරනවා. ඒ නිසා ද්විපාර්ශ්වික පොරොන්දුවක් සකස් කරන්නට පෙරදී ම, තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන අටහමාරක් මුදා හැරීමට ඕස්ට්‍රේලියාව ඒ වන විටත් සහාය වී තිබුණා.

ආණ්ඩුවත් සමගම ඕස්ට්‍රේලියානු සිවිල් සමාජයත් ක්‍රියාත්මක වුණා. Uniting Church නියෝජිත සංවිධානය වන UnitingWorld හදිසි ආධාර ඉල්ලීමක් දියත් කළා. ඕස්ට්‍රේලියානු රොටරි දිස්ත්‍රික්කත් තම තමන්ගේ ආධාර ඉල්ලීම් ආරම්භ කළා. Rotary Australia World Community Service — RAWCS — පවතින්නේ ඒ සඳහා. ඒ නිසා එම කාර්යය කරන්නට එම ආයතනය ඉදිරිපත් වුණා. සේවකයන් තුන්දෙනෙක් සහ ස්වේච්ඡා සේවකයන් දෙසිය හැටක් පමණ එකතු වෙලා, එම ආයතනය වසරකට ඩොලර් මිලියන 19ක් පමණ කළමනාකරණය කරනවා. හොඳ හිත හුවමාරු කළ හැකි මුදල් බවට සැබෑ ලෙසම පත් කරන යාන්ත්‍රණය, ඒ කියන්නේ විගණනය කළ ගිණුම්කරණය, අනුකූලතාව, සහ ආරක්ෂිත ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීම එයින් සපයා දෙනවා.

කොළඹ 3220 රොටරි දිස්ත්‍රික්කය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 9685 රොටරි දිස්ත්‍රික්කය අතර ගොඩනගා තිබෙන සහයෝගිතාවක් වන Sustainable Lanka වැඩ සටහන, ඕස්ට්‍රේලියානු ඩොලර් තිස් දහසකට වැඩි මුදලක් එකතු කළා. එම මුදල් මෙම යටිතල පහසුකම් හරහාම තමයි යොමු කෙරුණේ. ත්‍යාගශීලීත්වය හොඳින් සංවිධානය කළ විට එය පෙනෙන්නේ ඒ විදියටයි. ඒ සඳහා දායක වූ හැම කෙනෙක්ම ඒ ගැන ආඩම්බර විය යුතුයි.

ප්‍රතිසාධනයේ මන්දගාමී බව සහ ඉඩම් හිමිකම් නොමැතිවීමේ අර්බුදය

හදිසි අවධිය දැන් අවසන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තම Humanitarian Priorities Plan එක ජූනි 11 වන දා අවසන් කළා. එම වැඩසටහන, හවුල් සංවිධාන හැට නවයක් හරහා, ඉතාමත් අවදානම් තත්ත්වයක සිටි පුද්ගලයන් 575,000කට සහාය වී තිබුණා. හදිසි තත්ත්වය ජූලි මාසයේදී ඉවත් කෙරුණා.
 
එහෙත් ප්‍රතිසාධනය තවමත් අවසන් වී නැහැ. පශ්චාත්-ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමට (Post-Disaster Needs Assessment) අනුව, ඉදිරි ආපදා වලට ඔරොත්තු දෙන පරිදි යලි ගොඩනැගීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක් අවශ්‍ය වෙනවා. එහි අදහස වන්නේ, ඊළඟ ආපදාවටත් ඔරොත්තු දිය හැකි පරිදි කටයුතු යලි සකස් කිරීමයි. පළමු අදියර සඳහා මුදල් තිබෙනවා. ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය අගෝස්තු 13 වැනිදා වාර්තා කළා, හානි වූ නිවාස 55,000කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් බිලියන 25කට වැඩි මුදලක් නිකුත් කර ඇති බව. අප සියලු දෙනාටම වැටහෙනවා, මෙය සැබෑ ප්‍රගතියක් බව.

