The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තුව අත හැර මංගල ජනතා දේශපාලනයට පය ගැසීම වැදගත් - කුසල් පෙරේරා

T

The Leader Desk

June 10, 2020 • 3:01 PM

පාර්ලිමේන්තුව අත හැර මංගල ජනතා දේශපාලනයට පය ගැසීම වැදගත් - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (ජුනි 09) දහවල ලැබුණු ප්‍රවෘත්තිය සනාථ කරමින් මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් බව ප්‍රවෘත්ති නිවේදනයකින් ඊයේ සවස් වරුව වන විට ඔහු ප්‍රසිද්ධ කළේය.
  • ඔහුගේ පොරොන්දුව වූයේ ජනතාව සමග ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවය.
  • එවැනි ප්‍රතිපත්තියක් රකින්නෙකුට මේ රටේ වත්මන් පාර්ලිමේන්තු දේශපාලනයෙහි ඉඩක් නැති බව සැබෑවකි.
  • පාර්ලිමේන්තුවට තෝරා පත්කරන මහාචාර්ය ආචාර්යවරුන්, නීතිඥයින්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයින් හා සාමාන්‍ය පෙළ සමත් වන්නටද නොහැකි වූවන් අතර දේශපාලන හැදියාවේ කිසිදු වෙනසක් නැති බව පසුගිය දසක කිහිපයේ අත් දැකීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් අමතමින් ඔහු කියුවේ, “මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වූවත් මම ඊට වඩා වේගවත් දේශපාලන ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් ජනතාව සමග එකතු වෙනවා” යැයි කියා ය.

ඔහුගේ පොරොන්දුව වූයේ ජනතාව සමග ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවය.

මංගල හැමදාම ඔහු නිවැරදි යැයි තීන්දු කරන දේශපාලනයක නිරත වූවෙකි. ඔහුගේ දේශපාලනයේ පදනම වූයේ වාර්ගික, ආගමික හා වෙනත් ඕනෑම වෙනසකට අයත් සියල්ලන්ට පොදුවේ තමන්ගේ යැයි කිව හැකි එක්සත් රටක, සහජීවනයෙන් ජීවත්විය හැකි සංවර්ධනයකි. එතැන සිට ඔහු හැම ආකාරයකම වර්ගවාදයකට, ආගම්වාදයකට හා බෙදුම්වාදයකට විරුද්ධ විය.

එවැනි ප්‍රතිපත්තියක් රකින්නෙකුට මේ රටේ වත්මන් පාර්ලිමේන්තු දේශපාලනයෙහි ඉඩක් නැති බව සැබෑවකි. හැම මැතිවරණයකින්ම තෝරා පත් කෙරෙන හැම පාර්ලිමේන්තුවක්ම අඩියෙන් අඩිය පිරිහුණු පාර්ලිමේන්තු ය. මේ පාර්ලිමේන්තු දේශපාලනයෙහි තෝරා පත්කරන මන්ත්‍රීවරුන්ගේ හැදියාව පමණක් නොව, දේශපාලන පක්ෂවල හැදියාව හා සංස්කෘතිය පවා අති දූෂිත, වර්ගවාදී හා ආගම්වාදී දේශපාලන සංස්කෘතියකි.

52මන්ත්‍රීවරුන් සිය දේශපාලන හැදියාව ප්‍රදර්ශනය කරමින්....

නාගරික මැද පංතික පිරිස් වැදගත්, උගත්, අවංක දේශපාලකයින් පත් කරන්නට යැයි ජනතාවට කීවාට, මේ කුණු දේශපාලනයේ එවැන්නන් නොමැති බැව් හැම පාර්ලිමේන්තුවක්ම ඔප්පු කෙරුවකි.

පාර්ලිමේන්තුවට තෝරා පත්කරන මහාචාර්ය ආචාර්යවරුන්, නීතිඥයින්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයින් හා සාමාන්‍ය පෙළ සමත් වන්නටද නොහැකි වූවන් අතර දේශපාලන හැදියාවේ කිසිදු වෙනසක් නැති බව පසුගිය දසක කිහිපයේ අත් දැකීමකි.  

මංගලගේ අවුරුදු 32 ක පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ විපක්ෂයේ මෙන්ම ආණ්ඩු කිහිපයක බලසම්පන්න ඇමතිවරයෙකු ලෙස අවංක, දූෂණ චෝදනා නොලැබූ තම ප්‍රතිපත්ති වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින දේශපාලනඥයෙකු ලෙස ඔහු ඉතිරි විය. මේ කසළ දේශපාලනයෙහි එවැනි ඉතිහාසයක් නඩත්තුකර ගෙන සිටීමම ප්‍රාතිහාර්යකි. එහෙත් එයට මේ දූෂිත පාර්ලිමේන්තු දේශපාලනයෙහි පිළිගැනුමක් හා වටිනාකමක් නැත.  

