The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තුව කැඳවීම ජනපතිගේ වගකීමකි -රාවය කතුවැකිය

T

The Leader Desk

April 13, 2020 • 6:38 AM

පාර්ලිමේන්තුව කැඳවීම ජනපතිගේ වගකීමකි -රාවය කතුවැකිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ මැතිවරණය පැවැත්වීම සඳහා පෙනෙන තෙක් මානයක දිනයක් නැති නිසා දැන් ජනපතිවරයා වහාම කළ යුතු කර්තව්‍යය වන්නේ පාර්ලිමේන්තුව කැඳවීමය. හදිසි තත්ත්වය සලකා ඔහුට එය කළ හැකිය.
  • එසේ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක උසස් ලක්ෂණයක්ද නොවේ.  එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිගේ මූල්‍ය බලතල පමණක් අප්‍රේල් මාසයෙන් පසු ක්‍රියාත්මක වනු ඇත.
  • ජනපති කාර්යාලයෙන් සෑම දෙයක්ම පාලනය වන තත්ත්වය පාර කපනුයේ පාලන ජුන්ටාවකටය.  ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සනිටුහන් විය යුතු රටක් කොරෝනාව නිසා අධිපති පාලන ව්‍යුහයක මුල ලක්ෂණ සහිත රටක් බවට කෙටිකාලීනව හෝ පරිවර්තනය විය යුතු නැත.
  • පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රායෝගික නැති බව ඇතැම්හු කියති.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ කිරීමේ ප්‍රධාන වැදගත්කම වන්නේ කොවිඞ් 19 වසංගතය පාලනයට සාමූහික පියවරක් ගැනීමට ඉන් අවකාශය ලැබෙන බැවිනි. 

දැනට කොරෝනා පාලනය, මහජන සුබ සාධනය, නීතිය ක්‍රියාත්මක කිරීම සියල්ල කෙරෙන්නේ ජනාධිපති කාර්යාලය කේන්ද්‍රීයවය. තාවකාලික ආණ්ඩුවේ ඇමතිවරු පවා ක්‍රියාකාරීව භූමි දර්ශනය තුළ නැත. ජනපතිටත්, අගමැතිටත් හමුදාවටත් මේ ක්‍රියාවලිය දිගින් දිගටම කළ නොහැකිය. එසේ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක උසස් ලක්ෂණයක්ද නොවේ. 

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිගේ මූල්‍ය බලතල පමණක් අප්‍රේල් මාසයෙන් පසු ක්‍රියාත්මක වනු ඇත. පාර්ලිමේන්තුව කැඳවා මුදල් වෙන් කර ගැනීම ප්‍රමුඛව සියලු පාර්ශ්වවලට කොරෝනා පාලනයේ වැඩ කොටස් බෙදාදී පාර්ලිමේන්තු අනුමැතියෙන් හා සම්ප්‍රදාය පෙරදැරිව, වැඩ කිරීමට පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තර ලක්ෂණය වනවා මෙන්ම වඩා ප්‍රශස්ත හා ප්‍රායෝගික පියවරද වෙයි.


''දැනට ජනපති මාධ්‍ය අංශය මගින් ඇඳිරි නීතිය පාලනය කරන තත්ත්වය දිගටම සිදුවීම අනුචිතය. ඒ පිළිබඳ තීරණ ගතයුත්තේ පාර්ලිමේන්තුව මගිනි. ජනපති කාර්යාලයෙන් සෑම දෙයක්ම පාලනය වන තත්ත්වය පාර කපනුයේ පාලන ජුන්ටාවකටය.'' 


දැනට ජනපති මාධ්‍ය අංශය මගින් ඇඳිරි නීතිය පාලනය කරන තත්ත්වය දිගටම සිදුවීම අනුචිතය. ඒ පිළිබඳ තීරණ ගතයුත්තේ පාර්ලිමේන්තුව මගිනි. ජනපති කාර්යාලයෙන් සෑම දෙයක්ම පාලනය වන තත්ත්වය පාර කපනුයේ පාලන ජුන්ටාවකටය. 

ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සනිටුහන් විය යුතු රටක් කොරෝනාව නිසා අධිපති පාලන ව්‍යුහයක මුල ලක්ෂණ සහිත රටක් බවට කෙටිකාලීනව හෝ පරිවර්තනය විය යුතු නැත.

පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රායෝගික නැති බව ඇතැම්හු කියති. එය සිදුවෙමින් පවතින වැරදි වසන් කරනසුලු ප්‍රවාදයකි. පාර්ලිමේන්තුව ආරක්ෂිත පියවර ගෙන රැස්වීමට ඕනෑතරම් ඉඩකඩ තිබේ. ජනතාව දැනටමත් සාපේක්ෂව හෝ එම ආරක්ෂක පියවර ගන්නවා නම් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ට එසේ කළ නොහැකි නොවේ. 

අනෙක් අතට ජනාධිපතිවරයා හා කොරෝනා පාලන හමුදාව රටට කියනුයේ සැඟවී සිටීමේ වැදගත්කම පමණි. එය කොරෝනා වසංගතයට මුහුණ දිය හැකි නිවාරණ සංරචකය පමණි. අනෙක් පැත්තෙන් මේ සියලු සැඟවී සිටීම් අතරේ රටේ සරල හෝ ආර්ථික ක්ෂේත්‍රයන්ගේ සක්‍රීයභාවය ගැනද මැදිහත්විය යුතුය. 


