leader s

*1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කිරීමට ඡන්ද නාමලේඛන අවභාවිත වූයේ ඩිජිටල් තාක්ෂණය නිසා නොවේ; සැබෑ අභියෝගය වන්නේ රාජ්‍ය සේවා හා මැතිවරණ සුරක්ෂිත කරමින් පුද්ගල දත්ත ආරක්ෂා කරගත හැකි නීතිමය සහ තාක්ෂණික මාවතක් නිර්මාණය කර ගැනීමයි.


*පුද්ගල තොරතුරු අවභාවිත වීම වැළැක්වීමට ඩිජිටල්කරණය ප්‍රතික්ෂේප කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවේ; නිසි ආරක්ෂණ යාන්ත්‍රණ සහ නීතිමය රාමු සහිතව පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමෙන් වර්තමාන අවදානම් රැසක් අවම කරගත හැකිය.


1983 ජූලි මාසයේ ඇති වූ වාර්ගික සංහාරයේදී, දෙමළ ජනතාවගේ නිවාස හඳුනාගෙන පහර දීම සඳහා මැතිවරණ නාමලේඛන භාවිත කර ඇති බව මෑතකදී ප්‍රකාශ විය. නම, ලිපිනය මෙන්ම උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවා සොයා ගත හැකි ජාතික හැඳුනුම්පත් අංකය වැනි 'පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු' (Personally Identifiable Information, PII) විශාල ප්‍රමාණයක් මැතිවරණ නාමලේඛනවල අන්තර්ගත වේ. මෙම තොරතුරු රැස් කරන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණි (ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරන දහස් ගණන් රාජ්‍ය නිලධාරීහු මෙහි ප්‍රධාන පරිශීලකයෝ වෙති). එහෙත්, වෙනත් බොහෝ පිරිසකට ද මෙම නාමලේඛනවල පිටපත් ලබා ගැනීමට හැකියාව ඇත.

ග්‍රාම නිලධාරිවරු 14,000ක් පමණ තම කොට්ඨාසවල ඡන්දදායකයන්ගේ දත්ත සකස් කර සහතික කරති. ඔවුන් සතුවත් මෙම පෞද්ගලික තොරතුරු පවතී. නමුත් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් කුඩා ප්‍රදේශයක් වන නිසා,මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට හෝ සුළු ජාතිකයන්ගේ නිවාස හඳුනාගෙන පහර දීමට එම දත්ත එතරම් ප්‍රයෝජනවත් නොවේ. කෙසේ වෙතත්, දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හරහා අයදුම් කර නියමිත ගාස්තු ගෙවීමෙන්, අපේක්ෂකයන්ට මුළු මැතිවරණ දිස්ත්‍රික්කයේම ඡන්ද නාමලේඛන පිටපත් ලබා ගත හැකිය. 1982 දෙසැම්බර් මාසයේ පැවති ජනමත විචාරණය සහ 1983 ජූලි කලබල අතර කාලය ඉතා කෙටි වූ බැවින්, එම ප්‍රහාර සඳහා බොහෝ විට භාවිත කර ඇත්තේ එලෙස ලබා ගත් පිටපත් විය හැකිය.

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සහ විශේෂයෙන්ම 'ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත්' (SLUDI) ව්‍යාපෘතිය විවේචනය කරන පිරිස්, 1983දී ඡන්ද නාමලේඛන අවභාවිත වූ ආකාරය පෙන්වා දෙති. ඒ අනුව, ඔවුහු පවසන්නේ මෙම ඩිජිටල් ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර නො කරන්නේ නම්, මේ ගැන ඉතා දැඩි ප්‍රවේශමක් ගත යුතු බවයි. එදා සිදු වූ විනාශයේ බරපතළකමත්, වින්දිතයන්ට වූ හානියත් සලකන විට ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත්, ඩිජිටල්කරණය කිරීම සහ නව හැඳුනුම්පත් ව්‍යාපෘතිය අත්හිටුවීමට පෙර, මෙහි සැබෑ ගැටලුව කුමක් ද යන්නත්, ඒ වෙනුවෙන් අප කළ යුතු වෙනත් කැපකිරීම් මොනවා ද යන්නත් නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.