කෙසේ වෙතත්, එම රැස්වීම කැඳවා තිබුනේ සිදු වී තිබෙන ප්‍රමාද දෝෂ ගැන සාකච්ඡා කරන්නටයි. එයට පෙර සතියේ, ආපදා කළමනාකරණ අංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දරා ගන්නට අපහසු අන්දමේ ගණන් හිලව්වක් දැනුම් දී තිබුණා. ජූලි 31 වන දා වන විට, දිට්වා ප්‍රතිසාධනය සඳහා වෙන් කළ මුදල්වලින් වියදම් කර තිබුණේ සියයට තිහක් පමණයි. අවතැන් වූ පවුල් යලි පදිංචි කිරීම සඳහා වෙන් කළ රුපියල් බිලියනයෙන් භාවිතා කර තිබුණේ සියයට දහඅටක් පමණයි. පවුල් තාවකාලික රැඳවුම් ස්ථානවල රැඳී සිටියදී, රුපියල් බිලියන හැටක් පමණ වියදම් නොකර තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු මාසයේදී මීට බලපෑ එක් හේතුවක් නම් කළා. නිල ඉඩම් ලේඛන නොමැති ගෘහස්ථවලට මුළු යලි ගොඩනැගීමේ දීමනා ලබා ගැනීමේදී විශාල බාධාවන්ට මුහුණ දෙනවා. පිරිසිදු ඔප්පුවක් තබා ගන්නට අඩුම ඉඩකඩක් සහිත පවුල්, තම නිවාස නැවත ගොඩනැගීමට අදහස් කළ මුදල්වලින් බැහැර කරමින් තිබෙනවා. ඒ අතර සිටිනවා මලයහ කම්කරුවන්, අවිධිමත් වෙළෙන්දන්, සහ තම මුතුන්මිත්තන් අක්කර භාගයක ඉඩමක පදිංචි වුනත් එම ඉඩම කිසිදාක ලියාපදිංචි නොකළ පවුල්.

ඒ නිසා, මාස නවයකට පසුවත්, කඳුකරයේ සහ නැගෙනහිර ප්‍රදේශවල ගෘහස්ථ පවුල් දස දහස් ගණනක් තවමත් අලුත්වැඩියා නොකළ හානිකර තත්වයන් යටතේ ජීවත් වෙනවා. ඔවුන් තවමත් අස්ථාවර කඳු බෑවුම් මත ජීවත් වෙනවා. යලි ස්ථාපිත බවට පත් කර නොමැති යෝජනා ක්‍රමවලින් ඔවුන් ජලය ලබා ගන්නවා. ඔවුන් දෙවන දිනයට මුහුණ දෙන්නේ එවැනි තත්ත්වයක් යටතේ.

ඉදිරියට එන ද්විත්ව අභියෝගය: එල් නිනෝ ගෙනෙන ගංවතුර සහ නියඟය

මේ වසරේ ජූනි 11 වැනිදා, එක්සත් ජනපද දේශගුණ පුරෝකතන ආයතනය (Climate Prediction Center) සිය අනතුරු ඇඟවීම El Niño නිරීක්ෂණයක (Watch) තත්ත්වයේ සිට El Niño උපදේශනයක (Advisory) තත්ත්වයට ඉහළ දැම්මා. එම ආයතනය අගෝස්තු 13 වැනිදා වාර්තා කර ඇති අන්දමට, ඉදිරි සරත් සහ ශීත කාලය තුල ඉතා බලවත් El Niño තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව සියයට අනූවකට වඩා වැඩියි. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේ දී ඓතිහාසික සිද්ධියක් ඇති කිරීමේ සම්භාවිතාව සියයට හැට නවයක් ලෙසත් එය සඳහන් කළා. “ඓතිහාසික” යන්නෙන් අදහස් වන්නේ, වාර්තාවල මෙතෙක් සඳහන් නොවූ අන්දමේ සිද්ධියක් විය හැකි බවයි.

