The Leader News
BREAKING
Top Ad
Opinion

අවදානය යොමුකළ යුතු අදහසක් : ''වහනවා වෙනුවට වැඩිපුර අරිමු'' – අශෝක හඳගම

T

The Leader Desk

April 23, 2020 • 1:43 PM

අවදානය යොමුකළ යුතු අදහසක් :  ''වහනවා වෙනුවට වැඩිපුර අරිමු'' – අශෝක හඳගම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරි දේ හරි වෙලාවට කිරීම තුළ මිස, හරි දේ වුණත් වැරදි වෙලාවට කිරීම තුළ කිසි ප්‍රයෝජනයක් නැහැ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස අලූත් අවුරුදු උත්සව සමයේ ඇඳිරි නීතිය දමා
  • එහෙත් තවදුරටත්, එය පවත්වාගැනීම තුළ ඇති විය හැකි ප්‍රතිඵල කොරෝනා ආසාදනයට වඩා දරුණු විය හැකියි.
  • කොරෝනාවෙන්  දරුණු ලෙස බැට කෑ රටවල් ඒ තීරණය අරන්.
  • එහෙත් ඇත්ත පොළොවේ යථාර්ථයත් ඒකම තමයි.  වසා දමන ව්‍යාපාරවලින් එළියට විසි වෙන ලක්ෂ ගණන් සේවකයන්ට රස්සාවල් ඇරෙන්න වෙන විකල්ප නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාවගේ චලනයන් පාලනය කිරීම වැඩදායී වන්නට පුළුවන්. එහෙත් තවදුරටත්, එය පවත්වාගැනීම තුළ ඇති විය හැකි ප්‍රතිඵල කොරෝනා ආසාදනයට වඩා දරුණු විය හැකියි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ සොයා කරන පර්යේෂණ තවමත් සාර්ථක වැක්සීනයක් සොයාගන නැහැ. බීබීසී පුවත් වාර්තාවලට අනුව, බ්‍රිතාන්‍ය පර්යේෂකයන් ඉලක්කයේ ඉතා ආසන්නයට පැමිණ තිබෙනවා. එසේ ළඟදී දිනක වැක්සීනයක් සොයා ගත්තත්, ලෝක පරිමාණව එය ලබා දෙන්න අඩු තරමින් තව වසරක් වත් ගතවේවි. 

එතෙක් කාලයක් ආර්ථිකයන් වසාගන සිටීම ප්‍රායෝගික නැහැ. දැනටමත් මේ වසා දමා තිබූ කාලයට, ලෝක ආර්ථිකය පසු බා තිබෙන ප්‍රමාණය සුළුපටු නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් විවෘත කිරීම හැරෙන්න විකල්ප කිසිවක් ඉතිරිව නැහැ.

කොරෝනාවෙන්  දරුණු ලෙස බැට කෑ රටවල් ඒ තීරණය අරන්. ඇමෙරිකාවේ නම්, ජීවත් වීමේ නිදහස ඉල්ලා සමහර කණ්ඩායම් වීදි බැහැලා. ඒ ට්‍රම්ප්ගේ අනුගාමික හෙන්චයියන් කියලාත් කියනවා. එහෙත් ඇත්ත පොළොවේ යථාර්ථයත් ඒකම තමයි. 

වසා දමන ව්‍යාපාරවලින් එළියට විසි වෙන ලක්ෂ ගණන් සේවකයන්ට රස්සාවල් ඇරෙන්න වෙන විකල්ප නැහැ. තමන් වැඩ කළොත් තමයි තමන්ට ජීවත් වෙන්න ලැබෙන්නේ. කොරෝනා වයිරසය මට්ටම් ලෑල්ලකින් වගේ සියලූ මනුෂ්‍යයන් එක මට්ටමට සමතලා කරනවා යැයි රොමෑන්ටික් කතා කියැවෙනවා. ඒත් ඒක එහෙම නැහැ.

