කාදිනල් තුමා, තමන් මේ දිනවල කරන ප්‍රකාශවල සහ කරන ක්‍රියාවල විශේෂධනීය දේශපාලන ප්‍රතිඵල ගැන ද මැදහත්වාදී ලෙස සිතා බලන්නේ නැතිනම්, එතුමාගේ ක්‍රියාවලින්, එතුමාද අපේක්ෂා නොකරන අනිසි ප්‍රතිඵලයක් ඇති වීමට හොඳටම ඉඩ තිබේ.

1980 ගණන්වල ලංකාවේ සිංහල දෙමළ ජනවාර්ගික ගැටුමත් ජනවාර්ගික යුද්ධයත් ඇවිළෙමින් පවතිද්දී, ඇමරිකානු දේශපාලන විද්‍යාඥයකු වූ මහාචාර්ය ඩොනල්ඩ් හොරවිට්ස් (Donald Horowitz) ලංකාවට ප්‍රයෝජනවත් දේශපාලන උපදේශයක් යෝජනා කළේය. ශ්‍රාස්ත්‍රීය සඟරා කිහිපයකම ලියූ ලිපිවලින් ඔහු කියා සිටියේ ලංකාවේ අනාගතය රඳා පවතින්නේ වාර්ගික හුදෙකලාවාදයේ හෝ අන්තවාදයේ නොව, මධ්‍යස්ථවාදයේ (Moderation) බවයි.

පාස්කු ඉරිදා ප්‍රචන්ඩ සිදුවීම්වලින් පසු අප රටේ සිදුවන දේ බලාසිටින විට අපට පැහැදිලිවම පෙනෙන්නේ, ලංකාවේ අනාගතය සඳහා ඇති එකම විකල්පය 'මධ්‍යස්ථවාදය' බවයි. දේශපාලන මධ්‍යස්ථවාදී ප්‍රවේශය බවයි.

එහෙත්, ලංකාවේ අද දිනෙන් දින උග්‍රවන දේශපාලන ව්‍යාකූලත්වය තුළ අඩුවෙමින් සැපයෙමින් පවත්නා, නැතහොත් සැපයෙන්නේම නැති, විකල්පය බව පෙනෙන්නේද, දේශපාලන මධ්‍යස්ථවාදී ප්‍රවේශයයි.

 

අන්තවාදී ප්‍රවේශ:

Malkam rathana 

අන්තවාදී ප්‍රවේශවලට විශාල ඉල්ලුමක් මෙන්ම සැපයුමක්ද තිබෙන බව පෙනේ, මෙම ප්‍රවණතාව, මේ දිනවල සුලබව සහ දිනපතාම ප්‍රකාශවන්නේ, සිංහල බෞද්ධ හා කතෝලික සමාජවල බව පෙනේ. මුස්ලිම් සමාජයෙන් මුලින්ම අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශවූ අන්තවාදයට, කතෝලික සමාජය මුලින්ම ප්‍රතිචාරය දැක්වූයේ මධ්‍යස්ථවාදී ලෙසය.

එහෙත්, ඉන් සති දෙකකට පසු සිංහල - බෞද්ධ අන්තවාදී බලවේගවලින් මතුවූ අන්තවාදී ප්‍රතිචාරයට කතෝලික සමාජයේ මධ්‍යස්ථවාදී කොටස් ද යටවූ බව පෙනේ. කාදිනල් මැල්කම් රංජිත්තුමා මහනුවරට ගොස් උපවාස කළ රතන ස්ථවිරයන්ට ආශිර්වාද කිරීම, කතෝලික සමාජයේ පූජක තන්ත්‍රයේ සිදුවූ මෙම පරිහාණිදායක පරිවර්තනය සංකේතවත් කළ සිදුවීම විය.

කාදිනල්තුමා, තමන් මේ දිනවල කරන ප්‍රකාශවල සහ කරන ක්‍රියාවල නිශේධෂනීය දේශපාලන ප්‍රතිපල ගැනද මැදහත්වාදී ලෙස සිතා බලන්නේ නැති නම්, එතුමාගේ ක්‍රියාවලින්, එතුමාද අපේක්ෂා නොකරන අනිසි ප්‍රතිඵලයක් ඇති වීමට හොඳටම ඉඩ තිබේ.

