The Leader News
BREAKING
Top Ad
Opinion

ඉන්දු-ලංකා වනජීවී හවුල්කාරිත්වයක කාලීන අවශ්‍යතාව | මිලින්ද මොරගොඩ

Awara

Awara

November 2, 2026 • 5:52 PM

ඉන්දු-ලංකා වනජීවී හවුල්කාරිත්වයක කාලීන අවශ්‍යතාව | මිලින්ද මොරගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මිලින්ද මොරගොඩ විසින් ඉන්දියාවේ 'ThePrint' වෙබ් අඩවියට ලියන ලද විශේෂාංග ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.
  • මෙහිදී පොදුවේ 'ඉන්දීය බයිසන්' (Indian bison) ලෙස හැඳින්වෙන 'ගවරා' (Gaur) ඒ සඳහා කදිම ආරම්භක ලක්ෂ්‍යයක් සපයයි.
  • බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමේ නාවිකයෙකු වූ රොබට් නොක්ස් 1681 දී ලියූ 'එදා හෙළදිව' (An Historical Relation of the Island Ceylon) කෘතියේ, මහනුවර රජු විසින් ඇතිදැඩි කරන ලද සතුන් අතර තමන් දුටු 'ගවරා' නම් සත්වයෙකු පිළිබඳව සඳහන් කර ඇත.
  • සංරක්ෂණය සහ සහජීවනය වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් කාවන්තිස්ස ඇතා මියයාම ශ්‍රී ලංකාව පුරා මහත් සංවේගයක් ඇති කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මිලින්ද මොරගොඩ විසින් ඉන්දියාවේ 'ThePrint' වෙබ් අඩවියට ලියන ලද විශේෂාංග ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ශක්තිමත් කරගැනීම සඳහා දෙරට සතු පොදු ඉතිහාසය, ආගමික සම්ප්‍රදායන් සහ උපායමාර්ගික භූගෝලීය පිහිටීම බොහෝ කලක සිට ඉවහල් වී තිබේ. එහෙත් සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ එක් වැදගත් ක්ෂේත්‍රයක් පවතී. ඒ දෙරට සතු ස්වභාවික උරුමයයි.

දෙරටම බෙදාහදා ගන්නේ සමාන වනජීවී සහ පාරිසරික තත්ත්වයන්ය. විද්‍යාත්මක ප්‍රවීණත්වය සහ පාරිසරික අභියෝග සඳහා වන ප්‍රායෝගික විසඳුම් මුසු කරමින් වනජීවී සංරක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගිතාවට නව මාවතක් විවර කරගත හැකිය.

මෙහිදී පොදුවේ 'ඉන්දීය බයිසන්' (Indian bison) ලෙස හැඳින්වෙන 'ගවරා' (Gaur) ඒ සඳහා කදිම ආරම්භක ලක්ෂ්‍යයක් සපයයි.

ලොව දැනට ජීවත්වන විශාලතම වනගව විශේෂය වන ගවරා අතීතයේදී ශ්‍රී ලංකාවේද වාසය කළ සතෙකි. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමේ නාවිකයෙකු වූ රොබට් නොක්ස් 1681 දී ලියූ 'එදා හෙළදිව' (An Historical Relation of the Island Ceylon) කෘතියේ, මහනුවර රජු විසින් ඇතිදැඩි කරන ලද සතුන් අතර තමන් දුටු 'ගවරා' නම් සත්වයෙකු පිළිබඳව සඳහන් කර ඇත. 'ගවරා' යන සිංහල නාමය අදටත් මෙරට ගවරගාන, ගවරගිරිය, ගවරම්මාන, ගවරවෙල සහ ගවරතැන්න වැනි ස්ථාන නාමයන්හි ඉතිරිව පවතී.


