ඒක ස්වභාවිකයි වගේම අපේ ජාතික කුහකත්වයේ ජානගත උරුමයකුත් එතන තියෙනවා.
ඒ නිසා එවන් ප්‍රතිචාර දිහා සිනාමුසුව බලාසිටීමේ ආස්වාදය මිස කුපිත වීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. නමුත් ඒ පෝස්ට් නිසා මාලිනී ගැන කිසිවක් නොලියන්න හිටපු මට මේක ලියන්න කිතියක් ඇතිවුනා.

මාලිනී කියන්නෙ මගේ කැමතිම නිළිය නෙමෙයි. මාලිනී රගපාපු හැම චිත්‍රපටියක්ම මම උනන්දුවෙන් හොයාගෙන ගිහින් බලලා තියෙනවා. ඒත් මාලිනීගේ චරිත මට ඒ තරම් ගැඹුරට වැදිලා නෑ. නමුත් මාලිනී නිසා උන්මාදයට පත්වෙන විශාල ජනතාවක් ඉන්නවා. ඒ දැවැන්ත තරුභාවය ඉදිරියේ මගේ නොකැමැත්ත නොසලකා හැරිය හැකි තරම් වෙනවා. ඇය මේ රටේ නිළි රැජින. ඇගෙන් පසුව නැවත රැජිනක් බිහිවෙන්නෙ නෑ.
පොදු ජනතාවගේ සවිඥාණක අවිඥාණක කලාපයන්ගේ ආධිපත්‍යය පතුරවමින් ඒ වගේ විසල් දෘෂ්‍ය ආනුභාවයක් නිර්මාණය කිරීම ලේසිපාසු කාරණයක් නෙමෙයි. ඒක ඇතුලෙ මාලිනී වගේම එයා එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරුන්, ඒ කාලෙ සමාජ සංස්කෘතික පසුතලයන්, ඒ අයගෙ ප්‍රේමයන් ආදී බොහෝ කාරණා එකට බැඳිලා තියෙනවා.

මාලිනී කියන්නෙ අපේ රටේ සුවිසල් සෞන්දර්ය සංසිද්ධියක්. ඒක ඇයත් අපිත් එකට එකතු වෙලා නිර්මාණය කරපු දෙයක්. එහෙම තරු ගුණයක් නිර්මාණය කරගැනීම කියන්නෙ අපි වගේ පුංචි රටකට ලොකු ධනයක්. ඒක සිනමාවටත් තව බොහෝ දේටත් ආයෝජනය කරන්න පුළුවන්.
ලංකාවෙ මිනිස්සුන්ට මේ සිනමා තරු වටිනාකම දැනෙන්නෙ නෑ. ඒ තරු අපිට ස්පර්ශ කළ නොහැකි, අතිරික්තයක (රාමුවෙන් පිටත ජීවිතයක) ජීවත් වීමේ වැදගත්කම දැනෙන්නෙ නෑ. හරිම සිල්ලර විදිහට අපි මේ තරු ආයෝජන අවතක්සේරු කරනවා.

ඒ වගේම ඒ වගේ විසාල තරු පෞර්ෂයක් සමාජයක් වෙනුවෙන් නඩත්තු කරනවා කියන්නෙ එය දරාගෙන ඉන්න ගැහැණියට හෝ පිරිමියාටත් පහසු කාරණයක් නෙමෙයි. ඒ මහා ප්‍රතිරූපය අර කුඩා මිනිස් ප්‍රාණියාව පාගගෙන, වඩා දැවැන්තව වැඩෙනවා. ඒ තුලින් අමරණීයත්වය ලබනවා. ඒ තරුව දරාගෙන ඉන්න ශරීරයට අයිති නොවන තවත් විශාල කොටසක් ඒකෙ තියෙනවා. ඒ තමයි සමාජයක්, සංස්කෘතියක් විදිහට අපි ඒ ප්‍රතිරූපය සමග රමණය කරමින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධය, කලාව. මාලිනී නොසිටියා නම් ගොඩක් අයගෙ ජීවිත මීට වඩා පාළු වෙනවා.
ආපහු අපේ කැමැත්ත සහ පැවැත්මෙහි ගරුත්වය කියන කාරණයට ආවොත්, මහින්ද රාජපක්ෂ කියන්නෙත් මං කැමති දේශපාලකයෙක් නෙමෙයි. මං හැමදාම හිටියෙ මහින්දට විරුද්ධව. කොටින්ම අද මහින්ද හොරා කියන ජවිපෙ මහින්දව කරේ තියාගෙන එන කාලෙදිත් මං හිටියෙ ඊට ප්‍රතිවිරුද්ධව. ඒ මම විශ්වාස කරන දේශපාලන සංස්කෘතිය මහින්දගෙ එක නොවෙන හින්ද.
නමුත් මහින්ද රාජපක්ෂ කියන්නෙ මේ රටේ බිහිවුනු දැවැන්තම දේශපාලන පෞර්ෂය. මේ රටේ මහා අප්පච්චි. ඉතිහාසයත්, මිත්‍යාවත්, දේශපාලනයත් එකතු කරන මහා කන්දක් මහින්ද නිර්මාණය කළා. ඒ කන්ද නැගීමෙන්, වැඳීමෙන්, අනුහස් ලැබීමෙන් සැනසුනු, ජීවත් වුනු මිනිස් පරම්පරාවක් හිටියා.
මහින්දගෙ දේශපාලනයට මං විරුද්ධයි. නමුත් මහින්ද කියන සමාජ සංස්කෘතික ජන විඥාණයට මගේ ගරුත්වය එයින් අඩුවෙන්නෙ නෑ. ඒක මහින්ද කියන තනි මනුස්සයාගෙ දෙයක් නෙමෙයි. ඒ මහින්ද කියන ප්‍රතිරූපෙ ඇතුලෙ තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ දහසක් සිතුම් පැතුම් සංවේදනා සසරක්. ඒ ගැන ගරුත්වයක් නොතිබෙන්න තරම් මං නරුම වෙන්නෙ නෑ.