Sudu nelumතම ප්‍රතිපත්ති වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින දේශපාලනඥයෙක් ...

එනිසා මංගල ඒ දූෂිත, වර්ගවාදී හා ආගම්වාදී පක්ෂ දේශපාලනයෙනුත් පාර්ලිමේන්තු දේශපාලනයෙනුත් ඉවත්වීමට ගත් තීන්දුව නිවැරදි තාර්කික තීන්දුවකි. එහෙත් එයම ජනතා දේශපාලනයට පිවිසීමේ සුදුසුකම නොවන බවද මංගල තේරුම් ගත යුත්තකි.

''තීන්දුවේ වැදගත්කම රැඳෙන්නේ විරෝධාකල්ප දේශපාලනයේ නොසිට විකල්ප සංවර්ධන සැළසුමක් ඉදිරිපත් කළහොත් පමණය.''

එවැනි සුදුසුකම් තිබුණත් නොතිබුණත් ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩු විරෝධීන් ලෙස පිළිගැනුමක් ලබන්නේ දූෂණය ගැන කෙරෙන ගෝසාකාරී විස්තර කිරීම් සමගින් පමණි. දූෂණයට විරුද්ධ වූවත් මේ විවෘත වෙළඳපල ආර්ථිකය “පිරිසිදු” කරන්නට නොහැකි බැව් ඔවුන් දන්නේ නැත. ඔවුන්ට එවැන්නක් දැන ගැනීමට අවශ්‍යයද නැත.

මේ රටේ නිදහසින් පසු දේශපාලනයෙහි විරුද්ධ පක්ෂ හැමදාම ජීවත් වූයේ “විරෝධාකල්ප” දේශපාලනයක් සමගින් මිස රටේ ප්‍රශ්න සඳහා විසඳුම් ඉදිරිපත් කෙරෙන “විකල්ප” දේශපාලනයක් සමගින් නොවේ.

මංගලද එවැන්නකු නොවිය යුතුය. එසේ නොවීම සඳහා මංගල මෙතෙක් රැගෙන ආ ප්‍රතිපත්තිමය දේශපාලනය දැන් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගිය හැකි ජාතික සංවර්ධන සැළසුමක් ලෙසිනි. එය ජනතාව සමග ගෙන යා යුතු අතිශය වැදගත් සංවාදයකි.

ඒ වෙනුවෙන් ජ.වි.පෙ මෙන් මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල පිරිසිදු කළ හැකි යැයි දකින සිහිනයෙන් ඔහුට අවදි වන්නට සිදු වන්නේය. වටපිට බැලුවහොත් ඔහුට ඉන්දියාවේ සිට පාකිස්තානය, බංගලාදේශය, බුරුමය වැනි හැම රටකම විවෘත වෙළඳපල ආර්ථික සමග දේශපාලන පක්ෂ, නාගරික මැද පංතික වෘත්තීන්, ව්‍යාපාරිකයින් සමග සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණ හා ආණ්ඩුපාලන අතිශය දූෂිත, අකාර්යක්ෂම ආයතන හා වෘත්තීන් බවට පත්ව ඇති සැටි දැකගත හැකිය.

 

විකල්ප සංවර්ධනයකට මංගල ඔහුගේ ලිබරල් ආර්ථික සිහිනයත් අත හැරිය යුතුය:

එපමණක් නොවේ. මංගලගේ සහජීවන දේශපාලන ප්‍රතිපත්තියටද මේ විවෘත වෙළඳපල ආර්ථිකය නොගැලපෙන බවද වටපිට බැලූ විට ඔහුට දැක ගත හැක. විවෘත වෙළඳපල ආර්ථිකය නිතැතින්ම දූෂිත, ජාවාරම්කාර මහ නගර කේන්ද්‍රීය වෙළඳපලක් පමණක් නොව, එය නඩත්තු කිරීම සඳහා ආගම්වාදය, වර්ගවාදය, වර්ණවාදය වැනි සියලු ආකාරයේ අන්තවාදී මත සඳහා විශාල වැය කිරීම් කරන බවද දැක ගත හැකිය. දකුණු ආසියානු කලාපයම ඊට කදිම නිදසුනකි.

විශ්‍රාම නොගෙන ජනතා දේශපාලනයට එනිසා අද පය ගැසිය හැක්කේත් පය ගැසිය යුත්තේත් “විකල්ප ජාතික සංවර්ධන යෝජනා” සමගින්ය.

 කොරෝනා වසංගතය විසින් ඉතිරි කළ ලෝකයේ දැන් ගෝලීය වෙළඳපල ආර්ථිකයද අවලංගු වූවක් බව අමතක නොකළ යුත්තකි. ඇමෙරිකාවේ හා යුරෝපයේ ඉහළ පෙළ ආර්ථික විශේෂඥයින් දැන් කතා කරන්නේ පශ්චාත් කෝවිඞ්-19 ලෝකය, ඇද වැටෙන ආර්ථික අර්බූදයට පමණක් නොව දේශගුණික විපර්යාසයටද විසඳුම් සොය ගත යුතු යැයි කියාය.

ඒ වෙනුවෙන් ඔවුන් දැන් යෝජනා කරන්නේ ජාතික ආර්ථික වර්ධනයක් වෙනුවෙන් නැවත ශක්තිමත් කෙරෙන රාජ්‍ය මැදිහත්වීම් සමග නියාමනය කරනු ලබන දේශීය ආර්ථික ආකෘතියකි. කෙටියෙන් කියන්නේ නම්, වත්පොහොසත් බටහිර බලසම්පන්න රටවල් පවා අවුරුදු 40 ට වැඩි කලක් පැවති නව ලිබරල්වාදී ගෝලීය වෙළඳපල අතහැර දැන් නැවත දේශීය ආර්ථික නැඹුරුවකට යොමු වෙති.

''මංගල දූෂිත, වර්ගවාදී හා ආගම්වාදී පක්ෂ දේශපාලනයෙනුත් පාර්ලිමේන්තු දේශපාලනයෙනුත් ඉවත්වීමට ගත් තීන්දුව නිවැරදි තාර්කික තීන්දුවකි. එහෙත් එයම ජනතා දේශපාලනයට පිවිසීමේ සුදුසුකම නොවන බවද මංගල තේරුම් ගත යුත්තකි. '' - කුසල් පෙරේරා (ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

kusal Perera mangala

යෝජනා කිහිපයක් :

එවැනි අර්බූද ගහණ ජාත්‍යන්තර පරිසරයක, මංගල කැමැත්තෙන් බාර ගන්නා වගකීම සුළුපටු වගකීමක් නොවේ. නිවැරදිව පය ගැසුවහොත් එය ඔහුගේ පමණක් නොව රටේම අනාගතය තීන්දු කළ හැක්කකි. ඒ වෙනුවෙන් මෙලෙසින් ඔහුට යෝජනා කරමි.

  1. වහා අතට ගත යුතු දේශපාලන ක්‍රියාකාරිත්වය ලෙස මේ ආණ්ඩුවේ සිංහල-බෞද්ධ අධිපතිවාදී පියවර දේශපාලන වශයෙන් ජනතාව හමුවේ හෙළදරව් කළ යුතුය.

 මේ සිංහල-බෞද්ධ රට යැයි කියා ඒ වෙනුවෙන් පෙනී සිටින කිසිවකු සිංහල-බෞද්ධ අති බහුතර ග්‍රාමීය ප්‍රජාවගේ ඡන්දය ගැනීම හැර ඔවුන්ගේ දියණුව වෙනුවෙන් නිදහසින් පසු මෙතෙක් ඉතිහාසයෙහි කිසිවක් කර නැති බැව් තේරුම් කළ යුතුව ඇත. එයට කදිම නිදසුන, කොරෝනා වසංගතය සමග මැද පෙරදිග අතරමංව ඉන්නා දහස් ගණන් දුප්පත් ජනතාව ය.

  1. නව අර්ථක්‍රමයක් සමග ජාතික සංවර්ධනය සඳහා කතිකාවකට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කළ යුතුය. එහි අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප්‍රවාහනය හා පරිසරය සඳහා ”ධවල පත්‍රිකා” සැකසීම යෝජනා කළ යුතුව ඇත. එවගේම පළාත් පාලන ආයතන හා පළාත් සභා සඳහා ජනතාව හවුල්කරගත හැකි “සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙන්ද යෝජනා ඉදිරිපත් කළ යුතුය.

  2. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවේ පාලනයෙන් මුදවා පාර්ලිමේන්තුව විසින් පත් කරන්නාවූ ස්වාධීන අධිකාරියක් බවට පත් කරමින් එය මිලියන 02 ට වැඩි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය සේවා හා සුභසාධනය වෙනුවෙන් වඩා සක්‍රීය අරමුදලක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිමය යෝජනාව සමාජය හමුවේ තැබිය යුතුය.  

මෙය එකවර කළ නොහැකි බව දනිමි. එහෙත් මෙවැනි විකල්ප දේශපාලනයකින් තම අලුත් දේශපාලන ගමන ආරම්භ කෙරෙන බවට සහතිකවීමේ පියවර ඔහුට ගත හැකිය. ඔහු එසේ කරනු ඇතැයි උදෙක් අපේක්ෂා කරමි.

කුසල් පෙරේරා (2020 ජුනි 10)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...