BREAKING
රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●
Top Ad
Opinion

අරගලයෙන් පසු ශ්‍රී ලංකාව: පැරණි බල ව්‍යුහයද, නව ජනරජයක්ද? | Athulasiri Samarakoon

T

The Leader Desk

September 5, 2026 • 10:05 AM

අරගලයෙන් පසු ශ්‍රී ලංකාව: පැරණි බල ව්‍යුහයද, නව ජනරජයක්ද? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *"පැරණි දේශපාලනයේ නීත්‍යානුකූලත්වය බිඳවැටුණද රාජ්‍ය ව්‍යුහය තවමත් පරණයි; සැබෑ ජනරජ පරිවර්තනයක් යනු ආණ්ඩුවකට අසීමිත බලයක් හිමි නොවන ක්‍රමයක් නිර්මාණය කිරීමයි."
  • ජාජබය හමුවේ ඇති සැබෑ අභියෝගය විපක්ෂය මර්දනය නොව විරුද්ධ මතවලට ඉඩ දීමයි." 2022 අරගලය ශ්‍රී ලංකා දේශපාලනයේ එක් ආණ්ඩුවක් පමණක් පෙරළා දැමූ සිදුවීමක් නොවේ.
  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලයේ ස්ථානය හැමවිටම “empty place” — හිස් ස්ථානයක් බවට පත්වේ.
  • වරදාන දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හිස් ස්ථානය   මෙම අදහසින් බලන විට 2024 ජාජබ ජයග්‍රහණය විශේෂ දේශපාලන සංසිද්ධියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

*"සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමයේ බිඳවැටීමෙන් තනි පක්ෂ ආධිපත්‍යයක් බිහිවීමේ අවදානමක් පවතීද? ජාජබය හමුවේ ඇති සැබෑ අභියෝගය විපක්ෂය මර්දනය නොව විරුද්ධ මතවලට ඉඩ දීමයි."

2022 අරගලය ශ්‍රී ලංකා දේශපාලනයේ එක් ආණ්ඩුවක් පමණක් පෙරළා දැමූ සිදුවීමක් නොවේ. එය දේශපාලන බලය පිළිබඳව සමාජය තුළ පැවති පැරණි එකඟතාවයම ප්‍රශ්න කළ සිදුවීමකි.. #GotaGoHome යන්න එක් පුද්ගලයකුට එරෙහි සටන් පාඨයක් වුවද, එහි ගැඹුරු දේශපාලන අර්ථය වූයේ පුද්ගලයකු ඉවත් කිරීමකට වඩා දේශපාලන පන්තියක්, දේශපාලන සංස්කෘතියක් සහ ආණ්ඩු සහ රාජ්‍ය බලය බෙදීයාමේ ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම ය.

එබැවින් පශ්චාත්-අරගල ශ්‍රී ලංකාව පිළිබඳ මූලික ප්‍රශ්නයක් වන්නේ “බලයේ ඉන්නේ කව්ද?” යන්න පමණක් නොවේ. වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ දැන්  “බලය සංවිධානය වන්නේ කෙසේද " යන්න යි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලයේ ස්ථානය හැමවිටම “empty place” — හිස් ස්ථානයක් බවට පත්වේ. එනම් බලය කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සදාකාලිකව අයිති දෙයක් නොවේ. ජනතාව වෙනුවෙන් බලය භාවිත කළ හැකි නමුත්, ජනතාවගේ ස්ථානය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමට කිසිදු පාලකයකුට නොහැකිය.

වරදාන දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හිස් ස්ථානය

 

JVP 251003

මෙම අදහසින් බලන විට 2024 ජාජබ ජයග්‍රහණය විශේෂ දේශපාලන සංසිද්ධියකි. එය සාම්ප්‍රදායික පක්ෂ පද්ධතියේ දේශපාලන වරදාන–දායක patronage/clientelist සම්බන්ධතාවය මත ගොඩනැගුණු බල ව්‍යුහයට එල්ල කල බරපතළ ප්‍රහාරයකි. පක්ෂ නායකයාගේ නිවසට පැමිණෙන ජනතාව, රැකියාවක් ඉල්ලන ඡන්දදායකයා, කොන්ත්‍රාත්තුවක් බලාපොරොත්තු වන දේශපාලන හිතවතා, මැතිවරණයෙන් පසු රාජ්‍ය සම්පත් බෙදාගැනීම—මේ සියල්ලෙන් සමන්විත වූ clientelist democracy එක වෙනුවට නව ආකාරයක පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් අද බිහිවෙමින් පවතිනවාද යන්න දැන් විමසිය යුතුය.

