දෙමළ දේශපාලනයේ පැරණිම පක්ෂ දෙකෙන් එකක් වන ඉලන්කෙයි තමිල් අරසු කච්චි (ITAK) සඳහා

ඉකුත් ජනවාරි 23 වන දින ත්‍රිකුණාමලයෙහි පැවති පක්ෂ නියෝජිත සමුළුවේදී යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්රී සිවඥානම් ශ්‍රීධරන් නව සභාපති ලෙස බහුතර ඡන්දයෙන් පත්කර ගනු ලැබිණ.

 


නව සභාපති ලෙස ඔහු ත්‍රීකුණාමලයේ කෝනේස්වරම් කෝවිලට ගොසින් අනතුරුව මිය ගිය විරුවන්ට ඔහුගේ ගෞරවය පුද කරනු පිණිස කිලිනොච්චියේ කනකපුරම්හි මහවිරු සුසාන භූමියට ගියේය. එහිදී ඔහු කියුවේ යැයි වාර්තා වූයේ, තම උපන් බිම ලෙස ඒකාබද්ධ කෙරුණු උතුරු-නැගෙනහිර දෙපළාතෙහි ඊළාම් දෙමළ ජනතාවගේ එක්සත්කම වෙනුවෙන් ඔහු පෙනී සිටින අතර, ෆෙඩරල් (සන්ධීය) ආණ්ඩු පාලනයක් දිනා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාවට නායකත්වය දෙන බවය. එවගේම සන්නද්ධ දෙමළ දේශපාලනයකට ඉඩ නොතබන බවටද ඔහු සහතිකවී තිබිණ.

 SRIDHARAN 750x375

ගෞරවය පුද කරනු පිණිස කිලිනොච්චියේ කනකපුරම්හි මහවිරු සුසාන භූමියට

ඊළාම්වාදී “දැඩි මතධාරියෙකු” යනු....

 

ඒ සැණෙන් ඔහු ඊළාම්වාදී “දැඩි මතධාරියෙකු” ලෙස නම් කරනු ලැබිණ. සිංහල-බෞද්ධ සමාජය අමතන දකුණේ දේශපාලනඥයින්ගේ වාග් මාලාව වාගේම, ඔහුගේ කතාවලද දෙමළ ගැලරියේ ආස්වාදය හා අත්පොළසන් වෙනුවෙන් ජනප්‍රිය ඊළාම්වාදී ප්‍රකාශ තිබිණ. ඔහු ඊළාම්වාදී “දැඩි මතධාරියෙකු” යැයි නම් කිරීමට කොළඹ හා විදේශ මාධ්‍ය වහා අහුලා ගනු ලැබ ඇත්තේ එවැනි ජනප්‍රිය වදන් ය.

ඒ සමග ඔහුට ඊළාම් පෙනුමක් ලබා දීම සඳහා උතුරේ හා වන්නිකරයේ භක්තිවන්ත පිළිගැනුමක් තිබූ එල්.ටී.ටී.ඊයේ සටන්කාමී නායකයෙකු වූ තීපන්ගේ සොයුරිය ශ්‍රීධරන්ගේ බිරිඳ යැයි සඳහන් කරන්නටද මාධ්‍ය අමතක නොකළේය.

sritharan mp 1 removebg preview 1
එවැනි පින්තාරු කිරීම් සමග ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට නොකඩවා තෙවරක්ම ITAK නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් තේරී පත් වූ බව අමතක කර ඇත. එවගේම දේශපාලන සංවිධානයක් වන ITAK හි නායකත්වයට පත් වන්නට තරම් එහි පිරිස් අතර ඔහු විශ්වාසයක් හා ජනප්‍රියත්වයක් ලබා ඇතැයිද අමතක කර ඇත.

අවාසනාව වන්නේ 2015 ජනවාරියේ සිට 2019 අවසානය දක්වා අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග සුව පහසු පැවැත්මක් හදාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයෙහි නායකයින් කිහිප දෙනෙකුද ශ්‍රීධරන් සම්බන්ධයෙන් එවැනිම නිශේධාත්මක අදහස් දැරීමය.  


