The Leader News
BREAKING
Top Ad
Opinion

චූදිතයාගේ ජීවිත අයිතිය මිලකිරීම සහ ඇස්බැන්දුම් ප්‍රජාතන්ත්‍රවාදයක අරාජිකත්වය | Athulasiri Samarakoon

T

The Leader Desk

June 29, 2026 • 12:01 PM

චූදිතයාගේ ජීවිත අයිතිය මිලකිරීම සහ ඇස්බැන්දුම් ප්‍රජාතන්ත්‍රවාදයක අරාජිකත්වය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාතාල සාමාජිකයකු වුවද සාමාන්‍ය පුරවැසියකු වුවද ජීවිතය ආරක්ෂා කිරීම රාජ්‍යයේ මූලික වගකීමකි.
  • එබැවින් රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන  පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධ වන බවට චෝදනා මතු වන්නේ නම්, එය එක් පුද්ගලයකුගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව, රාජ්‍යයේම ආචාරධර්මික පදනම පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වේ.
  •   අරාජිකත්වය බොහෝ විට වැරදි ලෙස තේරුම් ගනු ලබන්නේ පාලකයකු නොමැති තත්ත්වයක් ලෙසය.
  • ආයතන තමන්ගේ ස්වාධීනත්වය අහිමි වූ විට, නීතියේ ආධිපත්‍යය දේශපාලන බලයට යටත් වූ විට සහ පුරවැසියාගේ විශ්වාසය බිඳ වැටුණු විට, ප්‍රජාතන්ත්‍රවාදය නිහඬ හිස් ආකෘතියක් බවට පත්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මානව ජීවිතයේ වටිනාකම  පුද්ගලයාගේ සමාජ තත්ත්වය, දේශපාලනික බැඳීම් හෝ අපරාධ ඉතිහාසය අනුව වෙනස් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සැබෑ අර්ථය පවතින්නේ නීතිය මඟින් සෑම පුද්ගලයකුගේම ජීවිතය හා ගෞරවය සුරක්ෂිත කිරීම තුළය. එබැවින් රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන  පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධ වන බවට චෝදනා මතු වන්නේ නම්, එය එක් පුද්ගලයකුගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව, රාජ්‍යයේම ආචාරධර්මික පදනම පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වේ. එවැනි චෝදනා සම්බන්ධයෙන් අවසාන නිගමනය අධිකරණ ක්‍රියාවලිය මත රඳා පවතින අතර, නීතියේ ක්‍රියාවලියට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය කොටසකි.

 

625e71aa6ab58 625e718042638 Court 123
අරාජිකත්වය බොහෝ විට වැරදි ලෙස තේරුම් ගනු ලබන්නේ පාලකයකු නොමැති තත්ත්වයක් ලෙසය. එහෙත් දේශපාලන දර්ශනයේ අර්ථයෙන් අරාජිකත්වය යනු නීතියේ සාධාරණත්වය බිඳ වැටෙන, ආයතන තම සදාචාරාත්මක අරමුණ අහිමි කරන සහ බලය නීතියට වඩා ප්‍රමුඛත්වය ලබන තත්ත්වයකි. නීතිය ලියා තිබිය හැකිය. අධිකරණ ක්‍රියාත්මක විය හැකිය. මැතිවරණ ද පැවැත්විය හැකිය. එහෙත් යුක්තිය තෝරා බේරා ලබාදෙන විට, ප්‍රජාතන්ත්‍රවාදයේ පිටත ආකෘතිය නොවෙනස්ව තිබුණද එහි අභ්‍යන්තරය අරාජිකත්වයට පරිවර්තනය වීමට පටන් ගනියි.

මෙම අරාජිකත්වය නිර්මාණය කරන්නේ පාතාලයම පමණක් නොවේ. මුදලට යුක්තිය විකුණන නීති වෘත්තිය, බලයට අනුව ක්‍රියා කරන විමර්ශන ආයතන, ප්‍රමාදය හා අසමාන ප්‍රවේශය හේතුවෙන් ජනතා විශ්වාසය අහිමි කරන අධිකරණ ක්‍රියාවලිය, දේශපාලන බලපෑම්වලින් නිදහස් විය නොහැකි රාජ්‍ය ආයතන, දැනුමට වඩා වරප්‍රසාද නිපදවන අධ්‍යාපන ක්‍රමය සහ සාමාන්‍ය පුරවැසියාට හා බලවත් පුද්ගලයාට නීතිය වෙනස් ලෙස ක්‍රියාත්මක වන සමාජ සංස්කෘතිය යන සියල්ල එක්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක කවචය ක්‍රමයෙන් දුර්වල කරයි. සමාජයක් බිඳ වැටෙන්නේ එහි අපරාධකරුවන්ගේ ශක්තිය නිසා නොව, එහි ආයතනවල දුර්වලත්වය නිසාය.