මෙම ඓතිහාසික හා භූගෝලීය සාධක, අතීතයේදී අපේ ස්වභාවික උරුමයේ කොටසක්ව පැවති සත්වයෙකු පිළිබඳව සිහිපත් කර දෙයි. කෙසේවෙතත්, පසුකාලීනව මෙම සත්වයා මෙරටින් වඳවී ගියේය.

එහෙත්, සුදුසු සත්වෝද්‍යාන පරිශ්‍රයක් වැනි පාලිත පසුබිමක් තුළින් හෝ මෙම අපූරු සත්වයා දැකබලා ගැනීමට යළිත් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් උදාකර දිය නොහැකිද? ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා වන පුළුල් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයකට එවැනි පියවරක් ආරම්භක ලක්ෂ්‍යයක් කරගත නොහැකිද?

සංරක්ෂණය සහ සහජීවනය

වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් කාවන්තිස්ස ඇතා මියයාම ශ්‍රී ලංකාව පුරා මහත් සංවේගයක් ඇති කළේය. මෙරට බෞද්ධ උරුමය තුළ අලි ඇතුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දිවයින පුරා විහාරස්ථාන පෙරහැරවලදී ධාතු කරඬුව වඩාහිඳුවා වැඩම කරවන්නේ තේජාන්විත හස්තීන්ය. විශේෂයෙන්ම ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේදී සධාතුක කරඬුව වඩාහිඳුවා ගෙන යනු ලබන්නේ සර්වාභරණයෙන් සැරසුණු මංගල හස්තිරාජයා විසිනි. එබැවින් අලියා යනු ශ්‍රී ලංකාවේ වනජීවී සම්පතේ කොටසක් පමණක් නොව, මෙරට ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයේද වැදගත් සංකේතයකි.

කෙසේවෙතත්, රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගය හුදෙක් එක් එක් සතුන් ආරක්ෂා කරගැනීමට පමණක් සීමා නොවේ. අලි-මිනිස් ගැටුම අඛණ්ඩව ජීවිත අහිමි කරමින් වගාබිම් විනාශ කර දමයි. එමෙන්ම රිළවුන්, වඳුරන්, මොනරුන් සහ ඉත්තෑවුන් වැනි සතුන් හේතුවෙන් දිවයින පුරා ගොවි ජනතාවට දැරීමට සිදුවන ආර්ථික හානිය සුළුපටු නොවේ. එබැවින් ජෛව විවිධත්වය සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනජීවිත සුරක්ෂිත කිරීමද අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳුණු අරමුණු ලෙස සැලකිය යුතුය.

ඉන්දියාවද මුහුණ දෙන්නේ මෙවැනිම අභියෝගයන්ටය. වාසස්ථාන කළමනාකරණය, වගාබිම් ආරක්ෂා කරගැනීම සහ මිනිසුන් හා වනජීවීන් අතර ගැටුම් අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව අත්දැකීම් හුවමාරු කරගැනීමෙන් දෙරටටම ප්‍රතිලාභ ලබාගත හැකිය.

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් පිළිබඳ සිදුවීමෙන් තවත් වැදගත් වගකීමක් පෙන්වා දෙයි. සත්ව සුබසාධන ගැටලු මත පදනම්ව 2023 දී තායිලන්තය විසින් 'සක් සුරින්' (ශ්‍රී ලංකාවේදී මුතුරාජා ලෙස හැඳින්වුණු) ඇතා ආපසු ගෙන්වා ගන්නා ලද අතර, තෑගි කළ අනෙකුත් අලි ඇතුන් පිළිබඳව පසුව ඇතිවූ සාකච්ඡා මගින්ද ජාත්‍යන්තර සත්ව හුවමාරුවලදී පැවරෙන වගකීම් සහ බැඳීම් මනාව පැහැදිලි විය.

රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවට සරිලන පරිදි සුදුසු පහසුකම්, පශු වෛද්‍ය රැකවරණය සහ අඛණ්ඩ වෘත්තීය කළමනාකරණයක් තිබිය යුතුය. මන්දයත්, මෙහිදී අවදානමට ලක්ව ඇත්තේ අපගේ හවුල් ස්වභාවික ඉතිහාසය සහ අනාගතයයි.

