BREAKING
රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●
Top Ad
Opinion

දේශපාලනය වෙනුවෙන් සොරකම් කිරීම හා නාමල් රාජපක්ෂ | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 5, 2026 • 7:01 AM

දේශපාලනය වෙනුවෙන් සොරකම් කිරීම හා නාමල් රාජපක්ෂ | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මනාප ක්‍රමයේ ගනුදෙනු දේශපාලනයෙන් පටන් ගෙන අරගලයේ ගිනිදැල් දක්වා දිවෙන ශ්‍රී ලාංකේය දූෂණ වළල්ලේ සැබෑ නිරුවත.
  • දේශපාලනය වෙනුවෙන් සොරකම් කිරීම ආරම්භ වූ බව පෙනෙන්නේ 1977න් පසුය.
  • ඉන් පෙර ද දේශපාලනයෙන් කොමිස් ගැසීම වැනි දේ තිබුණු මුත්, එය දේශපාලනය වෙනුවෙන්ට වඩා පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් කළ බව පෙනේ.
  • 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු දිස්ත්‍රික් මනාප ක්‍රමය ආරම්භ වීමත් සමග බල දේශපාලනය වෙනුවෙන් අති විශාල ධනයක් අවශ්‍ය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


*ජවිපෙට දුන් සමාව සහ අවස්ථාව නාමල් රාජපක්ෂටත් හිමිවිය යුතුද? දේශපාලන ක්‍රමයේ විකාශනය ගැන ගැඹුරු කියවීමක්.


දේශපාලනය වෙනුවෙන් සොරකම් කිරීම ආරම්භ වූ බව පෙනෙන්නේ 1977න් පසුය. ඉන් පෙර ද දේශපාලනයෙන් කොමිස් ගැසීම වැනි දේ තිබුණු මුත්, එය දේශපාලනය වෙනුවෙන්ට වඩා පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් කළ බව පෙනේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු දිස්ත්‍රික් මනාප ක්‍රමය ආරම්භ වීමත් සමග බල දේශපාලනය වෙනුවෙන් අති විශාල ධනයක් අවශ්‍ය විය. ඒ ධනය උපයා ගැනීම සඳහා කොමිස්, අල්ලස් හා වෙනත් දූෂණ සිදු කිරීම සමාජය ඉහවහා පැතිර ගියේය.

මනාප ක්‍රමය සහ දූෂිත මහජන ගනුදෙනුව

ඒ සමගම මහජන නියෝජිතයා පිළිබඳ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් විය. නියෝජිතයා සහ මහජනයා අතර සම්බන්ධය අතිශය උපයෝගිතාවාදී එකක් බවට පත් විය.

දේශපාලකයා රාජ්‍ය බලය ලබා ගෙන එයින් නිල වරප්‍රසාද මෙන්ම අයථා වාසි ද රැස් කිරීම ආරම්භ කළේය. එයින් සෑහෙන කොටසක් මහජනයා සමග බෙදා ගැනීමට ද ඔහුට සිදු විය (ඔහු යන වචනය යොදන්නේ සාමාන්‍ය තත්ත්වය අනුව දේශපාලකයා පිරිමියෙකු වන බැවිනි). දේශපාලකයා සමග මහජනයා ද දූෂිත විය.



රජයේ රැකියා, රජයට සැපයුම් කිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්, රජයේ ඉඩම්, බලපත්‍ර, රජයේ කඩ කාමර, සහන ණය, පුහුණුවීම්, විදේශ චාරිකා ආදියේ සිට අනවසර ඉඩම්, කඩ, ලොතරැයි කූඩු ආදිය හරහා සමෘද්ධිය ආදිය දක්වාම මහජනයා රජයෙන් තමන්ගේ දූෂණ පංගුව ලබා ගත්හ. ඒ වෙනුවෙන් සහාය දුන් දේශපාලකයන්ට ඔවුහු ඡන්දය ලබා දුන්හ.

