The Leader News
BREAKING
Top Ad
Opinion

කොවිඩ් 19 දුප්පතාගේ රෝගයක් බවට පත් වෙමින් තිබේ - වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු

T

The Leader Desk

April 27, 2020 • 10:58 AM

කොවිඩ් 19 දුප්පතාගේ රෝගයක් බවට පත් වෙමින් තිබේ - වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ජනතාවගේ ස්වභාවය තේරුම් ගැනීමට නම් කුමාරයෙකු විය යුතුය. කුමාරයාගේ ස්වභාවය තේරුම් ගැනීමට නම්
  • ලංකාවේ බොහෝ දෙනා සිතන්නට කැමති ලෙස දුප්පත් කම යනු දුප්පතාගේ චරිතයේ දුර්වලකමකි.
  • දුප්පත්කම යනු සමාජයේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන අපරාධයකි.
  • සමාජයටත්, දේශපාලනයටත් දුප්පත්කම සමනය කිරීමට මහත් බලයක් ඇති නමුත් බොහෝ විට ඒ සඳහා අවශ්‍ය පමණ උත්සාහ නොකිරීම නියමයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

යමෙක් ජනතාවගෙන් මතු විය යුතුය" නිකොලෝ මැකවෙලි.

දුප්පත්කමේ අවමානය සර්වව්‍යාපී ය. ලංකාවේ බොහෝ දෙනා සිතන්නට කැමති ලෙස දුප්පත් කම යනු දුප්පතාගේ චරිතයේ දුර්වලකමකි. නමුත් එය එසේ නොවේ. දුප්පත්කම යනු සමාජයේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන අපරාධයකි. සමාජයටත්, දේශපාලනයටත් දුප්පත්කම සමනය කිරීමට මහත් බලයක් ඇති නමුත් බොහෝ විට ඒ සඳහා අවශ්‍ය පමණ උත්සාහ නොකිරීම නියමයකි.

 

කොවිඩ් 19 යනු දුප්පතාගේ රෝගයක් බවට පත් වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවට සිය ආදර්ශවත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව ඇත්තේ මහත් අභිමානයකි. අඩු පිරිවැයකින් මහත් ප්‍රතිපල ලැබෙන ආකෘතියකට අනුගත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ වර්තමාන අභියෝගය වන්නේ සමස්ත සෞඛ්‍ය ආවරණය (universal health coverage) යන ඉලක්කයයි.

ආසියානු කලාපයේ වෙනත් රටවල් නිවාරක සහ ප්‍රතිකාරක සෞඛ්‍ය දර්ශක සමග පොර බදද්දී අප ඊට ඉදිරියෙන් සිටිමු. කුමාරයාටද, පුරවසියාටද එක සේ නිදහස් සෞඛ්‍ය සේවාව හිමි බව අපි අමාභිනයෙන් අදහමු. කුමාරයින්ව දැල්වුණු දෑසින් අදහන පුරවැසියාට කුමාරයාගේ යතාර්ථය කෙතරම් සැප සහිත දැයි නොහැඟේ. කුමාරයා පුරවැසියා වනතුරු හෝ පුරවැසියා කුමාරයා වන තුරු එය ඔවුනොවුන් නොදුටු යථාර්තයකි.

බොහෝ දෙනා කොවිඩ් 19 වයිරසය සමාජයේ සම බිමක් ඇතිකළ බවට අදහනු කැමැත්තෝය. කොවිඩ් 19 වයිරසය දුප්පත්, පොහොසත්, බලසම්පන්න, බෙලහීන සැමට එක ලෙස බැට දුන් බවට ආත්ම තෘප්තියක් ලැබීමට ඔවුහු කැමති වෙති. ඔවුන් සිතන්නට කැමති ධනය, බලය,වරප්‍රසාද අභිභවා දහදිය වගුරවන්නන් වැදගත් වුනු යුගය එළඹී බවය.