HANDAGAMA                                      ඡයාරූපය: ඉෂාර එස් කොඩිකාර / Getty Images
ගෙවල්වලට වෙලා හුදකලා වෙලා ඉන්න ‘ඇති හැකි’ කෙනාට බලපාන විදියට නෙවෙයි ඇඳිරිය ‘නැති බැරි’ කෙනාට බලපාන්නේ. නැතිවුන් එදිනෙදා උපයාගන, එදිනෙදා ජීවත් වුණු අය. ඒ අයගේ ජීවත් වීමට ඇති ආදායම් මාර්ගයි මේ වසා දමා තියෙන්නේ.

ලෝකේ මොන රටක් වත් කොරෝනා පාලනය කරන්න ඇඳිරි නීතිය දැම්මේ නැහැ. අත්‍යවශ්‍ය නොවන සේවා යැයි හඳුනා ගත් අංශ වසා දැමුණා පමණයි. 

එහෙත් මිනිස් ජීවිතය කියන්නේ කාලා බීලා ඉන්න එක විතරක් නෙවෙයි. පසුගිය සඳුදා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ මිනිසුන් දහස් ගණනක් වීදි බැස්සේ මේ ඊනියා ‘අත්‍යවශ්‍ය නොවන’ සේවා විවෘත කරන්න කියලයි.  ඔවුන් අත තිබූ පිකට් බෝර්ඞ් අතර, ‘ඇමෙරිකාවට වැඩ කරන්න දෙන්න (Let US Work ), නිදහස අත්‍යවශ්‍යයි (Freedom is Essential ), අපට  ඕනෑ වැඩ මිසක් සුබ සාධනය නෙවෙයි (Work not Welfare )’ ආදි සටන්පාඨ ලෙල දුන්නා.)”

give me e1587396632243
US Today පුවත්වලට ප්‍රකාශයක් දෙන විරෝධතා කණ්ඩායමේ කෙනෙකු කියා තිබුණේ ”වයිරසයෙන් මිය ගිය අය ගැන මට කනගාටුයි. මගේ හදවත ඔවුන් වෙනුවෙන් වැලපෙනවා. ඒ වගේම මගේ හදවත කොරෝනා නිසා වැඩබිම්වලින් විසිවුණු මිලියන 1.5 ක් වන පෙන්සිල්වේනියා සේවකයින් ගැන ද වැලපෙනවා” කියලයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක වසා දැමීම් නවත්වන ලෙස විරෝධතා රැල්ලක් ඇති වෙලා. ඒ විරෝධතා අතරේ, ටෙනසි ප්‍රාන්ත රාජ්‍යයේ ආණ්ඩුකාරයා මේ වසා දමා ඇති තත්වය අප්‍රේල් මාසයෙන් ඔබ්බට ගෙන යන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැති බව ප්‍රකාශ කළා. ගොර්ජියා ප්‍රාන්ත රාජ්‍යයේ ආණ්ඩුකාරයා, ”සමාජ දුරස්ථකරණ විධිවිධානවලට යටත්ව, අප අප්‍රේල් විසි හත් වෙනිදා සිට, රෙස්ටුරන්ට්ස්, රඟහල්, සිනමාහල් සහ පුද්ගලික සමාජ ශාලා විවෘත කරනවා” යැයි දැනුම් දුන්නා. (උපුටා ගැනීම් : US Today)

කොරෝනා සමඟ දිගු ගමනක් යන්නට තිබෙන බැවින් වසාගන සිටීම තවදුරටත් ආරක්ෂාකාරී උපාය මාර්ගයක් නෙවෙයි. ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපයත් ටිකින් ටික විවෘත වෙනවා.

නිශ්චිත ඉලක්කයක් නැති ඇඳිරි නීතිය කෙතරම් සමාජ පීඩනයක් ඇති කරනවාද කියන එකට එය ලිහිල් කළ ගමන් දකින්නට ලැබෙන තදබදයම වුණත් සාක්ෂි දරනවා. 

Sri Lanka Curfew Featured Image v1
''නිශ්චිත ඉලක්කයක් නැති ඇඳිරි නීතිය කෙතරම් සමාජ පීඩනයක් ඇති කරනවාද කියන එකට එය ලිහිල් කළ ගමන් දකින්නට ලැබෙන තදබදයම වුණත් සාක්ෂි දරනවා. ''

ඒ එක්කම කොරෝනා පාලන උපාය මාර්ගයක් ලෙස තවදුරටත් ඇඳිරි නීතිය වලංගු නොවන බව, පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීම සාක්ෂි දරනවා. මිනිස්සුන්ට ඒක තේරුම් ගියාම, තවදුරටත් නිෂ්ඵල දේකට අවනත වෙලා ඉන්න ඒ අය සූදානම් නැහැ. පසුගියදා මගේ එෆ්බී පිටුවේ ඒ ගැන කියලා මෙහෙම සටහනක් දැම්මා.

”ඇඳිරි නීතිය ඇරපු ගමන්, බස් වල හිරවෙලා මේ විදියට යන මිනිස්සු ගැන විවිධ අය අවලාදාත්මක ස්වරයෙන් පොස්ටු දාල තියෙනවා දැක්කා. ‘මේ ගොන් හරක් මැරෙන එකමයි හොඳ’ කියලත් සමහරු ලියලා තිබුණා. කොහෙන් හරි අමාරුවෙන් හොයාගත්ත මාස්ක් දාගන, මෙහෙම හිරවෙලා යන්නේ මෙහෙම ගියොත් කොරෝනා හැදෙන බව නොදැන නෙවෙයි.

තමන්ට තේරීමක් (choice ) ලැබිලා තියෙනවා අවදානම් දෙකක් ගැන. එකක් කොරෝනා. අනෙක පවුල ජීවත් කරවන ආර්ථිකයට අදාළ කටයුත්තක් හෝ වෙන අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවත් වීම කියන කාරණයේදී මිනිස්සු ආත්මාර්ථකාමී තමයි. ඒත් හිතන තරම් මෝඩ නැහැ. 

හිරවෙලා යන මේ ගමන ගියොත් කොරෝනා හැදෙන්නත් පුළුවන්. නොහැදෙන්නත් පුළුවන්. හැබැයි, නොගියොත් නිශ්චිත වශයෙන්ම ජීවිතයට බලපාන, අහිමි වෙන යමක් තියෙනවා. ඒ තේරීම් දෙකින් කොරෝනා හැදෙන අවදානමයි, මේ මිනිස්සු අරං තියෙන්නේ. එහෙම නොකළොත්, තමන්ට වෙන කරදරයක දී තමන් ඇරෙන්න කවුරුත් නැති බව ඒ අය දන්නා නිසා. 

මේ මිනිස්සුන්ට ගොන් හරක් කියා කියා බනින්නේ මුග්ධ මිනිසුන්. මුන් රට පුරා ගිහිං කොරෝනා බෝ කළොත් ගෙවල්වලටම වෙලා ඉන්න තමන්ගේ ආතල් කැඩෙන හින්දා.

මේ මාරාන්තික තීරණයක් වෙන්න පුළුවන්. ඒත් පවුලක පැවැත්ම ඇතුළේ  මිනිස්සු තීරණ ගනිද්දී මේ වගේ මාරාන්තික අවදානම් ගන්නවා. මිනිහෙක් හොරකමක් කරන්න ගේකට පනින්නේ, අහුවුණොත් ඉල ඇට කැඩෙන බව දැනගන. කිසි අවදානමක් නැතුව බිලියන ගණන් හොරකම් කරන අය වගේ නෙවෙයි. 

ස්ලෙව්අයිලන්ඞ්, මරියාකඬේ වගේ පැතිවල මිනිස්සුන්ට ගෙවල්වලට වෙලා ඉන්න කිවුවට කොරොන්ටයින් වෙන්නේ නැහැ.ගෙවල්වල මිනිස්සු නිදියන්නේ ෂිෆ්ට් එකට. ඒ තරමට සෙනඟ. එක්කෙනෙකුට හැදුණොත් බෝ වෙනවා නම් වැලකට හැදිලයි නවතින්නේ. 

ඒත් එදිනෙදා හම්බ කරගන ජීවත් වෙන මේ මිනිස්සු, ලෙඩවලට බය නැහැ. හිතන තරම් ලේසියෙන් ඒ අයට ලෙඩ හැදෙන්නෙත් නැහැ. හැදුනත් ලෙඩවලින් මැරෙන්නෙත් නැහැ. බොහෝ වෙලාවට අකලට මැරෙන්නේ එක්කෝ ඩප්පි පාරකින්. වෙඩි උණ්ඩෙකින් එහෙම නැත්නම් කඩු කිණිසි පාරකින්.

අනුන් වෙනුවෙන් ගෙවල්වලට හිරවෙලා තව කී දවසක් ඉඳියි ද කියලා ඒ මිනිස්සු තීරණය කරන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්. කාගේත් ආතල් කැඩෙන්නේ එදාට.”

කොරෝනා අස්සේ ම ආර්ථිකය පණගන්වන්නේ කොහොමද ?

කොරෝනා නිසා අගතියට පත් ආර්ථිකය නැවත පණගන්වන්නත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරලා. ඒ කාර්යසාධක බලකායේ අවධානය යොමු විය යුත්තේ කොරෝනාවලින් පසු ආර්ථිකය පණගන්වන එකට නෙවෙයි. කොරෝනා අස්සේ ම ආර්ථිකය පණගන්වන්නේ කොහොමද කියන එකටයි. 

කොරෝනා ඉවර වෙලා පණගන්වන්න දෙයක් ඉතුරු නොවන්නේ අඩු තරමින් වසර එක හමාරක් වත් දිගට මෙහෙම ඇදගන යන්න හැකියාවක් ඇමෙරිකාවට හෝ යුරෝපයට වත් නැති නිසයි. සමාජ දුරස්ථකරණය තියාගන ආර්ථික කටයුතු කරගන යා හැකි පරිසරයක් නිර්මාණය කර ගත යුතුයි. එය අපහසු දෙයක් නොවෙයි. 

''ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය කාර්යාල දැන් පැය 20ක් ම හෝ විවෘත ව තැබිය යුතුයි''

''කළ යුත්තේ වසා දැමීම වෙනුවට වෙනදාට වඩා විවෘත ව තැබීමයි. වෙනදා පැය 10ක් විවෘත ව තැබූ ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය කාර්යාල දැන් පැය 20ක් ම හෝ විවෘත ව තැබිය යුතුයි. දුරස්ථකරණ සීමා තබාගන තම අවශ්‍යතා පිරිමසා ගන්නත්, අලූත් රැකියා අවස්ථා ඇති කිරීමටත් මේ පියවර රුකුලක් වේවි.''

ඒ වෙනුවට කළ යුත්තේ වසා දැමීම වෙනුවට වෙනදාට වඩා විවෘත ව තැබීමයි. වෙනදා පැය 10ක් විවෘත ව තැබූ ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය කාර්යාල දැන් පැය 20ක් ම හෝ විවෘත ව තැබිය යුතුයි. දුරස්ථකරණ සීමා තබාගන තම අවශ්‍යතා පිරිමසා ගන්නත්, අලූත් රැකියා අවස්ථා ඇති කිරීමටත් මේ පියවර රුකුලක් වේවි. 

ගැටලූවක් සේ පෙනෙන්නේ දිවා ? දෙකෙහිම වැඩබිම් විවෘත කිරීමේ දී මුහුණ දෙන්නට වන ‘විදුලි බිල’ විය හැකියි. ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පෙර නොවූ විරූ ලෙස පහත වැටීමේ වාසිය මේ සඳහා පිළිසරණක්.

මේ වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත්, මෙය කොරෝනාවලින් පසුව දිගටම වුවද කරගන යා හැකි ක්‍රමයක්. අලූත් චර්යා රටාවකට හැඩ ගැසීමට තරම් ප්‍රමාණවත් කාලයක් අපට කොරෝනා විසින් ලබා දෙන බව දැන් පැහැදිලියි. අඩුම තරමින් වසරක් වත්!.

එය දීර්ඝකාලීනව රටේ ආර්ථිකය නව රටාවකින් පණගැන්වීමට ද අඩිතාලමක් වනු ඇති. 

(අශෝක හඳගම - anidda.lk 23/04/2020)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...