රොහාන් පාසිකුඩා වල හදිසි හෘදායාබාදයකින් මිය ගිහින් ඔහුගේ සිරුර පාසිකුඩා ඉදල කොලඹ ජයරත්න මල්ශාවට ගෙනැවිත් බාරදීල (අපි කිහිප දෙනෙක්) මම ගෙට ගොඩ උනේ හරියටම අලුත් අවුරුද්ද ලබල හතර වටින් රතිඥ්ඥා පත්තුවෙන සද්දෙත් එක්ක.
එක අතකට ඒක එක්තරා කරිරු උත්ප්‍රාසජනක අවස්ථාවක්. ඒකෙ තිබුනු කුරිරු බව උත්ප්‍රාසජනක බව රොහාන්ගෙ මරණයට පස්සෙ ඇතිවුනු සිදුවීම් දාමය විසින් තව තවත් තහවුරු උනා.
මම ගාමිණී මැරුණම ලියපු ලිපියක ලිව්වා ලංකාවේ පුරෝගාමින් මිය යන්නෙ මාරාන්තික හුදකලාවක සහ ඔවුන් ලංකාවට කරපු දේ හොද දෙයක්ද නරක දෙයක්ද කියල ඔවුන්වත් නොදැනයි කියල.(සමහරක් විට ඔවුන් කල පුරෝගාමී මෙහෙවර ගැන එලියෙ සමාජයෙන් මොනයම් හෝ තක්සේරුවක් ඔවුන්ට ලැබුනනම් ඔවුන්ගෙ ජීවිත ඒ තරම් කෙටි නොවෙන්න ඉඩ තිබුන) ඒක ගාමිණීට වගේම රොහාන්ටත් අතිශයින්ම අදාලයි.

රොහාන් මියගියේත් තමන් කරපු දේ හොද දෙයක්ද නරක දෙයක්ද කියල නොදැන. මොකද එලියෙ සමාජයේ තියෙන තරමක් තිබ්බෙ රොහාන් ගැන කතන්දර ගොඩක්. ඒ ගොඩක් කතන්දර ඒ ඒ අයගෙ ජීවිතවලට රොහාන් බලපාපු තැන එක්ක ආව ප්‍රතිවිරෝධයේ කතන්දර. ඒ කතන්දර වලින් රොහාන්ගෙ මරණයෙන් පසු දින කිහිපය පුරා ෆේස්බුක් එක පිරිල ගියා. අනික පුරෝගාමීන් මැරෙන්නෙ නෑ.. අපි ඔවුන්ව සාමූහිකව ඝාතනය කරනව.
මං දන්න රොහාන් කියන්නෙ අර මං කියපු හුදකලාව නිසා මාරාන්තිකව විදවපු මනුස්සයෙක්. ඒ හුදකලාව දරාගන්න බැරුව අඩපු මනුස්සයෙක්. ඒ හුදකලාව දරාගන්න බැරි සමහර වෙලාවට රොහාන් ලග ඉන්න කෙනාගෙ අත අරන් තදින් අල්ලන් ඉන්නව මිනිස් සම්බන්දයෙ උනුහුම දැනෙන්න.
අවු 8දි වගේ තාත්ත පිලිකාවකින් මිය ගිහින් අවුරුදු 12දි නංගි ලියුකේමියාවෙන් මිය ගිහින් පවුල විසිරිලා තමං උපන් මහ පවුලෙනුත් පිටමං වෙලා තමං ඉපදුනු ආගමෙනුත් පිටමං වෙලා අවු 18වගේ වෙද්දි අක්කත් ලියුකේමියාවෙන් මිය ගිහින් පසු කාලෙක (2015) එකම අයියත් ලියුකේමියාවෙන් මිය ගිය මනුස්සයෙකුගෙ ජීවිතේ ඛේදවාචකය හුදකලාව මොනවගේ ඇත්ද?

