මැතිවරණ ව්‍යාපාරයක් යනු රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ඉතා වැදගත් මොහොතක් වනවා පමණක් නොවේ. එය සමාජයක දේශපාලන සංස්කෘතියේත් සමාජ සාධකවලත් පවත්නා පසුගාමී සහ ප්‍රතිගාමී මතවාද

වලටත්, මතුවීමට අවශ්‍ය දොරටුද විවෘත කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය එවැන්නකි.

මෙම පසුගාමීත්වයේ මතවාදී සහ දේශපාලන දොරටු විවෘත කිරීමේ කාර්යය ඉතා ආඩම්බරයෙන් කරන බව පෙනෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, නැතහොත් පොහොට්ටු පක්ෂයේ, නායකයන්ය. අවුරුදු පනහක් පමණ පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදී සිටියත්, මෙම නායකයන්ට තමන්ගේ සමාජ සහ දේශපාලන අවබෝධයේ ඇති පසුගාමීත්වය ගැන කිසිදු අවබෝධයක් තිබෙන බව නොපෙනේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් භාවිත කරන පසුගාමී සමාජ මතවාද දෙකක් නම් වර්ගවාදය සහ ස්ත්‍රී ද්වේෂයයි.
''පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් 'පොහොට්ටුව' භාවිත කරන පසුගාමී සමාජ මතවාද දෙකක් නම් වර්ගවාදය සහ ස්ත්‍රී ද්වේෂයයි.''
මෙම වර්ගවාදය භාවිත කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ සිටින මුස්ලිම් සුළුතර ප්‍රජාවට විරුද්ධවය. දෙමළ සුළුතර දේශපාලන පක්ෂත් එම වර්ගවාදී ප්‍රහාරයන්ට වරින් වර යොමුවෙති.

මේ අතර ස්ත්‍රී ද්වේෂය දේශපාලන නායකත්වයේ සිට පහළ මට්ටම දක්වා පැතිරෙන, අප රටේ පිරිමි දේශපාලනඥයන් අතර ජනප්‍රිය මැතිවරණ ආයුධයක්ද වෙයි.
ලංකාවේ දේශපාලනයේ ඇති එක් යහපත් ලක්ෂණයක්..

අප ආරම්භයේදීම පිළිගත යුතු කරුණක් නම් වර්ගවාදය සහ ස්ත්‍රී ද්වේෂය සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ දේශපාලන ආයුධයක් ලෙස වර්තමානයේ භාවිත නොකරන බවයි. 

මෑත කාලයේ ලංකාවේ දේශපාලනයේ ඇති එක් යහපත් ලක්ෂණයක් නම්, එජාපය සහ ජවිපෙ මෙන්ම ද්‍රවිඩ එක්සත් පෙරමුණ විපක්ෂයෙනුත්, මෑත කාලයේ එජාපයෙන් කැපී ගොස් අලුතෙන් පිහිටුවා ගෙන තිබෙන සමඟි ජන බලවේගයේත් නායකත්වයත් වර්ගවාදය සහ ස්ත්‍රී – ද්වේෂය අත්හැර දමා තිබෙන බවයි. 

Gota basil 2020.08.01                                     වර්ගවාදය සහ ස්ත්‍රී ද්වේෂය අවියක් කරගෙන සිටින නායකත්වයක්..

ශ්‍රීලනිපය එම යහපත් ලක්ෂණය වැලඳ ගත්තේ 1994-2004 යන අවුරුදු දහය තුළය. අද වර්ගවාදය සහ ස්ත්‍රී ද්වේෂය මැතිවරණ දේශපාලන අවියක් කරගෙන සිටින නායකත්වයක් තිබෙන්නේ ශ්‍රීලනිපයෙන් කැඩී වෙන්වී 2018දී පිහිටුවා ගන්නා ලද පොහොට්ටු පක්ෂයේය.

මේ පිළිබඳව පොහොට්ටු පක්ෂයට සම්බන්ධ උගතුන් සහ වියතුන් අතර ස්වයං-විවේචනාත්මක සාකච්ඡාවක් ඇතිවී ඇති බවක් නොපෙනේ. දේශපාලන “ගේම්” දීමේදී ඕනෑම පසුගාමී දේශපාලන මතවාදයන් මෙන්ම උපක්‍රමයත්, තමන්ට පමණක් වාසියක් ලැබෙන තාක් කල් සාධාරණ සහ සුජාත ඒවා බව එම උගතුන් විශ්වාස කරනවා විය හැකිය.
ස්ත්‍රී ද්වේෂය යනු කුමක්ද?

