The Leader News
BREAKING
Top Ad
Opinion

ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් තොරතුරු පුරවැසියාට අයිතිද?

Awara

Awara

October 20, 2026 • 6:00 PM

ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් තොරතුරු පුරවැසියාට අයිතිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිට්‍රෝ නඩුවෙන් තහවුරු වූ තොරතුරු අයිතිය රාජ්‍ය මුදල් භාවිත කරන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගැනීම පුරවැසියන්ට වැදගත් වන්නේ ඇයි?
  • රාජ්‍යයට හිමිකාරීත්වයක් ඇති සමාගමක ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් සහ දීමනා පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියෙකුට නීතිමය අයිතියක් තිබේද?
  • එවැනි තොරතුරු පුද්ගලික තොරතුරු ලෙස සලකා හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ හැකිද?
  • ශ්‍රී ලංකා අභියාචනාධිකරණය 2024 පෙබරවාරි 12 වැනිදා ලබාදුන් ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ඩබ්ලිව්.කේ.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලිට්‍රෝ නඩුවෙන් තහවුරු වූ තොරතුරු අයිතිය

රාජ්‍ය මුදල් භාවිත කරන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගැනීම පුරවැසියන්ට වැදගත් වන්නේ ඇයි? රාජ්‍යයට හිමිකාරීත්වයක් ඇති සමාගමක ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් සහ දීමනා පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියෙකුට නීතිමය අයිතියක් තිබේද? එවැනි තොරතුරු පුද්ගලික තොරතුරු ලෙස සලකා හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ හැකිද?

ශ්‍රී ලංකා අභියාචනාධිකරණය 2024 පෙබරවාරි 12 වැනිදා ලබාදුන් ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ඩබ්ලිව්.කේ.එස්. කරුණාරත්න අතර CA/RTI/REV/08/2022 නඩු තීන්දුව මගින් ඉහත ප්‍රශ්න සම්බන්ධයෙන් වැදගත් නීතිමය කරුණු පැහැදිලි කිරීමක් ලබා දී තිබේ. මෙම තීන්දුවේ මූලික වැදගත්කම වන්නේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම්වල විනිවිදභාවය පිළිබඳව පමණක් නොව, තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අවධාරණය කිරීමයි.

තොරතුරු ඉල්ලීම සහ සමාගමේ ප්‍රතික්ෂේපය


මෙම නඩුවේ අභියාචකයා වූ ඩබ්ලිව්. කේ. එස්. කරුණාරත්න මහතා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුත්තක් ද පැවති බව තීන්දුවේ සඳහන් වේ.

ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ අනෙකුත් ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන්ගේ මාසික වැටුප් සහ දීමනා පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියේය. එමෙන්ම ඔවුන් ලබාගෙන ඇති ණය ප්‍රමාණ, ආපසු ගෙවිය යුතු මුදල් සහ අදාළ පොලී අනුපාත පිළිබඳ තොරතුරු ද ඉල්ලා තිබිණි.

එහෙත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ස්ථාවරය වූයේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති බැවින් ඒවා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ අර්ථයෙන් “පොදු අධිකාරියක්” නොවන බවයි.

මෙම ස්ථාවරය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කළ අතර 2022 ජනවාරි 18 දින ලබාදුන් තීරණයෙන් පසුව, 2022 ජූලි 27 දින සමාගමට අදාළ තොරතුරු ලබාදෙන ලෙස කොමිෂන් සභාව නියෝග කළේය. නමුත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභා තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත යොමු විය.

සමාගම සහ පොදු අධිකාරිය අතර සීමාව

මෙම නඩුවේ ප්‍රධාන නීතිමය ගැටලුවක් වූයේ ලිට්‍රෝ ගෑස් සමාගම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට යටත් පොදු අධිකාරියක් ද යන්නය. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 43 වැනි වගන්තිය මගින් “පොදු අධිකාරිය” කුමක්ද යන්න පැහැදිලිව අර්ථ දක්වා ඇත. එහි 43(ඉ) වගන්තිය අනුව, “රාජ්‍යය හෝ පොදු සංස්ථාවක් හෝ රාජ්‍යය සහ පොදු සංස්ථාවක් එක්ව, සමාගමක කොටස්වලින් සියයට 25ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන සිටින අවස්ථාවක හෝ වෙනත් ආකාරයකින් පාලන බලයක් දරන අවස්ථාවක, එම සමාගම පොදු අධිකාරියක් ලෙස සැලකිය හැකිය.”

තීන්දුවේ සඳහන් කරුණු අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ කොටස්වලින් සියයට 99.94ක් හිමිකරගෙන තිබූ අතර, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම එහි පූර්ණ හිමිකාරීත්වය යටතේ පැවති අනුබද්ධ සමාගමකි. තවද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කොටස්වලින් සියයට 99.97ක් මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හිමිකරගෙන තිබිණි.

මෙම හිමිකාරීත්ව සම්බන්ධතා සහ පාලන බලය සැලකිල්ලට ගනිමින්, අභියාචනාධිකරණය තීරණය කළේ අදාළ සමාගම් දෙකම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ අර්ථයෙන් පොදු අධිකාරීන් වන බවයි. මෙයින් පැහැදිලි වන්නේ සමාගමක් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබීම පමණක්, එය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතෙන් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි.

පෞද්ගලිකත්වයද? මහජන යහපතද?

