යමක් විග්‍රහ කිරීමට ප්‍රථම එය බටහිරද,පෙරදිගද, සිංහලද, අසිංහලද, බෞද්ධද, අබෞද්ධද යැයි හංවඩුවක් ගසා, ඉන් අනතුරුව එය විග්‍රහ කිරීම නලින් වාදයේ මූලික ලක්ෂණයෙකි. 
 
මේ හංවඩුව, ඒ දෙය දෙස වියුක්තව බැලීමේ හැකියාව නැති කරන අතර එමගින් එහි හොඳ  හා නරක ලක්ෂණ හඳුනාගැනීමේ හැකියාවද නැතිකරයි. 
 
යමක් ගැන නොඇලී බැලීමෙහි අගය බුදුරජානන්වහන්සේද හැමවිට පැහැදිලි කළේය.
 
බොහෝ හොඳ හා නරක ලක්ෂණයන් බොහෝ දේ වලට පොදුවේ. එය එසේ වටහා ගෙන හොඳ දේ එක්කර ගැනීමත්, නරකදේ ඉවත් කිරීමත්, සමාජයක දියුණුවට හේතුවේ.     
 

Drjpg

 
අපි ජන්මයෙන්, උප්පැන්නයෙන් සහ භාවිතාවෙන් සිංහල බෞද්ධයෝ වෙමු. අප තිදෙනා අතුරින් අයෙක් බෞද්ධ පාසලක ලැබූ අතර, අයෙක් අබෞද්ධ පාසලක්ද, අනෙකා මේ පාසල් දෙවර්ගයේමද ඉගැනුම ලැබීය. අයෙක් දහම් පාසල් ගිය අතර අයෙක් නොගියේය. අපි සියල්ලෝම සිංහල බසින් "බටහිර රාමුව" මත සැකසුනු මූලික අධ්‍යාපනය ලැබුවෙමු. අප වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරූයේ ඉංගිරිසි බසින්, ලංකාවේ "බටහිර"වෛද්‍ය පීඨ වලය. ඉන්පසු පශ්චාත් උපාධි දැනුම සඳහා ඉංග්‍රීසි බසින් "බටහිර රටක" වෙද සිද්ධාන්ත හැදෑරූ නිසා, නලින් ද සිල්වා "බටහිර වෙද පඬි නැට්ටන්" යන හංවඩුව ගසා ඇත. එනමුත් අපට ඒ වෛද්‍ය සිද්ධාන්ත මත පදනම්ව රෝගීව දුකට පත්වූ  මිනිසුන් මරණයෙන් ගලවා ගැනීමට හෝ සුවපත් කිරීමට හෝ හැකි විය. සංස්කෘතීන් දෙකක් තුල ඉගෙනගත් නිසාත්, එම සංස්කෘතීන් වල රෝගීන් හා බැඳී කටයුතුකළ නිසාත්, සියලු සත්වයන් අතර ඇති සමානකම් හා වෙනස්කම් ගැන මනා අවබෝධයක් ලබාගැනීමටද අපට හැකිවිය.   
  
මරණය හා බැඳුනු දුකට බටහිර හෝ පෙරදිග යැයි වෙනසක් නොමැති විශ්වීය සත්‍යයකි. අනතුරකට ලක්වූ සුනඛයෙකු මරණය අභියස දක්වන තැතිගැන්ම සහ අසරණ බව කොරෝනා රෝගියෙකුගේ දෑස් තුළද  අප දුටුවෙමු. 
 
බටහිර රටක පුහුණුව ලබන අවස්ථාවක වියපත් කාන්තාවක් මරණයට පත්වන අවස්ථාවේදී ඇයගේ දෑස් තුළ තිබුණු ශාන්තභාවය අප දැන සිටි බවුන් ගත තෙරුන් වහන්සේ කෙනෙකු සිහිපත් කළේය. ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවද, මරණ දුක හමුවේ සමහරුන් දක්වන කුසලතාවය සමානය. එම කුසලතාවය ඇයට ලැබුනේ ඇය උපතින් ලැබූ දෘෂ්ටිය නිසා නොවේ. 
 
වරක සරණාගත කඳවුරක මරණය අභියස සිටි දමිළ ත්‍රස්තවාදියෙකු බටහිර වෙදකමින් මරණයෙන් ගලවා පසු " සිංහල දොස්තර වරුන් ගැන මා හිතුවේ වැරදි විදිහට" යැයි අපට කීවේය. 
 
