The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා සහ අපි: දැන්වත් මොහොතකට නවතිමුද? -Saroj Pathirana ලන්ඩනයේ සිට ...

T

The Leader Desk

March 20, 2020 • 9:09 AM

 කොරෝනා සහ අපි: දැන්වත් මොහොතකට නවතිමුද? -Saroj Pathirana ලන්ඩනයේ සිට ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි නිමක් නොපෙනෙන ගමනාන්තයක් කරා දුවමින් සිටියෙමු.
  • එංගලන්තයේ Tesco, Sainsbury, Asda හෝ Waitrose සුපර් මාකට්වල හදිසියේම බිත්තරවලට කෙතරම් ඉල්ලුමක් මතුවූයේ ද යත් ටික දිනෙකින් බිත්තර නරක් වන බව Tesco සුපර් මාර්කටයක බිත්තර හිස් කළ ජනතාවට පළාතේ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයකින් සිහිපත් කර තිබුණි.
  • පැනික් වී එක් පුද්ගලයෙක් සුපර් මාකටයේ තිබෙන හෑන්ඩ් සැනිටයිසර් සියල්ලම මිලදී ගත්විට පළාතේ බොහෝ දෙනෙකුට අත් පිරිසිදු කරගැනීමට නොහැකි වන බව තවත් කවුදෝ මතක් කර තිබුණි.
  • කොරෝනාව පැරදවීමට නම් අප පමණක් නොව ‘අනෙකා’ ද දෑත් පිරිසිදු කරගත යුතු බව බොහෝ දෙනෙකුට අමතක වී ඇති හැඩකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව පුරාම තැනෙක ගිනි දැල්ය; තැනෙක කෝපයෙන්, ද්වේශයෙන්, වෛරයෙන් දැවෙමින් ගහ මරා ගැනීම්ය; තැනෙක ආගම හෝ ජාතිය කරපින්නාගෙන ‘අනෙකා’ දඩයම් කිරීමක්ය; තැනෙක ‘වඳ පෙති’ය; තැනෙක ‘රට, ජාතිය’ වෙනුවෙන් යුද ගැටුම්ය; තැනෙක ‘අපේ එකා’ තෝරාගැනීම පිණිස මැතිවරණ කෝලාහලය ...

අපි නොනවත්වා දිවුවෙමු ...

සීනි, පාන්, අර්තාපල් සහ වොඩ්කා බෝතලයටත් සෝවියට් දේශයේ ජනතාව පෝලිම්වල තැපීම ගැන ධනවාදී ලෝකය එදා උසුළු විසුළු කළහ. ඩෙනිම් සහ කොඩ්රෝයි කලිසම සෝවියට් ජනතාවට සුඛෝපභෝගී භාණ්ඩයක් වීම ඔවුන්ගේ හාස්‍යයට ලක්විය.

අද ධනවාදී බ්‍රිතාන්‍යයේ බොහෝ පලාත්වල වැසියෝ සීනි කිලෝවක් මිලදී ගැනීම පිණිස පෝලිම්වල තපිති.

එංගලන්තයේ Tesco, Sainsbury, Asda හෝ Waitrose සුපර් මාකට්වල හදිසියේම බිත්තරවලට කෙතරම් ඉල්ලුමක් මතුවූයේ ද යත් ටික දිනෙකින් බිත්තර නරක් වන බව Tesco සුපර් මාර්කටයක බිත්තර හිස් කළ ජනතාවට පළාතේ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයකින් සිහිපත් කර තිබුණි.

පැනික් වී එක් පුද්ගලයෙක් සුපර් මාකටයේ තිබෙන හෑන්ඩ් සැනිටයිසර් සියල්ලම මිලදී ගත්විට පළාතේ බොහෝ දෙනෙකුට අත් පිරිසිදු කරගැනීමට නොහැකි වන බව තවත් කවුදෝ මතක් කර තිබුණි. කොරෝනාව පැරදවීමට නම් අප පමණක් නොව ‘අනෙකා’ ද දෑත් පිරිසිදු කරගත යුතු බව බොහෝ දෙනෙකුට අමතක වී ඇති හැඩකි.

corona 2020.03අපි තවමත් ‘අනෙකා’ පැරදවීමේ අරමුණින් දුවමින් සිටින්නෙමු ...

“නවතින්න, තිස්ස” ... ලංකාවට වැඩම කළ මිහිඳු හිමියෝ වදාළහ.

එසේ නැවතුනු තිස්ස ගේ පරම්පරාවේ ඇත්තෝ සියවස් ගණනාවකට පසුව ලොව ඉස්තරම්ම සුඛෝපභෝගී වාහන, සුපිරි මන්දිර, දහසින් බැඳී පියලි සහ උපරිම බලය ලබා ගැනීම් අරමුණින් එකිනෙකා සමඟ දරුණු තරඟයක යෙදී සිටිති.

අපි තවමත් දුවන්නෙමු.

මරණයෙන් ඔබ්බට ගෙන නොයන ‘රට ජාතිය’ වෙනුවෙන් අපි අපේ රටේම උතුරු කොනේ දරුවන් සමඟ කා කොටා ගත්තෙමු.

මේ සියල්ල අතරේ බැඳුම්කර, මහාමාර්ග, වරාය, ගුවන් තොටුපොළ මතු නොව ක්‍රිකට්  ක්‍රීඩාංගනවලිනුත් හත්මුතු පරම්පරාවකට ඇති තරම් ධනය රැස් කළ බවට ඇතැමෙක් චෝදනා ලැබූහ.

