BREAKING
Top Ad
Opinion

දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා | මහාචාර්ය චරිත හේරත්

T

The Leader

September 25, 2026 • 6:38 AM

දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා | මහාචාර්ය චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "වසර තිහක බල සිහිනය වෙනුවෙන් අද අතැති ජනවරම අවදානමේ නොදමා, 22 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ සැබෑ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය යුතුය."
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳ සංවාදය ආණ්ඩුව ආරම්භ කළේම වැරදි කෝණයකිනි.
  • “කවුරු මොනවා කීවත් අපි මෙය කරනවා” වැනි අදහසකින් ඒ වැඩේ සිදුකරන බව ආණ්ඩුවේ ප්‍රකාශවලින් සහ හැසිරීමෙන් පෙනුණි.
  • එහි අදහස වන්නේ අනාගතයේ ලැබෙතැයි සිතන අවිනිශ්චිත වාසියක් වෙනුවෙන් දැනට අතේ තිබෙන දෙය අතහැර දැමීම නුසුදුසු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


"පාර්ලිමේන්තු බහුතරය කැමති ඕනෑම දෙයක් කිරීමට ලැබුණු හිස් චෙක්පතක් නොවේ: අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා විශ්වාසයට හානි කරන ව්‍යවස්ථා සූදුවෙන් ආණ්ඩුව වහා මිදිය යුතුය."


මෙවර මෙම සටහන ලියන්නට සිදුවී තිබෙන්නේ තරමක් සංකීර්ණ දේශපාලන තත්ත්වයක් යටතේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳ සංවාදය ආණ්ඩුව ආරම්භ කළේම වැරදි කෝණයකිනි. “කවුරු මොනවා කීවත් අපි මෙය කරනවා” වැනි අදහසකින් ඒ වැඩේ සිදුකරන බව ආණ්ඩුවේ ප්‍රකාශවලින් සහ හැසිරීමෙන් පෙනුණි.

මෙය දුටු විට මට මතක් වූයේ පැරණි සිංහල කියමනකි. එනම් “දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා” යන්නය. එහි අදහස වන්නේ අනාගතයේ ලැබෙතැයි සිතන අවිනිශ්චිත වාසියක් වෙනුවෙන් දැනට අතේ තිබෙන දෙය අතහැර දැමීම නුසුදුසු බවය. මේ ආණ්ඩුව 22 වැනි සංශෝධනය හරහා සිදුකරමින් සිටින්නේද එවැනි දෙයක් බව මගේ තේරුම් ගැනීමය.

පසුගිය මහ මැතිවරණයේදී මේ ආණ්ඩුවට ඉතා හොඳ ජනවරමක් ලැබුණි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පවත්වාගෙන යාම හෝ සාමාන්‍ය නීති සම්මත කරගැනීම සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුළ බරපතළ ප්‍රශ්නයක් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් ඊළඟ වසර තිහක් බලයේ සිටින්නේ කෙසේදැයි කල්පනා කරමින් සිදුකරන සමහර වැඩ හේතුවෙන්, අද අතේ තිබෙන දේශපාලන බලයට සහ ජනතා විශ්වාසයට හානි වන බව ඔවුන් දැක්කේ නැත.

අපේ රටේ සෑම ආණ්ඩුවක්ම පාහේ තමන්ගේ පාලනය පිළිබඳ කලු පැල්ලමක් නිර්මාණය කරගෙන තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය එවැනි කලු පැල්ලමකි. මෛත්‍රී–රනිල් යහපාලන ආණ්ඩුවට මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය එවැනි එකකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට 20 වැනි සංශෝධනය සහ රසායනික පොහොර තහනම එවැනි දේශපාලන කලු පැල්ලම් දෙකකි. වත්මන් ආණ්ඩුවට 22 වැනි සංශෝධනය එවැනි කලු පැල්ලමක් බවට පත්වීමේ අවදානම දැන් ඇතිවී තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධීනත්වය

22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට
යෝජිත 22 වැනි සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන්නේ මෙම සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එය සම්මත කළ හැකි බවත්ය.