ඒ අප දියුණු කරගත් කුසලතාවයක්, ඔහු මරණයෙන් බේරා ගැනීමට පාවිච්චි කල හෙයිනි. 
 
එහිදී වැදගත් වූයේ බටහිර වෙදකම නම් රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ කුසලතා පුර්ණ ක්‍රියාවලිය පමණි.
 
 
 මිනිසුන්ට පිහිටවන කුසලතාවයන් දියුණු කිරීම සඳහා මතවාදී උප්පැන්න බැලීම සැබෑ දේශීය  චින්තනයකට සුදුසු ලක්ෂණයක් නොවේ. 
  
දුක් විදින රෝගියකු හා කටයුතු කරන විට EMPATHY නැමැති බටහිර සංකල්පය තුළින් ක්‍රියාකිරීම අපට කියා දුන්නේ සුද්දන්ය. එයට බුදුදහම තුළ දක්නට ලැබෙන මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන ආර්ය කුසලතාවයන්  සමඟ යම් පමණක සම්බන්ධයක් ඇත.එවැනි සමානකමක් දැකිය හැක්කේ ප්‍රඥාවෙන් පමණි.
 
 හොද්ද සෑදූ මුට්ටිය ඇලුමිනියම් නිසා එය කිරි හොද්දක් නොවේ යයි කිව හැක්කේ මුග්ධ නලින්වාදී පඬියකුට පමණකි. තමා ඉටු කරන ක්‍රියාවන් මගින් සත්ත්වයන් තාවකාලිකව හෝ දුකින් මිදීමට කරන යහපත් ප්‍රයත්නයේදී  වැදගත් වනුයේ එහි උප්පැන්න සහතිකයට වඩා ලබාගන්නා ප්‍රතිඵලය යි.
 
මරණය තාවකාලිකව හෝ නැවැත්වීමට විවිධාකාර විද්‍යාවන්, තාක්ෂණවේදයන් සහ වෘතයන් භාවිතා වේ. 
 
අප බටහිර වෛද්‍යවරුන් ලෙස රෝගීන් සුව කිරීමට භාවිතා කරන්නේ එම අවස්ථාවේ ඒ සඳහා ඇති හොඳම ප්‍රතිකාර ක්‍රමයයි. 
 
අලුතින් එයට වඩා හොඳ ප්‍රතිකාර ක්‍රමයක් සොයාගතහොත් පැරණි ප්‍රතිකාර ක්‍රමය නවත්වා, නව ප්‍රතිකාර ක්‍රමය අපි භාවිතා කරමු. 
 
බටහිර විද්‍යාවන්ගේ හා වෛද්‍ය විද්‍යාවේ යම් කරුණක් ගැන තමන් මෙතෙක් දැරූ මතය වැරදියයි අලුත් සාක්ෂි අනුව ඔප්පු වුව හොත්, පැරණි මතය වෙනස් කොට නව මතය අනුව කටයුතු කරයි. 
 
නලින්වාදීන්ට අනුව මෙය දුර්වල කමකි. 
 
එක් ප්‍රවාදයක් තවත් ප්‍රවාදයකින් තවත් ප්‍රවාදයකින් විස්ථාපනය කිරීමකි. බටහිර වේවා පෙරදිග වේවා කිසිදු භෞතික සොයාගැනීමක් අවසාන පරම සත්‍යය විය නොහැක. කිසිදු ලෞකික දැනුමක් කිසිකලක සම්පූර්ණ නොවේ. අප සැමවිටක විවෘත මනසකින් ලොව ගැන බැලිය යුත්තේ එනිසාය. 
  
එවන් අවබෝධයකින් යුතුව, කල හැකි පර්යේෂණයන් සිදු කොට, මිනිසාට වැඩ දායක නව සොයාගැනීම් සිදුකෙරීම වැදගත්ය. 
 
බටහිරයන් හා බටහිර දැනුම ආශ්‍රයෙන් ඉදිරියට ඇදෙන පෙරදිග රටවල්, පර්යේෂණ සඳහා සැමදා කාලය යොදන්නේ එනිසාය. තම දැනුම සම්පූර්ණ යයි ඔවුන් සිතන්නේ නම් ඔවුන් පර්යේෂණ නවත්වා, දැන් දැනුම සම්පූර්යැයි  පවසනු ඇත. පර්යේෂණාගාර වසා දමනු ඇත. 
  
