ඒ දාල තිබ්බේ නක්කලේට. දැන් ඒ කාලේ වගේ 'ලොකු වැඩ' යන්නේ නැහැ යන්නේ මේ වගේ 'සිල්ලර වැඩ' විතරයි කියල කියන්න. මම කියන්නේ ඇත්තටම වැඩේ යටින් යන්නේ නැහැ සහ එහෙම යන්නේ නැති එක හොඳයි.
මීට කලින් මේ මැටල් තාච්චිය මෙතෙන්ට එනකොට ඒකෙනුත් ගසා කෑවා. සිමෙන්ති මිටියෙන් ගසා කෑවා. පස් ටිකෙන්, වැලි ටිකෙන්, කොන්ත්‍රාත් එකෙන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් වගේ මේ හැම තැනින්ම කාල කාල අන්තිමට එන මුදලින් කප්පමුත් ගත්ත.
කෑගල්ලේ ඇදුරාපොත තියනවා වතුර ටැංකියක්. එතනින් එනවා සෑහෙන පමණ ලොකු බටයක්. කෑගල්ල පැත්තට. අනික දේවාලේගම පැත්තට. මේ බටේ හැමදාම කැඩෙනවා. හැමදාම වෝටර් බෝඩ් එක පාර කඩනවා. කෑගල්ල කුරුණෑගල ප්‍රධාන පාර. හැම සතියකම කඩනවා. බදාම ටිකක් දානවා යනවා. පාර දැන් සුන්දල් වෙලා තියෙන්නේ කඩලම. මොකක්ද මේ හැමදාම කඩන්න හේතුව. අර වැඩේ යටින් ගිය කාලේ, ඒ කියන්නේ අර මෙගා ලොකු ප්‍රොජෙක්ට් ගිය කාලේ දාන්න ඕනි බටේ ඝණකම වෙනුවට අඩු ඝණකම බටයක් දාල. වතුරේ පීඩනය වැඩියි. ඉතින් කැඩෙනවා.
ඇත්තටම දාන්න ඕනි බටේ සල්ලිටික කාගෙහරි සාක්කුවට වැටිලා. දැන් හැමදාම කැඩෙනවා. හැමදාම හදනවා. ඉවරයක් නැහැ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මේ තමයි පොඩි තැන ඉඳල ලොකු තැන දක්වා තිබ්බ දූෂණය. උඩින් මල්වට්ටි අරන් ගිහින් දොහොත් මුදුන් දීලා බුදුන් වැඳලා යටින් වැඩේ ගියා.
කෑගල්ලේ නගරධිපතියාගේ ඉඳල ප්‍රාදේශීය සභාවල ඉඳල මහ ඇමතියා දක්වා හොරාකාපු තක්කඩි හැත්ත ගැන මුළු කෑගල්ලම දන්නවා. දැන් පොඩ්ඩ පොඩ්ඩ උන්ව නිරාවරණය වෙනවා. පෙට්‍රල් ටිකේ ඉඳල අවභාවිතා කරලා තියන හැටි දැන් පේනවා.
ඒ තමයි යටින් වැඩේ ගිය කාලේ තිබ්බ සංවර්ධනයේ හැටි. කමක් නැහැ. ඒ සංවර්ධනය නැති උනාට කමක් නැහැ. කොන්ක්‍රීට් දාන කිලෝමීටරේ හරි හරියට දාපල්ලා. හරි ප්‍රමිතියට දාපල්ලා. වතුර ටික යන්න හරි බටේ දාපල්ලා. ටෙලිකොම් එකට හරි වයර් එක දාපල්ලා. පස්සේ කඩන්න වෙන්නේ නැතුව.
වැඩේ යටින් නොගියට කමක් නැහැ. පොඩියට හරි උඩින් කරන දේ හරියට කරපල්ලා...ඒවා පවතියි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




