BREAKING
Top Ad
Opinion

මෛත්‍රීගේ අනන්‍යතාව සහ සාමය: සමනලීගෙන් ගැඹුරු කියවීමක්

T

The Leader

September 28, 2026 • 4:45 AM

මෛත්‍රීගේ අනන්‍යතාව සහ සාමය: සමනලීගෙන් ගැඹුරු කියවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ ප්‍රකාශය ඔස්සේ යුද්ධයේ තුවාල, සාමයේ සැබෑ අරුත සහ සංහිඳියාවේ අභියෝග පිළිබඳව සමනලී ෆොන්සේකා තැබූ සංවාදාත්මක සටහන.
  • අද මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන සංවාදයත් අපට පෙන්වන්නේ මේ තුවාලය තවමත් සම්පූර්ණයෙන් සුව වී නැති බවයි.
  • ඇයට තමන් දෙමළ කාන්තාවක් ලෙසත්, Eelam Tamil පසුබිමක් ඇති කාන්තාවක් ලෙසත් තම අනන්‍යතාවය හඳුනාගැනීමට අයිතිය තිබේ.
  • 83 කළු ජූලියේ සිට යුද්ධයෙන් නිවාස අහිමි වූ, රට හැර යාමට සිදු වූ, ඥාතීන් අහිමි වූ දෙමළ පවුල්වලට ඔවුන්ගේ ඉතිහාසය සහ මතකය අමතක කරන්නැයි කිව නොහැක.
අකුරු ප්‍රමාණය (Font Size):


“යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.''
- ඇල්බට් අයින්ස්ටයින්
"The war is won, but the peace is not.”
- Albert Einstein


1945 දෙසැම්බර් 10 වැනිදා, දෙවන ලෝක යුද්ධය අවසන් වී කෙටි කලකට පසු, නිව්යෝර්ක් නගරයේ පැවති නොබෙල් සංවත්සර රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඇල්බට් අයින්ස්ටයින් පැවසූ මෙම වචන අද ශ්‍රී ලංකාව දෙස බලන විට සත්‍ය ලෙස සමීපව දැනේ. 2009 දී අපේ රටේ යුද්ධය අවසන් විය. එහෙත් යුද්ධයක් අවසන් කිරීම සහ සාමයක් ගොඩනැගීම එකම දෙයක් නොවේ. තුවක්කු නිහඬ කළ හැකි නමුත්, දශක ගණනාවක් දෙපැත්තේම මිනිසුන්ගේ මතකයේ තැන්පත් වූ බිය, අවිශ්වාසය, වේදනාව සහ අනන්‍යතාව පිළිබඳ ගැටුම් එක දවසකින් අවසන් කළ නොහැක.

අද මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන සංවාදයත් අපට පෙන්වන්නේ මේ තුවාලය තවමත් සම්පූර්ණයෙන් සුව වී නැති බවයි. ඇයට තමන් දෙමළ කාන්තාවක් ලෙසත්, Eelam Tamil පසුබිමක් ඇති කාන්තාවක් ලෙසත් තම අනන්‍යතාවය හඳුනාගැනීමට අයිතිය තිබේ. 83 කළු ජූලියේ සිට යුද්ධයෙන් නිවාස අහිමි වූ, රට හැර යාමට සිදු වූ, ඥාතීන් අහිමි වූ දෙමළ පවුල්වලට ඔවුන්ගේ ඉතිහාසය සහ මතකය අමතක කරන්නැයි කිව නොහැක. ඒ අතරම, බොහෝ සිංහල පවුල්වලටත් යුද්ධය යනු LTTE ප්‍රහාර, මරණ, බිය සහ තම ආදරණීයයන් අහිමි වීමේ මතකයකි. එම වේදනාවද ප්‍රතික්ෂේප කළ නොහැක. එක් පාර්ශ්වයක වේදනාව පිළිගැනීම සඳහා අනෙක් පාර්ශ්වයේ වේදනාව මකා දැමිය යුතු නැත. එම වේදනාවන් එතරම්ම සැබෑය.

දෙපැත්තේම මතකය සහ වේදනාවේ සත්‍යය

දෙමළ මිනිසුන්ට ඔවුන්ගේ ඉතිහාසය මතක තබාගැනීමට අයිතිය තිබේ.


සිංහල මිනිසුන්ටත් ඔවුන්ගේ ඉතිහාසය මතක තබාගැනීමට අයිතිය තිබේ.

අපට එකිනෙකා හා එකඟ නොවීමට අයිතිය තිබේ.

නමුත් එකඟ නොවීම, වෛර කිරීමක් විය යුතු නැත.