 යුද්ධය අවසන්වී අවුරුදු 14 ට පසු ප්‍රජාතන්ත්රවාදී දෙමළ ජාතික දේශපාලනයෙහි “දැඩි මතධාරී” යැයි කියන්නේ නැතිනම් එසේ හඳුන්වනු ලබන්නේ කවර දේශපාලනයක්ද? එය පහසුවෙන් පැහැදිලි කළ හැක්කේ දකුණේ පාර්ලිමේන්තුවාදී සිංහල දේශපාලනයේ අන්තවාදයට ප්‍රතිවිරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලනය හඳුන්වන්නට “දැඩි මතධාරී” ලේබලය අලවන්නේ යැයි කීමෙනි. වඩා පැහැදිලිව කියන්නේ නම්, දකුණේ චම්පිකලා, ගම්මන්පිලලා, වීරසේකරලාගේ දෙමළ සගයින් “දැඩි මතධාරී” ය. 

උතුරේ හා නැගෙනහිර 'කළු නිදහස් දින' සැමරුම් - යාපනය සරසවි සිසුන් 04ක්  අත්අඩංගුවට

'කළු නිදහස් දින' සැමරුම නමින් විරෝධතාවයක (2024/02/04)

එහෙත් ශ්‍රීධරන්ගේ යම් වෙනසක්ද ඇත. ඔහු සිය “දැඩි මතධාරී” වාග් මාලා අතර ප්‍රායෝගික දේශපාලනයක් වෙනුවෙන් සම්මුති ගැසීම සඳහා ෆෙඩරල් නැතිනම් සන්ධීය පාලන ක්‍රමයක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව කීමට අමතක නොකරන්නේය. එවගේම නැවත සන්නද්ධ දේශපාලනයකට ඉඩ නොතබන බවටද සහතික වන්නේය.

ෆෙඩරල් කතා “දැඩි මතධාරී” වන්නේ කෙසේද?

 

දැන් ප්‍රශ්නය වන්නේ ෆෙඩරල් කතාව “දැඩි මතධාරී” ස්ථාවරයක් වන්නේ කෙසේද යන්න ය. ඒ තනි කට්ටිවාදී හේතුවක් නිසාවෙනි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වූ ITAK හි නායක සම්පන්තන් හා සුමන්තිරන් දෙපළ ඔවුන් 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නිල වශයෙන් ඉදිරිපත් කළ ෆෙඩරල් විසඳුම, අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග සුව පහසු පැවැත්මක් හදා ගැනීම වෙනුවෙන් අත හැර දැමීමය.

එජාපය TNA සමග ගනුදෙනු අත්හිටුවීමේ තින්දුවක!


2015 මැතිවරණයේදී “තනි, නොබෙදුණු හා නොබෙදිය හැකි ඒකීය රටක්” වෙනුවෙන් යැයි සම්පන්තන් ඉදිරිපත් කළ ෆෙඩරල් නැතිනම් සන්ධීය පාලන විසඳුම ආණ්ඩුව සමග කේවල් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් උපරිමයක් පාර්ලිමේන්තුවට පත් කරන මෙන් සම්පන්තන් උතුරු-නැගෙනහිර ජනතාවගෙන් කළ ඉල්ලීමද අමතක කරමින් ඔවුහු වික්‍රමසිංහ ආණ්ඩුවේ පහසුව වෙනුවෙන් ෆෙඩරල් ඉල්ලීම අත් හැරියහ.

වාර්ගික ගැටුම් ඇවිලවීමේ අරමුණින්' නැගෙනහිර ඉඩම් කොල්ලයක්

බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගැනීම්වලට එරෙහිව විරෝධතා

වෙනකක් තබා වික්‍රමසිංහ ආණ්ඩුව අපහසුතාවයට පත්වේ යැයි බලහත්කාර අතුරුදන්වීම්, බලහත්කාර ඉඩම් අත්පත්කර ගැනීම්, ආරක්ෂක හමුදා අනුග්‍රහය ඇතිව සිංහල ජනාවාස පිහිටුවීම යනාදියට එරෙහිව උතුරේ හා නැගෙනහිර ජනතාව මාස ගණන් අවුරුදු ගණන් නොකඩවා දියත් කළ උද්ඝෝෂණ කිසිවක අහළකටවත් මේ නායකයෝ නොගියහ.