නිහතමානිත්වය අතින්ද සමානතාවයන් විශිෂ්ට, සංවර බටහිර හා පෙරදිග උගතුන් අතර දක්නට ලැබේ. 
 
sir isaac newton
 
නලින් ද සිල්වා මහතාගෙන් නිතර බැටකන සර් අයිසැක් නිවුටන් තමන්ට නයිට් පදවියක් ලැබුණු අවස්ථාවේදී පැවසුවේ කුමක්ද? "ඔබට මා කෙසේ පෙනේ දැයි මම නොදනිමි. එහෙත් මට මා පෙනෙන්නේ මහා සාගරය ඉදිරිපිට වෙරළෙහි සිප්පි කටු ඇහිඳින කුඩා ළමයකු ලෙසිනි. මා සිප්පිකටු හෝ බෙල්ලන් ඇහිඳීමින් සතුටු වන අතර, සත්‍යය නැමති මා නොදන්නා මහා සාගරය මා ඉදිරිපිට පවතී". 
 
නොදැනීම ගැන ඇති දැනීම හා තමන් දත් දෙයට නොඇලීම අගය කල යුතු ගුණයකි. 
 
මෙවැනි ප්‍රකාශයක් 8 වැනි සියවසේදී මහාවංසයේ සංස්කරණයක් කල මොග්ගල්ලාන හිමියන්ද ලියා ඇත. තම සංස්කරණයට පෙරවදනක් ලියන හිමියන් මෙසේ ලියයි.
 
"බුද්ධ වංසයද, මහාවංසයද, ථුප වංසයද අප්‍රකට තොරතුරුද ගෙන ගලපා පිඬු කොට,අර්ථයෙන්ද, යුක්තියෙන්ද, ගොතා කල මෙහි අයුත්තක් හෝ නොගැලපෙන්නක් වේ නම් පුර්වාපර සන්ධි ගලපා, නැවත නැවත විමසා, නුවණැත්තන් මෙය ගත යුතුය.දොස් සහිතව නොගත යුතුය." 
 
බටහිර හා පෙරදිග සැබෑ උගතුන් දෙදෙනකු අතර ඇති මේ නිහතමානිත්වය හා තම මතයට පවා නොඇලීම, සිංහල බෞද්ධ යැයි කියාගන්නා නලින්වාදීන් තුල නොමැත.  
  
අනෙක් අතින් ඇතැම් මිනිසුන්ගේ මෝඩකම්, අමනකම්, බොරුවට හා පුහු මාන්නයටද දේශ සීමා නිර්ණයන්, ජාති ආගම් භේදයන් නොමැත. 
 
නලින් වාදීන්ට සිංහල බෞද්ධ නොවන සියලු දේ වහ කදුරු සේ, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුදු ඇමෙරිකානු නොවන දේ වහකදුරු විය. 
 
ලාංකික නලින්වාදීන් මෙන්ම ඇමරිකානු නලින්වාදී ට්‍රම්ප් තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට කුමන්ත්‍රණ න්‍යායය යොදා ගත්තේය. ට්‍රම්ප්ට ඔහුගේ කුමන්ත්‍රණ න්‍යායයන් ප්‍රචලිත කිරීමට "බ්‍රිය්බාට්" නම් සංවිධානයක් තිබිණි.
 
 මැක්සිකානු සංක්‍රමණිකයන්ගේ සංක්‍යාවන් ව්‍යාජ ලෙස වැඩිකර පෙන්වූ ඔවුන් එම ප්‍රශ්නය විසඳීමට තාප්පයක් යෝජනා කළේය. 
 
පොලිස් වෙඩිපහරින් මියයන අහිංසක කළු මිනිසුන් දාමරිකයන් යැයි හංවඩු ගැසුවේය. චීනය ගැන බොහෝ බොරු මත පැතිරවුයේය. ඇමරිකාව පසුපසට යන්නේ මේ පිටස්තරයන් නිසායැයි පැවසුවේය. අවසානයේදී ඔවුන් ඉතිරිකලේ වියවුලෙන් පිරි ඇමරිකාවකි. 
 