එය නම් ලංකාවේ මුස්ලිම් විරෝධී බෞද්ධ-කතෝලික අන්තවාදී සන්ධානයක සම - නායකයා ලෙස එතුමා පත්වීමට හැකිවීමයි. මංගල සමරවීර මහතා කාදිනල්තුමා ගැන කර ඇති විවේචනයේ වක්‍ර වශයෙන් තිබෙන්නේද මෙම හැකියාව ගැනද එතුමාට කරන අනතුරු ඇඟවීමකි.

 Mangala Post

මුස්ලිම් ප්‍රතිචාරය:

අප්‍රියෙන් 21 වැනිදා ප්‍රචණ්ඩ ප්‍රහාරයට මුස්ලිම් සමාජය දැක්වූ සහ තවමත් දක්වන ප්‍රතිචාරයද, විග්‍රහයට ලක්කළ යුත්තකි. පළමුවැනි සහ ක්ෂණික ප්‍රතිචාරය වූයේ, 'ඔළුවේ අත ගසා ගැනීම' ය. එනම් කම්පාව සහ ලැජ්ජාවයි. ඉන්පසු ක්ෂණික අනතුරක් සහ ප්‍රතිප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් පිළිබඳ බියයි.

එහෙත් මුල් සතිය තුළ රටේ පොදුවේද, ආණ්ඩුව පැත්තෙන්ද ආ අන්තවාදී නොවන ප්‍රතිචාරය නිසා, මුස්ලිම් ප්‍රජාවට යම්කිසි දේශපාලන අස්වැසිල්ලක් ලැබුණු බව පෙනේ. ඒ අතරම, ඔවුන්ගේ සිත්වල විශාල දේශපාලන ප්‍රශ්නයක් ද මතුවිය.

එනම්, තම සමාජයෙන් මතුවූ කුඩා අන්තවාදී කණ්ඩායමක ත්‍රස්තවාදී ක්‍රියා නිසා, ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ අනෙක් වාර්ගික - ආගමික ප්‍රජාවන් අතර මෙතෙක් පැවති සම්බන්ධතාව ක්ෂණික සහ මහා පරිමාණ දෙදරීමකට පාත්‍රවී ඇත යන්නයි.

ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශ කර, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ තර්ජනය මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවලට මුස්ලිම් දේශපාලනික හා ආගමික නායකයන්ගෙන්ද, පුරවැසියන්ගෙන්ද ලැබුණු සහයෝගය, මෙම සම්බන්ධතා දෙදරීම පිළිසකර කර ගැනීමේ ප්‍රයත්නයක්ද විය.

තවුහිද් ජමාත් සංවිධානයේ ඉතිරි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන, එම සම්බන්ධතා ජාලය ඉතා ඉක්මනින් බිඳ දැමීමට පොලිසියට හා හමුදාවට හැකි වූයේ, මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු මෙම සහයෝගය නිසාය.

මුස්ලිම් අන්තවාදය විසින් තම ප්‍රජාව විනාශ කරනු ලැබීම මෙතෙක් කල් ඉවසා සිටීම ගැන මුස්ලිම් ආගමික හා දේශපාලන නායකයෝ ප්‍රසිද්ධියේම පාපොච්චාරණය කළහ. මුස්ලිම් ප්‍රජාවගේ මෙම සංහිඳියාවාදී ප්‍රතිචාරයෙන් පෙනුණේ, ඔවුන් තම සමාජයේම කිහිප දෙනෙකු විසින් ප්‍රචන්ඩ ලෙස හානි පමුණුවන ලද අන්තර්වාර්ගික සාමය සහ අවබෝධය යලි ගොඩනැගීමට, කොන්දේසි රහිතව සමාව යැදීමට, ප්‍රජාවක් හැටියට සූදානම් බවය.

 

ගිනිපුපුරු:

muslim Attack 

එහෙත්, සිංහල සමාජයේ දේශපාලඥයන්, දේශපාලන ක්‍රියාකාරකයන්, බෞද්ධ භික්ෂූන් සහ ජනමාධ්‍යකරුවන් අතලොස්සකට වටහාගත නොහැකි වූයේත්, නැතහොත් ඔවුන් උවමනාවෙන්ම වටහා නොගත්තේත්, මෙම කාරණයයි.

පසුගිය සති කිහිපය තුළ ඔවුන් කළේ, ලංකාවේ මුළු සමාජයක්ම දේශපාලන වශයෙන් ගිනිතැබීමට හිතා මතාම ක්‍රියාකිරීමයි. ඔවුන් එසේ කළේ සිංහල සමාජයේ ජන විඥානයේ වාර්ගික අන්තවාදී මතවාදයක් ප්‍රචාරය කරමිනි.