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් සහ දීමනා පුද්ගලික තොරතුරු වන බැවින් ඒවා හෙළිදරව් කළ නොහැකි බවට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ස්ථාවරය විය. මන්ද, පනතේ 5(1)(අ) වගන්තිය මගින් පුද්ගලික තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සීමා පනවා තිබෙන නිසාය. එහෙත් එම තොරතුරු පොදු කටයුත්තකට හෝ මහජන යහපතට සම්බන්ධ වන අවස්ථාවක සහ අදාළ ව්‍යතිරේකවල කොන්දේසි සපුරාලන අවස්ථාවක, තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ වෙනත් නීතිමය සලකා බැලීමක් ඇත.

එහිදී, අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ වැටුප් තොරතුරු පුද්ගලික ස්වභාවයක් ගත්තද, රජයේ අවසාන මූල්‍ය පාලනයට සම්බන්ධ ආයතනයක මුදල් වියදම් වන ආකාරය පිළිබඳ දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි. එමෙන්ම පනතේ 5(1)(ඈ) වගන්තිය යටතේ වාණිජ රහස්‍යභාවය, වෙළෙඳ රහස් හෝ තෙවන පාර්ශ්වයක තරගකාරී තත්ත්වයට හානි කළ හැකි තොරතුරු සම්බන්ධයෙන් ද සීමා පවතී. එහෙත් සෑම තොරතුරක්ම එම ව්‍යතිරේකයට යටත් වන බවක් අදහස් නොවේ. එහිදී, පනතේ සඳහන් කොන්දේසි සහ මහජන යහපත ඉදිරියට පැමිණෙනු ඇත.

මෙම නඩුවේදී අධිකරණය තීරණය කළේ ඉල්ලා තිබූ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් සහ දීමනා තොරතුරු වාණිජ රහස්, වෙළෙඳ රහස් හෝ බුද්ධිමය දේපළ ආරක්ෂාව යටතේ හෙළිදරව් නොකළ යුතු තොරතුරු නොවන බවයි. පෞද්ගලිකත්වය සහ අන්‍යයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම් තිබුණද, මෙම අවස්ථාවේදී ඒවා මහජන යහපතට වඩා ඉහළින් තැබිය නොහැකි බව අධිකරණය අවධාරණය කළේය.

තොරතුරු ඉල්ලීමට හේතුව අදාළද?

මෙම නඩුවේ තවත් වැදගත් කරුණක් වූයේ තොරතුරු ඉල්ලා සිටි පුද්ගලයාගේ අරමුණයි. සමාගමේ ස්ථාවරය අනුව, අභියාචකයා හිටපු සේවකයෙකු වූ අතර ඔහු සමඟ කම්කරු ආරවුලක් ද පැවති බැවින්, තොරතුරු ඉල්ලීම පිටුපස පෞද්ගලික අරමුණක් තිබිය හැකි විය.

එහෙත් අධිකරණය පැහැදිලි කළේ තොරතුරු ඉල්ලන්නාගේ අභිප්‍රාය කුමක්ද යන්න සොයා බැලීම තොරතුරු ලබාදීම සඳහා සාමාන්‍යයෙන් පූර්ව කොන්දේසියක් නොවන බවයි. පනතේ දක්වා ඇති නීතිමය පදනම මත ඉල්ලීම තීරණය කළ යුතුය.

විනිවිදභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 6 වැනි වගන්තිය ද මෙහිදී වැදගත් වේ. යම් ලේඛනයක කොටසක් පමණක් හෙළිදරව් කිරීමෙන් නිදහස් කර ඇති අවස්ථාවක, වෙන්කර ලබාදිය හැකි අනෙකුත් තොරතුරු ලබාදීමට එම වගන්තිය ඉඩ සලසයි. එමඟින් සම්පූර්ණ ලේඛනයම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට හෙළිදරව් කළ හැකි තොරතුරු පුරවැසියාට ලබාදීමේ වැදගත්කම එකී වගන්තියෙන් මනාව පැහැදිලි වේ.

අවසානයේදී අභියාචනාධිකරණය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණය නිවැරදි බව පිළිගෙන, ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළේය. නඩු ගාස්තු ද අභියාචක සමාගම්වලට ගෙවීමට නියම කෙරිණි.

මෙම තීන්දුවෙන් ලැබෙන පණිවිඩය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ලේඛන ලබාගැනීමේ ක්‍රමවේදයකට පමණක් සීමා නොවන බවයි. එය මහජන මුදල් භාවිතය පිළිබඳ විමසීමට, රාජ්‍යයට සම්බන්ධ ආයතනවල වගවීම ශක්තිමත් කිරීමට සහ පුරවැසියන්ට තීරණ ගැනීමට උපකාරී වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවයි.

රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පාලනයට සම්බන්ධ සමාගම් මහජනතාවට වගකිව යුතු ආයතන ලෙස ක්‍රියා කළ යුතුය. විනිවිදභාවය යනු ආයතනවලට ඇති අමතර වගකීමක් පමණක් නොව, මහජන විශ්වාසය ගොඩනැගීමට අවශ්‍ය මූලික කොන්දේසියකි. එබැවින්, තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම යහපත් පාලනයක් සහ වගවීම තහවුරු කිරීම සඳහා ඔවුන්ට ඇති වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී මෙවලමක් ද වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...