කොලම්බියා විශ්වවිද්‍යාලයේ International Research Institute ජාත්‍යන්තර පර්‍යේෂණ ආයතනය පුරෝකථන ආකෘති විසිහයක් විමසා බලනවා. එම ආකෘති විසිහයම එකඟ වෙන අතරේ පහළොවක්, එම ආයතනය නිර්වචනය කරන ආකාරයේ ඉහළම තත්ත්ව කාණ්ඩයත් ඉක්මවා යන පැසිෆික් අසාමාන්‍යතාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. එක්සත් ජනපද සාගරික සහ දේශගුණ පරිපාලන ආයතනය (National Oceanic and Atmospheric Administration) පැහැදිලිව සඳහන් කර තිබෙනවා, 1950 වාර්තා කිරීම ආරම්භ කළාට පසු සිදු වන මෙය, ඉතාමත්ම බලවත් El Niño තත්ත්වය විය හැකි බවයි. එවැනි මට්ටමේ සිදුවීමක් මෙතෙක් දැක නැති අන්දමේ වායුගෝලීය බලපෑම් ඇති කළ හැකි බවයි. අපගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහි උච්ච අවස්ථාව ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර බව සඳහන් කර තිබෙනවා. 1950 සිට ඇති වූ El Niño සිදුවීම් විසිහයක් පමණ අතරින්, ඉතා බලවත් ලෙස වර්ගීකරණය කර ඇත්තේ තුනක් පමණක් බවත් එය සඳහන් කරනවා.

දැන්, El Niño ශ්‍රී ලංකාවට බල පාන්නේ කෙසේද කියන කරුණ බොහෝ දෙනා වැරදි අන්දමට තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එය නිවැරදිව තේරුම් ගැනීම වැදගත්. එය සරලවම නියඟයක් පමණක් නොවෙයි.

El Niño සහ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අතර පවතින සම්බන්ධය වසර එකසිය තිස් නවයක වාර්තා පදනම් කරගෙන අධ්‍යයනය කර තිබෙනවා. ඍතු අනුව වෙනස් වෙන සම්බන්ධතාවයක් වන එය දිශා දෙකකට යොමු වෙමින් ක්‍රියාත්මක වෙනවා. El Niño ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වඩා වැඩි වර්ෂාපතනයකට ලක් කරනවා. ජනවාරි සිට මාර්තු දක්වාත්, ජූලි සිට අගෝස්තු දක්වාත් කාලය වඩා ශුෂ්ක තත්වයක් ඇති කරනවා. උතුරු-නැගෙනහිර මෝසම ශක්තිමත් වෙනවා. දකුණු-බටහිර මෝසම දුර්වල වෙනවා.

ඒ නිසා, ඉදිරි මාස දොළහ ශ්‍රී ලංකාවට බලපාන පුරෝකථනය වන්නේ මෙයයි. සැප්තැම්බර් අග සිට නොවැම්බර් දක්වා සාමාන්‍ය ප්‍රමාණයට වඩා තද මහ වැසිත්, නොවැම්බර් අවට ගංවතුර තත්ත්වයනුත් අපේක්ෂා කරනවා. වැඩිම අවදානම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලටයි. ඉන්පසුව යල කාලය සැලකිය යුතු ලෙස වියළි විය හැකියි. එය දිවයින පුරාවට බලපානවා. දැනටමත් වියළි යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වඩාත්ම ඒ බලපෑමට ලක් වෙනවා.

පළමුව ගංවතුර. ඉන්පසු නියඟය. මේ සියල්ල දිට්වා නිසා ඇති වූ හානිය මතටම එකතු වන්නට නියමිතයි.

අද රාත්‍රියේ මට කියන්නට තිබෙන වඩාත්ම බරපතළ කරුණ වන්නේ මෙයයි. දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට පහර එල්ල කළේ El Niño නොතිබුන වසරක. එය කළ විනාශය, කිසිදු අමතර සහායක් නොලැබ සිදු වූ විනාශයක්.

රාජ්‍ය ක්‍රියාමාර්ග සහ ප්‍රජා සහභාගීත්වයේ පවතින හිඩැස

ආණ්ඩුව ගැන සාධාරණ ලෙස කිව යුතු යමක් තිබෙනවා. ආණ්ඩුව නිහඬව සිට නැහැ.
 