එසේ ශ්‍රමය වැය කරන්නෝ සනීපාරක්ෂක සේවකයින්, එළවලු විකුණන්නන්, බර වාහන රියදුරන්, කම්කරුවන්, සෙබළුන්, සෞඛ්‍ය සේවකයන් ආදීන්ය. ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයද පිටුදකිමින් "දෙසිය විසි පහම නැතිව මෙහෙම කරගෙන ගියත් ඇති" වැනි මනෝභාවයක් ගොඩ නැගීමද සමාජ මාධ්‍ය ඔස්සේ පෙනෙයි.

 

 

කොවිඩ් 19 යේ සමබිම නමැති මිත්‍යාවෙන් මිදී යතාර්තයට...

කොවිඩ් 19 යේ සමබිම නමැති මිත්‍යාවෙන් මිදී යතාර්තයට මුහුණ දීම හැර අන් මගක් මේ වන විට නොමැත. කොවිඩ් 19 බිම මෙතරම් අසම වුනු දිනයක් නැති තරම් ය.

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 1998 න් පසු එන ගෝලීය දරිද්‍රතාවයේ පළමු නැගීම කොවිඩ් 19 විසින් ගෙන එනු ඇත. 1998 එය සිටු වුගේ ආසියානු ආර්ථික අවපාතය හේතුවෙනි.

ගෝලීය දරිද්‍රතාවය නිර්වචනය වන්නේ දිනකට ඇමරිකානු ඩොලර් 1.90 ට වඩා අඩු ආදායමක් ලබන ගෝලීය ජනගහනයේ කොටස වශයෙනි. මෙම ගෝලීය දරිද්‍රතාවය 2020 දී 8.2% සිට 8.6% දක්වා වැඩි වීමට නියමිතය. එනම් දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන් ගණන මිලියන 632 සිට මිලියන 665 ක් වශයෙන් මිලියන 49 ක් වැඩි පුර මිනිසුන් උග්‍ර දරිද්‍රතාවයට ගොදුරු වනු ඇත.

''අද වන විටද ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ වැඩි වශයෙන් දකිනුයේ අප්‍රිකානු සහ හිස්පැනික් සම්භවයක් ඇති ජන කොටස් අතරය. ලංකාවේ කොවිඩ් මරණ බහුතරයක් සිදු වුයේ බෝ නොවන රෝග වලින් සංකුල වූ වැඩිහිටියන් අතරය.''

අද වන විටද ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ වැඩි වශයෙන් දකිනුයේ අප්‍රිකානු සහ හිස්පැනික් සම්භවයක් ඇති ජන කොටස් අතරය.

ලංකාවේ කොවිඩ් මරණ බහුතරයක් සිදු වුයේ බෝ නොවන රෝග වලින් සංකුල වූ වැඩිහිටියන් අතරය.

ලොව කොහි වුවද දියවැඩියාව, හෘද රෝග, නිදන්ගත වකුගඩු රෝග , මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, ස්ථුලතාවය වැනි බෝ නොවන රෝග සහ ඒවාට තුඩු දෙන හේතු වලට ගොදුරු වන්නන් ගෙන් බහුතරය දුප්පතුය.

 

කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරය දෛනික වැටුප් ලබන්නන්..

94993089 113259003695835 2872992826470170624 oඇඳිරි නීතිය නිමවූ වහාම කෑමට යමක් ගැනීමට පොරකන මිනිසුන්....

කොවිඩ් 19 වසන්ගතගේ පරාචක්‍රය වෙනස් වෙමින් පවතින මේ මොහොතේ තනි තනිව හෝ පොකුරු වශයෙන් සොයා ගන්න කොවිඩ් ආසාදිතයින් ගෙන් බහුතරය දෛනික වැටුප් ලබන්නන්, වෙළෙන්දන්, අඩු පහසුම්කම් සහිත නාගරික ජනස්ථාන වල වෙසෙන්නන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ආදීහු වෙති.

මොවුහු කොවිඩ් 19 නැති ලොවක වුවද අකල්හි මරණයට නියම වුවන්ය. කොවිඩ් 19 තිබෙන ලොවෙහිද ආසාදිතයන්ගෙන් බහුතරය මොවුන්ය.