දැනට පවතින සහයෝගිතාව පදනම් කරගැනීම
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ සඳහා මුල සිටම ආරම්භ කළ යුතු නොවේ. 2023 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර බිග් කැට් සන්ධානයට (International Big Cat Alliance) ශ්‍රී ලංකාව එක්වීම, සංරක්ෂණ සහයෝගිතාව සඳහා දැනටමත් පවතින හොඳ වේදිකාවකි. එම සන්ධානය ප්‍රධාන බළල් විශේෂ හතක් සහ උන්ගේ වාසස්ථාන සංරක්ෂණය ප්‍රවර්ධනය කරන අතර, එමගින් විද්‍යාත්මක සහයෝගිතාව, දැනුම හුවමාරුව මෙන්ම වනජීවී රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහාද අවස්ථාවන් උදාකර දෙයි.
එමෙන්ම දක්ෂ හා උද්‍යෝගිමත් වනජීවී විශේෂඥයන්, පර්යේෂකයන්, පරිසරවේදීන් සහ සොබාදහමට ලැදි පිරිසක් ශ්‍රී ලංකාව සතුය. ස්ථාපිත සංරක්ෂණ සංවිධාන, විශ්වවිද්‍යාල සහ කැපවූ ස්වේච්ඡා ක්‍රියාකාරීන් මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා වටිනා පදනමක් සපයයි. ශ්‍රී ලංකාව යනු හුදෙක් ආධාර ලබන්නෙකු පමණක් නොව, වනජීවී ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් සැලකිය යුතු විශේෂඥ දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් දායක කළ හැකි රටකි.

මෙහිදී ගවරා ප්‍රායෝගික ඉදිරි පියවරක් විය හැකිය. ඉන්දීය සහ ශ්‍රී ලාංකික සත්වෝද්‍යාන බලධාරීන් හා සංරක්ෂණ ආයතන එක්ව සිදුකරන ශක්‍යතා අධ්‍යයනයක් මගින් සත්ව සුබසාධනය, පශු වෛද්‍ය ධාරිතාව, සුදුසු පහසුකම්, අභිජනන අවශ්‍යතා සහ දිගුකාලීන පිරිවැය තක්සේරු කළ යුතුය. සත්වෝද්‍යාන පරිසරයක නිරෝගී සත්ව ගහනයක් පවත්වාගෙන යාම සඳහා ජානමය විවිධත්වය රැකගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

එම සොයාගැනීම් හිතකර වන්නේ නම්, සංරක්ෂණ ප්‍රමුඛතා සහ නියාමන අනුමැතීන්ට යටත්ව ඉන්දියාවෙන් සතුන්, තාක්ෂණික විශේෂඥ දැනුම හෝ වෙනත් සහාය ලබාගත හැකිදැයි දෙරජයට ගවේෂණය කළ හැකිය. වෘත්තීය ඇගයීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ඒ සඳහා වඩාත් සුදුසු සත්වෝද්‍යාන ආයතනයක් තෝරාගත හැක.
මෙහි ක්ෂණික අරමුණ විය යුත්තේ සංරක්ෂණය, පර්යේෂණ සහ අධ්‍යාපනය සඳහා දායක වන, නිසි පරිදි කළමනාකරණය කළ සත්ව රැඳවුමක් පවත්වා ගැනීමයි. මෙය ගවරා වනයට මුදාහැරීමෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත යුතුය. මන්දයත් උන් වනයට මුදාහැරීම මගින් වඩාත් සංකීර්ණ පාරිසරික සහ මිනිස් ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බැවිනි. වඩාත් ස්වභාවික එහෙත් ආවරණය වූ පරිසරයක රඳවා තැබීම පිළිබඳ ඕනෑම අනාගත තීරණයක් වෙනම ඇගයීමකට ලක්කළ යුතු අතර, වනයට මුදාහැරීම පෙරනිමි අවසන් අරමුණක් ලෙස නොසැලකිය යුතුය.
එක් සත්වයෙකුගෙන් ඇරඹෙන පුළුල් හවුල්කාරිත්වය