එහෙත් මෙතැනදී ආණ්ඩුව තේරුම්ගත යුතු මූලික කාරණයක් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණයකි. යෝජනාව දේශපාලන වශයෙන් නිවැරදිද, සදාචාරාත්මකද, කාලෝචිතද සහ මහජන විශ්වාසය ආරක්ෂා කරන්නේද යන්න පිළිබඳ තීරණයක් නොවේ. ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි අධිකරණය තීරණය කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන වගකීම අවසන් වන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම පමණක් නොවේ. ලැබුණු බලය සංයමයෙන් භාවිත කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබීම යනු කැමති ඕනෑම දෙයක් කිරීම සඳහා ලැබෙන හිස් චෙක්පතක් නොවේ. ඒ බලය ලබාදුන් ජනතාවට ගරු කිරීම, විවේචනයට සවන් දීම සහ රාජ්‍යයේ ස්වාධීන ආයතනවල ගෞරවය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමම වැරදි ප්‍රතිපත්තියක් යැයි මෙයින් කියන්නේ නැත. ලෝකයේ විවිධ රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් වෙනස්ය. එම නිසා ශ්‍රී ලංකාව තුළද ඒ පිළිබඳ සංවාදයක් කළ හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ එය කරන කාලය, ක්‍රමය සහ එය දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට බලපාන ආකාරය යන ප්‍රශ්නයන් ය.

අනාගතයේ පත්වන සියලුම විනිසුරුවරුන්ට බලපාන පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීම එකකි. දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය දේශපාලන අධිකාරියේ තීරණයකින් දීර්ඝ කිරීම තවත් එකකි. දෙවැනි ක්‍රමය මගින් වත්මන් අධිකරණයේ සංයුතිය, ඉදිරි පත්වීම් සහ විනිසුරුවරුන්ගේ වෘත්තීය අපේක්ෂා කෙරෙහි සෘජු බලපෑමක් ඇතිවිය හැකිය.

අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නැත. එය ස්වාධීන බව ජනතාවට පෙනෙන්නටද අවශ්‍යය. අධිකරණයක බලය රඳා පවතින්නේ ආයුධ, පොලිසිය හෝ මුදල් බලය මත නොවේ. එය රඳා පවතින්නේ ජනතාව තුළ එම ආයතනය පිළිබඳ තිබෙන විශ්වාසය මතය. ඒ විශ්වාසය දේශපාලන වාසියක් වෙනුවෙන් අවදානමට දැමීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් නැත.

නඩු ප්‍රමාදය අඩුකිරීම මේ සංශෝධනයේ අරමුණ බව ආණ්ඩුව කියයි. එහෙත් නඩු ප්‍රමාදය යනු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නිසා පමණක් ඇතිවූ ගැටලුවක් නොවේ. විනිසුරුවරුන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ හිඟය, නඩු කළමනාකරණ ක්‍රමවල දුර්වලතා, යටිතල පහසුකම්, තාක්ෂණය භාවිත නොකිරීම සහ නඩු කල් දැමීමේ සංස්කෘතිය එයට බලපායි. සැබෑ අරමුණ නඩු ප්‍රමාදය අවම කිරීම නම් ආණ්ඩුව සම්පූර්ණ අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය.

ආර්ථිකයේ වත්මන් ස්වභාවය

ecnomy9384
රටේ දේශපාලන සංවාදය 22 වැනි සංශෝධනය වටා ගොඩනැගෙමින් තිබුණද සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය තවමත් ආර්ථිකයය. ආණ්ඩුව සාර්ව ආර්ථික සංඛ්‍යා ඉදිරිපත් කරමින් රට ස්ථාවර වී ඇති බව කියයි. විදේශ සංචිත වැඩිවීම, ආර්ථික වර්ධනය ධනාත්මක වීම සහ රාජ්‍ය ආදායම වැඩිවීම වැනි කරුණු ඒ සඳහා ඉදිරිපත් කෙරේ. එම ජයග්‍රහණ කිසිවකු විසින් ප්‍රතික්ෂේප කළ යුතු නැත.

එහෙත් සංඛ්‍යා ලේඛනවල පෙන්වන ආර්ථිකය සහ ජනතාවගේ ජීවිත තුළ දැනෙන ආර්ථිකය එකක් නොවේ. ආර්ථික වර්ධනය ධනාත්මක වීමෙන් පවුලක ආදායම ස්වයංක්‍රීයව වැඩිවන්නේ නැත. උද්ධමනය අඩුවීම යනු මිල අඩුවීමද නොවේ. එයින් අදහස් වන්නේ මිල ඉහළ යන වේගය අඩුවීම පමණි. මීට වසර කිහිපයකට පෙර තිබූ මට්ටමට වඩා ආහාර, ප්‍රවාහනය, විදුලිය, ජලය, ඖෂධ සහ අධ්‍යාපනය සඳහා ජනතාව ගෙවන මිල තවමත් ඉතා ඉහළය.

