රදළ ප්‍රභූත්වයේ සිට ගැමියාගේ ‘පුතා’ දක්වා මාරු වූ ලාංකේය දේශපාලන මානය
ශ්‍රී ලංකාවේ පශ්චාත් අරගල දේශපාලනය විසින් 'සෝ කෝල්ඩ්' දේශපාලන බල රූපක සියල්ලම ඔසවා පොළොවේ ගහලා තියෙනවා.
එතෙක් මෙතෙක් ලාංකේය පොදුජන විඥානය ඇතුලෙ මුල් බැහැගත්ත දේශපාලකයා කියන රූපකය ඇතුළෙ මුලින්ම තිබුණෙ ප්‍රභූ පවුලක මැම්බර් මහත්තයෙක්. 56 පංච මහා බලවේගය කියන ආඛ්‍යානය තුලින් දේශපාලනය එක වලව්වකින් තවත් වලව්වකට ගෙනාවට ඒ මැම්බර් රූපකය ජන මනසින් වෙනස් වුණේ නැහැ.
සාමාන්‍ය පවුල් වලින් දේශපාලනයට ආපු පිරිසුත් පසුකාලීනව ඉහත කී 'සෝ කෝල්ඩ්' මැම්බර්ට ඇන්දා මිසක් මැම්බර් දේශපාලනය පොදුජනවාදයක් කරා අරගෙන ගියෙ නැහැ. මොකද ඔවුන් නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරවලට එහෙම දෘෂ්ටිවාදී පදනමක් තිබුණෙ නැහැ.
වලව් පන්තියේ සිට පැවත ආ ප්‍රවේණි දේශපාලනය

කොටින්ම කෙසෙල්වත්තෙ ප්‍රේමදාසයි යාගොඩ පල්ලෙවත්තෙ ගමරාළලාගේ සිරිසේනයි දෙන්නම සිරිසේන මහත්තයා සහ ප්‍රේමදාස මහත්‍තයා මිසක් පොදුජන අවිඥානය ඇතුළෙ ජනතාවට තමන්ගෙ පවුලෙ කෙනෙක් වුණේ නැහැ.
ඒකට හේතුව පවුල් වලින් ප්‍රභූ නොවුණ පිරිස් පවා දේශපාලනයෙන් තැනකට ආවට පස්සෙ යමක් කමක් හරි හම්බ කරගත්තට පස්සෙ ඊනියා ප්‍රභූවාදයක්ම නඩත්‍තුකරපු එක. ඒ ඊනියා ප්‍රභූත්වය ගොඩනැගුනෙ අනුග්‍රාහක-සේවාදායකත්ව දේශපාලනය හරහා. ලයිසන්, පස් ගල් වැලි ව්‍යාපාර පෝස්ටර් ගහපු උන්ට දීපු රස්සා ඇතුළෙ.
ඒක ඇතුලෙ දේශපාලනය ප්‍රවේණි උරුමයක් වගේ තත්වයක් කරා අරන් එන තරමට දේශපාලනය දීන වෙලා තිබුනෙ. ඒ බොහෝ දේශපාලන ව්‍යාපාරවල ආසන සංවිධායකගෙ පුතා තරුණ සංවිධානෙ සභාපති, බිරිඳ කාන්තා සංවිධානෙ සභාපති. ආසන මට්ටමේ ඉඳන් ජාතික මට්ටම දක්වාම දේශපාලනය ප්‍රවේණි උරුමයක් වෙලා තිබුනෙ.
2022 අරගලය සහ බිඳවැටුණු ප්‍රභූ ආඛ්‍යානය
2022 දී පොදුජන විඥානය විසින් උස්සලා පොළොවෙ ගැහුවේ මේ ඊනියා දේශපාලන රූපකය.