එහෙත් මෙහිදී අප ඉතා වැදගත් විසංයෝජනයක් කළ යුතුය. පැරණි පක්ෂ බිඳවැටීම යනු පැරණි දේශපාලනය අවසන් වීම නොවේ. ජැක් ඩෙරීඩා අපට උගන්වන්නේ යම් ව්‍යුහයක් බිඳ දැමීමේදී එම ව්‍යුහය විසින්ම නිර්මාණය කළ භාෂාව, විරුද්ධාභාස, විරෝධයන් සහ අර්ථයන්ගෙන් අපට සම්පූර්ණයෙන් ගැලවිය නොහැකි බවයි. පැරණි දේශපාලනය විනාශ කරන නව දේශපාලනයටද බොහෝ විට පැරණි දේශපාලනයේ හොල්මන් එහි අභ්‍යන්තරය තුලම පවත්වාගෙන රැගෙන යාමට සිදුවේ.

පැරණි රාජ්‍යය තුළ සිරවන නව දේශපාලනය

ඒ අනුව ජාජබය පැරණි පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කළත්, එය බලයට පැමිණි පසු මුහුණ දෙන්නේ පැරණි රාජ්‍යයමය. පැරණි නිලධාරි තන්ත්‍රය, පැරණි නීති, පැරණි ආයතන, පැරණි පාර්ලිමේන්තු සංස්කෘතිය, පැරණි රාජ්‍ය ආර්ථිකය සහ පැරණි සමාජ පන්තීන් තවමත් එහි පවතී. එබැවින් නව දේශපාලන අර්ථයක් පැරණි රාජ්‍ය ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක කිරීමේ පරස්පරතාවය ජාජබය ඉදිරියේ පවතී.

ranil wickramasingha240723

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිසංස්කරණම ඉදිරියට ගිය ද වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය තුල දැඩි නිලධාරී තන්ත්‍රවාදයක් මතුවෙමින් පවතී. එය පැරණි බල ව්‍යුහය නව වටයකින් රාජ්‍ය ප්‍රතිසංස්කරණ වලට බාධාවක් වන අතරම, ජවිපෙ කාඩරයේ භූමිකාවද පවතින බලය ප්‍රතිසංස්කරණය විය යුත්තේ කුමන දිශානතියකටද යන ප්‍රශ්නය හමුවේ න්‍යායිකව බලය කේන්ද්‍රගත කිරීමට සහ නිලධාරීවාදයට පක්ෂ බව පෙනෙයි.

නමුත් බලය යනු රාජ්‍යය හෝ ආණ්ඩුව අතේ පමණක් තිබෙන වස්තුවක් නොවේ. බලය සමාජ සම්බන්ධතා, ආයතන, දැනුම, නීති සහ දෛනික පුරුදු තුළ විසිරී පවතී. එබැවින් ආණ්ඩුව වෙනස් කිරීම බලයේ ස්වභාවය වෙනස් කිරීමක් නොවිය හැකිය. ජාජබය රාජ්‍ය බලය අත්පත් කරගෙන ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීමට එයට හැකි වේද? එයට අවශ්‍ය න්‍යාය එයට තිබේද? යන්නයි.

තනි පක්ෂ ආධිපත්‍යයක (Dominant-Party) අවදානම

මෙහිදීම මතුවන තවත් අවදානමක් පවතී. එනම් සාම්ප්‍රදායික පක්ෂ පද්ධතියේ බිඳවැටීම තනි පක්ෂ ආධිපත්‍යයක් සඳහා දොරටුවක් විය හැකිද යන ගැටලුවයි. පරණ පක්ෂ ජනතාවගේ විශ්වාසය අහිමි කරගත් විට, “ ඔවුන්ට වඩා අපි වෙනස්” යැයි පවසන නව දේශපාලන බලවේගය සමාජයේ එකම විකල්පය ලෙස පෙනී යා හැකිය. එවිට ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක පරිවර්තනය වෙනුවට අධිපති පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් dominant-party democracy බිහිවීමේ අවදානමක් පවතී.