මේ සඳහා ඩිජිටල්කරණයේ ඇති සම්බන්ධය කුමක් ද?

 

1983 rioters fire 1 0 1
1983 වන විට පරිගණක තිබුණත්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද නාමලේඛන කටයුතු සඳහා ඒවා භාවිත වූයේ නැත. දේශපාලන අපේක්ෂකයෝ ඡන්ද නාමලේඛනවල පිටපත් ලබා ගත්තේ පිටු ගණනට මුදල් ගෙවීමෙනි. අදටත් ඔවුන් කරන්නේ එයමය. 1983 ජූලි මාසයේ සිදු වූ අපරාධවලට භාවිත කළේ එලෙස ලබා ගත් ෆොටෝ කොපි (ඡායා පිටපත්)ය. අද වුව ද, මුළු දිස්ත්‍රික්කයකම තොරතුරු ඩිජිටල් ආකාරයෙන් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් තිබේ ද යන්න සැක සහිතය.

මෙතන ඇති සැබෑ ගැටලුව වන්නේ, පුරවැසියන් පෞද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු විශාල ප්‍රමාණයක් රජය සතුව තිබීමයි. ජේම්ස් ස්කොට් (James Scott) නැමැති රචකයා ඔහුගේ 'Seeing Like a State: How Certain Schemes to Improve the Human Condition Have Failed' නම් පොත හරහා මේ ගැන ප්‍රබල තර්කයක් ගෙන එයි. ඔහු පවසන්නේ, නවීන රාජ්‍ය තම පුරවැසියන් පහසුවෙන් 'පරිපාලනයට හඳුනා ගත හැකි' පිරිසක් බවට පත් කිරීමට උත්සාහ කරන බවයි. විශාල ජනතාවක් පහසුවෙන් පාලනය කිරීම සඳහා රජය ඔවුන්ගේ නම්, ලිපින සහ අනන්‍යතා තොරතුරු යම්කිසි ප්‍රමිතියකට අනුව සකස් කරයි. ඒ හරහා පුද්ගලයන් ගැන තොරතුරු වඩ වඩාත් රැස් කරනු ලබයි. සරලවම කිවහොත් මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජනතාව පාලනය කිරීමයි (control).


පාලනය කිරීම යනු හොඳක් මෙන්ම නරකක් ද විය හැකිය. පාලන ක්‍රමවේද ඉතාමත් ප්‍රබල වන විට, රජය ඇතුළේ හෝ පිටත සිටින නරක පුද්ගලයන් ඒවා අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ ඇත. 1983 ජූලි කලබලවලදී පහර දීමට තොරතුරු ලබා ගත්තේ ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නම්, එය රජයේම නිලධාරීන් විසින් පද්ධතිය අවභාවිත කිරීමකි. එසේ නොමැතිව එම තොරතුරු 1982 මැතිවරණ ව්‍යාපාර හරහා ලබා ගත්තා නම්, එය බාහිර පුද්ගලයන්ගේ ක්‍රියාවකි. 


කෙසේ වෙතත්, මේ තොරතුරු නිකුත් කරන ලෙස දේශපාලනඥයන් හෝ එවකට සිටි මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතා නියෝග කළ බවට හෝ අවසර දුන් බවට කිසිදු සාක්ෂියක් නැත. එසේම, නාසි පාලකයින් යුරෝපය පුරා සුළු ජාතීන්ට වධ දීම සඳහා රජයේ තොරතුරු පද්ධති භාවිත කළාක් මෙන්, මෙහිදී සංවිධානාත්මකව රජයේ මැදිහත් වීමකින් එය සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත.

එබැවින් මේ සඳහා ඩිජිටල්කරණයේ කිසිදු සම්බන්ධයක් තිබී නැත.

අපට ඩිජිටල්කරණය නො කර සිටිය හැකි ද?