ස්ත්‍රී ද්වේෂය යනු Sexism යන තරමක් සරල ඉංග්‍රීසි වචනයෙන්ද ප්‍රකාශ වන සමාජ මතවාදයකි. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා මලලසේකර ශබ්දකෝෂයට Sexism යන වචනයට හඳුන්වා දී ඇති සිංහල වචනය නම් “කාන්තාරෝෂය” යන්නයි. එම වචනයට එම ශබ්දකෝෂයේම දී ඇති නිවැරදි සරල අර්ථය නම් “ස්ත්‍රීභාවය නිසා කතුන් හෙළා දැකීම” යන්නයි. 

Sexism යන ඉංග්‍රීසි වචනයට ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ දී ඇති අර්ථකථනය නම් “මනුෂ්‍යයන්ට, විශේෂයෙන් ස්ත්‍රීන්ට, තමන්ගේ ලිංගික නිසා අසාධාරණ ලෙස සැලකීම සහ එයට හේතුවන ආකල්පය” යනුවෙනි. මේ අනුව, ස්ත්‍රී ද්වේෂය/රෝෂය, ක්‍රියාවන් මෙන්ම ආකල්පයන්ද වෙයි.

Sexism යන ඉංග්‍රීසි වචනයට ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ දී ඇති අර්ථකථනය නම් “මනුෂ්‍යයන්ට, විශේෂයෙන් ස්ත්‍රීන්ට, තමන්ගේ ලිංගික නිසා අසාධාරණ ලෙස සැලකීම සහ එයට හේතුවන ආකල්පය” යනුවෙනි.

Sexism යන ඉංග්‍රීසි වචනයත් බොහෝ රටවල එහි ස්වභාෂාමය ස්වරූපත්, ශබ්ද කෝෂවලට ඇතුළත් වූයේ 1970 ගණන්වලින් පසුවයි. එහෙත් සමාජ භාවිතයක් සහ ආකල්පයක්ද මතවාදයක්ද වශයෙන් එය, පීතෘ මූලික සමාජ ඉතිහාසය පුරාම පැතිර තිබේ. 

එහෙත් මනුෂ්‍ය වර්ගයා ශිෂ්ටාචාරයට පත්වීම නිසාත්, සංස්කෘතික දියුණුවීම් අත්පත් කරගත් නිසාත් ස්ත්‍රී රෝෂය අඩුවක් වී නැත. සෑම සමාජ ක්‍රමයකම ස්ත්‍රී රෝෂයෙන් සිදුවී තිබෙන්නේත්, සිදුවන්නේත්, ස්ත්‍රීන් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව පදනම් කොටගෙන අවමානයට, අපහාසයට, වෙනස්කම් කරනු ලැබීමට, නින්දා කරනු ලැබීමට, අසාධාරණයන්ට ලක් කරනු ලැබීමට පාත්‍ර කිරීමයි. 

එසේ කිරීම සාධාරණ, ස්වාභාවික, ලැජ්ජා විය යුතු නැති සහ සමහරවිට නම්බුකාර මෙන්ම තමන්ට ‘ඡන්දයද ගෙන දෙන භාවිතයක් ලෙස පිරිමින් සලකන්නේ එම භාවිතය සමාජ මතවාදයක්ද වී ඇති නිසාය.

මේ අතර Sexism යන ඉංග්‍රීසි වචනයේ අර්ථය දැන් 1970 ගණන්වලදී මුලදී තිබුණාට වඩා පුළුල් වී තිබෙන බවද අප මේ සාකච්ඡාවේදී සටහන් කරගත යුතුය. එහි ආරම්භක අර්ථය ගොඩනගන ලද්දේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් වුවත්, දැන් එය ‘ලිංගිකත්ව රෝෂය/ද්වේෂය’ යන අර්ථය ලබා ඇත. 

ඒ අනුව සමලිංගික හෝ පාරලිංගික අනන්‍යතා සහ භාවිත ඇති ගැහැනුන් සහ පිරිමින් තම ලිංගිකත්වය නිසා නින්දාවට, අවධානයට හා වෙනස්කම් කරනු ලැබීමට පාත්‍ර කරනු ලැබීම එම අර්ථය ඇතුළට ගැනේ.

ස්ත්‍රී/ලිංගික රෝෂය සහ දේශපාලනය:


පසුගිය සති කිහිපය තුළම මැතිවරණ ව්‍යාපාරය තුළ තරුණ දේශපාලනඥයන් කිහිප දෙනකුටම ඔවුන්ගේ ලිංගිකත්වය, දරුවන් නොලැබීම යන ‘චෝදනා’ මත අවමානයට ලක් කිරීම සිදුවිය. එයට සම්බන්ධ වූ එක් දේශපාලනඥයකු අප රටේම ඉහළම මහජන තනතුරක් දැරුවෙකු හා දරන්නෙකි. 