සංහිඳියාව, ඩයස්පෝරාව සහ පැරණි ජාතිවාදය

ඇත්තෙන්ම අපි මෙය තවත් ගැඹුරට කියවිය යුතුය. ශ්‍රී ලංකාවේ බලය සහ වරප්‍රසාදය බෙදී ගොස් ඇත්තේ ජාතිය අනුව පමණක් නොවේ. කුලය, පන්තිය, භාෂාව, ලිංගික අනන්න්‍යතාවය, භූගෝලීය පිහිටීම සහ දේශපාලන බලයද ඒ තුළ විශාල කාර්යයක් ඉටු කරයි. ඒ නිසා සංහිඳියාව කියන්නේ සිංහල හා දෙමළ ජනතාව අතර පමණක් ගොඩනැගිය යුතු සම්බන්ධතාවයක් නොවේ. එය සමාජය තුළම පවතින බල අසමානතා අවංකව ප්‍රශ්න කරමින් පිළිතුරු සෙවීමකි.
 
WhatsApp Image 2026 09 28 at 3.25.07 PM
ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සියලු දෙනා එකම දේශපාලන අදහසක් දරන්නේ නැත. ඔවුන් අතර සංහිඳියාව, මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන පිරිස්ද සිටිති. සිංහල හා දෙමළ ආගමික නායකයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අතර පවා සංවාද ගොඩනැගීමට උත්සාහ කරන පිරිස් ඇත. නමුත් දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් දේශපාලන කණ්ඩායම් තවමත් ජාතිවාදී දේශපාලනය උත්කෘෂ්ටයට නගමින්, අතීතයේ දේශපාලන භාෂාවම ඉදිරියට ගෙන යමින් සිටින බවත් අප ඉදිරියේ පෙනෙන්නට පවතී. යුද්ධය අත්විඳ නොමැති දෙවන හා තුන්වන පරම්පරාවට පවා එම මතකය දේශපාලන අනන්‍යතාවක් ලෙස උරුම කර දෙන අවස්ථා තිබේ. මතකය ආරක්ෂා කිරීම වැදගත්ය. නමුත් ඉතිහාසය සම්පූර්ණයෙන් කියවා නොගෙන, එක් පාර්ශ්වයක මතකයක් පමණක් සම්පූර්ණ සත්‍යය ලෙස ඊළඟ පරම්පරාවට භාරදීමෙන් තුවාලය සුව වන්නේ නැත.

දකුණේ ජාතිවාදී දේශපාලනයද ඊට වඩා වෙනස් නොවේ. බලය අහිමි වූ දේශපාලන බලවේගවල ඇතැම් කොටස් අදත් ජනතාවගේ බිය, ජාතිවාදය දේශපාලන වාසියක් බවට පත් කිරීමට උත්සාහ කරන අවස්ථා අපට පෙනේ. ආර්ථික අර්බුදය, දූෂණය, අදූරදර්ශී පාලනය සහ තමන්ගේ දේශපාලන වගවීම හා වගකීම් පිළිබඳ ගැඹුරු ස්වයං විවේචනාත්මක සංවාදයකට යාම වෙනුවට ජනතාවගේ පැරණි බිය නැවත අවදි කිරීම, පහසු දේශපාලන මාර්ගයකි. එය සිංහල ජාතිවාදය වේවා, දෙමළ ජාතිවාදය වේවා, මුස්ලිම් ජාතිවාදය වේවා, අවසානයේ එයින් ප්‍රතිලාභ ලබන්නේ ජනතාව නොව බලය සොයන දේශපාලනයයි.