19.2 5
ජූනි අවසානයේ, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වී තිබුණා. මහ කන්නය සති දෙකක් පමණ ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ජලය මුදා හැරීම සහ පොහොර බෙදා හැරීම ඔක්තෝබර් මුලදී ආරම්භ වීමට නියමිතයි. අරමුණ වන්නේ නොවැම්බර් වැසි පැමිණීමට පෙර වගා කටයුතු ඉදිරියට ගෙන ඒමයි. වනජීවී රක්ෂිත තුළ තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා. සූර්ය බලශක්ති ගබඩා කිරීම සඳහා බැටරි ආනයනය වේගවත් කර තිබෙනවා. ජල බවුසර් යොදවා තිබෙනවා. සෙවීමේ සහ ගලවා ගැනීමේ හැකියාව සූදානම් කර තිබෙනවා. ජල කළමනාකරණය පිළිබඳව දිස්ත්‍රික්ක විසිපහටම උපදෙස් ලබා දී තිබෙනවා.
එසේ වුවත්, එම සභා රැස්වීමේ මතුවූ එක් කරුණක් සලකා බැලිය යුතුයි. 2005 ආපදා කළමනාකරණ පනත ප්‍රධාන වශයෙන් අනුගමනය කරන ප්‍රතික්‍රියාකාරී ප්‍රවේශය වෙනුවට, වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබා දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාවය නිලධාරීන් විසින්ම මතු කර තිබෙනවා.

දිට්වා අධ්‍යයනය කිරීමෙන් පසු පෙබරවාරි මාසයේදී Loughborough විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ප්‍රකාශ කළ කාරණයම ආණ්ඩුව විසින් විස්තර කිරීමක් ලෙස එය දකින්නට පුළුවන්. ආපදා වැළැක්වීම සඳහා අඩුවෙන් ආයෝජනය කර තිබෙන ශ්‍රී ලංකාව ප්‍රතිසාධනය සඳහා වැඩියෙන් ආයෝජනය කර තිබෙනවා. හානිය වලක්වා ගැනීමට හැකි අන්දමට ආරක්ෂක බැම්ම ගොඩ නැගීම සඳහා නොවෙයි ගෙවීම් කරන්නේ යලි ඉදිකළ පාලම සඳහා. අවදානමක් ඇති බව දන්නා ප්‍රදේශවල සැලසුම් නොකළ සංවර්ධනයට ඉඩ සලසා තිබෙනවා. එයට කෘෂිකාර්මික සහ නේවාසික සංවර්ධනය ද ඇතුළත්. අස්ථාවර බවට සිතියම්ගත කළ කඳු බෑවුම්වල වතු සහ නිවාස ඇති කිරීමත් එයට ඇතුළත්. පැරණි වාරිමාර්ග ඉංජිනේරුවන් කිසිදාක අත නොතැබූ ගංවතුර නිම්නවල කරන ඉදිකිරීම්ද එයට ඇතුළත්.

අමාත්‍යාංශයකට ජල බවුසරයක් යොදවන්න පුළුවන්. එහෙත් ගමක හැම නිවසකටම වැසි ජල ටැංකියක් ලබා දෙන්න එයට බැහැ. ඍතු පුරෝකථනයක් කියවා ගන්න හැම ගොවියෙකුටම උගන්වන්නට බැහැ. මධ්‍යම රාත්‍රී දෙකට, ගමේ කෙළවරක තනිව ජීවත් වන වයෝවෘද්ධ කාන්තාවකට අනතුරු ඇඟවීම ඇසෙන බව සහතික කරන්නට එයට බැහැ.

මෙය රජය ගැන කරන විවේචනයක් නොවෙයි. පවතින හිඩැසක් පිළිබදව විස්තර කිරීමක්. එය ප්‍රජා හැකියාවේ පවතින හිඩැසක්.

කම්පුචියානු ආදර්ශය: ආධාර මත යැපීමෙන් තොර ප්‍රජා සවිබල ගැන්වීම

දැන් මගේ මූලික තර්කය ඉදිරිපත් කරන්නම්.

රොටරි මිතුරන් හොඳින් දන්නා ආකෘතියක් තිබෙනවා. මේ ගැටලුවට දැනට තිබෙන හොඳම පිළිතුර එයයි. කම්පුචියාවේ, පර්සට් පළාතේ එය ක්‍රියාත්මක වෙනවා. Sustainable Cambodia ලෙසයි එය හැඳින්වෙන්නේ. එය රොටරි නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන අතරේ, ලොව පුරා තිබෙන රොටරි සමාජවලින් විශාල වශයෙන් අරමුදල් ද ලබනවා. එහි ආරම්භක නීතියක් තිබෙනවා එය ආධාර සංවිධානයක් නොවන බවට.