න්‍යායිකව අප අමතක නොකල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ විරුද්ධත්වයන් antagonisms අවසන් කිරීම නොව, විරුද්ධත්වයට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් ලබා දීම බවයි. සමාජය තුළ වෙනස් අදහස්, පන්ති, ජාතිකත්වයන්, වෘත්තීය කණ්ඩායම් සහ දේශපාලන බලවේග පවතින තුරු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ඒවා අතර ගැටුම අවසන් කළ නොහැකිය. එබැවින් ජාජබය ඉදිරියේ ඇති සැබෑ පරීක්ෂණය වන්නේ විපක්ෂය දුර්වල කිරීම නොවේ. නමූත් විරුද්ධවාදීන්ට පවා දේශපාලනිකව පැවතීමට අවකාශ සලසා දීමට එයට හැකිද? යන්නයි.

'තුන්වන ජනරජය' යනු ව්‍යවස්ථාවක් වෙනස් කිරීම පමණක්ද?

NPP JVP260409

මෙතැනදී අප  “තුන්වන ජනරජය” the third republic පිළිබඳ ප්‍රශ්නය මතුකල යුතුය. ශ්‍රී ලංකාවේ පළමු ජනරජය 1972 දීද, දෙවන ජනරජය 1978 දීද නිර්මාණය විය. එබැවින් ජාජබ–ජවිපෙ බලයට පැමිණීම හුදෙක් ආණ්ඩු මාරුවක් නොව, තුන්වන ජනරජයක් සඳහා වූ දේශපාලන අවකාශයක් නිර්මාණය කරන්නේද යන්න විමසීම සාධාරණය. නමුත් “තුන්වන ජනරජය” යන්න ව්‍යවස්ථාවක් වෙනස් කිරීමකට පමණක් සීමා කළහොත් එහි දේශපාලන අර්ථය හීනවෙයි. සැබෑ තුන්වන ජනරජයක් නම් එය ජනතාව සහ රාජ්‍යය අතර සම්බන්ධතාවය නැවත සකස්කිරීමක් විය යුතුය.

එහිදී ප්‍රශ්න කිහිපයක් මතු වේ. ජනතාව යනු ආණ්ඩුවේ ප්‍රතිලාභ ලබන්නන් ද, නැතහොත් ස්වාධීන පුරවැසියන් ද? රාජ්‍යය යනු දේශපාලන පක්ෂයක මෙවලමක් ද, නැතහොත් පොදු ආයතනයක් ද? මැතිවරණය යනු වසර පහකට වරක් බලය ලබාදීමක් ද, නැතහොත් අඛණ්ඩ පුරවැසි සහභාගීත්වයක් ද? විපක්ෂය යනු රටේ සතුරා ද, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සංඝටකයක් ද? රාජ්‍ය නිලධාරියා යනු දේශපාලන බලයේ සේවකයෙක් ද, නැතහොත් පුරවැසියාගේ සේවකයෙක් ද? මේ ප්‍රශ්නවලට සහ මේහා සමාන ප්‍රශ්නවලට දෙන පිළිතුරු මත තුන්වන ජනරජයේ අර්ථය තීරණය වේ.

'ජනතාව = ආණ්ඩුව = පක්ෂය' භයානක සමීකරණයක්!

අප හදුනාගෙන ඇති ආකාරයට “ජනතාව” යනු ස්වභාවිකව පවතින ඒකකයක් නොවේ. දේශපාලනය විසින් විවිධ සමාජ ඉල්ලීම් එකට සම්බන්ධ කර “ජනතාව” යන දේශපාලන අනන්‍යතාව නැවත නැවත ගොඩනඟයි. අරගලය තුළ “අපි” සහ “ඔවුන්” යන සරල බෙදීමක් නිර්මාණය විය. එහිදී “අපි” යනු ජනතාව; “ඔවුන්” යනු දූෂිත පාලක පන්තිය ද ලෙස දිස්විය.

නමුත් බලයට පැමිණි පසු ගැටලුව වෙනස් වේ. දැන් " අපි" යනු කවුද? ජනතාව සහ ආණ්ඩුව අතර වෙනස පවත්වාගත නොහැකි නම්, අරගලයේ “ජනතාව” යන සංකල්පය ආණ්ඩුවේ අනන්‍යතාවයට සමාන විය හැකිය. එවිට “ජනතාව” වෙනුවෙන් කතා කරන පක්ෂය, ක්‍රමයෙන් ජනතාව = ආණ්ඩුව = පක්ෂය යන භයානක සමීකරණයට ළඟා විය හැකිය.

එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරිවර්තනයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආධිපත්‍යය ස්වරූපයක් විය හැකිය.

එබැවින් පශ්චාත්-අරගල ශ්‍රී ලංකාව විවෘත අනාගතයක් අභිමුව පවතින යථාර්ථයකි. එහිදී ඵක් යහපත් මාර්ගයක් වන්නේ clientelist politics දුර්වල වී, පක්ෂ පෞද්ගලික බලකොටු වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනය, පුරවැසිභාවය සහ ආයතනික වගවීම ශක්තිමත් වීමයි. අනෙක් මාර්ගය වන්නේ පැරණි දේශපාලන පක්ෂ ක්‍රමය නැවත ප්‍රතිසංවිධානය වී, නව බලවේගයද ක්‍රමයෙන් එම පැරණි වරදාන දේශපාලනයේම නව සංස්කරණයක් බවට පත්වීමයි. තුන්වන මාර්ගය වන්නේ එක් ප්‍රධාන පක්ෂයක් දිගුකාලීනව ආධිපත්‍යය දරන dominant-party system එකක් බිහිවීමයි. ඒ නිසා අරගලයෙන් පසු ශ්‍රී ලංකාව ගැන වඩාත් නිවැරදිව කිව හැක්කේ “පරණ දේශපාලනය අවසන් වී ඇත” යන්න නොවේ. තවමත් අවසන් වී ඇත්තේ පරණ දේශපාලනයේ නීත්‍යානුකූලත්වය පමණි. එය වෙනුවට කුමක් පැමිණෙන්නේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි.

සැබෑ ජයග්‍රහණය: කිසිදු රජයකට අසීමිත බලයක් නොලැබෙන සමාජයක්!

විසංයෝජනීය භාෂාවෙන් කිවහොත්, පැරණි ව්‍යුහය බිඳ දැමීමෙන් පසු එහි “හොල්මන්” නැවත පැමිණිය හැකිය. එසේම බලය නැමති හිස් ස්ථානය නැවත කිසිවකු විසින් සම්පූර්ණයෙන් අල්ලාගැනීමට උත්සාහ කළ හැකිය. නමුත්  බලය යනු පුද්ගලයකු පරාජය කිරීමෙන් අවසන් නොවන ක්‍රියාවලියකි.  ප්‍රජාතන්ත්‍රවාදය යනු විරුද්ධත්වයන් අහෝසි කිරීමක් නොව, විරුද්ධත්වයන්ට පැවැතීමට ඉඩ දීමෙන් පවතින තත්ත්වයකි.

ඒ නිසා ජාජබය–ජවිපෙ දේශපාලනය ඉදිරියේ ඇති ඉතිහාසමය ප්‍රශ්නය වන්නේ “ඔවුන්ට තුන්වන ජනරජයක් නිර්මාණය කලහැකිද?” යන්න පමණක් නොවේ. එයටත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ: තුන්වන ජනරජය යනු බලය අලුත් පක්ෂයකට මාරු කිරීමක්ද, නැතහොත් බලය පිළිබඳ ශ්‍රී ලාංකික ව්‍යවස්ථාමය භාෂාවම වෙනස් කරනවාද යන්නයි. පළමුවැන්න සිදුවුවහොත් එය තවත් ආණ්ඩු මාරුවක් පමණක් බවට පත්වෙයි. දෙවැන්න සිදුවුවහොත් පමණක් එය ජනරජ පරිවර්තනයක් වනු ඇත.

 
media 250927
අද අප මුහුණ දෙන සැබෑ දේශපාලන ප්‍රශ්නය වන්නේ ජාජබය පැරණි පක්ෂවලට වඩා හොඳද නරකද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ ජාජබය විසින් තමන්ගේම බලය සීමා කරන ආයතන පවත්වාගෙන යනවාද, ශක්තිමත් විපක්ෂයක් සදහා ඉඩ සලසනවාද, නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක් සහ සජීවී පුරවැසි සමාජයක් පවත්වාගෙන යාමට ඉඩ සලසනවාද? යන්නයි. මන්ද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක අවසාන ජයග්‍රහණය වන්නේ “අපේ ආණ්ඩුවක්” බලවත් වීම නොව, “කිසිදු ආණ්ඩුවකට අසීමිත බලයක් නොලැබෙන සමාජයක්” බිහිවීමයි.

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...