The Leader News
BREAKING
Top Ad
Opinion

මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා

T

The Leader Desk

March 22, 2020 • 5:29 PM

මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඳිරි නීතිය දිගටම ඇදෙන්නේය. අඟහරුවාදා උදය දක්වා කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දීර්ග කෙරුණු ඇඳිරි නීතිය
  • ඒ ඇඳිරි නීතිය අවසන් කෙරෙන දිනයක් වේලාවක් තවම (මාර්තු 22 ක දහවල) නිවේදනය කර නැත.
  • ආණ්ඩුවේ තීන්දු ලෙස ප්‍රකාශයට පත් කෙරෙන මේ තීන්දු ගන්නා කෝවිඞ්-19 වසංගතය සඳහා ජාතික කමිටුවේ ප්‍රධානියා ලෙස හමුදාපති පත් කරනු ලැබූයේ මාර්තු 16 වැනි දිනකය.
  •   “ජාතික ආණ්ඩුවක්” ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ සියලු පක්ෂ ඇතුළත් සැබෑ අර්ථයෙන් “ජාතික ආණ්ඩුවක්” පිහිටුවීමේ අවශ්‍යතාවයද මම මතු කළෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

එදිනම පස්වරු 02 ට නැවත පැනවෙන බැව් සෙනසුරාදා පස්වරුවේ නිවේදනය කෙරුණි. ඒ ඇඳිරි නීතිය අවසන් කෙරෙන දිනයක් වේලාවක් තවම (මාර්තු 22 ක දහවල) නිවේදනය කර නැත.

ආණ්ඩුවේ තීන්දු ලෙස ප්‍රකාශයට පත් කෙරෙන මේ තීන්දු ගන්නා කෝවිඞ්-19 වසංගතය සඳහා ජාතික කමිටුවේ ප්‍රධානියා ලෙස හමුදාපති පත් කරනු ලැබූයේ මාර්තු 16 වැනි දිනකය. එහි ඉන්නා සාමාජිකයින් කවුරුන්දැයි මේ සමාජය එනමුත් දන්නේ නැත.

එවැනි තත්ත්වයක් උදාවන්නට මාසයකටත් පෙර ඉදිරි අප්‍රේල් 25 වන දිනට නියමව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය කල් තබන්නට යැයි මා වැනි කිහිප දෙන ඉල්ලා සිටියේ විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවා කොරෝනා වයිරසයට, කෝවිඞ්-19 වසංගතයට මුහුණ දීමේ කඩිනම් වැඩපිළිවෙලක් කාර්යක්ෂමව දියත් කිරීමට තීන්දු ගැනීම සඳහාය.

 

“ජාතික ආණ්ඩුවක්”

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ සියලු පක්ෂ ඇතුළත් සැබෑ අර්ථයෙන් “ජාතික ආණ්ඩුවක්” පිහිටුවීමේ අවශ්‍යතාවයද මම මතු කළෙමි.

කෝවිඞ්-19 පැතිරීම හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීම යෝජනා කෙරුණේ, පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඒ තීන්දුව සමගින්ය. එය අත්‍යාවශ්‍ය යැයි බොහෝ දෙන පිළිගත්හ. විපක්ෂ දේශපාලන නායකයෝද ඒ සමග මැතිවරණය කල් තබන්නට යැයි ඉල්ලා සිටියහ. වෙනත් සමාජ ක්‍රියාකාරිකයෝද මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියහ.

ජනාධිපති සහ තාවකාලික ආණ්ඩුවේ නායකයින් පුන පුනා කීවේ මැතිවරණය කල් තැබීමට තරම් මේ ව්‍යසනය හේතු නොවන බවය. එය ඇත්තටම මැතිවරණ කොමිසම විසින් ගත යුතුව තිබුණු තීන්දුවකි. එහෙත් එවැනි තීන්දුවකට යාමේ ස්වාධීනත්වයක් හා වුවමනාවක් ස්වාධීන යැයි කියන්නාවූ මැතිවරණ කොමිසමට නොවුනි. එනිසා එවැනි ව්‍යවස්ථාපිත බලයක් තමන්ට නැතැයි මැතිවරණ කොමිසමෙහි උත්තරය විය.