පුරවැසියන්ගේ තොරතුරු රැස් කර ඔවුන් රජයේ පාලනයට නතු කර ගැනීමට එරෙහිව ස්කොට් ප්‍රබල තර්කයක් ගෙන එයි. නමුත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගැනීමෙන් අපට අහිමි වන දේවල් ගැන ඔහු කතා කරන්නේ නැත. පෞද්ගලික තොරතුරු ඇතුළත් ඡන්ද නාමලේඛන නඩත්තු නො කළේ නම්, 1983 දී සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීම් මඟහරවා ගැනීමට තිබුණි. නමුත්, එවැනි පෞද්ගලික තොරතුරු නොමැතිව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි ද? යම් පිරිසක් ඉලක්ක කර නිවාසවලට පහර දීමේ අවදානම අවම කරමින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි මැද මාවතක් අපට සොයා ගත නොහැකි ද?

පැරණි ක්‍රමයට තොරතුරු රැස් කිරීමේදී සහ සැකසීමේදී තිබූ අපහසුතා ඩිජිටල්කරණය හරහා ඉවත්ව යන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. දැන් ෆොටෝ කොපි ගැසීමට හෝ තැපැල් කිරීමට අවශ්‍ය නැත. බොත්තම් කිහිපයක් එබීමෙන් ලේඛනයක පිටපතක් ක්ෂණිකව යැවිය හැකිය. මේ පහසුව නිසාම තොරතුරු කාන්දු වීමේ අවදානම වැඩිය. මේ අවදානම අඩු කිරීම සඳහාම, සම්මත කර ඇති, සංශෝධිත සහ තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නො වන 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත වැනි නීති තුළ දැඩි ආරක්ෂණ ක්‍රමවේද අඩංගු කර ඇත.

1983දී පෞද්ගලික තොරතුරු අවභාවිත වීමට ඩිජිටල්කරණයේ බලපෑමක් නො තිබුණි. එහෙත්, ඩිජිටල්කරණය නිසා මෙවැනි අවදානම් තවත් වැඩි නොවේ ද? ඔව්, ඩිජිටල් පද්ධති සකස් කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද ඇතුළත් නො කළහොත් අවදානම වැඩි විය හැකිය. එසේම, ප්‍රතිසම අනුපූරක (analog complements) ලෙස ද හැඳින්වෙන සුදුසු පරිපාලනමය සහ නීතිමය වෙනස්කම් මගින් ඒවාට සහාය දැක්විය යුතුය. නිවැරදි ඩිජිටල් ආරක්ෂණ අංග සහ ඊට අවශ්‍ය නීතිමය සහාය නිසි ලෙස යෙදවුවහොත් තොරතුරු අවභාවිත වීමේ අවදානම බොහෝ දුරට අවම කළ හැකිය.
මූලික කරුණ වන්නේ, මැතිවරණ පැවැත්වීම සඳහා යම්කිසි පාලනයක් (control) අවශ්‍ය වීමයි. යහපත් ඡන්ද යාන්ත්‍රණයක් මඟින් පහත දැක්වෙන කරුණු සහතික කළ යුතුය:
 
Vote
1. ප්‍රතිඵලවල නිවැරදිතාව: 
(අ) ඡන්දය ප්‍රකාශ කරන්නේ ඊට සුදුසුකම් ඇති අය පමණක් බව සහතික කිරීම. 
(ආ) එක් අයකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එක් වරක් පමණක් බව තහවුරු කිරීම.
 (ඇ) ගණනය කරන සියලුම ඡන්ද වලංගු ඡන්ද වීම සහ, සියලුම වලංගු ඡන්ද ගණනය කිරීම.

2. අදාළ පාර්ශ්වවලට ප්‍රතිඵල සත්‍යාපනය (තහවුරු) කිරීමේ හැකියාව තිබීම.

3. ඡන්දයේ රහස්‍යභාවය රැකීම.

ඉහත දක්වන ලද අරමුණු ඉටු කර ගැනීම සඳහා, වර්තමාන මැතිවරණ ක්‍රියාවලියේදී අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් භාවිත කරයි. මෙය 1980 ගණන්වලදී භාවිත කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිය. (උදාහරණයක් ලෙස, ජාතික හැඳුනුම්පත් තොරතුරු අනිවාර්යයෙන් ලබා ගැනීම සහ තහවුරු කර ගැනීම දැක්විය හැකිය). මෙය ඩිජිටල්කරණයෙන් හෝ ඩිජිටල් හැඳුනුම්පත් වැනි ජෛවමිතික තොරතුරු පරීක්ෂාවෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වූ ක්‍රියාවලියකි.

