සැබැවින් ම ඒසේ කළ හැකි නම් රටක් ලෙස එය අපි ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයකි. නමුදු අදාළ කාර්ය පවසන තරම් සරල නොමැති බවත්, ප්‍රායෝගික නොවන බවත් සඳහන් කරමින් Janath Perera සිය Facebook ගිණුමෙහි සටහනක් තබා තිබිණ.
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ මතුපිට දැක් ම මෙන් ම එහි ගැඹුරු අරුත පිළිබඳව ද පැහැදිළි කර ඇති Janath Perera, වාණිජ ණය නොගෙන ඉදිරි කටයුතු පවත්වාගෙන යා නොහැකි වන්නේ මන් ද යන්න පිළිබදව සාධක සහිතව කරුණු පැහැදිලි කර ඇත.
මතු පළ වන්නේ Janath Perera විසින් තබන ලද සම්පූර්ණ සටහනයි.
ණය නොගැනීම යථාර්යක් ද, නැත්තම් තවත් වර්ණවත් බොරුවක්ද ?

අපේ ජනාධිපතිතුමා ළඟදි දවස සහභාගිවූ විශේෂ වැඩ සටහනකදි කියා සිටින කාරණයක් තමා තම රජය ඉදිරියේදී වාණිජ ණය ගන්නේ නැතුව ඉන්න අපේක්ෂා කරනවා කියලා.
එතුමා කියන විදියට උපායමාර්ගික සෘජු විදේශ ආයෝජන රටට ගෙන එමින් විදේශ සංචිත ප්‍රමාණය වැඩිකරගන්නවා කියන එක.
ඒක ඉතා ආකර්ෂණීය කතාවක්. අපි ඒක පොඩ්ඩක් දිග ඇරගමු
2024 දෙසැම්බර් 31 වෙන කොට රටේ සමස්ත ණය බර (Domestic + External + SOE Guaranteed+ PC & LG) ඩොලර් බිලියන 106.166 තරම් වෙනවා. මේකෙන් ඩොලර් මිලියන 64,571ක් ම දේශිය ණයට අයත් වෙනවා. විදේශ ණය (External Debt) වශයෙන් ඩොලර් මිලියන 36,680 ප්‍රමාණයක් ලබාගෙන තියනවා මෙයින්: ද්විපාර්ශික ණය Bilateral - ඩොලර් මිලියන 10,753ක්, බහුපාර්ශ්වික ණය Multilateral - ඩොලර් මිලියන 12,897ක් සහ වාණිජ ණය Commercial - ඩොලර් මිලියන 13,030කි.
ඔය කියන විදියට මේ වාණිජ ණය ලබා ගැනීම තමා සිදු නොකර ඉන්නේ , සාමාන්‍යයෙන් අපි මෙතුවක් කාලෙකට කළේ අලුත් ණයක් අරං පරණ ණයයි පොලියයි ගෙවපු එක. ඒක නිසා තමා කට්ටිය අහන්නේ අම්මෝ මෙච්චර ණය අරං මොනවද කළේ කියලා . කලේ ඉතින් පරණ ණය ගෙවපු එක තමයි. ඉතින් අපේ ජනාධිපතිතුමා කියන්නේ මේ විශම චක්‍රය කඩනවා කියන එකයි.

අපේ සමස්ත ණය බරේ තියනවා මේ රාජ්‍ය ව්‍යාපාරවලින් ගත්ත ණය. ඒක රුපියල් සහ ඩොලර්වලින් දෙකෙන් ම අරං තියනවා. ශ්‍රී ලංකන් එකනං බැදුම්කර නිකුත් කරලත් ණය අරං තියනවා. ඒක වෙන ම මාතෘකාවක්. කතාකරනවනං කොහොමහරි මේ විදිය මේ රාජ්‍ය ව්‍යාපාර ඩොලර් මිලියන 4,896 ලබාගෙන තියනවා. මේවා නඩත්තු කරනවා වගේ ම අපි මේ ණයත් ගෙවලා ඉවර කරන්න ඔනේ කියලා මතක තියාගන්න එක හොඳයි.
ඒ එක්කම මේ පළාත් සභා සහ පළාත් පාලන Pc & LG ඩොලර් මිලියන 20ක් වගේ ණය අරං තියනවා සුළුගාණක් විදියට පෙනුනත් මිත්‍රවරුනේ ඕවා ගෙවන්නෙත් ඔබේ බදු මුදලින් තමා. ඉතින් අපි පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ඔනේ වාණිජ ණය නොමැතිව විශාල අන්දමේ සංවර්ධන ව්‍යාපෘති සදහා රජය ආයෝජනය කරන්නේ කොහොමද කියලා.
2009 - 2023 කාලෙ දී ලංකාවට වසරකට ආපු වැඩිම සෘජු විදේශ ආයෝජනය 2018 ඩොලර් මිලියන 2071 එකක් ලෙස වාර්තාවෙනවා. මේ කාලයේ අතර සාමාන්‍ය ගත්තොත් ඩොලර් මිලියන 1029ක් වෙනවා . ඉතින් අපි බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක ණය ගන්නෙ නැතුව ළඟා කරගන්න නම් මේ ආයෝජන අඩුම තරමේ පස්ගුණයකින් වත් වැඩි කරගන්න වෙනවා .
හැබැයි රටක් විදියට අපි ආයෝජනයට සුදුසු ද ?
අපි තාම බංකොලොත් භාවයෙන් එළියට ඇවිත් ණය ගෙවන්න පටන් අරං නෑ. 2020 World Bank's Ease of Doing Business Index එකේ අපිට හිමි 99වෙනි තැන. ආයෝජනයට single window එකට තාම බාලගිරි. ආවත් ආයෝජනය කරන්න ඉඩම් නෑ තියන ආයෝජන කලාප දැන් බොහෝදුර ඉවර වෙලා. ලංකාවෙන් එළියටත් එළියෙන් ඇතුළටත් මුල්‍ය ගනු දෙනු කරනවා කියන එක වෙනම වැඩක්.

* විශාල පර්මිට් හා බලපත්‍ර මාෆියාවක් ක්‍රියාත්මකයි.
* නිතර නිතර රජයෙන් රජයට වෙනස් වෙන ජාතික ප්‍රතිපත්ති හා නීති නිසා risk එක වැඩී.
* යටිතල පහසුකම් සංවර්ධනය මන්දගාමී.
* බලශක්තිය හා ශ්‍රමය මිල අධිකයි.
මේ වගේ විසඳන්න ප්‍රශ්න වැලක් තියනවා. ඒ අස්සේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව විසඳනවා කියලා හිතලවත් නෑ. ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ ලස්සන වචනයක් විතරක් වෙලා. ණය නැති රටක ජීවත් වෙන්න අපිත් ආසයි.
හැබැයි මට පේන විදියට ඒක මිරිඟුවක් විතරයි. අවම ප්‍රතිසංස්කරණවත් සිදුනොතර 2027දී ණය ගන්නෙ නැතුව සංවර්ධනය කරනවා කියන්නේ කරන්න ආමාරු වැඩක් නෙමේ. කරන්න බැරි වැඩක් මාගේ උගත් මිත්‍රයා.
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org