''මෙවැනි අනපේක්ෂිත ඛේදවාචක සඳහා විසඳුම් ව්‍යවස්ථාගත නොවන හෙයින් පොදු එකඟත්වයක් මත තීන්දු ගැනීමේ නව සම්ප්‍රදායන් හදා ගත යුතුව ඇත. ''

මෙවැනි අනපේක්ෂිත ඛේදවාචක සඳහා විසඳුම් ව්‍යවස්ථාගත නොවන හෙයින් පොදු එකඟත්වයක් මත තීන්දු ගැනීමේ නව සම්ප්‍රදායන් හදා ගත යුතුව ඇත. ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පිළිබඳ වාද විවාද පැත්තකින් තබා මැතිවරණය කල් තබා පාර්ලිමේන්තුව වහා නැවත කැඳවීමේ වැදගත්කම තිබූයේද එනිසා ය.

එය නොවුනු අතර, නාම යෝජනා බාර ගැනීමෙන් පසුව මැතිවරණය කල් තැබීමේ නිවේදනය මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපති සිය සුපුරුදු ප්‍රලාප සමගින් ප්‍රකාශ කළේය.

 

මැතිවරණය පැවැත්වීමේ දිනයක් නියම නොකිරීම :

මෙහි වඩාත් අවධානයට ගත යුතු කාරණාව නම්, නැවත මැතිවරණය පැවැත්වීමේ දිනයක් නියම නොකිරීමය. කොමිසමේ සභාපති හාස්‍ය මුසු කරමින් කියූවේ මැතිවරණය සඳහා දිනය තීන්දු කරන්නේ කෝවිඞ්-19 වයිරසය කියාය.

මැතිවරණය කල් තැබීමේ ගැසට් නිවේදනයට අනුව මැතිවරණය සඳහා ඊළඟ දිනය තීන්දු කළ යුත්තේ අප්‍රේල් මස 30 වන දින සිට දින 14 ට පසු දිනයක ය. එය අවිනිශ්චිත දිනයකි.

''මැතිවරණය කල් තැබීමේ ගැසට් නිවේදනයට අනුව මැතිවරණය සඳහා ඊළඟ දිනය තීන්දු කළ යුත්තේ අප්‍රේල් මස 30 වන දින සිට දින 14 ට පසු දිනයක ය. එය අවිනිශ්චිත දිනයකි.''

 

බරපතල කාරනා දෙකක් !

මේ සමග මතු වන කාරණා දෙකක් ඇත. එකක් නම් පසුගිය දින එ.ජා.ප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මතු කළ රජයේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට නොහැකි කාරණාවය. පසුගිය ආණ්ඩුව රජයේ වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අප්‍රේල් මස අවසන දක්වා මුදල් වෙන්කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අංක 150(3) යටතේ රජයේ වියදම් ලෙස තවත් මාස 03 ට මුදල් වෙන්කර ගැනීමට ජනාධිපතිට හැකිය. ඒ අනුව ලබන ජූලි මස අවසානය තෙක් ගැට ගසාගෙන යා හැක්කේ ආණ්ඩුවට ඇත්තටම මුදල් තිබේ නම් පමණි.

නිසියාකාර ආණ්ඩු පාලනයක් සහ මැතිවරණයක් නොමැති විට ආණ්ඩු පාලනයක් සඳහා අය කිරීම් ගැන කතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නොමැත්තේ එය ජනතාව විසින් පත්කර ගන්නා ආණ්ඩුවක් මගින් සකසනු ලබන ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති මත සිදුවිය යුතු හෙයිනි.