 

අතුරුදහන් ළමයි හොයා නොදෙන ආණ්ඩුව හෙලා දැකීමට දෙමළ අම්මලා කොළඹ

උතුරු නැගෙනහිර දෙමළ මව්වරුන් ගෙන යන අඛණ්ඩ විරෝධතාවය

 

ඒ වෙනුවට ඔවුහු අගමැති වික්‍රමසිංහ පොරොන්දු වූ නව ව්‍යවස්ථාව ඇසුරෙන් දෙමළ ජනතාවගේ සියලු ගැටළු විසඳන බවට මෙරටදී පමණක් නොව, විදේශයන්හීද කියන්නට වූහ. එනිසා ෆෙඩරල් ඉල්ලීම අන්තවාදී, දැඩි මතධාරී ඉල්ලීමක් ලෙස අර්ථ ගැන්වෙන්නට විය. එහෙත් අගමැති වික්‍රමසිංහගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසි දිනක එළි දකින්නක් නොවේ යැයි මා ලියූවේ 2016 ඔක්තෝම්බර 01 වන දින මගේ බ්ලොග් අඩවියේ පළ කළ ලිපියක ය. එහි දළ සිංහල පරිවර්තනය මෙවැන්නකි.


“...... වඩාත් බරපතල කාරණාව නම් මේ ආණ්ඩුවට (එවක වික්‍රමසිංහ ආණ්ඩුවට) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කිරීමේ හැකියාවක් නොමැතිවීමය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්වෙහි 2/3 ක බහුතර ඡන්දයක් තිබිය යුතුය. එය දැන් මේ ආණ්ඩුවට ඇත්තේ නැත. අනතුරුව එය ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. මේ ආණ්ඩුවට එවැන්නකට මුහුණදීමේ ශක්තියක් විශ්වාසයක්ද නැත.”          

නැවත මුණගැසෙන ජාතික ප්‍රශ්නයේ මංසන්ධිය - (සුමිත් චාමින්ද)

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 16 සිට 10 ට අඩු විය

 

එවැන්නක් පිළිගැනීමට සූදානම් නොවුනු දෙමළ ජාතික සන්ධානයේ සම්පන්තන් - සුමන්තිරන් ITAK නායකත්වය, වික්‍රමසිංහ ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනය කිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට ඉතිරි කෙරුවේ මැතිවරණ විනාශයකි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා ගත් ලක්ෂ 05 ට අධික ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ 02 ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අවුරුදු 04 කින් ඔවුහු දෙමළ ජාතික සන්ධානයට අහිමි කළහ. එළෙසින් අහිමි කළ ඡන්ද සමග 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 16 සිට 10 ට අඩු විය.

ලංකාවේ හා ශ්‍රී ලංකාවේ ෆෙඩරල් කතා

 

ආණ්ඩු කරන්නේ 'රාජ්‍ය' පැහැරගත් ත්‍රිමූර්තියක් - (කුසල් පෙරේරා)

ෆෙඩරල් ආණ්ඩු පාලනයක් ගැන පළමුව කතා කෙරුවේ බණ්ඩාරනායක ය

 