කොවිඩ් වසංගතයේ ඇරඹුමේ සිටම දුප්පතුන්ට සහ ආන්තිකයන්ට ශ්‍රී ලංකාව තුල දක්නට ලැබුණු ප්‍රතිගාමී ප්‍රතිචාර නිසි ලෙස කළමනාකරණය වුයේ නැත. මේ වසංගතය තුල ගම්‍ය වුනු මුස්ලිම් භීතිකාවෙ වංගුව නිසා අපට මුල සිටම සමාජ ප්‍රතිචාරයෙහි වරදක් තිබු බව අමතකව ගොස් ඇති සේය.

 

ඒ මිනිසුන් අපගේ මේ "පාරාදිසයෙන්" නික්ම යන්නේ ඇයි?

මුලදී සමාජ ප්‍රතිරෝධය එල්ල වුයේ ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් මෙරටට නැවත පැමිණි ශ්‍රී ලාංකිකයන් කෙරෙහිය.ඔවුන් "ජෛවවිද්යාත්මක උවදුරක්" සහ ආත්මාර්ථකාමී රෝග වාහකයන් ලෙස කොන් කිරීම එදා සිදු විය. සයිබර් අවකාශය තුල ඔවුන් පිලිබඳ කෙතෙක් වෛරී ප්‍රකාශයන් බෙදා හැරුනේදැයි අපි දනිමු. ඔවුන්ව 'ඉතාලිකාරයො- කොරියන්කාරයෝ" ආදී වශයෙන් හංවඩු ගැසුණි.

අප සිතිය යුත්තේ ඒ මිනිසුන්  අපගේ මේ "පාරාදිසයෙන්" නික්ම යන්නේ ඇයි දැයි යන්නය. ගුවනින් හෝ “මරණයේ බෝට්ටුවෙන්” ඔවුන් කුමට මේ රට දමා යතිද? ඔවුන් "පාරාදීසය"හැර යන්නේ කුමාරයාගේ ජීවිතය තබා අප ගෙවන මේ ජීවිතයවත් ඔවුනට මෙහි නොලැබෙන බැවිනි. සමහරුන් පාරාදීසය හැර යනු ඇත්තේ දේශපාලන රැකවරණය සොයා මරණයෙන් බේරීමට විය හැක.

''අපේ ලොව මීට වඩා යුක්තිසහගත, අපක්ෂපාති ලොවක් වී නම් මිනිසුන් “මරණයේ බෝට්ටුවට” නැග රටකින් පිටව නොයනු ඇත. ලෝකය සාධාරණ නම් ජිවිතය බේරා ගනු වස් ඉතාලිය දමා ඔවුන් මෙහි නොඑනු ඇත.''

අපේ ලොව මීට වඩා යුක්තිසහගත, අපක්ෂපාති ලොවක් වී නම් මිනිසුන් “මරණයේ බෝට්ටුවට” නැග රටකින් පිටව නොයනු ඇත. ලෝකය සාධාරණ නම් ජිවිතය බේරා ගනු වස් ඉතාලිය දමා ඔවුන් මෙහි නොඑනු ඇත. දුප්පත් කම සහ සමාජ අසමානතාවය සමාජයක් තුල තමා "පිටස්තරයකු" ලෙස හඟවයි. පොහොසත් රටකට සංක්‍රමණය වූ පමණින් සන්ක්‍රමනිකයා පොහොසතෙකු නොවෙයි. සම්ක්‍රමනිත රටේද බොහෝ විට ඔහු නැවතද දුප්පතෙකි.

 යමෙකුට ධනය, බලය, වරප්‍රසාද තිබේ නම ඕනෑම රටක් "තමන්ගේ" කර ගැනීම වඩාත් පහසුය. මක්නිසාද යත්, තමා යම් සමාජයක නිසග කොටස්කරුවෙකිය යන හැඟීම සංකීර්ණ මානව විද්‍යාත්මක ප්‍රපංචයක් වන බැවිනි.