දේශපාලකයා එච්චර කළත්, තවත් කළ යුතු විය. මඟුලට අත්සන් කිරීම, මළගෙදර කතා පැවැත්වීම ආදිය පමණක් නො ව, හැම දෙයකටම ආධාර ද දිය යුතු විය. පන්සලට ගල්-පස්-වැලි, මරණාධාර සමිතියට කොඩි කණු, ක්‍රීඩා සමාජයට කැරම් බෝඩ්, අවුරුදු උත්සවයට තෑගි, අඩු ආදායම්ලාභී ගොවීන්ට උදලු තල, උපාසකම්මලාට සිල් රෙදි, ගංවතුරට කෙසෙල් ගෙඩි, පෙළපාලිවලට අරක්කු, ඡන්ද රැස්වීම්වලට බත් පැකට් ආදී වශයෙන් දේශපාලකයා දිය යුතු දේවල සීමාවක් නැති විය.

අන්තිමට ඡන්දය යන්න තනිකර ගනුදෙනුවක් විය. මහින්ද සමරසිංහ වැනි මතුගම නියෝජනය කළ දේශපාලකයන් කළේ තම කැම්පේන් එක සඳහා සියලු කටයුතු වෙනුවෙන් මුදල් ගෙවා එතැනින්ම ගනුදෙනුව අවසන් කිරීමයි.

රාජපක්ෂවාදය නිර්මාණය කළ ජවිපෙ භූමිකාව

රාජපක්ෂලාට වූයේ තමන්ගේ අන්තේවාසිකයන් වෙනුවෙන් සල්ලි හෙවීමේ වගකීම පවා ඔවුන් තමන් පිට පටවා ගැනීමයි. ඔය සාන්ත, දාන්ත, තීන්ත කූඩු වගේ සිටින, පසුව රාජපක්ෂලාට කොකා පෙන්නූ ඩලස් අලහප්පෙරුමලා වැනි සුද්දවන්තයන් බලයට පැමිණියේ රාජපක්ෂලා හෙවූ සල්ලිවලිනි.

 

Rajapaksa GettyImages 1055018736.max 1400x700

මහින්ද රාජපක්ෂ යනු ගැඹුරු දේශපාලන දැක්මක් ඇති අයෙකු නො ව, ජනප්‍රියවාදය විසින් හැඩගස්වන ලද අයෙකි. රාජපක්ෂවාදය නිර්මාණය කිරීමට මුල් වුණේ ජවිපෙය. 2004දී රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් ධනේශ්වර වැඩසටහන පරාජය කිරීම සඳහා සිංහල ජාතිවාදය කරපින්නා ගෙන මංගල සමරවීර ද සමග එක් වී රනිල්ට බෑ යි කැම්පේන් කරමින් මහින්දව ඔසවා ගෙන පැමිණෙන්නට වැඩියෙන්ම උර දුන්නේ ජවිපෙය. ඉන් පසු, මහින්දව අතහැර දැමීම මගින් ඔවුහු මහින්දට හැදෙන්නට නො ව නැති වන්නට පාර පෙන්වූහ. රාජපක්ෂවාදය නිර්මාණය වුණේ එහෙමය. නාමල්ලා අමාරුවේ වැටුණේ එහෙමය.

තමන්ට වුණ දේ තේරුම් ගන්නා විට කෝච්චිය ගොසිනි. 2015 පරාජය ඔවුන් අපේක්ෂා කළ එකක් වූයේ නැත. 2019දී ඔවුන්ට නැවතත් බලයට පැමිණීමට හැකි වුණ මුත්, ගෝඨාභය මහින්දටත් වඩා පටු දැක්මක් සහිත අයෙකු වීම නිසා කෝවිඩ් සමග රට ගොඩ ගත නො හැකි ආර්ථික අගාධයකට තල්ලු විය.