කාර්ය මණ්ඩලය ව්‍යාපෘති ලැයිස්තුවක් අර ගෙන ගමකට ඇතුල් වන්නේ නැහැ. ඔවුන් පවුල්වලට ග්‍රාම සංවර්ධන කමිටුවක් පිහිටුවීමට උපකාර කරනවා. ඉන්පසු පවුල් තමන්ට වඩාත් උපකාර වන්නේ කුමක්ද කියා තීරණය කරනවා. එය පෙර පාසලක් විය හැකියි. නොගැඹුරු ළිං විය හැකියි. ජෛව වැලි පෙරහන්, විකල්ප කෘෂිකර්මය, මාළු ඇති කිරීම, මී මැසි පාලනය විය හැකියි. ඉන්පසු ඒ පවුල්ම ඒ වැඩ කටයුතුවල නිරත වෙනවා. සම්පත්, පුහුණුව සහ අධ්‍යාපනය ලැබෙනවා. නමුත් ශ්‍රමය, තෝරා ගැනීම් සහ හිමිකාරිත්වය ගම තුළම රැඳී තිබෙනවා.

ඒත් එක කොන්දේසියක් තිබෙනවා. එම පවුල් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට, ඊළඟ ගමටත් ඔවුන් කළ දේම කිරීමට උදව් වෙන්නට ඔවුන් කැප විය යුතුයි.

එයින් ඇති වන ප්‍රතිඵල ගැන සිතන්න. හිමිකාරිත්වය දරන කමිටුවක් සහිත ළිඳක්. දරුවන්ගේ දෙමාපියන් විසින් දරුවන්ට ඉදි කළ පාසලක්. ව්‍යාප්ත වන යැපීමක් වෙනුවට පැතිරී යන වගකීමක්. පර්සට් පළාතේ කාන්තාවක් නොගැඹුරු ළිඳක් තම පවුලට ඇති කර තිබෙන වෙනස ගැන විස්තර කර තිබෙනවා. ඇය ජලය ගෙන එන්නට දුර ඇති පොකුණු වෙත ඇවිදින්නට ගත කළ කාලය, දැන් ආදායමක් උපයා ගන්නට යොදා ගත හැකි පැය කිහිපයක් බවට පත් වෙලා. ඇගේ දරුවන්ටද නිතිපතා පාසල් යාමට හැකි වෙලා.

එසේ කිරීම මිනිසුන්ට සුවපහසුව සලසන අන්දමේ පුන්‍ය ක්‍රියාවක් පමණක් නොවෙයි. ඔවුන්ට ආර්ථිකව නැගී සිටීමට හැකියාව ලබා දෙන සවිබල ගැන්වීමක්.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර Sustainable Lanka වැඩසටහන යටතේ දැනටමත් ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා. එහි අරමුණ වන්නේ, මේ ආකෘතිය මත පදනම් වූ නියමු ව්‍යාපෘති සොයා බැලීමයි.

ප්‍රායෝගික විසඳුම්: විමධ්‍යගත ජල කළමනාකරණය, සූර්ය බලය සහ මුල් අනතුරු ඇඟවීම්

අපි මෙය ප්‍රායෝගිකව සලකා බලමු.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරි කන්නය සඳහා උපදෙස් නිකුත් කර තිබෙනවා. සැබෑවටම එය ක්‍රියාත්මක කිරීමට හවුල්කරුවෙකු බලා පොරොත්තු වෙන සවිබල ගැන්වීමේ වැඩසටහනක්. එය ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ තද මහ වැසි, තර්ජනයක් නොව තැන්පතුවක් ලෙස සලකන ලෙසයි. එම ජලය පසුව එන යල නියඟයට යොදා ගත හැකි ලෙස ඉතිරි කර තබා ගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා. වගා ප්‍රදේශවල කුඩා පොකුණු ඉදිකරන්න. තෙතමනය රඳවා ගැනීමට පසේ පොල් ලෙලි වළලන්න. ජලාශවලින් අඩුවෙන් ජලය ලබා ගන්න. එවිට පසුවට වැඩි ජල ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනවා. මෙය ඉහළ අන්දමේ තාක්ෂණයක් නොවෙයි. දැනුම, ශ්‍රමය, සහ සීමිත දේවල් ප්‍රමාණයක් යොදා ගැනීමක්.

ඒ වටා තවත් ක්ෂේත්‍ර හතරක් තිබෙනවා. ඒ හැම එකක්ම දැනටමත් ක්‍රියාත්මක කරන Sustainable Lanka වැඩ දහරාවකට ගැලපෙනවා.
 