රාජ්‍ය සේවකයා සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන්නා මාසය අවසන් කිරීමට අරගල කරයි. ගොවියාට තම නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් නොලැබෙන අතර පාරිභෝගිකයාට අඩු මිලකට එම නිෂ්පාදන ලැබෙන්නේද නැත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා බදු, විදුලි ගාස්තු, පොලී සහ අමුද්‍රව්‍ය මිල අතර සිරවී සිටී. රැකියා සොයන තරුණයාට රට තුළ අනාගතයක් නොපෙනෙන නිසා ඔහුගේ ප්‍රධාන සැලැස්ම විදේශගතවීම බවට පත්වී ඇත.

මේ තත්ත්වය තුළ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට දක්වන උනන්දුව ආර්ථිකයේ සැබෑ අංශය ගොඩනැගීමට දක්වන්නේද යන ප්‍රශ්නය මතුවේ. ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ විනිසුරුවරුන් කිහිප දෙනකුගේ සේවා කාලය දීර්ඝ කිරීමට වඩා තමන්ගේ ජීවන තත්ත්වය යහපත් කරගැනීමටය. ආණ්ඩුවේ ප්‍රමුඛතාව සහ ජනතාවගේ ප්‍රමුඛතාව අතර පරතරයක් ඇතිවීම දේශපාලන වශයෙන් භයානකය.

IMF වැඩසටහනේ නිමාවෙන් පසුව


ශ්‍රී ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය පහසුකම 2023 මාර්තු මාසයේ ආරම්භ කළ මාස 48ක වැඩසටහනකි. එය 2027 මාර්තු මාසයේ අවසන් වීමට නියමිතය. 2026 මැයි මාසයේදී එහි පස්වැනි සහ හයවැනි සමාලෝචන එකවර අවසන් කර තිබේ. එහෙත් IMF වැඩසටහන අවසන් වන දිනය ළඟාවීමෙන් රටේ ආර්ථික ගැටලු අවසන් වන්නේ නැත.

IMF වැඩසටහනක් යනු ආර්ථිකයක් සදාකාලිකව පවත්වාගෙන යන සැලැස්මක් නොවේ. එය අර්බුදයකට පත්වූ රටකට යම් මූල්‍ය විනයක්, ජාත්‍යන්තර විශ්වාසයක් සහ ප්‍රතිසංස්කරණ රාමුවක් ලබාදෙන තාවකාලික ආධාරකයකි. ඒ ආධාරකය ඉවත් වූ පසු රට තමන්ගේ දෙපයින් සිටිය යුතුය.

එතැනදී ප්‍රශ්නය වන්නේ IMF නියමයන් ඉටු කළාද යන්න පමණක් නොවේ. අපේම ජාතික ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද යන්නය. අපනයන වැඩි කරන්නේ කෙසේද? දේශීය සහ විදේශීය ආයෝජන ලබාගන්නේ කෙසේද? කෘෂිකර්මාන්තය නවීකරණය කරන්නේ කෙසේද? රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කරන්නේ කෙසේද? කුඩා ව්‍යාපාර සහ නව ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය ලබාදෙන්නේ කෙසේද? තරුණයන්ට රැකියා නිර්මාණය කරන්නේ කෙසේද? මේවාට ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරු අවශ්‍යය.

බදු වැඩි කිරීම, වියදම් කපාහැරීම සහ මිල ගැළපීම් සිදුකිරීම පමණක් ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. ඒවා මූල්‍ය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය මෙවලම් විය හැකිය. එහෙත් රටක් ගොඩනගන්නේ නිෂ්පාදනය, ආයෝජනය, දැනුම, නවෝත්පාදනය සහ වෙළෙඳපොළ පුළුල් කිරීමෙනි. IMF වැඩසටහන අවසන් වන විට රටට තමන්ගේම සංවර්ධන වැඩසටහනක් නොමැති නම් නැවතත් තවත් IMF වැඩසටහනක් සොයා යාමට සිදුවනු ඇත.

බලය දුන්නේ අනුරට මිස පැලවත්තට නොවේ


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු රටේ පැවති එක් දේශපාලන කතාවක් වූයේ “බලය දුන්නේ ගෝඨාභයට, නමුත් බලය ගත්තේ නෙළුම් මාවතේ අය” යන්නය. ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරම ඔහු වටා සිටි පක්ෂ යන්ත්‍රණය සහ පරණ දේශපාලන බලවේග විසින් පාලනය කළ බව එයින් අදහස් කෙරිණි. අවසානයේ එම පරතරය ගෝඨාභය ආණ්ඩුවේ පරාජයටද හේතුවක් විය.