එබැවින් දෙවන කාරණාව වන්නේ මේ පවතින තත්ත්වය යටතේ ජූලි මස අවසානයෙන් පසු ඇමති මණ්ඩලයට දෛනික කාරණා පිළිබඳව හෝ තීන්දු තීරණ ගැනීමට නොහැකි වීමය.

 

යම් බලහත්කාර බලයක් පිළිබඳ ඇඟවීම්!

ඒ පසුබිමෙහි දැනට කෙරෙන කතාවල යටිපෙළ අරුත යම් බලහත්කාර බලයක් පිළිබඳ ඇඟවීම් සහිතය. ජනාධිපති ලෙස ජයග්‍රහණය කිරීමට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙනු ලැබූයේ ජනතාවට සේවය කිරීමට බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් නොවිය යුතු බවත් ජනාධිපති කිහිප තැනක කියූවකි.

ඡන්දයෙන් පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමට බව ඒ කතා විසින් පිළිගනු නොලැබුවකි. ඒ ස්වරයෙන්ම මැතිවරණය කල් නොතබන බවත් කෝවිඞ්-19 පාලනය කිරීමට රටම “ලොක්ඩවුන්” කිරීමට (රටේ ජන ජීවිතය නිවාස වලට කොටු කර තැබීමට) කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කියූවත් ඒවා සිදුවූයේ තාවකාලික ඇමති මණ්ඩලයේ තීන්දු අනුවදැයි ජනතාව නොදනිති.

පාර්ලිමේන්තුවක් විසින් අනුමත කළ හදිසි නීතියක්ද නොමැතිව රටම ඇඳිරි නීතියට යටත් කරන්නේ කවර බලයක් යටතේ දැයි සමාජය ප්‍රශ්න කරන්නේද නැත.

''පාර්ලිමේන්තුවක් විසින් අනුමත කළ හදිසි නීතියක්ද නොමැතිව රටම ඇඳිරි නීතියට යටත් කරන්නේ කවර බලයක් යටතේ දැයි සමාජය ප්‍රශ්න කරන්නේද නැත.''

 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාල මුල්කොට මහජන සෞඛ්‍ය සේවා සක්‍රීය නියාමන කාර්යන් වෙනුවෙන් යොදා ගැනීමක් ගැන වැදගත් සාකච්ඡාවක් හෝ සමාජයේ නැත.

කෝවිඞ්-19 එතරම්ම භයානක හා හමුදා මැදිහත්වීම් නොමැතිව පාලනය කළ නොහැක්කක් යැයිද සමාජ මත හැසිරවීමට කොළඹ මැද පංතියද හවුල් වන්නේය.

ඒ සියල්ලෙහි නිශ්චිත අරුත වන්නේ මැතිවරණය පැවැත්වීමට එතරම් හදිස්සියක් මේ තාවකාලික ඇමති මණ්ඩලයට කෙසේවෙතත් ජනාධිපතිවරයාට නොමැති හෙයින් මැතිවරණ කොමිසමටද හදිස්සියක් නැති බව පමණක් නොව, කොළඹ මැද පංතියටද එවැනි අවශ්‍යතාවක් නොමැති බවය.

 

තත්ත්වය වඩාත් බරපතල කෙරෙන්න කාරණයක් ?

එය කෝවිඞ්-19 වැනි අතිශය විනාසකාරී ගෝලීය වසංගතයකට අප හසුව ඉන්නා විටෙක තත්ත්වය වඩාත් බරපතල කෙරෙන්නකි.

කෝවිඞ්-19 පාලනය කර ගැනීමේ හදිස්සිය ආණ්ඩුවකට වඩා ඇත්තේ නැවත සුපුරුදු ජීවන පැවැත්ම ආරම්භ කිරීමට හදිස්සියක් ඇති සමාජයේ නාගරික මැද පංතික පිරිස් වලටය.