විමධ්‍යගත ජලය. මෙයින් අදහස් වන්නේ නිවාස සහ පාසල් මට්ටමින් වැසි ජලය එක්රැස් කර ගැනීම. අළු ජලය (greywater) නැවත භාවිත කිරීම. බිඳ වැටුණු ජල යෝජනා ක්‍රම 622 නැවත ස්ථාපිත කිරීම. හැම අවස්ථාවකදීම, එම සම්පතට හිමිකම් කියන ප්‍රජා ආයතනයක් නම් කර තිබිය යුතු බව. එම ආයතනය ගාස්තුවක් එකතු කළ යුතු බව. පොම්පය කැඩුණු විට එය අලුත්වැඩියා කළ යුතු බව. ව්‍යාපෘති ලේඛනය එම ආයතනය නම් නොකරනවා නම්, සහ නඩත්තු වියදම් සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද යන්න සදහන් නොකරනවා නම්, එහි යටිතල පහසුකමක් ඉදිකර නැහැ. ස්මාරකයක් මිලදී ගෙන තිබෙනවා පමණයි.

ගෘහස්ථ බලශක්තිය. බැටරි ගබඩා කිරීමත් සමඟ සූර්ය බලශක්තිය යොදා ගැනීමෙන් විදුලි ජාලය මත ඇති යැපීම අඩු කර ගත හැකියි. එම ජාලය ඉදිරියේ දී දෙවරක් පීඩනයට ලක් වෙන්නට නියමිතයි. පළමුව නියඟය නිසා. දෙවනුව ජල විදුලිය වෙනුවට භාවිත කරන තාප විදුලි උත්පාදනයේ වියදම නිසා. 

landslind 251213
සැබවින්ම වැඩ කරන මුල් අනතුරු ඇඟවීම. ජාතික නිවේදන පමණක් නොවෙයි. ගමේ නාම ලේඛනයක් පවත්වා ගැනීම අවශ්‍යයි. ඇමතුමක් දෙන්නේ කවුද කාටද? පාර කෙළවරේ පිහිටා ඇති නිවස පරීක්ෂා කරන්නේ කවුද? සෙලවෙන කදු බෑවුම කුමක්දැයි දන්නේ කවුද? මෙයට වැය වන්නේ ඉතා සුළු මුදලක්. නමුත් එයින් ජීවිත බේරෙනවා. ඒ වගේම ජීවනෝපාය විවිධාංගීකරණය කිරීමෙනුත් ජීවිත රැකෙනවා. නියඟයට ඔරොත්තු දෙන බෝග, විකල්ප ආදායම් මාර්ග, සහ හැකියාව ලබා දෙන පුහුණුව ද ඊට ඇතුළත්.

තවත් එක කාරණයක් තිබෙනවා. එය ආකර්ෂණීය දෙයක් නම් නොවෙයි. එහෙත් එය, අපෙන් ඕනෑම කෙනෙකුට වැය කළ හැකි ඉහළම වටිනාකමක් ඇති පැයක් විය හැකියි. ඔප්පුවක් නොමැති පවුලක් සමඟ වාඩි වී නොවැම්බර් වැසි පැමිණීමට පෙර, ඔවුන්ගේ ලිපිගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළින් ඉදිරියට ගෙන යන්න.

මේ සෑම පියවරක්ම දැනට පවතින ව්‍යුහයක් හරහා ක්‍රියාත්මක කළ හැකියි. ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ, ආණ්ඩුව ප්‍රජා සංවර්ධන සභා දහ හතර දහසකට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා තිබෙනවා. එය දිවයිනේ හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම ආසන්න වශයෙන් එකක් බැගින් පිහිටා තිබෙන ව්‍යුහයක්. එය ජාතික මට්ටමින් දැනටමත් ගොඩනගා ඇති ග්‍රාම සංවර්ධන කමිටුවක්. හිඟව ඇත්තේ තාක්ෂණික හවුල්කරුවන්. ඉංජිනේරුවා, පුහුණුකරු, විගණකවරයා. ජාත්‍යන්තර රොටරි හවුල්කාරිත්වයකට හරියටම සැපයිය හැක්කේත් එයයි.

දැන් මම අවසන් කරන්නම්.