මාලිනී කියන්නෙ අපේ රටේ සිනමා අහස්තලයේ පෑයූ සුවිසල්ම තාරකාව. ඒ වෙනුවෙන් ඇගේ ජීවිතයේ කැප කළ දේවල් බොහෝ ඇති. ආදරය, සම්බන්ධතා, සාමාන්‍ය ගැහැණියකගේ සරල ප්‍රාර්ථනා, පවුල, පුද්ගලික ජීවිතය වගේ බොහෝ දේවල් ඇයට තරුවක් වීම නිසා කැප කරන්න වෙනවා. ඇගේ තෘප්තිය අනුරාගය වෙන්නෙ ඇයට රටේ රසිකයන්, මිනිසුන් දක්වන ආදරය විතරයි.
අපි පාර්ලිමේන්තුව වගේ තැනක යම් අපහාසාත්මක චෝදනා එල්ල කරද්දි අපේ රටේ මිනිස් පරපුරක් විසින් ගොඩනගන ලද සංකේත ප්‍රාග්ධනයන් අවතක්සේරු කිරීම මුග්ධයි. යම් අසාධාරණයක් අකටයුත්තක් සිදුවී ඇත්නම් ප්‍රසිද්ධියේ අපහාස කරනවා වෙනුවට ගෞරවනීය විදිහට යුක්තිය කරා යා හැකි මාවත් විශාලයි. ඒ වෙනුවට රජයක් ප්‍රසිද්ධ අපහාසය මාවත හැටියට තෝරාගන්නවා කියන්නෙම ඒ රජයේ ඇති කුඩාබව, අපරිණත බව විදහා පෑමක් වෙනවා. පුංචි පුංචි ඉරිසියාවලට හඳට ගල්ගහන්න නරකයි.
මං පොඩි කාලෙ නිතර ගැවසුනු ගරාජ් ඇතුලෙ මාලිනීගේ විජයගේ පිංතූර ඇලවිලා තිබුන. ඒ ගරාජ්වල වැඩකරපු මිනිස්සු හම්බුකරන පොඩි මුදලෙන් රෑට ගිහින් මාලිනීලගෙ චිත්‍රපටි බැලුවා. ඒ අයට ආදරය ගැන, ජීවිතය ගැන බලාපොරොත්තු දැල්වුවෙ ඒ චිත්‍රපටි. කවදා හරි මාලිනී වගේ කෙල්ලෙක් බැඳලා ජීවත්වෙන හීනයක් ඒ ගැටවරයන්ට තිබුන.
අපි ගරු කළ යුත්තේ ඒ මිනිස් ආශාව, මිනිස් බලාපොරොත්තු දැල්වූ මහානුභාවයටයි. මාලිනී දෙවගනක් වෙන්නෙ ඒ නිසයි. දෙවගනක් කියන්නෙ පරිසමාප්ත අර්ථයෙන් යහපත නෙමෙයි. ඇය විසින් ආලෝකමත් කරන මිනිස් සිත් සතන් ප්‍රමාණය සුවිසල් කියන එකයි.
මාලිනීට ආදරය ඉතිරෙන සොඳුරු සිහින පිරුනු සුව නින්දක් ප්‍රාර්ථනා කරනවා. ඇය එවන් සිහින බොහෝ මිනිස් හිත්වල දල්වාලූ නිසාවෙන්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)



