BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
Opinion

'රාජපක්ෂ' දේශපාලන සන්නාහය ගැන කතාවට එකතුවක් | කුසල් පෙරේරා

T

The Leader Desk

September 14, 2026 • 9:01 AM

'රාජපක්ෂ' දේශපාලන සන්නාහය ගැන කතාවට එකතුවක් | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Image Credit : Shehan Gunasekara
  • *අනුරාධපුර වේදිකාවේ අමානුෂික නාටකය, නායකත්ව රික්තය සහ පක්ෂ ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ඓතිහාසික අභියෝගය මේ මාතෘකාව, විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මට යම් අවසරයක් දැනුවත්කමක් ඇතැයි මම සිතමි.
  • පළමුවෙන්ම කිව යුත්තේ මා හපුගොඩ සමග මුළුමනින් එකඟ වන බවය.
  •   අජිත්ගේ ප්‍රතිචාරයෙහි ආරම්භයේදීම කියා ඇත්තේ, “මම මහින්ද පාක්ෂිකයෙක් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

*අසනීප මහින්ද වේදිකාවට ගෙන ඒම සාධාරණීකරණය කරමින් පවුල්වාදය නඩත්තු කිරීමට වෙරදරන වැඩවසම් දේශපාලනය ප්‍රශ්න කිරීමක්!


*අනුරාධපුර වේදිකාවේ අමානුෂික නාටකය, නායකත්ව රික්තය සහ පක්ෂ ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ඓතිහාසික අභියෝගය


මේ මාතෘකාව, විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මට යම් අවසරයක් දැනුවත්කමක් ඇතැයි මම සිතමි. “දැන් ඇති නේද?” යැයි සිරස් තලය යොදා “මේක තව දුරටත් කරන්න එපා” යැයි ඉල්ලීමක් සමගින් අවසන් කළ ඉතා කෙටි ලිපියක් ඉකුත් 12 වන සෙනසුරාදා පොහොට්ටුවේ අනුරාධපුර රැළියට මහින්ද රාජපක්ෂ කැඳවා ගෙන ඒම ගැන, මහේෂ් හපුගොඩ සමාජ මාධ්‍යයට ලියා තිබුණ බැව් මා දැනගත්තේ මා මිත්‍ර අජිත් ජිනදාසගේ කෙටි ප්‍රතිචාරය කියවන්නට ලැබූයෙනි. එසැණෙන් මම හපුගොඩගේ සටහන කියවූයෙමි. පළමුවෙන්ම කිව යුත්තේ මා හපුගොඩ සමග මුළුමනින් එකඟ වන බවය.

 


අජිත්ගේ ප්‍රතිචාරයෙහි ආරම්භයේදීම කියා ඇත්තේ, “මම මහින්ද පාක්ෂිකයෙක් නෙවෙයි. එහෙත් මහේෂ් හපුගොඩ ලියලා තිබෙන දෙය සම්පූර්ණයෙන්ම වැරදියි” කියා ය. අජිත් එයට හේතු ලෙස දක්වන්නේ “අපි පොහාට්ටුවේ සපත්තුවට බැහැලා බැලුවොත් වෙන මොනවද කරන්නේ? ඔවුන්ගේ Shinning Star කූඩු කරලා. පැරණි තරුව ඉස්සරහට එනවා පුළුවන් වෙර දාලා. ඒක ඒ කඳවුරට ගැම්මක් විය හැකියි.” අජිත් ගේ ඊළඟ හේතු දැක්වීම් සම්බන්ධව කතා කරන්නට පෙර ඉහතින් උපුටා දැක්වීම ගැන කතා කළහොත් “ඒ කඳවුරට” ගැම්මක් වනවාද නැද්ද යන්න රාජපක්ෂලා ගණන් හදාගත යුතුය. එහෙත් හපුගොඩ කතා කරන්නේ “පැරණි තරුවට” තව දුරටත් “පුළුවන් වෙර දාලා” එන්නට බැරි තරමට වයස්ගතව හා රෝගී තත්ත්වය නිසා අසරණව ඇති බැව් ඔහුව බලෙන් මෙන් ඔසවාගෙන විත් වේදිකාවේ අසුන් ගැන්වීමේ දර්ශනයෙන් දකින්නට සිදුවූයෙනි. එය කෙතරම් අමානුෂික දැයි විශේෂයෙන් දකුණේ නාගරික සමාජයේ කතාවන පසුබිමක ය.  