මේ අතර මැතිවරණයට සම්බන්ධ වී සිටින චිත්‍රපටි/ටෙලිනාට්‍ය නිළියන් දෙතුන් දෙනෙකුටත්, තරුණ මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකුටත් ස්ත්‍රී දෝෂය මුල් කොට ගත් අපහාස සමාජ මාධ්‍යය තුළින් බෙහෙවින් සිදු කෙරේ. එහි ස්ත්‍රී – දෝෂ අපහාසවලට සමහර විශ්ව විද්‍යාල පිරිමි ආචාර්යවරුන්ද හවුල් වී ඇති බව, කෙනෙකු මා සමග කියා සිටියේ මෙම ස්තී රෝග දෝෂය තවමත් කෙතරම් පුළුල්ව තිබේදැයි පෙන්වා දෙන්නටය.

මේ අතර වින්නඹු මාතාව ගෙදරට නොපැමිණීමේ’ අපහසායට ලක්වූයේ ඊට අදාළ ස්ත්‍රිය පමණක් නොවේ. ඇගේ පුරුෂයාද එම අවමානයේම ඉලක්කයකි. දරුවන් නොලැබීම ගැන පිරිමින්ට මෙන්ම ගැහැනුන්ටද අවමන් කිරීම ලිංගික රෝෂයේම තවත් පැත්තකි. 

වැන්දඹු ගැහැනුන්ට සහ පිරිමින්ට අපහාස කිරීම්ද එම ද්වේෂ සංස්කෘතියේම කොටසකි. ලංකාවේ ප්‍රධාන පිරිමි දේශපාලනඥයන් දෙදෙනකු සහ ඔවුන්ගේ භාර්යාවන් මෙම අශිෂ්ට හාස්‍යයට ලක්වී සිටිති. එම අශිෂ්ට දේශපාලන හාස්‍යය පැමිණෙන්නේ එකම මූලාශ්‍රයකිනි.

Mangala s 2020.08.01
ලංකාවේ දේශපාලනඥයන් අතරින් මෙම ස්ත්‍රි/ලිංගික ද්වේෂයේ සංස්කෘතිය නිසා තම “මිත්‍ර” දේශපාලනඥයන්ගෙන් ප්‍රසිද්ධියේම අපහාසයට පාත්‍ර වූ දේශපාලනඥයන් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර යන සිව්දෙනාය. 

ඒ අතර, මැතිවරණ තරග කළ සෑම කාන්තා අපේක්ෂිකාවක්ම, පිරිමි දේශපාලනඥන්ගේත්, දේශපාලන ක්‍රියාකාරීන්ගේත්, ඡන්දදායකයන්ගේත් ස්ත්‍රී ද්වේෂ ප්‍රහාර, අපහාස හා නින්දාවන්ට පාත්‍රවුණා යන්න අතිශයෝක්තියක් නොවේ.

ස්ත්‍රී රෝෂය සහ දේශපාලනය:

මෙයට අවුරුදු විස්සකට පමණ පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ට්‍රේස් ලේට්න් සහ ආචාර්ය කුමාරි ජයවර්ධන යන දෙපළ විසින් ලංකාවේ කාන්තාවන්ගේ මැතිවරණ සහභාගිත්වය ගැන කරන ලද පර්යේෂණ දෙකකින්ම අනාවරණය වූ කරුණක් අපගේ මෙම සාකච්ඡාවට අදාළය. 

එය නම් ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙන්ම ජනාධිපති ධුරය දක්වාද තරග කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගිවීමට කාන්තාවන් අතර විශාල උනන්දුවක් තිබුණද, ඔවුන් ඒවාට සහභාගි වීමට විශාල අකමැත්තක් දක්වන බවයි. එම අකමැත්ත සම්බන්ධයෙන් ඔවුන් දක්වා තිබී ඇති හේතු අතර ප්‍රධාන ඒවා තුනක් තිබිණ. ඒවා නම්,

1- මැතිවරණ ප්‍රචණ්ඩත්වයට ඇති අකමැත්ත

2- ස්ත්‍රීන් නිසා තමන් පාත්‍රවන හිංසනය, අවමන්, හිරිහැර සහ චරිත ඝාතන.

3 -මූල්‍ය සම්පත්වල සහ පිරිස් බලයේ හිඟකම.

ඉහත කී දෙවැනි සාධකය ස්ත්‍රී රෝෂයේ ප්‍රතිඵලයකි.