රොටරි පදනමේ දිට්වා ප්‍රතිචාර අරමුදල පිටුපස තිබෙනවා රොටරි ගෝලීය ප්‍රදාන යාන්ත්‍රණය. එය ගොඩනඟා ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් තුළින් ප්‍රජාවට හිමි ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා අරමුදල් සැපයීමටයි. ඒවා සම සත්කාරකත්වයට පත් කිරීමට Sustainable Lanka ඉදිරිපත් වී තිබෙනවා. දෙසැම්බර් මාසයේදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව විශාල ලෙස පරිත්‍යාගයන් කළා. නමුත් ඔවුන්ට ඒ අරමුදල් විගණනය කිරීමට ක්‍රමයක් තිබුණේ නැහැ.

ඉතිරිව ඇති සති හතර: අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න හතරක්

කෙසේ වෙතත්, වැදගත් දිනය වන්නේ මහ කන්නයේ පළමු තද වැසි පතිත වන දිනයයි. දැනට තිබෙන පුරෝකථනය අනුව, එය සැප්තැම්බර් අග භාගයේදී පැමිණේ. අද රාත්‍රියේ සිට එයට ඇත්තේ සති හතරක් පමණයි. ගංවතුර නොවැම්බර් මාසයට පුරෝකථනය කර තිබෙනවා. ඒ සති නවයකින්.

සහාය වීම යන්නෙන් අදහස් වන්නේ කිසිවක් නොකර සිටිය නොහැකි විට අප ලබා දෙන දේවල්. එය අවශ්‍යයි. එය මානුෂිකයි. සහාය දීම මිණිය හැක්කේ අප ලබා දෙන දේවලින්. සවිබල ගැන්වීම මැනෙන්නේ ඊළඟ ආපදාව එළැඹෙන විට ප්‍රජාවකට තමන් වෙනුවෙන්ම කර ගත හැකිව තිබෙන දෙයින්. මෙවර, අසාමාන්‍ය අන්දමට, එය සිදු වන්නේ කවදාදැයි අප දළ වශයෙන් දන්නවා.

ඒ නිසා, මම ප්‍රශ්න හතරක් අසා අවසන් කරන්නම්.

මුලින්ම. අපගේ දිට්වා ව්‍යාපෘති සම්බන්ධයෙන් - ඒ සම්පත්වලට හිමිකම් කියන්නේ කවුද? එය නඩත්තු කරන්නේ කවුද? ඒ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

දෙවැනිව. ව්‍යාපෘතිය තෝරා ගත්තේ කවුද? ප්‍රජාවද? නැත්නම් ඔබද?

තුන්වැනිව. ලැයිස්තුවලින් බැහැර කෙරුණ පවුල් වෙත, ඔප්පුවක් නැති, නිල ජීවනෝපායක් නැති, ලේඛන ඉදිරිපත් කිරීමට කිසිවෙක් නැති පවුල් වෙත අප ළඟා වෙනවාද?

සිව්වැනිව. නොවැම්බර් මාසයට පෙර අවසන් වී ක්‍රියාත්මක වන ව්‍යාපෘති මොනවාද?

දිට්වා පහර එල්ල කළේ අනතුරු ඇඟවීමක් නොතිබූ රටකට. මෙවර අනතුරු ඇඟවීමක් තිබෙනවා. එය අසාමාන්‍ය අන්දමටම විශ්වාසදායක එකක්. එය ජූනි මාසයේ සිට මහජනතාව දැන සිටිනවා.

අනතුරු ඇඟවීමක් මත කටයුතු කරන ව්‍යාපාරයක් කරන්නේ පුණ්‍ය කටයුත්තක් පමණක් නොවෙයි. එම ව්‍යාපාරය ගොඩ නගන්නේ ප්‍රජාවකට තමන්ගේම ආහාර සපයා ගන්නට, තම දරුවන් පාසලට යවන්නට, ඉදිරියට එන දේ හමුවේ නොසැලී සිටින්නට තිබෙන හැකියාවයි.

ජලය බැස ගියා. එය නැවත පැමිණෙන්නට නියමිතයි. මේ වතාවේ අපි ඊට සූදානම්ව සිටිමු.

ස්තූතියි.

lionel bopage
(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 සැප්තැම්බර් 16 වන දා

lionel.bopage@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...