ඒක වැළැක්වුවොත් නව ලිබරල්වාදී වෙළෙද පළ හෙජමොනික අවකාශය තුළ ගෝලීය ප්‍රාග්ධන විසින් ආණ්ඩුව වට්ටවනව. ග්‍රීසියේ සිරිසා ආණ්ඩුවට උනේ ඒක.
ඒ නිසා මේ ධනේශ්වර අවකාශයෙන් ගැලවෙන්න ජාතිකවාදී දූපත් රාජ්‍යයකට බැරි බව අපි තේරුම් ගන්න ඕන.

මේ දවස්වල ත්‍රිකුණාමලයේ ඉඩම් විශාල ප්‍රදේශයක ඉන්දියන් ආයෝජනයක් සදහා පිඹුරු පත් සකස් වෙලා. එහෙම ආයෝජන ගලා එන කොට රටේ ප්‍රාග්ධන ගිණුම ශක්තිමත්වීම ආර්ථිකයට ධනාත්මකව වැදගත්. ඒ නිසා එය සුළුකොට තකන්න බැහැ. හැබැයි ආයෝජනය ක්‍රියාත්මක වෙන කොට ඒ ඉඩම්වල භුක්තිය වින්ද ජනයාට භුක්තිය අත් හරින්නවීම අනිවාර්‍යෙක්.
හැබැයි විශාල විදේශ ආයෝජනයක් නිසා සම්ප්‍රදායික ගොවීන්ට භුක්තිය අත් හරින්නවීම සෑමවිටම ඔවුන්ට පාඩුවක් නෙවෙයි. ආයෝජනය නිසා ඉඩම් භුක්ති විඳි ජන කොටසට ද ප්‍රතිලාභයක් ලැබේ නම් භුක්තිය අහිමිවීමේ ක්‍රියාවලිය ප්‍රතිගාමී ක්‍රියාවක් වෙන්නෙ නැහැ. වෙන්න ඕන නිෂ්පාදන මාදිලියේ අලුත් ප්‍රතිසංස්කරණය තුළට භුක්තිය අහිමි වූ ජනතාව ඇතුළු කිරීමයි.

අසූව දශකයේ දී බුකර් ටේට් ආයෝජනය පහළ ඌවට එනවිට ලංකාවේ සිදුවූයේත් මෙයමයි. මුළු ඒකාබද්ධ විපක්ෂයම පැලවත්ත සීනී නිෂ්පාදන ආයෝජනයට එරෙහි වූවා මිස ආයෝජනයේ ප්‍රතිලාභීන් ගොන්නට පහළ ඌවේ ගොවීන් ඇතුලත් කිරීමට මහන්සි වූයේ නැහැ. ඒ නිසා පහළ ඌවට ලැබුණ ප්‍රාග්ධනයට එරෙහිවෙමින් වැඩවසම් අවශ්‍යතා වෙනුවෙන් අරගල කිරීමට ලාංකික වම යොමුවුනා.
මාක්ස්වාදී දෘෂ්ටිමය පදනමක් ඇති දේශපාලන ව්‍යාපාරයක් මුළුවැර යොදා කළ යුත්තේ ආයෝජනයේ ප්‍රතිලාභීන් බවට වින්දිතයන් ඇතුලත් කර ගැනීමට අරගල කිරීම මිස ආයෝජනයට එරෙහිවීමට අරගල කිරීම නෙවෙයි. ආයෝජනයට එරෙහිවුවහොත් ප්‍රාග්ධන ගිණුම බොඳවී රටපුරා දරිද්‍රතාව ඔඩු දුවන්න පුළුවන්. නමුත් ආයෝජනයේ ප්‍රතිලාභී ගොන්න ශක්තිමත් වුවහොත් ගොවීන්ගේ අතමිට සරුවීම අනිවාර්‍යක්.

ආයෝජන ගලාවිත් ධනේශ්වර සංවර්ධනය ශක්තිමත් වනවිට පන්ති බෙදීම යළි ආකෘති ගත වෙනව. ඒ පන්ති බෙදීම නිර්ධන පන්ති දේශපාලනයයට අලුත් ආරකින් හිස ඔසොවන්න මහගු අවස්ථාවක්. මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයක් දේශපාලනය කළ යුත්තෙ අන්න එතැන. එහෙම නැතිව මහජන චීනයෙන් පගාව අරන් ඉන්දියානු ආයෝජකයන් එළවීමට නෙවෙයි.
(සටහන | පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com