දකුණේ දේශපාලන බිය සහ නව පාලනයේ අභියෝගය


AKD 260716
එහෙත් ජාතිවාදී සටන් පාඨ වලින් තම වේදිකාව පුරවා නොගත් නව දේශපාලන දැක්මක් සහිත සමාජීය පොලාපැනීමක් අප මීට වසර දෙකකට පෙර අත්පත් කර ගන්නා ලදී. එය ඉතිහාසයේ සදා ලියැවෙන ජනතා එකඟත්වයකි. එහෙත් තවමත් වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට ඉතා සංකීර්ණ අභියෝගයක් තිබේ. එක් පැත්තකින් අතීතයේ පැවති ආණ්ඩු පිළිබඳව උතුරේ ජනතාව තුළ තිබෙන අවිශ්වාසය ජයගෙන ඔවුන් සමඟ නව විශ්වාසයක් ගොඩනැගිය යුතුය. අනෙක් පැත්තෙන් ජාතිවාදී බිය නැවත දේශපාලන අවියක් බවට පත්වීම වැළැක්විය යුතුය. පෙර කිසි කලෙක නොවූ ලෙස උතුරේ ජනතාව තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳව සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් හා අපේක්ෂාවක් ගොඩනැගී තිබේ. එම විශ්වාසය තීරණය කරන්නේ වචන වලින් නොව, ක්‍රියාවෙන්‍ ය. මේ වන විටත් බොහෝ අභියෝග මැද ඉඩම්, අතුරුදහන් වූවන්, යුක්තිය, භාෂා අයිතිවාසිකම්, සංස්කෘතික ගෞරවය, දේශපාලන නියෝජනය, ආර්ථික අවස්ථා සහ සමාන පුරවැසිභාවය... වැනි ගැටලු වලට ප්‍රායෝගික පිළිතුරු හැකිතාක් ලබා දීමට වත්මන් ආණ්ඩුව උත්සාහා කරමින් සිටී. සාමය ජනතාවගේ ජීවිතයට පැමිණෙන්නේ ඒවාට පිළිතුරු ලැබීමත් සමඟ බව අප වටහා ගත යුතුය.

ඒ සඳහා දේශපාලකයන් පමණක් නොව සියලු ජාතීන් වල රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, සිවිල් සමාජය සහ සාමාන්‍ය ජනතාවටත් විශාල වගකීමක් තිබේ. විශේෂයෙන් කලාකරුවාට ඒ සඳහා හැකියාවක් ඇත. මන්ද කලාවට ඉතිහාසය ගැන හුදු 'යුධ භාෂාවකට' එහා ගිය 'මිනිස් කතාවක්' කියන්නට පුළුවන. අපි අපගේ උද්දචකම් උනාදමා ඒ කතා ඇසීමට අපව සූදානම් කරගත යුතුය.

කලාවේ කාර්යභාරය සහ සාමයේ සැබෑ අරුත

maitree

මෛත්‍රීගේ ප්‍රකාශය හා එයට ලැබුණ ප්‍රතිචාරත්, ඒ වටා ඇතිවන සංවාදයත් මගින් අපි අපෙන් ඇසිය යුතු විශාල ප්‍රශ්නයක් තිබේ. එනම්, අවුරුදු දහහතකට පසුවත් අපි තවමත් 'යුද්ධයේ භාෂාවෙන්' එකිනෙකා සමඟ කතා කරන්නේ ඇයි?
 
සාමය යනු එක් පාර්ශ්වයක මතකය ජයග්‍රහණය කිරීම නොවේ. එය අනෙක් පාර්ශ්වයේ මතකය මකා දැමීමද නොවේ. සාමය යනු අපගේ ඉතිහාසයේ වේදනාකාරී සියලු පැති කියවීමටත්, අපේම සමාජයේ කුල, පංති ඇතුලු නොයෙක් අසමානතා ඉදිරියේ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමටත්, දේශපාලකයන් අපේ බිය භාවිත කරන විට එය හඳුනාගැනීමටත්, ඊළඟ පරම්පරාවට 'වෛරය' වෙනුවට 'ආදරය' භාරදීමටත් අපට හැකි වීමයි.

එකම රටක එකම ඉතිහාසය පිළිබඳ මතක දෙකක් තිබිය හැකිය. එක් අයෙකුට වීරයෙකු වූ පුද්ගලයෙකු තවත් අයෙකුට වේදනාවේ සංකේතයක් විය හැකිය.

එක් අයෙකුට “Eelam” යනු තම මුතුන්මිත්තන්ගේ අනන්‍යතාවය විය හැකිය. තවත් අයෙකුට එය තම පවුලේ මරණය සහ බිය මතක් කරන වචනයක් විය හැකිය.

සාමය යනු මේ මතක දෙකෙන් එකක් මකා දැමීම නොවේ.

සාමය යනු ඒ මතක දෙකම තිබියදීත්, අපට එකිනෙකාගේ වේදනාවන් පිළිගනිමින් එකට ජීවත් වීමට හැකිවීමයි.

යුද්ධය අවසන් වූයේ 2009 දීය. නමුත් සාමය දිනන්න නම්, තවමත් අපට අපවම වෙනස් කරගනිමින් මේ ගමන යා යුතුය...


(සමනලී ෆොන්සේකා)
රංගන ශිල්පිනි - දේශපාලන ක්‍රියාකාරිනි

උපුටා ගැනීම | Samanalee Fonseka ගේ ෆේස්බුක් පිටුවෙන්


'ද ලීඩර්' සබැඳි ලිපියක් :

නෙට්ෆ්ලික්ස් හි බැබළෙන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සහ අනන්‍යතාව පිළිබඳව බරපතල සංවාදයක්:




 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...