මේ වනවිට කෝවිඞ්-19 “වසංගත කොලනි” 03 ක් පහසුවෙන් හඳුනාගත හැකිය. පළමුවැන්න ශාන්ත තෝමස්-රාජකීය විද්‍යාල වාර්ෂික ක්‍රිකට් තරගය වන්නේය. දෙවැන්න කොළඹ උතුර රාගම රෝහලේ වසංගත අර්බූදයේ පිටාර ගැලීමය. තෙවැන්න යාපනයේ අරියාලෙහි පල්ලියේ දේව මෙහෙයට හවුල් වූවන්ගේ එකතුවය.

තව දුරටත් ඉතාලියෙන් පැමිණියවුන් මත සියලු දොස් පැවරිය නොහැක. ඉදිරි සති දෙක තුනෙහි කෝවිඞ්-19 පැතිරීම නියාමනය කර ගැනීම අතිශය වැදගත් වන්නේ එබැවිනි.

 

ජාවාරම්කාර මාධ්‍ය ජනතාව මත පටවන ලද මතයක් !

එය කළ හැක්කේ හමුදාවට යැයි නාගරික මැද පංතිකයෝ පූර්ණ නිගමනයක සිටින්නාහ. එය 2010 ජනාධිපතිවරණයට ඔවුන්ගේ “රාජපක්ෂ විරෝධය” වෙනුවෙන් හිටපු හමුදාපති ෆොන්සේකා ඉතාම සුදුසු අපේක්ෂකයා ලෙස සමාජය හමුවේ තැබීමට ගොඩ නැගූ මතවාදයේ දිගුවකි.

එය ඉන්පසු සිංහල-බෞද්ධ විය. ඔවුන්ම ගොඩ නැගූ මතවාදය ඔවුන්ට දැන් අතහරින්නට නොහැකිය. එනිසා ඔවුහු දිගින් දිගටම ඔවුන්ද නොදන්නා හමුදාපති ප්‍රධානියාවන කමිටුවකින් ගන්නා නියෝග හා තීන්දු අකුරට පිළිපදින්නට යැයි සමාජයට බල කරන්නාහ.

''ජාවාරම්කාර මාධ්‍ය සියල්ල දිගින් දිගටම ඔවුන්ද නොදන්නා හමුදාපති ප්‍රධානියා වන කමිටුවකින් ගන්නා නියෝග හා තීන්දු අකුරට පිළිපදින්නට යැයි සමාජයට බල කරන්නාහ. ''

ඒ මතය ජාවාරම්කාර මාධ්‍ය සියල්ලද කරගසා ඇත. මේ ඇඳිරි නීති, අත් අඩංගුවට ගැනීම්, හමුදා පොලීසි යොදා ගැනීම් ඔවුන්ගේ ඇමති මණ්ඩල සාකච්ඡාවන්හි අනුමත කරනවාට වඩා වෙනත් කිසිවක් කළ හැකි තත්ත්වයක දැන් තාවකාලික ආණ්ඩුව නැත. මේ වර්ධනය වන තත්ත්වයෙහි තාවකාලික ආණ්ඩුවක් ඇතැයිද ජනතාවට මතකයක් නැත.

සියල්ල මධ්‍යගතව ඇත්තේ ජනාධිපති සහ ඔහු විසින් පත්කර ඇති හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් වන කාර්යසාධන කමිටුව මූලිකව ය. මේ මධ්‍යගතවීම “ආණ්ඩුව” ලෙස පිළිගැනුමක් ලබා ඇත. එය ජනතාවට වගකීම සඳහා සෘජුව බැඳී නොමැත. වගකීම ඇත්තේ ඔවුන්ගේ තීන්දු පිළිගැනීමට බැඳී ඉන්නා සමාජයටය.

කමිටුවේ ඉන්නේ කවුරුන්දැයි අසන්නටවත් උනන්දුවක් නැති නාගරික මැද පංතිය සමාජයෙන් ඉල්ලන්නේද ඒ සියල්ලට අවනතවීමේ වගකීමය. එය මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනකි.

(කුසල් පෙරේරා -2020 මාර්තු 22 වන දින)

(ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...