සිංහල සමාජ විඥානයේ කාලයක් තිස්සේ යටත් වී තිබුණ, අන්තවාදී වාර්ගවාදී ගිනිපුපුරු යලි ඇවිලීම සාපේක්ෂ වශයෙන් පහසු කාර්යයක්ද විය.

කුරුණෑගල සහ මිනුවන්ගොඩ මුස්ලිම් සිවිල් වැසියන්ට පහරදීමේ සිට රතන ස්ථවීරයන්ගේ උපවාසය දක්වා වූ සිද්ධි දාමයත්, ඒවාට සම්බන්ධ දේශපාලන සාකච්ඡාවත් දෙස බලන විට පෙනෙන්නේ විශේෂයෙන් සිංහල සමාජයේ දේශපාලනය තුළ, බහුතරවාදී වාර්ගික අන්තවාදය පෙරමුණට පැමිණ ඇති පරිමාවයි. මෙය වනාහී මෙම වසරේ ලංකාව ලැබූ තීරණාත්මක දේශපාලන පරාජයද වෙයි.

 

පසුබෑම්:

ලංකාව බහුවාර්ගික, බහුආගමික සහ බහුසංස්කෘතික සමාජයකි. දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පවතින ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන්නා වූද අවුරුදු තිහකට ආසන්න දිග්ගැස්සුනු ජනවාර්ගික සිවිල් යුද්ධයක් පැවතියා වූද, එම ප්‍රශ්නයට පදනම් වූ මූල ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට ඒවා යට ගැසීමට දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ සියලුම කණ්ඩායම් උත්සාහ ගන්නා වූද, අප රටේ, එම සියලු පසුබෑම් තුළ පසුගිය කාලයේ ලැබුණු දේශාපාලන ජයග්‍රහණ කිහිපයක් ද තිබිණ.

එයින් ප්‍රධාන එක වූයේ, මධ්‍යස්ථවාදී දේශපාලන විඥාණයක් සෑම ජනප්‍රජාවකට අයත් පුරවැසියන්ගෙන් බහුතරය අතරත්, දේශපාලන බලවේගවල බහුතරය අතරත් ගොඩනැගී තිබීමයි.

2015 ජනවාරි මාසයේ ඇති වූ ආණ්ඩු වෙනසත්, එයට පදනම්වූ දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියත් පිටුපස තිබුණේත්, එයට පදනම් වූ දේශපාලන බලමුළුගැනීමේ දේශාපාලන විඥානමය හරය වූයේත්, එම දේශපාලන මධ්‍යස්ථවාදයයි.

එය වනාහී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අන්තර්-වාර්ගික අවබෝධය සහ සාමය, රටේ ප්‍රශ්නවලට මධ්‍යස්ථාවාදී දේශාපාලන විසඳුම් යන මේවායින් සමන්විත ප්‍රතිමානීය මූලධර්ම රාමුවයි. ජාතික තවුහිද් ජමාත් සංවිධානයත්, එහි ත්‍රස්තවාදයට ප්‍රතිචාර පිණිස සිංහල සමාජයෙන් මතුවූ අන්තවාදී කණ්ඩායමත්, වෙන වෙනම ප්‍රහාර එල්ලකර ඇත්තේ ලංකාවේ දේශපාලනය තුළ 2009න් පසුව විවෘත වූ අවකාශය තුළ ගොඩනැගුණු මෙම සාධනීය පරිවර්තනයටයි.

ඒ අනුව බලන විට, ඔවුන් සිටින්නේ කොතරම් දුරට එකිනෙකට ප්‍රතිපක්ෂව වුවත්, අන්තවාදී බලවේග යනු දේශපාලන වශයෙන් අයියමලෝවරුන්ය. අන්තවාදය, අන්තවාදය ප්‍රතිඋත්පාදනය කරන්නේ එබැවිනි.

ලංකාවේ අද පවතින දේශපාලන අභියෝග ගණනාවක්ම තිබේ. එයින් එකක් වන්නේ ලාංකික සමාජයේ අන්තර්-වාර්ගික සම්බන්ධතා සාමාන්‍ය තත්වයට පත්කරමින්, පොදු දේශපාලන අරමුණක් පරිකල්පනය කළ හැකි ‌දේශපාලන විඥානයක් සහිත පුරවැසි ප්‍රජාවක්, එනම් දේශපාලන ප්‍රජාවක්, බිහිකිරීමයි.