අද පශ්චාත් අරගල දේශපාලනය විසින් ගොඩනගමින් ඉන්නෙ ඒ ඊනියා දේශපාලන රූපකයන්ට එරෙහි දේශපාලන ආඛ්‍යානය. ඒ දේශපාලන අඛ්‍යානයට පදනම වෙන්නෙ 'පොදුජනවාදයක්' පිළිබඳ හැඟීම. ඒක ගොඩනැගෙන්නෙ වැඩවසම් නෂ්ටාවශේෂ, අධිරාජ්‍යවාදී නෂ්ටාවශේෂ සහ නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට රට කරපු සියළු දේශපාලන ව්‍යාපාර විසින් නඩත්‍තුකරපු 'දේශපාලකයා යනු ප්‍රභූවරයෙකි' යන ඊනියා රූපකය දෙදරවාගෙන ඊට ප්‍රතිපක්ෂව.
පොදුජන විඥානයට දායාද වූ නව නායකත්වය
එකී පශ්චාත් අරගල දේශපාලනය විසින් ඊනියා ප්‍රභූරූපකයට ප්‍රතිපක්ෂව පොදුජන සාමූහික අවිඥානය වෙත මේ මොහොතේ දායාද කර ඇති පිළිතුර තමයි අනුර කුමාර දිසානායක කියන්නෙ. දළදා පෙරහැරේ දවුල් වාදන ශිල්පියාට වැඩවසම් සංඛේතීය රදළ ප්‍රභූවරුන් පිරිවරා සිටියත් ජනාධිපතිතුමාට 'පුතේ' කියවෙන්නෙ ඒකයි.
ඒක තමයි පශ්චාත් අරගල දේශපාලනයේ 'මේ මොහොත'. අන්න ඒ 'මේ මොහොත' විසින් ඉල්ලා සිටින පොදුජනවාදය පිළිබඳ දේශපාලන රූපකය පොදුජනතාවට දකින්න තියෙන එකම දේශපාලන ව්‍යාපාරය සහ නායකත්වය ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන ව්‍යාපාරය පමණක් බවයි ලංකාවේ දේශපාලනය දිහා ගැඹුරින් බලන ඕනෑම කෙනෙකුට පේන්නෙ.
සුන්බුන් මත සිටින විපක්ෂය සහ 'සාකියා'ගේ ආඛ්‍යානය
ලංකාවේ අනෙක් දේශපාලන ව්‍යාපාර සියල්ලක්ම පශ්චාත් අරගල දේශපාලනයේ ඉහත කී 'මේ මොහොත' අල්ලා ගන්න නොහැකිව සීසීකඩ විසිරිලා ගිහිල්ලා තියෙනවා.
එහෙම විසිරිච්ච සුන් බුන් ඇතුළෙ ඉඳන් තවමත් තමන්ගෙ ඊනියා දේශපාලන රූපක තුළින්ම ජනතාවගෙ 'පොදුජනවාදය' පිළිබඳ හැඟීම අවඥාවට ලක්කරමින් තමන්ගෙ පරණ ප්‍රභූ සංස්ථාපිතයටම බලය ගන්න පුළුවන් කියලා හිතනවා.
ජනතාවට මේක පේන්නෙ 'අපි රජ ඉබ්බෝ' කාටුන් මාලාවේ එන දුෂ්ඨ සාකියා සහ යකඩ සිරුරක් තියෙන දුෂ්ඨ මොලකාරයා වගේ. ඒ දුෂ්ඨ සාකියාගෙන් ජනතාව බේරගන්න කණ්ඩායම විදිහට පොදුජන විඥානය ඇතුළෙ ආණ්ඩුව ආඛ්‍යානගත වෙමින් තියෙනවා.
'පොදුජනවාදය' පිළිබඳ දේශපාලන සුසමාදර්ශය පශ්චාත් අරගල දේශපාලනය විසින් ජනතාවගෙ සාමූහික අවිඥානය ඇතුලෙ ස්ථාපනය කරලා ඉවරයි. ඒ දේශපාලන සුසමාදර්ශී අදහසට අනුව මේ මොහොතේ ජනතාවට 'පුතේ' කියලා නිරායාසයෙන් කියවෙන නායකයෙක්ට ඉන්නෙ අනුර විතරයි.
ඒක මේ මොහොතෙ දේශපාලනය කරන කාටත් මඟ හැර යා නොහැකි සත්‍යයක්.
'කුමාරොදය' කවිය සහ දේශපාලනයේ නව සීමාව

නුවර අර පෙරහැරේ දවුල් වාදන ශිල්පීයා අනුර ජනාධිපතිතුමාට 'අවුරුදු 69 ක් පෙරහැරට එනවා පුතේ' කියද්දි මට මතක් වුණේ මංජුල වෙඩිවර්ධන ලියපු 'කුමාරොදය' කවි පංතිය
මෙ තරම් ලස්සනක් කොහිද වෙන ලිපිනෙක
‘’කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’
නල්ලච්චියෙ අහසට රතුපාට ගෑව
මෙච්චර දුරකට ඇහුණද දේවහූව
කලා නිහින රිලා පැටව් විකුම් පෑව
කලාවැවට කැරකෙනවද මාලිමාව
නෑගම් ගිය රිලව් පැටව් පුරුදු කෙරුව
දුරට පෙනුණි 'කුඩාගමේ මද්දහනය'
රතන සූත්‍රය රඳවා මල් පඳුරක
ගෙය ගිනිලෑව ද ලිපිනය නිරුපද්‍රිත
මෙකව එවමි කවියක් බඳු ඒ ලිපිනෙට
‘‘කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’
මේ මොහොතෙ පොදුජන විඥානය ඇතුළෙ අනුර කුමාර දිසානායක හරියටම ස්ථානගතවෙලා ඉන්නෙ මංජුල වෙඩිවර්ධනගෙ මේ කවිය තරම්ම උණුසුම් තැනක.
ඒ තැනින් මිනිස්සු අනුරව අයින් කරනවා නම් ඒ තැන දෙන්නෙ අනුරට වඩා තමන්ට 'පුතේ' කියලා දැනෙන මිනිහෙක්ට මිසක් ඊට වඩා සියදහස් ගුණයක් පසුගාමී පරණ ප්‍රභූ තන්ත්‍රයකට නොවන බව නම් ඉතාම පැහැදිලියි.
අනුර විසින් දේශපාලනයේ උස පැනීමේ සීමාව ඔසවා නව සීමාවක් සලකුණු කරලා තියෙනවා. පශ්චාත් අරගල දේශපාලනයේ 'මේ මොහොත' එම සීමාවයි.
(සටහන | නීතිඥ අකලංක හෙට්ටිආරච්චි)
akalanka125@gmail.com
( උපුටා ගැනීම | Akalanka Hettiarachchi ගේ ෆේස්බුක් පිටුවෙන් )