''අනෙක් අතට ජනාධිපතිවරයා හා කොරෝනා පාලන හමුදාව රටට කියනුයේ සැඟවී සිටීමේ වැදගත්කම පමණි. එය කොරෝනා වසංගතයට මුහුණ දිය හැකි නිවාරණ සංරචකය පමණි. අනෙක් පැත්තෙන් මේ සියලු සැඟවී සිටීම් අතරේ රටේ සරල හෝ ආර්ථික ක්ෂේත්‍රයන්ගේ සක්‍රීයභාවය ගැනද මැදිහත්විය යුතුය. ''

ලංකාවේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩුකාරයන්, කුණු බිත්තර ගසන්නන් හා වාචාලයන් අතර යම්කිසි දැනුමක් ඇති වැඩක් භාරදිය හැකි වගකීම්සහගත පක්ෂ විපක්ෂ ස්වල්ප දෙනෙක් හෝ සිටිති. පාර්ලිමේන්තුවේ නැති දක්ෂ දේශපාලනඥයෝ එළියේද සිටිති. ඔවුන්ට මේ මොහොතේ සක්‍රියවීමට ඉඩ හළ යුතුය. 

යම් පිරිසකට ආර්ථික ක්ෂේත්‍රය නැංවීම කෙරෙහි කටයුතු කිරීමට භාර දුනහොත් ඔවුන්ට ඒ ගැන ක්‍රියා කළ හැකිය. තව පිරිසක් කොරෝනා පාලනයට හවුල් කරගත හැකිය. සෙස්සන් සුබ සාධන කටයුතුවලට දායක කරගත යුතුය. 

රටේ මහා පරිමාණ සංවර්ධනය කෙසේ වෙතත් මේ අර්බුදය තුළ පැවැත්ම උදෙසා සමස්ත පාර්ලිමේන්තුවේම දායකත්වය ගැනීමේ වැඩපිළිවෙළකට ජනපතිවරයා කේන්ද්‍රීය කාර්යභාරය ඉටු කළ යුතුය. පොදු අරමුණක් පොදු හැඟීමක් රටට එන්නත් කළ හැක්කේද එවැනි පියවරකිනි.

වර්තමානයේ රටේ පවතින්නේ මුළුමනින් රට වසා දැමීමක් නොවේ. මෙය අර්ධ වශයෙන් ලොක්ඩවුන් කිරීමකි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය ක්‍රියාකාරී නැත. ජනමාධ්‍ය අක්‍රියය. අදහස් පළකිරීම් නැත. රටේ පවතින්නේ අවිවේචනාත්මක තත්ත්වයක් බැවින් විධායකයට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකිය. 

බරපතළ සමූහ ඝාතන චෝදනාවකට ලක්වූ සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ලැබුණි. ප්‍රධාන වංචාවක චූදිතයකු වූ උදයංග වීරතුංගට ඇප ලැබුණි. ඒ ඕනෑම දෙයක් මේ මොහොතේදී කොරෝනා පිටින් යැවිය හැකිය. 

කොරෝනා අභියෝගය ඉදිරියේ බිය හා බඩගින්න ප්‍රධාන ප්‍රශ්න දෙක වන බැවින් මේවා ජනතාවට අවිෂය වන බව පැහැදිලිය. 


''වර්තමානයේ රටේ පවතින්නේ මුළුමනින් රට වසා දැමීමක් නොවේ. මෙය අර්ධ වශයෙන් ලොක්ඩවුන් කිරීමකි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය ක්‍රියාකාරී නැත. ජනමාධ්‍ය අක්‍රියය. අදහස් පළකිරීම් නැත. රටේ පවතින්නේ අවිවේචනාත්මක තත්ත්වයක් බැවින් විධායකයට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකිය. ''

කොරෝනා නැතත්, වර්තමාන පාලනයට අන්තේවාසිකම් කරන ජනමාධ්‍ය මේවා ලිස්සා හරිනු ඇත. එහෙත් රටකට එසේ වැරදි සඟවාගෙන හා වැරදි කරමින් ගමනක් යා නොහැකිය. ඉකුත් යහපාලනයට පාලන ජුන්ටාවක් ගොඩ නගනවා යැයි අපි නොකියමු. එහෙත් ඔහු ක්‍රමයෙන් එතැනට ගමන් කරන්නට පුළුවන. අවිවේචනාත්මක බුද්ධිමතුන් රෑනක් ඔහු වටා සිටීම මේ තත්ත්වයට තවත් හේතුවකි. විවේචනයෙන් තොර නායකත්වය අයසට යන බවත් ජනපති කල්පනා කළ යුතුය.

කොරෝනා රටට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් බව සැබෑය. එහෙත් එය අර්බුදයට මුහුණදීමේදී තුවාල පිට තුවාල ඇති නොකරගෙන කොරෝනා මර්දනයේදී සේ ම නිවාරණ ක්‍රමයක් භාවිත කළ යුතුය. 

ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා උද්ගතව ඇති සෞඛ්‍ය, සමාජ හා ආර්ථික යන ඉක්මන් පිළිතුරු අවශ්‍ය තෙවැදෑරුම් ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් කැරෙන සාකච්ඡාවකට ඉඩ හැරීම ජනපතිගේ වගකීමකි. විසඳුම් යනු අදහස්වල හා දැනුමෙහි අග්‍රඵලය මිස වෙන කිසිවක් නොවේ.

(රාවය කතුවැකිය - ravaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...