ලාංකීය දේශපාලනයෙහි ෆෙඩරල් යෝජනාව අලුත් දෙයක් නොවේ. ෆෙඩරල් ආණ්ඩු පාලනයක් ගැන පළමුව කතා කෙරුවේ බණ්ඩාරනායක ය. “සිලෝන් මෝනිං ලීඩ” පුවත් පතට ඔහු 1926 දී ෆෙඩරල් පාලනයක් ගැන ලිපි පෙළක් ලියුවේය. ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් එසේ පෙනී සිටි බණ්ඩාරනායක 1935 දී සිංහල මහ සභාව පිහිටුවන විට එය අත හැර තිබුණි. එහෙත් උඩරට ජාතික සභාව 1930 දී ඩොනොමොර් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ෆෙඩරල් පාලන යෝජනාව ඉදිරිපත් කර තිබුණි. ලන්ඩනයේ යටත් විජිත කාර්යාලීය වාර්තා වලට අනුව, “ඩොනොමොර් කොමිසම හමුවට පැමිණි උඩරට ජාතික සභාව යෝජනා කෙරුවේ, මධ්‍යම ෆෙඩරල් ආණ්ඩුවක් යටතේ ලංකාව ස්වයං පාලන ප්‍රාන්ත 03 ට බෙදා පාලනය කළ යුතුයැයි කියා ය.” එකල දෙමළ නායකයින් සැවොම ෆෙඩරල් පාලනයක් ප්‍රතික්ෂේප කළහ. ඔවුන් ඉල්ලා සිටියේ සියල්ලන් සමානයින් ලෙස සැළකෙන “ඒකීය” රාජ්‍යයකි.


නිදහසින් පසු ලාංකීය රාජ්‍ය “ඒකීය” වූ නමුත් සියල්ලන්ට එකසේ සැළකීමක් එහි නොවුනි. වැවිලිකරයේ 08 ලක්ෂයකගේ පුරවැසි හා ඡන්ද අයිතිය 1948 දෙසැම්බර වන විට අහෝසි කිරීමට අමතරව, නැගෙනහිර ජන සංයුතිය සිංහල නියෝජනයක් සඳහා වාසි වන අයුරු වෙනස් කිරීමේ ජනාවාසද පිහිටුවන විට, දෙමළ දේශපාලන නායකයින් අතර ඒකීය රාජ්‍ය බලපතල ප්‍රශ්නයක් වන්නට විය. සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් වෙන්වී 1949 දී ඉලන්කෙයි තමිල් අරසු කච්චි (ITAK) පිහිටුවා ගත් චෙල්වනායගම්, නාගනාදන් සහ වන්නියසිංහම් නායකත්වය, 1951 දී නිල වශයෙන් ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් යෝජනා සම්මත කර ගත්හ. “ෆෙඩරල් පක්ෂය” ලෙසින් ITAK ප්‍රසිද්ධ වූයේ එබැවිනි.    

images

චෙල්වනායගම්, නාගනාදන් සහ වන්නියසිංහම් නායකත්වය, 1951 දී නිල වශයෙන් ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් යෝජනා සම්මත කර ගත්හ

 

ලාංකීය ඉතිහාසයේ ෆෙඩරල් කතාව එවැනි ය. ඉන්පසු සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ මෙතෙක් ඉතිහාසයෙහි සිංහල දකුණේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම දෙමළ ජාතික ගැටළුව වෙනුවෙන් ෆෙඩරල් පන්නයේ විසඳුමක් පිළිගෙන ඇත.

අගමැති වික්‍රමසිංහගේ එ.ජා.ප ආණ්ඩුව 2002 පෙබරවාරියේ එල්.ටී.ටී.ඊය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර නියෝජනයක් සහිතව නියාමනය කෙරුණු අතර ඒ සමගින් නෝර්වේජියානු රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාණ්ඩුව හා එල්.ටී.ටී.ඊය අතර වූ සාකච්ඡා පෙළෙහි තෙවැන්න පැවතියේ 2002 නොවැම්බර 02 සිට 05 දක්වා ඔස්ලෝ නුවරදී ය. එහිදී නෝර්වේජියානු ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ විඩාර් හෙල්ගෙසෙන් එම සාකච්ඡා අවසානයේ මාධ්‍ය හමුව අමතා “.... දෙමළ බස කතා කරන ජනතාවගේ ඓතිහාසික වාසභූමියෙහි අභ්‍යන්තර ස්වයංනිර්ණ අයිතිය වන මූලධර්මය මත පිහිටා එක්සත් ශ්‍රී ලංකාවක් සඳහාවන දේශපාලන විසඳුමක් වෙනුවෙන් ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයක් සම්බන්ධව තව දුරටත් අධ්‍යනය කිරීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණියේ යැයි” ප්‍රකාශ කරනු ලැබුවේය.