ඒකාබද්ධ පර්යේෂණ, වෘත්තීය හුවමාරු, පශු වෛද්‍ය සහයෝගිතාව සහ මිනිස්-වනජීවී ගැටුම් අවම කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔස්සේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට මෙම ආරම්භය තවදුරටත් පුළුල් කළ හැකිය.

වනජීවී දෙපාර්තමේන්තු, සත්වෝද්‍යාන ආයතන, විශ්වවිද්‍යාල සහ සංරක්ෂණ සංවිධාන ඇතුළත් ක්‍රියාකාරී කණ්ඩායමක් මගින් ව්‍යාපෘති හඳුනාගැනීම, වගකීම් පැවරීම සහ ප්‍රතිඵල ඇගයීම සිදුකළ හැක.

මෙහිදී අවධානය යොමුකළ යුත්තේ අවිචාරවත් සත්ව හුවමාරුවකට හෝ අනවශ්‍ය ආයතන බිහිකිරීමට වඩා මැනිය හැකි ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ, නිසි ආරක්ෂණ විධිවිධාන සහ දිගුකාලීන කළමනාකරණය කෙරෙහිය. ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගෙනදෙන නිහතමානී වැඩසටහනක් ඒ සඳහා විශ්වාසනීය ආරම්භයක් වනු ඇත.

ඉන්දු-ලංකා සබඳතා ආර්ථික සහයෝගිතාව, ආරක්ෂාව, වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ සබඳතා ජාලයන් මගින් හැඩගැසුණු බහුවිධ ස්වරූපයක් ගනී. එහෙත් පරිණත ද්විපාර්ශ්වික සබඳතාවකට, පොදු අවශ්‍යතා වටා ආයතන සහ ප්‍රජාවන් ඒකරාශී කරන මෙවැනි වැඩසටහන් ද ඇතුළත් කරගත හැකිය.

ගවරා යනු ඒ සඳහා කදිම ආරම්භයකි. පාලිත, සුදුසු සත්වෝද්‍යාන පසුබිමක් තුළ ඌ නැවත මෙරටට ගෙන ඒම මගින්, දිවයිනේ අමතකව ගිය ස්වභාවික ඉතිහාසයේ වැදගත් කොටසක් වර්තමානය සමග යළි යාකිරීමට හැකිවනු ඇත. මෙය ප්‍රායෝගිකව කළ හැකිද යන්න තීරණය කළ යුත්තේ හුදු රාජ්‍ය තාන්ත්‍රික උද්‍යෝගය මත පමණක් නොව, වනජීවී සංරක්ෂණ වෘත්තිකයන්ගේ ඇගයීම් මතය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය සබඳතා ශක්තිමත් කරගැනීමට පොදු ඉතිහාසය දිගු කලක් තිස්සේ යොදාගෙන තිබේ. දැන් දෙරටටම සිය සබඳතාවල මීළඟ පරිච්ඡේදය ගොඩනැගීම සඳහා පොදු ස්වභාවික උරුමය උපයෝගී කරගත හැකිය.


මිලින්ද මොරගොඩ : උපායමාර්ගික කටයුතු පිළිබඳ චින්තන පර්ෂදයක් වන පාත්ෆයින්ඩර් පදනමේ (Pathfinder Foundation) නිර්මාතෘවරයායි. 

Twitter: @MilindaMoragoda | විද්‍යුත් තැපෑල: email@milinda.org | ThePrint වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි)


මුලාශ්‍රය :
Why India and Sri Lanka need a wildlife partnership
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...