සාපේක්ෂ හෝ නිරපේක්ෂ දුගී බව සමාජයකට අනුගත වීම දුර්වල කරවයි. දුප්පත් කම විසින් පොහොසත් සමාජයකට අනුගත වීමට අපට ඇති හැකියාව ප්‍රහින කරවයි. මොවුන් මේ මොහොතේ ඒ රටවල් හැර එනුයේ දුප්පත් කමටම හෝ , ඒ රටවල සෞඛ්‍ය සේවා වල අඩුපාඩු වකටත් වඩා වෙනත් හේතුවකට ද විය හැක. ඒ තවමත් ඔවුන්ගේ නිවස,මවු රට ලංකාව බැවිනි.

ප්‍රශ්නය තවමත් එයමය: එනම් ඔවුන් එ සමාජයේ කොටසක්ද යන්නය. අප ඔවුන් ගුවන්තොටුපලේ හැසිරුණු ආකාරයට හෝ ඔවුන්ගේ වාග් විලාශයට එකඟ නොවන්න පිළිවන. නමුත් වැටෙන් එහා ඉපදුනි නම් අපද එවනි මොහොතක එසේ විය හැක.

mudukkuමෙසේ කුඩා බිමක නිවාස තැනීමට අවසර දුන්නේ කවුරුන්ද?

ඇතැම් කොවිඩ් ආසදිතයන් සොයා ගන්නා වාසස්ථාන දෙස බැලූ විට පෙනෙන්නේ විට සිතට නිසගයෙන් නැගෙන ප්‍රශ්නය නම් මෙසේ කුඩා බිමක නිවාස තැනීමට අවසර දුන්නේ කවුරුන්ද යන්නය.

මත්ද්‍රව්‍යනට ඇබ්බැහි වුවන් යයි සැලකෙන, මෙන්ම ඔවුන් අල්ලාගැනීමට තැත් කරන අතරතුර කොවිඩ් ආසාදිත වුයේයයි සැලකෙන සෙබළුන්ද එකම දරිද්‍රතාවයෙන් බිහි වන්නන් වීම දෛවයේ සරදමකි.

''මත්ද්‍රව්‍යනට ඇබ්බැහි වුවන් යයි සැලකෙන,
මෙන්ම ඔවුන් අල්ලාගැනීමට තැත් කරන අතරතුර
කොවිඩ් ආසාදිත වුයේයයි සැලකෙන සෙබළුන්ද
එකම දරිද්‍රතාවයෙන් බිහි වන්නන් වීම දෛවයේ සරදමකි.''

ඇඳිරි නිතිය ඉවත් කළ විගස උකස් කඩ, බාර් අසල පොර කන්නන්ද, එකම මුඛ ආවරණය බෙදා ගන්නා කුලී කරුවන්ද, සනීපාරක්ෂක සේවකයන්, ශෝධකයන් සොල්දාදුවන් සියල්ලන්ම සමාජ අසමානතාවයේ ජීවමාන සාධක වෙති. මොවුන් අතරින් සමහරෙකුට කොවිඩ් වෛරසයෙන් සිදු විය හැකි ජිවිත හානිය පිලිබඳ අවබෝධයක් නොමැත.

විද්‍යාත්මක පුරෝකතනයන්ට වලට අනුව අප මේ වසංගතය පිළිබඳව කිසිවක් නොකළේ නම් ඉදිරි දොළොස් මස තුල ලෝක ජනගහනයෙන් හරි අඩක් ආසාදිතයන් වනු ඇති. මිලියන් 13ක් මිනිසුන් ඉන් මිය යනු ඇත. ඛේදය එනම් මේ දුප්පතුන් මේ වෛරසයේ බැරෑරුම් කම තේරුම් ගත්තද ඔවුන්ගේ ජීවන පුරුදු , ආදායම් මාර්ග, දුරස්ථභාවය, සනීපාරක්ෂාව ආදියෙහි වෙනස්කම් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වීමය.

 

පශ්චාත් කොවිඩ්19 : හෘද සාක්ෂිය අවදි කර වෙනස්වීම ඉල්ලා සිටීමේ කාලය...