රොහාන් මාතොට සගරාවෙ එක තැනක ලියනව අවුරුදු 18 වෙනකොට තමන් උපන් පවුල, ආගමෙන් පිටමං වෙලා සමාජ පවුල් අතර ගැවසෙන්න උනාම ඒ පවුල් වලින් පෙරලා ලැබුනු කෙනෙහිලිකම් නිසා "කරන්න තිබ්බෙ දෙකයි. එකක් අඩන්න. අනික හදාරන්න. ඉතින් මම අඩ අඩා හැදෑරුව කියල." මේ තමයි රොහාන්ගෙ සුවිසේශී දැනුම පිහිටන තැන. දැනුම විතරක් නෙමෙයි ඔහුගෙ භාවිතයත් තිබුනු තැන. ඒ ලිපියෙම තව තැනක කියනව තමං කරන දේට හිස් වැස්ම වනන්න තැනක් නැති වුනාම කලන්තෙ වගේ කියල.. මේ තමයි රොහාන්ගෙ මාරාන්තික හුදකලාව.
88/89 ජවිපෙ සන්නද්ධ අරගලයත් ඒකට ආව විශාල රාජ්‍ය මර්ධනයත් එක්ක ලංකාවෙ එක පරම්පරාවක් සහමුලින් පොලවට මිහිදන් උනා. ලාංකීය පොලව තුල විශාල දේශපාලන රික්තයක් නිර්මාණය උනා. ඒ පසුබිම ඇතුලෙ නැවත විමුක්ති දේශපාලනය පරිකල්පනය කල හැක්කේ කෙසේද කියල අලුතින් හිතපු අය අතරෙ රොහාන්ගෙ ඉදිරිපත් කිරීම් ඒ වෙනතෙක් පැවති වාමාංශික කතිකාවට වෙනස් අලුත් කවුලු නිර්මාණය උනා.

ඔහු ඇහුව ධනවාදයේ ප්‍රතිනිශ්පාදන ඒකකය වුනු පවුල පිලිඹදව විචාරාත්මක නොවී විමුක්ති දේශපාලනයක් කල හැකිද කියල.. මේ නිසා රොහාන් වඩාත් උනන්දු වුනේ මාක්ස් ගැන නෙවේ...මාක්ස් කෙනෙක් බිහිවන ජෙනීගේ ශ්‍රමය ගැන. ඔහු ඇහුව ලෙනින් මොඩ් පොරක් වගේ ඉද්දි කෲප්ස්කයා වයසට යන්නෙ ඇයි කියල. දේශපාලන ව්‍යාපාර බිද වැටෙන්න පවුලේ දායකත්වය, සමාජය තුල විප්ල්වවාදීයා පවුල ඇතුලෙ නඩත්තු කරන ජීවිතය ගැන, පවුල තුල ඇති බලරටාවන් ගැන මේ විදියට දේශපාලන පාරිභාශිතයට පිටින් තිබුන පවුල නැමැති ඒකකය රොහාන්ගෙ මැදිහත් වීමෙන් දේශපාලන කතිකාවේ අනිවාර්‍ය අංගයක් බවට පත් වුනා.
ඒ වගේම ඔහු අපේ දහවල් ජීවිතයට (සමාජ ජීවිතයට) රාත්‍රිය විසින්( ලිංගික ජීවිතය) කරන බලපෑම ගැන විචාරවත් නොවි විමුක්ති දේශපාලනය පරිකල්පනය කල නොහැකි බව ඉදිරිපත් කලා. මිනිස් අවිඥානයේ ක්ෂේත්‍රය මිනිස් ක්‍රියාකාරීත්වයෙදි /දේශපාලනයෙදි කොතරම් තීරණාත්මකද කියල ඔහු ඉදිරිපත් කලා.. දේශපාලනත් මනෝවිශ්ලේශනයත් මුලින්ම අපට එකට හමුවෙන්නෙ රොහාන් අනවර්ත නාමවලින් ලියපු (මහබඩැල්ලගේ සිරියාවතී/විශ්වජිත් බුවනෙක) මාතොටෙහි පලවූ මනෝවිශ්ලේශනය සහ දේශපාලනය ලිපි දෙකෙන් කියලයි මගේ හැගීම.