ස්ත්‍රී රෝෂය ප්‍රකාශවන්නේ පළාත් පාලන හෝ පාර්ලිමේන්තු මැතිවරණවලදීම නොවේ. වෘත්තීය සමිතිවල මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිවල තනතුරු සඳහා තරග කිරීමට ස්ත්‍රීන් මැලිවීමට ප්‍රධාන හේතුවත් එයයි. එය නොතකා තරග කළ ස්ත්‍රී අපේක්ෂකයන්ට මුහුණදීමට සිදුවන නින්දා අපහාස සහ චරිත ඝාතන සිතා ගැනීමටත් බැරි තරම් දුෂ්ට ඒවාය. Waruni text.01

දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකාරියක්, කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකව සිටියදී, තමා සිටි පීඨයේ ශිෂ්‍ය සභාවට ඇය තරග කළාය. එවිට ඇයට ඇයගේ ස්ත්‍රීත්වය මත එල්ල කරන ලද ද්වේෂසහගත අපහාස නිසා ශිෂ්‍ය සභා නිලවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ඉතාම අශෝභන අංගයක්ද විය. ඒ ගැන එකල කොළඹ උපකුලපතිව සිටි එකල ලිබරල් අදහස් දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත්වූයේ අසීමිත කම්පනයකටය. දැන් පීරිස් මහතාද, මාධ්‍ය ආයතන හිමිකාරියද, ස්ත්‍රී රෝෂණ දේශපාලනයෙන් වළකින ලෙස තම දේශපාලන නායකයන්ට සහ සගයන්ට අවවාද කරන්නේදැයි අපි නොදනිමු.

විනයගරුකත්වයද? ශිෂ්ටසම්පන්න බවද?

විනගරුක සමාජයක් ගොඩ නැගීම දැනට සිටින ආණ්ඩුවේ එක් පාර්ශ්වයක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රධාන සටන් පාඨයෙකි. එහෙත්, ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වයේ මැතිවරණ චර්යාව දෙස බලන විට පෙනෙන්නේ එම ‘විනයගරුක’ න්‍යාය පත්‍රය ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම දැනටමත් කඩාකප්පල් කරනු ලැබ ඇති බවයි. 

ඇත්ත වශයෙන් එය කඩාකප්පල් කරනු ඇත්තේ, පුරවැසියන් හෝ ආණ්ඩුවේ විවේචකයන් හෝ විසින් නොවේ. ආණ්ඩුව සිටින පිරිහුණු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසිනි.

ලංකාවට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ පුරවැසියන් ගැඩවිලුන් බවට පත් කරන විනයගරුක (Discipline) සමාජයක් නොවේ. සියලු පුරවැසියන්ට ඔවුන්ගේ ආගම, ජාතිය, වර්ගය, කුලය, සමාජ පන්තිය, වත්පොහොසත්කම මෙන්ම ස්ත්‍රී-පුරුෂභාවය සහ ලිංගික අනන්‍යතාව පදනම් කොටගෙන අවමන් සහ වෙනස්කම් නොකරන ‘ශිෂ්ටසම්පන්න’ (Civilized Society) සමාජයකි. 

''ලංකාවට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ පුරවැසියන් ගැඩවිලුන් බවට පත් කරන විනයගරුක (Discipline) සමාජයක් නොවේ. සියලු පුරවැසියන්ට ඔවුන්ගේ ආගම, ජාතිය, වර්ගය, කුලය, සමාජ පන්තිය, වත්පොහොසත්කම මෙන්ම ස්ත්‍රී-පුරුෂභාවය සහ ලිංගික අනන්‍යතාව පදනම් කොටගෙන අවමන් සහ වෙනස්කම් නොකරන ‘ශිෂ්ටසම්පන්න’ (Civilized Society) සමාජයකි. ''

ස්ත්‍රී සහ ලිංගික රෝෂය නොමැතිවීම එවැනි ශිෂ්ටසම්පන්න සමාජයක චර්යාධාර්මික යහගුණයක් වනු ඇත. වාමාංශික, ලිබරල්-මානුෂික ගුණධර්ම, ශිෂ්ටසම්පන්න සමාජයටද අත්‍යවශ්‍යද වේ.

Jayadewa 01

 

 

 

 

 

(මහචාර්ය ජයදේව උයන්ගොඩ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
( මෙම ලිපිය 2020 අගෝස්තු 1 දා 'රාවය' E පුවත්පතින් උපුටා ගන්න ලදී - අවධාරණය කිරීම් හා ජයාරූප අපෙන් - සංස්කාරක)


subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා