ඒ තමයි එක ෆේස්බුක් චැනල් එකක මේ ෆිල්ම් එක මිලියන දෙක පහුකරලා මිනිස්සු බලල තියනවා කියන එක. මේ වෙන කොටත් ඒ චැනල් එක දකින්න පුළුවන්.
නිල වශයෙන් අවසර අරන් නැති මේ චැනල් එක මුකර්ජී යන නමින් තමයි තියෙන්නේ. සුදත්ගේ නිල ෆේස්බුක් එකත් නෙවෙයි. My Red Comrade නිල එකවුන්ට් එකත් නෙවෙයි. කොහෙන් හරි අරගෙන දාපු පයිරේට් කොපියක් වෙන්න ඇති. නමුත් ඒකට මිලියන් දෙකක විශාල විව්ස් සංඛ්‍යාවක් ලැබිල තියනවා.
හොරෙන් හරි බලල තියනවා කියන එක, ඒ කියන්නේ සමාජය වෙතට යතුරු සිදුරෙන් හෝ මේක ගියා කියන එක, ඇත්තටම වෙනම කතාවක්. මේ පෝස්ට්මොඩන් යුගයේ.
මේක වැඩිහිටියන්ට පමණයි වීම මේ විව්ස් වලට බලපාපු එක සාධකයක් වෙන්න පුළුවන්. අනික වෙනත් තැනක නැති නිසා බලන අය මේ චැනල් එකට ආව වෙන්නත් පුළුවන්. හැබැයි වමේ පැවත්ම ගැන පොඩි කතාවක් මෙතන කියවෙනවා.
ඒ තමයි මේ ෆිල්ම් එක නිල වශයෙන් එතරම් සාර්ථක නැති උනත් නිල නොවන පයිරේට් (pirate) විදියකට මේක පවතින්න හදල තියනවා කියන එක. ඒ කියන්නේ යම් කිසි විපරීත නැත්නම් යතුරු සිදුරේ ආකෘතියක් ඇතුලේ මේක පවතිනවා කියන එක.
චිත්‍රපටය ඇතුලේ වමේ චරිතය ඉන්නෙම පැරනොයික භින්නෝන්මාදයක් ඇතුලේ (paranoid schizophrenia). තමා වටේ ඉන්න සමාජය සහ මහා අනෙකා තමන්ට එරෙහිව කුමක් හෝ කුමන්ත්‍රණයක් කරනු ඇතැයි යන බියෙන්, සංකාවෙන් සහ උන්මාදයෙන්.
සියවස් ගණනක වමේ පරාජයන් ඇතුලේ සහ බිම්ගත දේශපාලන ඇතුලේ ඒක අරුම පුදුම දෙයක් නෙවෙයි. මම පෙරේදා ලිව්ව 'අත්ත බිඳෙයි පය බුරුලෙන්' සටහන ඇතුලේ කිව්වෙත් මේ භින්නෝන්මාදය එක් අතකින් බාහිර සමාජයේ වසඟය නිසා ආරක්ෂාකාරී බවක් ගේනවා වගේම වමේ ව්‍යාප්තික ප්‍රගමණයට මේක බාධාවක් වියහැකියි කියල.
කොහොම උනත් චිත්‍රපටයේ කියවෙන මේ භින්නෝන්මාදී තත්වය ඇත්තටම සමාජයේ විපරීත ලෙස පවතිනවා කියන එක (නැත්නම් ධනවාදයේ ජයග්‍රහණය ඉදිරියේ වම පවතින්නේ පැරනොයික - නියුරෝසික - භින්නෝන්මාදී ආකෘතියකට කියන එක) චිත්‍රපටයට පසුව මේ සිදුවෙච්ච දේ ඇතුලේ හොඳින්ම පේනවා.
ඒ කියන්නේ චිත්‍රපටය කරලා අවුරුදු දෙකක ඇවෑමෙන් එයටත් නොදැනීම සමාජ සත්‍යයක් දෙසට ගමන්කරලා තියනවා.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