අනෙක් වැදගත්ම කාරණය ඔහු අපේ පෞද්ගලික හැගීම් ක්ෂේත්‍රයක තිබුනු "ආදරය" දේශපාල ක්ෂේත්‍රය තුලට රැගෙන ඒම..(.අන්තිමට ගෝල්ෆේස් අරගලය පවා නාමකර්ණය උනේ ආදරයේ අරගලය කියල) ඔහු 70 සිනමා ගායනය ඇතුලෙ ලාංකීය ආදරය සොයා ගියා. එක තැනක ඔහු කිව්ව "මිල්ටන්ගේ හඩ+මගේ න්‍යාය= ප්‍රේමයේ ජීවය "කියල.
රොහාන් කියන්නෙ තමංගෙ ජිවිත කාලය පුරා පොත් 40කට වඩා ලියපු කෙනෙක්. නමුත් ප්‍රින්ට් උනේ "ලාංකීය සමාජය කේමදාස සංගීතය අග්නි ඔපෙරාව " විතරයි. ඉතිරි හැම පොතක්ම ලියවුනේ සමාජ වැඩ ඇතුලෙ.. ඒ ඒ වැඩ වල කව විසින් ඒව භාවිතා කලා .ඔහු ලියපු සමහර පොත්වල කොටස් ප්‍රවාද මාතොට ලන්ඩන් නිදහස් වැනි පුවත්පත් සගරාවල පලවුනා. සමහරක් පොත් ඒ ඒ සමාජ කව විසිරෙන කොට විතැන් උනා.. සමහර පොත් රොහාන්ට ගෙයක් නැති නිසා සමහරු මංකොල්ල කෑව. (ඔහු ජීවත් වුන අවසාන කාලෙ වෙනකොට ඔහු ලියපු පොත් සහ ලේඛණත් ඔහු පරිශීලනය කල පොත් පත් සහ තවත් සමාජ වැඩ ඇතුලෙ ලියවුනු ලේඛන විශාල ප්‍රමාණයක් දැනටත් තියෙන්නෙ බලහත් කාරයෙන් ඒව තියාගෙන ඉන්න කෙනෙක් ලග)-රොහාන්ම ලේඛනයක කියපු විදියට කවදහරි තමංගෙ ලේඛන කුරුල්ලො කැදලි බදින්න ඒ කඩදාසි පාවිච්චි කරාවි....

උපතින් මුස්ලිම් සම්බවයක් සහිත රොහාන් වැඩ කලේ සිංහල බෞද්ධ පොලොව ඇතුලෙ. ඔහු ආසියාතික බෞද්ධ ස්ත්‍රිය හමුවේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි ඩෙරීඩාව විසංයෝජනය කලා.(විසංයෝජනය පදය -Deconstrution වෙනුවට බාවිතා උනේ ඔහු අතින් බවයි මගේ අදහස. වැරදිනම් නිවැරදි කරන්න). ඔහු සිංහල මාක්ස් කෙනෙක්ව උපකල්පනය (බලන්න තර්කානුපාතිකත්වය සහ පවුල)කලා. නමුත් රොහාන් අතින් සිදුවුනු පුරෝගාමී මෙහෙවරට සිංහල සමාජයෙන් පෙරලා ඔහුට ලැබුනෙ අපවාද , පිටමං කිරීම් හුදකලා කිරීම්...

ඉතින් අවසාන වශයෙන් ගාමිණී මැරෙන්න කලින් කිව්වා මැරිල ආයෙ ඉපදුනොත් අන්දමන් දූපත් වල ඉපදෙනව ඒත් ලංකාවෙනම් ඉපදෙන්නෙ නෑ කියල. ඒ වගේ රොහාන් අවසාන කාලෙ කිව්වා මැරුනත් මැරෙන්නෙ මේ පොලොවෙනම් නම් නෙමෙයි කියල.( සිංහල බෞද්ධ සිතියමට එපිටින් තිබුනු පාසිකුඩාවල ඔහුගේ මරණය සිද්ධ වීමත් එය සිංහල අලුත් අවුරුදු නැකැත් කාල සිමාවක සිද්ද වීම එක අතකට මොකක්දෝ සම්බන්ධයක් තියෙනව වගේ).
ඒ තමයි පුරෝගාමීන්ට මේ රට කරපු දේ.
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
(සටහන | Kapila Krishantha )
උපුටා ගැනීම - Kapila Krishantha ගේ ෆේස්බුක් පිටුවෙන්...