 

jzjcjmq1 720

ඩොනල්ඩ් ට්‍ර්ම්ප්
 
ශ්‍රී ලාංකික නලින්වාදින්ටද තමන්ට විරුද්ධ සියලු දේ බහුජාතික, විජාතික, එන්. ජී. ඕ, අනුකාරක, සී.අයි.ඒ, රෝ ආදී මෙකී නොකී අයගේ කුමන්ත්‍රණය. එසේත් නැත්නම් අවම වශයෙන් විරුද්ධ මත දරන්නන් ගේ බාප්පලා හෝ මාමලා කුමන්ත්‍රණකරුවන්ය. නලින් වාදින් ලාංකිකයන් නොමග යැවීමට බුදුදහම අවභාවිතා කරන ලෙසම ට්‍රම්ප්  ඇමරිකානුවන් නොමග යැවීමට දේව විශ්වාසයන් අවභාවිතා කළේය. එමනිසා මතවාදී වශයෙන් ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ද  නලින්වාදියෙකි.
සියල්ල පටලවා ගත් "ඇමරිකානු නලින්වාදී"  මනස්ගාත කරුවෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් "බ්ලීච් දියරය"  කොරෝනා රෝගයට ඖෂධයක් ලෙස යෝජනා කළේය. 
 
ඔහු ඇමරිකාවේ ජනාධිපති නිසා පමණක් ඇමරිකන් වෛද්‍ය වරුන් එම මතය පිළිගත්තේ නැත. 
 
නලින් ද සිල්වා මැතිතුමා ඇමරිකාවේ සිටියේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන දෙය වෛද්‍ය වරුන් පවසන දේ හා සමාන සත්‍යයක් විය හැකි නිසා එය වහාම රෝගීන්ට විදින ලෙස පවසනු ඇත. 
 
ධම්මික පැණිය රෝගීන්ට ලබාදෙන ලෙස නලින් ද සිල්වා මහතා පවසන්නේ එම තර්ක ක්‍රමය මත පදනම්වය. 
 
නලින් ද සිල්වා මැතිතුමා වැනි මහදැනමුත්තෙක් සහ ගෝලයන් රොත්තක්, ඔවුන්ගේ දැනුමෙන් දියුණු කල, සකල සිරින් පිරි සිරි ලංකාවේ සිටින බව ට්‍රම්ප් මැතිතුමා නොදැන සිටියේය. 
 
දැනගත්තේ නම් ඔවුන් ඇමරිකාවට වැඩමවා ගෙනගොස්, සියලු සැපපහසුකම් ලබාදී. උපදෙස් ගැනීමට ඉඩ තිබුණි.
 
 
යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමේදී අනතුරට ලක් වූ පුද්ගලයා කබලෙන් ලිපට ඇඳ දමන ක්‍රමවේදයන් තෝරා  නොගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂ සැලකිල්ලක් දක්වයි. 
 
සැබෑ පෙරදිග විද්‍යාවන් තුලද  ඇත්තේත්, නලින් වාදය තුල නැත්තේත් මෙම ආරක්ෂාකාරී පියවරයි.
 
බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සුත්‍රයේ තම පුතුවූ රාහුල තෙරුන්ට ඉගැන්වූයේ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට ප්‍රථම එයින් තමාට හෝ අනෙකෙකුට අනතුරක් වේදැයි විමසා බලා කටයුතු කරන ලෙසය.
  
මාර්තු 5 වන දින "කාලය" වෙබ් අඩවියේ නලින් ද සිල්වා මැතිතුමා මනුෂ්‍යයන් නොවන ප්‍රාණීන් මගින් මේසන් බාසුන්නැහේ කෙනෙකුට ලබා දෙන දැනුම, කබලෙන් ලිපට ඇද නොදමන බව ඔප්පු කරන කළහැකි ක්‍රමවේදයක්, ඔහුගේ චින්තනය තුළ සතුව ඇති බව ලියයි. 
 
අප පුන පුනා ඔහුගෙන් ඉල්ලා සිටින්නේ එම ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසයි.
 
එවිට තමන්ට එම සහතිකය ලබා දීමට නොහැකි වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යය නිසාවෙන් යැයි නලින් ද සිල්වා මැතිතුමා කියයි.
 
අපගේ මතය ඉතා සරලය.
 