ඩිජිටල්කරණයට තත්ත්වය වඩාත් යහපත් කළ හැකි ද?

ඩිජිටල්කරණයේ පළමු පියවර වන්නේ, අදාළ වැඩකටයුතු කරන සාම්ප්‍රදායික ක්‍රමවේදය ඩිජිටල් ක්‍රමයට ගැළපෙන සේ නැවත සකස් කිරීමයි. 1983 සිදුවීමේදී මිනිසුන්ට මාරාන්තික බලපෑමක් එල්ල කළ දත්ත වූයේ ඔවුන්ගේ නම් (මෙමඟින් ජාතිය හඳුනා ගත හැකිය) සහ ලිපිනය (මෙමඟින් නිවෙස්වලට පහර දිය හැකිය). ඡන්ද නාමලේඛන සඳහා මේ තොරතුරු අත්‍යවශ්‍ය ද? අවශ්‍යම නම්, වෙනත් අයට මෙම තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමා කළ හැකි ද?

දැනට පවතින ක්‍රමය යටතේ, ඉහත දක්වන ලද ඡන්දයක නිවැරදිතාව පිළිබඳ කොන්දේසි තහවුරු කිරීම සඳහා නම් සහ ලිපින අත්‍යවශ්‍ය වේ. ඒවා පුද්ගලයකු හඳුනා ගැනීමට හැකි තොරතුරු වුව ද, සෞඛ්‍ය තොරතුරු හෝ ජාතික හැඳුනුම්පත් අංකය වැනි වඩාත් 'සංවේදී පෞද්ගලික තොරතුරු' ගණයට අයත් නොවේ. යම් ඡන්දදායකයකු අදාළ මැතිවරණ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින බව ග්‍රාම නිලධාරිවරයා සහතික කළ යුතුය. එසේම, දේශපාලන අපේක්ෂකයෝ තම ප්‍රචාරක පත්‍රිකා තැපැල් කිරීමට හෝ ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීමට ඡන්දදායකයන්ගේ ලිපින ඉල්ලා සිටිති. දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් අතර පවතින මේ සම්බන්ධතාවෙහි විශාල වෙනසක් සිදු නො වන්නේ නම්, අපේක්ෂකයන්ට නම් සහ ලිපින ලබා දීම වැළැක්විය නොහැකිය.

digital ID
ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (SLUDI) සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළහොත්, ඡන්ද මධ්‍යස්ථානවල සිටින නිලධාරීන්ට සහ පක්ෂ නියෝජිතයන්ට ඡන්දදායකයන්ගේ නම සහ ලිපිනය ලබා නො දී සිටිය හැකිය. එසේම, ඡන්ද කාඩ්පත් නිකුත් කිරීම ද මේ හරහා නතර කළ හැකිය. එවිට සිදු වන්නේ, ඡන්දදායකයාට දිස්ත්‍රික්කය තුළ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයක (නැතහොත් නීතියෙන් ඉඩ දෙන්නේ නම් රටේ ඕනෑම ස්ථානයක) ඡන්දය ප්‍රකාශ කළ හැකි බව දන්වා විද්‍යුත් පණිවිඩයක් (SMS එකක්) ලැබීමයි. ඉන්පසු ඔහුට හෝ ඇයට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ජෛවමිතික තොරතුරු (ඇඟිලි සලකුණු වැනි දේ) ලබා දිය හැකිය. එම අනන්‍යතාව තහවුරු වූ පසු ඡන්ද පත්‍රිකාව නිකුත් වන අතර, ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ද අදහස් ලබා ගනිමින්, ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීමේ පැරණි ක්‍රමය ගැන අප නැවත සිතා බැලිය යුතුය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීති නිසා, මේ පැරණි ප්‍රචාරණ ක්‍රමය ඉදිරියේදී ප්‍රායෝගික නො වනු ඇත. Uber වැනි කුලී රථ සේවාවලදී, මගියාගේ දුරකථන අංකය රියැදුරාට නො පෙන්වා ඔවුන් දෙදෙනාට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇත. ඒ ආකාරයෙන්ම, ඡන්දදායකයාගේ දුරකථන අංකය අපේක්ෂකයාට ලබා නො දී, අපේක්ෂකයාට තමන්ගේ ප්‍රචාරක පණිවිඩ සීමිත ප්‍රමාණයක් ඡන්දදායකයන්ට යැවීමට අවස්ථාව ලබාදිය හැකිය. මෙයින් දේශපාලනඥයන් අනවශ්‍ය ලෙස දුරකථනවලට පණිවිඩ එවමින් කරදර කිරීම වළක්වා ගත හැකිය. මෙය මැතිවරණ ප්‍රචාරණයේ විශාල පෙරළියක් වනු ඇත. එමෙන්ම, කඩදාසි නාස්තිය අඩු වීම සහ මහජනතාවට සිදු වන කරදරය වැළකීම වැනි ප්‍රතිලාභ රැසක් ද මින් අත් වේ.