මේ හේතුවෙන් අද ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ පුද්ගලයන්ගේ අර්බුදයකට වඩා පද්ධතිමය අර්බුදයකටය. ආයතන තමන්ගේ ස්වාධීනත්වය අහිමි වූ විට, නීතියේ ආධිපත්‍යය දේශපාලන බලයට යටත් වූ විට සහ පුරවැසියාගේ විශ්වාසය බිඳ වැටුණු විට, ප්‍රජාතන්ත්‍රවාදය නිහඬ හිස් ආකෘතියක් බවට පත්වෙයි. එවැනි අවස්ථාවක පාලකයන් වෙනස් වුවද, අරාජිකත්වයේ ස්වභාවය වෙනස් නොවේ. පුද්ගලයන් වෙනුවට පද්ධතියම ප්‍රතිනිෂ්පාදනය වන්නේ දූෂණය හා දණ්ඩමුක්තිය තුලය.

ab47
වත්මන් ආණ්ඩුව දූෂණයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටනක් ප්‍රකාශයට පත් කර තිබේ. එය වැදගත් දේශපාලන ප්‍රතිඥාවකි. එහෙත් එම සටනේ සාර්ථකත්වය තීරණය වන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාවෙන් නොව, නීතිය සියල්ලන්ටම එකසේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙනි. දූෂණයට එරෙහි සටන දේශපාලන පළිගැනීමක් ලෙස පෙනී ගියහොත් එය තම සදාචාරාත්මක බලය අහිමි කර ගනී. එහෙත් එය ආයතන ප්‍රතිසංස්කරණය කරන, නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන සහ පුරවැසියාගේ විශ්වාසය නැවත ගොඩනගන ක්‍රියාවලියක් බවට පත්වුවහොත් පමණක් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පියවරක් වනු ඇත.

එබැවින් සියලු දූෂිතයන්ට භා දුෂිත තත්වයන්ට එරෙහි සටන ජයගැනීම යනු එක් ආණ්ඩුවකට හෝ එක් නායකයකුට පමණක් ඉටු කළ හැකි කාර්යයක් නොවේ. එය නීතියේ ආධිපත්‍යය, ස්වාධීන ආයතන, විචාරශීලී මාධ්‍ය, වගකීම දරන දේශපාලනය සහ සවිඥානික පුරවැසියන් එක්ව ගොඩනගන දිගු සමාජ ක්‍රියාවලියකි.

ආරක්ෂා කරන්නේ නීති පොත්වල ලියා ඇති වගන්ති විසින් නොව, ඒවා සාධාරණව ක්‍රියාත්මක කිරීමට ඇති සමාජ අධිෂ්ඨානය විසිනි.

නිසැකවම, රාජ්‍යයක සැබෑ ශක්තිය මැනෙන්නේ එහි ආරක්ෂක හමුදාව, ආර්ථිකය හෝ දේශපාලන බලය මත නොවේ. එය මැනෙන්නේ බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියාට නීතිය ඉදිරියේ ලැබෙන සමාන ආරක්ෂාව සහ යුක්තිය මතය. එම සමානාත්මතාව බිඳ වැටෙන මොහොතේ සිට ප්‍රජාතන්ත්‍රවාදය නිහඬව අරාජිකත්වයට පරිවර්තනය වීමට පටන් ගනියි. එය සමාජයක් මුහුණ දෙන භයානකම අර්බුදය වන්නේ, එම අරාජිකත්වය බොහෝ විට නීතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේම ආවරණය තුළ සැඟවී පැවතීම නිසාය.


Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චූදිතයාගේ ජීවිත අයිතිය මිලකිරීම සහ ඇස්බැන්දුම් ප්‍රජාතන්ත්‍රවාදයක අරාජිකත්වය | Athulasiri Samarakoon | The Leader