2022 අරගලය සහ නායකයන්ට ලැබෙන දෙවැනි අවස්ථාව

namal nimal ajith
2022 අරගලය යනු රාජපක්ෂවාදීන් මහ මග පොලු ගසා මරා දැමීම හා ඔවුන්ගේ ගෙවල්, දේපළ ගිනි තැබීම මගින් සනිටුහන් වූ ප්‍රචණ්ඩ ප්‍රතිචාරයකි. තමන් විසින්ම නිර්මාණය කරන ලද නායකත්වයට ඔවුන්ගේ අනුගාමිකයන් ප්‍රතිචාර දැක්වූයේ එසේය. මෙහි කවරයේ ඡායාරූපයේ අජිත් නිවාඩ් කබ්‍රාල්ට පසුපසින් සිටින පුද්ගලයා වන නිමල් පෙරේරා නම් රාජපක්ෂලාගෙන් ඇති තරම් වාසි ලබා ගත් ව්‍යාපාරිකයා නාමල් රාජපක්ෂ පාවා දෙන තැනකට යන්නේ ද එහිම දිගුවක් ලෙසය. මේවා දේශපාලකයන්ට පමණක් නො ව අප සැමට හොඳ පාඩම්ය. මා නම් මගේ සමීපතමයන් කීපදෙනෙකු හැර අන් කිසිවකු විශ්වාස කරන්නේ නැති කුහක තක්කඩියෙකු වී සිටින්නේ මෙම හේතුව නිසාය. එහෙත්, අප සමාජය සමග දේශපාලනිකව සම්බන්ධ වීම නැවැත්විය යුතු නැත.

රාජපක්ෂවාදී දේශපාලනයෙන් ඉතිරිව සිටින නාමල් රාජපක්ෂට වැරදිවලට සාධාරණ නඩු විභාග ඔස්සේ දඬුවම් විඳින්නටත්, අවශ්‍ය නම් නිවැරදි වෙන්නටත් අවස්ථාව ලබා දිය යුතුය.

sanath nishantha house
එවැනි අවස්ථා සමාජයක් ලෙස අපි ජවිපෙට ලබා දුන්නෙමු. කැරැලිකරුවන් වූ අපට සමාජගත වන්නට දුන් අවස්ථාවට අමතරව, කැරැලි නායකයන් වූ සෝමවංශ අමරසිංහ නම් දේශපාලන මණ්ඩල සභිකයාට නඩු පැවරුවේ ද නැත. වීසා වංචා නිසා පුරවැසිභාවය අහිමි වී සිටි කුමාර් ගුණරත්නම්ට අපි පුරවැසිභාවය ලබා දුන්නෙමු. 2022 අරගලයේ ගෙවල් ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය කිසිවක් නො කළා සේ හැසිරෙති. ඔවුන් පසුපස රජය අනවශ්‍ය පරිදි එළෙව්වේ නැත. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අතීත ක්‍රියා, පෞද්ගලික ජීවිතය, රාජ්‍ය නිල නිවාස භාවිතය ආදිය ගැන ගැටලු තිබුණත්, අපි ඒවා ද නො තකා හැර ඇත්තෙමු. නායකයන් වෙනුවෙන් සමාජයට යම් කැප කිරීම් කිරීමට සිදු වේ. හේතුව අපට නායකයන් අවශ්‍ය වීමයි. රාජ්‍ය නායකයන් ලෙහෙසියෙන් ගොඩනැගෙන්නේ නැත.

අවසානයේදී මෙයත් කිව යුතුය. ජවිපෙ විසින් කරන ලද දූෂණ සම්බන්ධයෙන් හරියට සමාජයට ඇස් ඇරෙන්නට නම්, අනිවාර්යයෙන්ම ඔවුන් බලයෙන් ගිලිහී යා යුතුය. එදා සිට අද දක්වා කලින් කලට රාජපක්ෂලා, අනුරලා සමග සිට ගත් ටොක්සික් ප්‍රජාව ගැන මීළඟ ලිපියකින් මෙම කරුණ වැඩිදුරටත් පැහැදිලි කරනු ඇත.

AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...