අත්‍යවශ්‍ය කැපකිරීම්

රට පුරා සිටින 14,000ක් පමණ වන ග්‍රාම නිලධාරීන්ට තම කොට්ඨාසයේ සිටින්නේ කවුරුන් ද, ඔවුන් ජීවත් වන්නේ කොහේ ද කියා දැන ගැනීමට නොහැකි වුවහොත්, රජයේ සේවා රැසක් ජනතාවට ලබා දීම අපහසු වේ. ඒ නිසා, නම් සහ ලිපින කාන්දු වීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට උත්සාහ කළහොත්, එයින් සිදු වන්නේ රජයට ජනතාව වෙත නිසි සේවාවක් සැපයීමට ඇති හැකියාව අහිමි වී යාමයි.

election 1
මැතිවරණ ව්‍යාපාර පවත්වන ආකාරය සහ ඡන්ද ක්‍රියාවලිය කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමෙන් අපට ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකිය. දේශපාලනඥයන්ට අපගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමා කිරීම ඉන් එක් වාසියක් පමණි. එහෙත් රජය තම 'ගනුදෙනුකරුවන්' එනම් රාජ්‍ය සේවා ලබා ගන්නා ජනතාව පදිංචිව සිටින්නේ කොහේ ද කියා අනිවාර්යයෙන්ම දැන ගත යුතුය. රජයේ බිම් මට්ටමේ නිලධාරීන් වන ග්‍රාම නිලධාරීන් නිසි තාක්ෂණික හා පරිපාලනමය රාමුවක් තුළ තබාගෙන හෝ විශ්වාස කළ නොහැකි නම්, රජයකට ඉදිරියට යා නොහැක. මේ තොරතුරු ආරක්ෂා කිරීමට කළ හැකි එක් දෙයක් වන්නේ, මෙම දත්ත රජයේ සුරක්ෂිත දත්ත ගබඩාවක තබාගෙන, එම දත්ත පරීක්ෂා කරන්නේ හෝ පිටපත් ලබා ගන්නේ කවුරුන් ද යන සියලුම තොරතුරු පරිගණක පද්ධතියේ සටහන් වන ක්‍රමයක් සැකසීමයි.

ජෙරමි බෙන්තම්ගේ කිසිදා සම්පූර්ණයෙන් යථාර්ථයක් බවට පත් නොවූ පැනොප්ටිකන් (panopticon) අදහස පිළිබඳ අසම්පූර්ණ අවබෝධයක් ඇති අය පවසන ආකාරයට, ඩිජිටල්කරණය නිසා අනිවාර්යයෙන්ම තත්ත්වය නරක අතට හැරෙන්නේ නැත. බුද්ධිමත් ලෙස පද්ධති සැකසීමෙන් සහ ඊට අවශ්‍ය පරිපාලනමය හා නීතිමය වෙනස්කම් සිදු කිරීමෙන්, ඩිජිටල්කරණය හරහා වර්තමානයට වඩා යහපත් තත්ත්වයක් උදා කර ගත හැකිය. ඩිජිටල්කරණය නිසා අනාගතයේ මහා විනාශයක් සිදු වනු ඇතැයි කියමින් විලාප නඟනවාට වඩා, ක්‍රම ක්‍රමයෙන් හෝ මෙම යහපත් වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කිරීම වඩාත් ඵලදායී මෙන්ම අභියෝගාත්මක කාර්යයක් වනු ඇත.

Rohan Samarajiva
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්