යම් විද්‍යාවකින්, තාක්ෂණවේදයකින්, ශාස්ත්‍රයකින්, දැනුමකින්, සංස්කෘතික ලක්ෂණකින්, දේශපලන මතයකින් හෝ වෙන කිසියම් දෙයකින් අප රටට හා අප රටෙහි මින්සුන්ට හොඳක් සිදුවේනම් එය අප වැලඳ ගත යුතුය. එසේ නැති නම් එය නොගත යුතුය. 
 
 
එසේම අපගේ අභිවෘධිය සඳහා නොවන යමක් දැනට අප තුල තිබේනම් එය ඉවත් කල යුතුය. මෙම තීරණ ගැනීමට ප්‍රථම ඒ දේ බටහිරද,පෙරදිගද, සිංහලද, අසිංහලද, බෞද්ධද, අබෞද්ධද යැයි හංවඩුව ගැසීම නොකල යුතුය.
 
තමන්ම "දේශීය චින්තනය" යැයි ලේබලයක් අලවා ගෙන ඇති නලින්වාදී ක්‍රමවේදය මගින් ලංකාව දියුණු කරන සැටි නලින් වාදීන් පැහැදිලි කල යුතුය. 
 
නලින්වාදී දේශීය ආර්ථික විද්‍යාව,දේශීය ඉන්ජිනේරු විද්‍යාව, දේශීය ගණකාධිකරණය, දේශීය රථවාහන විද්‍යාව ආදී නානාප්‍රකාර විද්‍යාවන් පිලිබඳ ක්‍රමවේදයන් ඔවුන් පැහැදිලි කල යුතුය. 
 
කටමැත දොඩවමින් තිස් වසරක් ගත කල නලින්වාදීන් දැන්වත් වැඩට බැසිය යුතුය.
 
 කිරි හොද්දක් සැදීමට බාර ගත්තේ නම් නලින් ද සිල්වා මැතිතුමා එය සාදන ක්‍රමවේදය හා එයට විස කලවම්වී නැතිබව සොයාගන්න අයුර අපට පැහැදිලි කල යුතුය. 
 
තමාගේ නොහැකියාව වසාගැනීමට හොද්ද සෑදීම වලක්වන කුමන්ත්‍රණ ඇත්තේ යැයි ඔහු   පුන පුනා පවසන්නේ, කුහකතත්වය නිසා මිසක් වෙන කුමන කරුණක් හේතුවෙන් ද? 
 
තමන් ඇලවූ ලේබල් මත ඇලී කෙස් පලන නලින්වාදීනට කල හැකිවනුයේ රස කිරි හොද්දක් හැදීමට නොව නීරස, පිළුණු, පෝෂනය රහිත හොද්දක් හැදීම පමණි. 
 
එපමණක් නොව තම අහංකාර මෝඩ කම නිසා එය නොකෑ හැකි හොද්දක් වීමේ පිළිබඳ අවලාදය බටහිර විද්‍යාවන්ට සාහසික ලෙස පැටවීමයි. 
 
"නටන්නට බැරි මිහිහා පොලව ඇද බව කියන්නේය" යැයි අපේ මුතුන්මිත්තන් පැවසුවේ මෙවන් නලින්වාදීන් ගැනය. 
 
මොවුන් එයින් නොනැවතී නටන මිනිසුන්ගේ ඇද කුදද සොයයි. ඔවුන් කුමන්ත්‍රණ කරන්නේ යැයි පවසයි.
 
(අපි නලින්වාදයේ අක්මුල් සිඳ දැමීමට ලියන මෙම ලිපි පෙළ, ලිපි දහයකට සීමා කරන්නෙමු. මෙම ලිපි කියවන ඔබ අප ඉස්මතු කරණ කරුණු වල හරය වටහා ගෙන, නලින්වාදයේ සලකුණක් හෝ දුටු තැන එයට නොබියව පහර දීමට නොපැකිලෙන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට ලාංකික සමාජය රැගෙන යාමට අදිටන් කර ඇති අපි, අපගේ ඊළඟ පියවරෙන් ඔබ හමුවට එන්නෙමු )
 
 
- විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර
- විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
- විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
 
 
 
 
 
කියවන්න 
නලින් ද සිල්වාට අභියෝග : විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගේ අනෙකුත් ලිපි 
 
 
 
 
 
 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්