“නවතින්න, තිස්ස” ....

එදා තිස්ස නැවතුනු නිසා අහිංසක මුව පොවුවාගේ දිවි රැකුණද, තිස්සගේ මෑත පරපුර සතා සිවුපාවාගේ පමණක් නොව උතුරේත්, දකුණේත් දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත බිලිගත්හ.

දිළිඳු රෝගීන් වෙනුවෙන් ඔබාමා හඳුන්වා දුන් සෞඛ්‍ය රක්ෂාවරණය ට්‍රම්ප් අවලංගු කළේ සුමිතුරු ධනවතුන්ගේ මඩිය තර කිරීමට යයි චෝදනා එල්ල වේ.

සති කිහිපයකට වරක් උන්මත්තකයෙකු විසින් විශාල පිරිසක් මරා දමන එක්සත් ජනපදයේ තුවක්කු සංස්කෘතිය වෙනස් කිරීමට ඔබාමාටත් නොහැකි විය.

මුස්ලිම් සුළු ජාතීන්ට ‘ඩිස්ක්රිශමිනේට් කරන’ බව පැවසෙන ඉන්දියාවේ ආණ්ඩුව ගෙනා අලුත් පනතෙන් ජාතිවාදීහු උද්දාමයට පත්වූහ.

“නවතින්න, තිස්ස ...”

එහෙත් අපි නොනවත්වා දිවුවෙමු. හති වැටී, වැටී දිවුවෙමු.

අසල්වැසියා වෙනුවෙන්, ඥාතියා වෙනුවෙන්, මිතුරා වෙනුවෙන්, අසරණ හිතවතෙක් වෙනුවෙන් අපට කාල වේලාවක් නොවීය.

පාසල් නිවාඩුව හෝ රැකියාවෙන් නිවාඩුවක් ලැබූ සැණින් මිතුරන්, සමීපයන් හෝ හිතවතෙකු මුණගැසෙනු වෙනුවට අපි විදේශ චාරිකාවල යෙදුනෙමු. ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ දුක, සැප බැලීමට, මියුරු වදනක් දෙඩීමට, අපට කාලයක් නොවීය. අපි හැම මොහොතේම ‘බිසි’ මිනිසුන් වීමු.

සමීපයන් ඇසුරු කරනු වෙනුවට, ඔවුන් සමඟ කහට කෝප්පයකින් හෝ මධු විතකින් සප්ප්පායම් වනු වෙනුවට අපි ඉමොජි එකක් යැවීමු.

ලංකාවේ අපි රන්ජන් රාමනායක මතු කළ අධිකරණයේ දූෂණ, සහ දූෂිතයනට එරෙහිව පියවර ගනු වෙනුවට රන්ජන්ගේ කුණුහරුප හඬ පට තලු මර මරා ඇසුවෙමු. ඇතැම් භික්ෂුන්ගේ අතවරයට පත් සාමනේරවරුන්ට පිහිට වනු වෙනුවට රන්ජන් දඬු කඳේ ගැසුවෙමු.

දේශසීමා, ජාති, ආගම්, කුල බෙදා පරයමින් සියලු සත්වයන්ට අනුකම්පා කරන මෙන් අනුශාසනා කළ බුදු හිමියන්ගේ අනුගාමිකයෝ ‘රට, ජාතිය බේරාගැනීමට’ ලේ වැගිරෙන යුද්ධයකට ආවැඩුහ. මියන්මාරයේ බෞද්ධයෝ රෝහින්ග්යා ජනතාවගේ නිවාස ගිනිබත් කළහ.

ලෝකයම මෝහයෙන්, තෘෂ්ණාවෙන්, වෛරයෙන් පිරී තිබිණ.

අපි ඇමසන් වනාන්තරයේ සිට ලොව පුරා බොහෝ රටවල වනාන්තර විනාශ කළෙමු; පරිසරයට ඔරොත්තු නොදෙන ලෙසින් ලී, ගල්, වැලි ජාවාරම්වල යෙදුනෙමු.

''සිංහල නායකයන්ගේ පූර්ණ අනුමැතිය සහිතව මුස්ලිම් ඇමතිවරයෙක් රක්ෂිත වනාන්තරයක් සමීපයේ යුද අනාථයන් යළි පදිංචි කළ විට ‘රක්ෂිතය වනසනවා’ යි අපි කෑ මොර දුන්නෙමු. සිංහල ඇමතිවරයෙක් රක්ෂිතය ආසන්නයේම කැලෑව වනසන විට අපි එය නෑසු කන්ව සිටියෙමු.''

“නවතින්න, තිස්ස ...”

අපි නොනැවතුනෙමු.

කොරෝනා ආවේ එවිටය.

තෘෂ්ණාවෙන්, වෛරයෙන්, රාගයෙන්, මෝහයෙන් පිරුණු ලෝකයට නවතින්නැයි කොරෝනා නියෝග කළේ අප එසේ දුවමින් සිටියදීය.

ඉතින් දැන්වත් අපි මොහොතකට නවතිමුද?

යළි මොහොතකට නැවතී අපි, අපි ගැනම හිතා බලමුද?

(බීබීසී සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සිය FB පිටුවේ පළකර තිබු සටහනකි)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා සහ අපි: දැන්වත් මොහොතකට නවතිමුද? -Saroj Pathirana ලන්ඩනයේ සිට ... | The Leader