අද වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන්ද “බලය දුන්නේ අනුරට, නමුත් බලය ගත්තේ පැලවත්ත” යැයි කතාවක් ගොඩනැගෙමින් තිබේ. මෙහි අදහස වන්නේ ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ නව පාලනයක් පිළිබඳ ඔහු ඉදිරිපත් කළ බලාපොරොත්තුවට ඡන්දය දුන්නද, තීරණ ගැනීමේ සැබෑ බලය පක්ෂයේ පැරණි මධ්‍යස්ථානය විසින් මෙහෙයවන්නේද යන සැකයය.

මෙම කතාව සත්‍යද අසත්‍යද යන්නට වඩා එවැනි මතයක් සමාජය තුළ ගොඩනැගෙන්නේ ඇයිද යන්න වැදගත්ය. ජනාධිපතිවරයාට ලැබුණු පුළුල් ජනවරමට වඩා පක්ෂයේ පැරණි දෘෂ්ටිවාදය, අභ්‍යන්තර තීරණ හෝ සුළු කණ්ඩායමක අනාගත බල සැලසුම් ආණ්ඩුවේ තීරණවලට බලපාන බව පෙනෙන විට මෙවැනි සැකයන් ඇතිවේ.

22 වැනි සංශෝධනයද එවැනි සැකයක් ශක්තිමත් කරයි. මේ සංශෝධනය ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවේ. එය මැතිවරණ පොරොන්දුවක්ද නොවේ. ආර්ථික අර්බුදය විසඳීම සඳහා අත්‍යවශ්‍ය යෝජනාවක්ද නොවේ. එසේ නම් මේ මොහොතේ එය ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් වූයේ කාගේ අවශ්‍යතාවක් නිසාද යන ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් අවශ්‍යය.

 

ugbwfugfhubgufhbgfurgbrfwbgwuigeiuwgeioogwei
ආණ්ඩුවක් පවත්වාගෙන යාමට පක්ෂයක් අවශ්‍යය. එහෙත් ආණ්ඩුව සහ පක්ෂය එකම දෙයක් නොවේ. පක්ෂයේ වගකීම තම සාමාජිකයන් සහ ආධාරකරුවන් නියෝජනය කිරීමය. ආණ්ඩුවේ වගකීම මුළු රටම නියෝජනය කිරීමය. පක්ෂ මධ්‍යස්ථානයක් රජයේ තීරණ ගැනීමේ මධ්‍යස්ථානය බවට පත්වුවහොත් රාජ්‍ය ආයතන, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ වටිනාකම දුර්වල වෙයි.

ආණ්ඩුව තේරුම්ගත යුත්තේ තමන්ට ලැබුණු විශාල ජනවරම සදාකාලික ඔප්පුවක් නොවන බවය. එය නිශ්චිත කාලයක් සඳහා ජනතාව භාරදුන් වගකීමකි. එම බලය ආරක්ෂා වන්නේ ව්‍යවස්ථා සංශෝධනවලින් නොව ජනතා විශ්වාසයෙන්ය. ජනතා විශ්වාසය ආරක්ෂා වන්නේ ආර්ථික සහන, විනිවිදභාවය, යුක්තිය සහ ස්වාධීන ආයතන ආරක්ෂා කිරීම තුළින්ය.

දුවන මුවන් පසුපස දුවමින් අතේ තිබෙන නෙළූ පලා අතහැර දැමීමෙන් අවසානයේ දෙකම අහිමි විය හැකිය. වසර තිහක් බලයේ සිටීමේ සිහිනය වෙනුවෙන් අද ලැබී තිබෙන ජනවරමත්, දේශපාලන විශ්වාසයත්, ආයතන පිළිබඳ මහජන ගෞරවයත් අවදානමට දැමීම ආණ්ඩුව විසින් නොකළ යුතුය.

22 වැනි සංශෝධනය හරහා ආණ්ඩුවට ලැබිය හැකි තාවකාලික වාසිය කුමක් වුවත්, එයින් ඇතිවන දේශපාලන හානිය ඊට වඩා විශාල විය හැකිය. තවමත් ආපසු හැරීමට කාලය තිබේ. එසේ කිරීම පරාජයක් නොවේ. වැරදි තීරණයක් නැවත සලකා බැලීම දුර්වලකමක්ද නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී පරිණතභාවයේ ලක්ෂණයකි.


ආණ්ඩුවට මේ මොහොතේ දිය හැකි හොඳම අවවාදය එම පැරණි සිංහල කියමනමය: “දුවන  මුවන් දැක නොදමව් නෙළූ පලා.”

(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...