එම මාධ්‍ය හමුව ඇමතු ශ්‍රී ලංකාණ්ඩුවේ ප්‍රධාන නියෝජිත වූ ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් කියුවේ “.... ඉතිං අපි ෆෙඩරල් විසඳුමක් ගැන කතා කරමු. එය වෙන්වීමක් නොවේ. එය සහසන්ධීය රාජ්‍යයක් නොවේ..... එය සන්ධීය ආකෘතියකි” යැයි කියා ය.

 

downloadඔස්ලෝ ප්‍රකාශය

එම එකඟතාව හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාණ්ඩුව සහ දැන් නොමැති එල්.ටී.ටී.ඊය අතර එදා 2002 නොවැම්බර 05 වන දින අත්සන් තැබුණු “ඔස්ලෝ ප්‍රකාශය” යනුවෙනි.


දෙවැන්න ශ්‍රී .ල.නි.ප ප්‍රමුඛ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ හවුල් ආණ්ඩුවේ “දේශීය විසඳුමය”. ෆෙඩරල්, අභ්‍යන්තර ස්වයංනිර්ණ අයිතිය, ඓතිහාසික වාසභූමි සහ සම්පන්තන්ගේ ජනප්‍රිය පැහැදිලි කිරීම වන “තනි, නොබෙදුණු හා නොබෙදිය හැකි ඒකීය රටක්” වැනි වාග් පෙරැළි කිසිත් නොමැතිව, ආකෘතික වශයෙන් සන්ධීය රාජ්‍ය ව්‍යුහයකට අදාලව ඉදිරිපත් කෙරෙන ඉතා පුළුල් නිර්මාණාත්මක දේශපාලන විසඳුම ය. දෙමළ දේශපාලනයට ඔවුන්ගේ වාග් මාලාවට අවුලක් නොමැතිව ඇතුළුකර ගත හැකි මේ එකඟතාව හඳුන්වනු ලබන්නේ “සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව” ලෙසිනි.

සියල්ල ලද මිනිසාට දෙන්නේ මොනවාද! - (එරන්ද ගිනිගේ)

ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුණේ “ජාතික ප්‍රශ්නය විසඳීමේ පුළුල් නව දේශීය ප්‍රවේශයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයැයි ” කියා ය

 

සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ පළමු සැසි වාරය පැවති 2006 ජූලියේ එය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුණේ “ජාතික ප්‍රශ්නය විසඳීමේ පුළුල් නව දේශීය ප්‍රවේශයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයැයි ” කියා ය. එවගේම එහිදී ඔහු කියා තිබුණේ ඔහු පෙනී සිටින්නේ “සියලු පුරවැසියනට වෙනසකින් තොරව ලබා දිය යුතු බලය උපරිම වශයෙන් ශක්තිමත් කිරීමකට” බවය. “මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත අතර බලය බෙදා ගැනීමේදී රජය නොබෙදුණු හා ඒකාබද්ධ ව්‍යුහයක් ලෙස සංවිධානය විය යුතු යැයි” මෙතෙක් දකුණේ දැඩි මතවාදී සිංහල-බෞද්ධ දේශපාලන පක්ෂ පිළිගනු ලැබූ පළමු අවස්ථාව මෙම සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාව වන්නේය.

 
ෆෙඩරල් කියන්නේ ඇත්තටම මොකද්ද?

 
ෆෙඩරල් යනු විශාල පරාසයක් තුල අර්ථ ගැන්වෙන්නකි. ෆෙඩරල් පාලන ඉන්දියානු හා පකිස්තානු ආකෘතිවල සිට ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බෙල්ජියම ඔස්සේ කැනඩාව, ඔස්ට්‍රේලියාව පසුකර බ්‍රසීලයටද පැමිණෙන්නකි. ඒ අතර රජවරුන් යටතේ පවතින ඒකාබද්ධ අරාබි රාජ්‍ය  07 ක් වන එක්සත් අරාබි එමීර් රාජ්යයද ෆෙඩරල් රාජ්‍යයක් ලෙස ගණන් ගැනෙන්නේ ය.
 
සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාව විසින් ඉදිරිපත් කෙරෙන යෝජනාවලියෙන් 13 වන සංශෝධනය සහමුලින් ඉවත්කර ඇත. බලය බෙදීමේදී භූගෝලීය හා භාෂාමය පදනම් දෙක යොදා ගන්නා බෙල්ජියානු ෆෙඩරල් ආකෘතියේ ඇසුර ඔවුන් ලබා ඇති බවක් දැකිය හැකිය. ඒ අනුව සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාවෙහි “ප්‍රජා මණ්ඩල” පිහිටුවීම ගැන සඳහන් වන්නේ, “භූගෝලීය යොමුවක් නොමැති, උතුරු-නැගෙනහිර පළාත් දෙකෙන් බැහැරව ශ්‍රී ලංකාවේ කොතැනක හෝ වාසය කරන මුස්ලිම් හා ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රාජාවන්ගේ දියුණුව වෙනුවෙන් ප්‍රජා මණ්ඩල දෙකක් උතුරු-නැගෙනහිර පළාත් සඳහා අදාල නොවන ලෙස ස්ථාපිත කරනු ලැබේ” යැයි යනුවෙනි.

මේ වනවිට ෆෙඩරල් සම්බන්ධයෙන් දකුණේ දේශපාලන නායකයින්ට අවුලක් තිබිය නොහැක. ඔවුන්ගේ ආණ්ඩුව 2002 නොවැම්බරයේදී අත්සන් කළ ඔස්ලෝ ගිවිසුම එ.ජා.පය විසින් ප්‍රතික්ෂේප කර නැත. එනිසා එය තවමත් ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වන්නේය. සැසි වාර 128 ට පසු සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාවට 2010 ජුනි මාසයේ අත්සන් තැබූ කිසිවකු එය ප්‍රතික්ෂේප කර නැත. එනිසා දකුණේ සියලු පක්ෂ ෆෙඩරල් විසඳුමකට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවී හමාරය.

ශ්‍රීධරන්ට වැඩේ දැන් පහසුයි
 
sri
 
දැන් ශ්‍රීධරන්ට ඊළාම්වාදී හෝ දැඩි මතධාරී යැයි ලේබල් ගැසිය යුතු නැත. දැන් ඇත්තේ ඔහු කියන අයුරු ෆෙඩරල් විසඳුමෙහි දිග පළල ගැන සාකච්ඡා කිරීම පමණි. එනිසා දැන් වැදගත් වන්නේ ඔහු සිය දේශපාලනය ස්ථානගත කර ගන්නේ කෙසේද යන්නෙහිය.
 
ඔහු ITAK නායකයා වූයේ ජනාධිපති මැතිවරණයක් ලබන සැප්තැම්බරයට හෝ ඔක්තෝම්බරයට නියමිතව ඇති වසරකය. එනිසා මා දකින අයුරු ඔහුට ඇත්තේ එක තේරීමකි. ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂක නොපමාව නම් කර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් වහා ආරම්භ කිරීමය. මෙවර මැතිවරණ ව්‍යාපාරයෙහි යොමුව විය යුත්තේ සිංහල ඡන්දදායකයා ඇමතීමය. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාව පමණි. ඊට හේතුව සරළ ය. දකුණේ දැඩි මතධාරී සිංහල-බෞද්ධ දේශපාලන නායකයින්වන චම්පික, ගම්මන්පිල, දිනේශ් සහ ශ්‍රී .ල.නි.ප වැනි සියල්ලන් එහි පංගුකාරයින් වන නිසා ය. වැදගත්ම කාරණය නම් එහි නිර්මාතෘ වන එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පොහොට්ටුවේ ජනප්‍රිය දේශපාලන නායකත්වය වීමය.

ෆෙඩරල් කතාව දකුණට ගෙනෙන්නට දෙමළ ජාතික සන්ධානයට සහ ITAK නව නායක ශ්‍රීධරන්ට ඊට වැඩි කිසිවක් අවශ්ය වන්නේ නැත.    

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 පෙබරවාරි 02

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්