අන් කිසි කලකටත් වැඩියෙන් අපි අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යතාර්තයට අවදි විය යුතු වෙමු. නගර සැලැස්ම, දුප්පත්කම අඩු කිරීම, ආර්ථික මැදිහත්වීම් සිදු කිරීම, සදාචාරාත්මක මාධ්‍ය භාවිතය පිළිබඳව සිතිය යුතු වෙමු.

 ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිසිදු පැකිලීමකින් තොරව ඇඳිරි නිතිය කඩ කරන්නන්, සමාජ දුරස්ථ භාවය සහ සනිපාරක්ෂක නියමයන් කඩ කරන්නාගේ සහ ආසාදිතයින් ගේ අනන්‍යතාවය හෙළි කරති. දේශපාලකයන් එසේ කරද්දී නිහඬව සිටිති.

මේ කාලය පැමිණ ඇත්තේ අපගේ හෘද සාක්ෂිය අවදි කර වෙනස්වීම ඉල්ලා සිටීමේ කාලයයි. මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමට කාලයයි.

තවදුරටත් මේ කතිකාව හොඳ සෞඛ්‍යය ප්‍රතිපත්ති සැදීම පිළිබඳව නොවේ.

සෑම ප්‍රතිපත්තියකටම සෞඛ්‍යය ඇතුලත් කිරීමේ කතිකාවතයි.

සෞඛ්‍ය අසමානතාවයට එරෙහිව සටන් කල බුද්ධීමතෙකු වන ශ්‍රීමත් මහාචාර්ය මයිකල් මාමත් සඳහන් කල පරිදි" සෑම ඇමතිවරයෙක්ම සෞඛ්‍ය ඇමතිවරයෙකි". නැත.

කොවිඩ් 19 යනු සමබිමක් ඇතිකරන්නෙකු නොවේ.
එය සෞඛ්‍යයේ ඇති නැති පරතරය පුළුල් කරන්නෙකි.

සමාජය තුල "කොවිඩ් පරතරය " මේ දැන් මේ මොහොතේ පියවීම ආරම්භ නොකළහොත් "ශ්‍රී ලංකාවේ කොවිඩ් වසන්තය" පුපුරා පැමිණෙනු ඇත. එය පැමිණෙනු ඇත්තේ සමාජ-ආර්ථික , සමාජ-මානසික පිපිරීමක් ලෙසිනි. එය ආර්ථික අවපාතයට පෙර පැමිණෙනු ඇත.

අමතක නොකරන්න! සංඛ්‍යා පුපුරා යාමට පෙර හදවත පුපුරා යනු ඇත.

යම් දිනක අතීතාවලෝකනය අපට කෝවිඩ් 19 කොලරාව, කක්කල් කැස්ස වැනි" දුප්පතුන්ගේ රෝගයක්" ලෙස පෙන්වනු ඇත. තවමත් රූපාන්තරණය වෙමින් පවතින මේ වසංගතය ඒ සත්‍යය තවම අපට අවබෝධ කරවන්නේද නැත. එනිසා අපි නැවත නැවතද මෙනෙහි කරමු:

දුප්පත් කම යනු දුප්පතාගේ චරිතයේ දුර්වල කමක් නොවේ. දුප්පත්කම යනු සමාජයේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන අපරාධයකි. කොවිඩ් 19 වසංගතය අපේ සමාජයේ සහ සෞඛ්‍ය පද්ධතියේ මතුපිටින් වැසි ගිය කඩතොළු සහ ජන මාධ්‍යයේ සදාචාරාත්මක පිරිහීම පෙන්නුම් කරයි.

කුමාරයා මෙය ඉගෙන නොගෙනම සිටින්නට ඉඩ ඇත.

නමුත් ජනතාව එය අනිවාර්යයෙන්ම ඉගෙන ගනිමින් සිටිති.

(වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු)

( Monkey.Business ෆේස්බුක් පිටුවෙහි ඉංග්‍රීසි බසින් පළවූ "What the prince does not know "ලිපියේ සිංහල පරිවර්තනය සන්තුෂ්‍යා ප්‍රනාන්දු විසිනි)

Dr. Santhushya

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...