 

දේශාපාලන නායකත්වය පිළිබඳ අර්බුදයක්!

එහෙත්, වර්තමාන සන්දර්භය තුළ එය පහසු නැත. වඩාත් ඉල්ලුමක් මෙන්ම සැපයුමක් ද තිබෙන බව පෙනෙන්නේ, අන්තවාදී දේශපාලන සිතීම්, ප්‍රචාරණය සහ ක්‍රියාකාරකම්වලටය. ඊට වෙනස් විකල්ප දේශපාලන සිතීමක් ආණ්ඩුවේ දේශපාලන නායකත්වයෙන් හෝ අනෙක් දේශපාලන නායකත්වවලින් හෝ ඉදිරියට පැමිණෙන්නේ නැත. මෙය වනාහී ලංකාවේ දැනට පවත්නා දේශාපාලන නායකත්වය පිළිබඳ අර්බුදයක්ද වෙයි.

දේශපාලන නායකත්වය පිළිබඳ මෙම ගැටලුව පසුගිය සති කිහිපයේදි විවිධ ආකාරවලින් ප්‍රකාශ විය. මුලින්ම එය ප්‍රකාශ වූයේ ආණ්ඩුවේ නායකයන්‌ගෙනි. ඊට පසුව, විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකත්වය වෙතින් ද එය ප්‍රකාශ වන්නට පටන් ගැනිණ.

එම සියලු දෙනාම වෙත තිබුණු එක් පොදු ලක්ෂණයක් වූයේ රටේ හදිසියේ හටගත් අර්බුදයෙන් ඒකපාක්ෂික දේශපාලන වාසි ලබා ගැනීමේ ලැහැස්තියයි. මේ අතර, පසුගිය කාලයේ දේශපාලන පසුබෑම්වලට පාත්‍ර වී සිටි ගිහි සහ පැවිදි දේශපාලඥයෝද පුද්ගලික, ඒකපාක්ෂික වාසි ලබා ගැනීමට යුහුසුළු වූහ.

මෙයින් වැඩි දෙනා භාවිතාවට යොදාගත් දේශපාලන කතිකාවේද පොදු ලක්ෂණයක් තිබිණ. එය නම් දේශපාලන සහ වාර්ගික අන්තවාදයයි, ජනවාර්ගික ඒකපාක්ෂික විසඳුම් පිළිබඳ කතිකාවයි. වාර්ගික සැකයේ, අවිශ්වාසයේ, භීතියේ, දඩුවම් කිරීමේ සහ පළිගැනීමේ ඉදිරි දැක්මයි.

දේශපාලන නායකත්වය අද සිටින්නේ ඔවුන්ගේම දේශපාලන ස්වර්ථවාදී ගණන්බැලීම් විසින් පෝෂණය කරන ලද ව්‍යාකූලත්වයක සහ අස්ථාවරභාවයක නිර්මාපකයන් මෙන්ම වාසි අපේක්ෂකයන්ද ලෙසය.

මෙම පසුබිම තුළ අප රට තිබෙන්නේ, සාධනීය සහ මධ්‍යස්ථවාදී දේශපාලන ඉදිරි දැක්මක් ඉදිරියට දමන මැදහත්වාදී දේශපාලන කතිකාවක් ගොඩනැගීමේ ‌ෙඑතිහාසික අවශ්‍යතාව ඉදිරියේය. සාමාන්‍යයෙන් එවැනි කාර්යයක බුද්ධිමය කර්තෘකත්වය හිමිවන බලවේග සහ දෘෂ්ටිවාද දෙකක් සම්ප්‍රදායිකව තිබිණ.

ඒවා නම්, දේශපාලන ලිබරල්වාදය සහ දේශපාලන වාමාංශයයි. වාර්ගික වශයෙන් තියුණු ලෙස බෙදී ගිය සමාජයක් වන ඉන්දියාවේද, එවැනි විකල්ප ඉදිරි දැක්ම ඉදිරිපත් කරන බලවේග දෙක වන්නේ දේශපාලන ලිබරල්වාදය සහ දේශපාලන වාමාංශයයි.

ඒ දෙක අතර ඵලදායී සංවාදයක් ඇතිවේද? ඇති කළ හැකිද? මෙය වනාහී ඉන්දියාවේ මෙන්ම ලංකාවේද වර්තමානයේ ඇති නොවිසඳුනු ප්‍රශ්නයකි.

jayadewa Uyangodaමහාචාර්ය ජයදේව උයන්ගොඩ
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්