අමානුෂික වේදිකාව සහ පක්ෂයේ නායකත්ව රික්තය

ශ්‍රී.ල.නි.ප රාජපක්ෂලාගේ තනි අයිතියට තබා ගැනීමේ අසීරුව හමුවේ පොහොට්ටු පක්ෂය හදා ගත් හෙයින් මහින්ද වෙනුවට එහි නායකත්ව කාර්ය නාමල්ට බාර ගත හැකි විය. එහෙත් අලුත් පක්ෂ නායකත්වයක් හැදීමට ඇති නුසූදානම දේශපාලන පක්ෂයකට කෙතරම් අහිතකර දැයි තේරුම්ගත යුත්තේ නාමල් අත්අඩංගුවට ගත් පසු අනුරාධපුර ජනතා රැලිය පැවැත්වීමට නායකත්වය ගත හැකි කිසිවකු නොමැති වීමෙනි. වයස හා රෝගී තත්ත්වය නිසා අසරණව ඉන්නා පියාව ගෙනැවිත් වේදිකාවේ වාඩි කරවා ගන්නට සිදුවූයෙනි. හපුගොඩ කතා කරන්නේ ඒ රික්තය හමුවේ පොහොට්ටු පක්ෂයට සිටිය යුතු අලුත් නායකත්වයක් ගැනය. එම වගකීම අතහැර සිට, දේශපාලනයෙන් පූර්ණ ලෙස ඉවත්ව ප්‍රතිකාර ගනිමින් විවේකීව සිටිය යුතු කාලයේ මහින්දව මේ ගමනට එකඟ කරගත්තවුන් අතිශය ආත්මාර්ථකාමී කුහක රොත්තක් යැයි මම කියමි.  


අජිත් කියන්නේ “පොහාට්ටුවේ සපත්තුවට බැහැලා” බැලුවත් කරන්නට වෙන දෙයක් නැතැයි කියා ය. ඔවුන් බලන විදියට බැලුවොත් අජිත් හරි ය. එහෙත් අපට ඔවුන් බලන විදිහට නොබලා වෙන විදිහකට බලන්නට නොහැකිද?” එළෙස බැලීමට තහනම්ද? අප බැලිය යුත්තේ, අප පිළිගත යුත්තේ රාජපක්ෂලා දකින, රාජපක්ෂලා කියන දේ පමණද? ඔවුන්ගේ තීන්දු තීරණ හැම විට නිවැරදි යැයිද ඊට වෙනස් දෙයක් හැම විට වැරදි යැයිද ඉහත උපුටනයෙහි අජිත් ගේ තේරුම් ගැනීම වන්නේය. ඔහු හපුගොඩ සම්පූර්ණයෙන්ම වැරදි යැයි තීන්දු කරන්නේ ඔහුගේ ඒ රාජපක්ෂවාදී දේශපාලනය අනුවය.  

පොහොට්ටුවෙහි සාමාජිකයෙකු නොවුනත්, පොහොට්ටු දේශපාලනයට හවුල් නොවුනත් අවුරුදු 40 ට පමණ පෙර අතීතයේ විජය කුමාරණතුංගගේ ජනප්‍රිය ප්‍රතිරූපය මත පැවති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සැබෑ ක්‍රියාකාරිකයෙකු වූ අජිත්, වර්තමානයේ “මහින්ද පාක්ෂිකයෙකු” වන්නේ පොහොට්ටුවේ දේශපාලන තේරුම් ගැනීම් සමග අනන්‍ය වී වෙනත් දේශපාලන අදහස් සමාජ කතිකාවකට එකතු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවසරය එක හෙළා ප්‍රතික්ෂේප කිරීමෙනි.

වැරදි දෙකක් නිවැරදි කිරීමක් නොවේ!

 

sirimavo bandaranaike
අනෙක් කාරණය වන්නේ, බණ්ඩාරනායක මැතිනිය ගැන අජිත් තැබූ සටහනය. “හරියාකාරව කතා කරන්නටද නොහැකිව සිටියදී” සිරිමාවෝ මැතිනිය වේදිකාවට කැඳවා ගෙන ඒම නිවැරදි යැයි ඔහු කියන්නේ, ඒ අනුව මහින්ද රාජපක්ෂ ඔසවා ගෙන අනුරාධපුර රැළියට යාමද නිවැරදි යැයි කීමටය. ගමේ කතාවෙන් එය පැහැදිලි කළහොත් වැරදි දෙකක් යනු වරද නිවැරදි කිරීමක් නොවේ. සිරිමා මැතිනිය වේදිකාවට ගෙන ඒමත් මහින්ද වේදිකාවට ගෙන ඒමත් දෙකම වැරදිය.

ඔහුගේ ප්‍රතිචාරය අවසන් කරමින් අජිත් අසන ප්‍රශ්නයකට උත්තර දෙමින් මම මෙය අවසන් කරමි. අවශ්‍ය යැයි සිතන්නේ නම් “පොහොට්ටුවේ නායකත්වයට වෙනත් රාජපක්ෂ කෙනෙකු නම් කළ හැකි නමුත් රාජපක්ෂලාගෙන් පොහොට්ටුව ඉවත් කිරීමේ යෝජනා අප්‍රායෝගික නොවේදැයි” ඔහු අසන්නේ ය.

වලව් දේශපාලනය, පවුල් ගස් සහ 21 වන සියවස

ssjith ranasinghaසජිත් ප්‍රේමදාස, රණසිංහ ප්‍රේමදාස
ඔහුගේ මේ ප්‍රකාශයෙහි ගැබ්වන දේශපාලන මතවාදය, වැඩවසම්වාදී බාල මතවාදයකි. 50 දසකය ආරම්භ වන විට ඩී.එස්.සේනානායකගෙන් පසු බණ්ඩාරනායකලා, ජේ.ආර්ලා, කොතලාවලලා සිටියදී තරුණ ලාබාල ඩඩ්ලි එ.ජා.පයේ නායකත්වයට සූදානම් කෙරුණේ එ.ජා.පය බෝතලේ වලව්වට හිමි පක්ෂය යැයි නායකයින් පමණක් නොව, ඔවුන් වටා සිටි හිතවතුන්ද සිතූයෙනි. නැවත 60 දසකයේදී ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් සමුගනු ඇතැයි, ආර්. ප්‍රේමදාස නායකත්වයට සූදානම්වන කතා තැනින් තැන ඇසෙද්දී, එ.ජා.පයේ සේනානායක නාමය වෙනුවෙන් රුක්මන් සේනානායකව දේශපාලනයට ගෙනෙනු ලැබිණ. ‘56 මැතිවරණයෙන් හොරගොල්ල වලව්ව බණ්ඩාරනායකලාගේ පවුල් බලයේ කේන්ද්‍රය බවට පත්ව තිබිණ. ශ්‍රී.ල.නි.පය හොරගොල්ලේ වලව්වට අයිති දේශපාලන ව්‍යාපාරයක් යැයි බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බිරිඳ සිරිමා මැතිනියටත් ඇගෙන් පසු දියණිය චන්ද්‍රිකාටත් ශ්‍රී.ල.නි.ප නායකත්වය බාර කෙරුණකි. 1940 ගණන්වල සිට රාජපක්ෂලාගේ පවුල් බලය සමග හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රයවී තිබුණේ වීරකැටියේ මැදමුලනට ය. ‘90 දසකය වන විට මහින්ද රාජපක්ෂ ජාතික දේශපාලනයට පය ගැසීමත් සමග මැදමුලනද සිංහල-බෞද්ධ  දේශපාලනයේ “රාජපක්ෂ වලව්ව” බඳු විය. මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බරයේ ජනාධිපති වූ පසු, හොරගොල්ල වලව්ව වෙනුවට මැදමුලන සිංහල-බෞද්ධ දේශපාලනයේ කේන්ද්‍රය වන්නේ ශ්‍රී.ල.නි.ප බලයද අහෝසි කරමින්ය. වලව් කතාවක් නොවුනත් එ.ජා.පයේ නායකත්වයට සජිත් හිමිකම් කියුවේ රණසිංහ ප්‍රේමදාසගේ - පියාගේ බුක්තිය මත ය. ඔහු ස.ජ.බ නායකයා වන්නේ එය එ.ජා.පට ආදේශකය වන්නේ යැයි සැළකීමෙනි.

ප්‍රධාන දේශපාලන ධාරාවේ මේ වැඩවසම්වාදී ප්‍රාථමික සම්මතයන් 21 වන සිය වසටත් වලංගු කිරීමට කතා කිරීමෙන් අජිත් දායක වන්නේ ප්‍රගතිශීලි අනාගතවාදී දේශපාලන ගමනකට නොවේ. ඔහු දායක වන්නේ තව වටයක් පවුල්වාදය රැගෙන යන දූෂිත ජනතාවාදී දේශපාලනයකට ය. අප දායක විය යුත්තේ එවැනි පවුල් ගස් තෝරා ගැනීමට නොවේ. අප දායක විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහාවන නූතනවාදී දේශපාලනයක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් පළමු කොන්දේසිය වන්නේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රීය කිරීමය. දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රීය කිරීමට පවුල්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය දේශපාලන තීන්දුවකි. අජිත් එය පිළිගන්නේ නම්, මහේෂ් හපුගොඩ පූර්ණ වශයෙන් නිවැරදි යැයිද පිළිගත යුතුය.


kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 සැප්තැම්බර 13 වන දින



සබැඳි ලිපිය :

දැන් ඇති නේද? | Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...