BREAKING
Top Ad
Opinion

'ලෝක ළමා දින' ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන 'ලෝක විහිළුව' | කුසල් පෙරේරා

T

The Leader

September 23, 2026 • 12:09 PM

'ලෝක ළමා දින' ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන 'ලෝක විහිළුව' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * මහපොළොවේ ළමා අපචාර හා හිංසන වාර්තාගත ලෙස ඉහළ යද්දී, කොළඹ ප්‍රතිපත්ති සම්පාදකයින් උත්සව සංදර්ශනවලට සීමා වී ළමා පරපුර නොමඟ යවන හැටි
  •   නොවැම්බර 20 වන දින “ලෝක ළමා දිනය” ලෙස නම් කිරීමට විශේෂ හේතුවක් ඇත.
  • “ජාතීන්ගේ ලීගය” 1924 දී “ළමා අයිතිවාසිකම් සම්බන්ධ ජිනීවා ප්‍රකාශය” ලෙස සම්මත කළ ලියැවිල්ල, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් “ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය” ලෙස ප්‍රවර්ධනය කර සම්මත කරනු ලැබුවේ 1959 නොවැම්බර 20 වන දින ය.
  • අනතුරුව එක්සත් ජාතීන් විසින් සාමාජික රටවල් නෛතික බැඳීමකට නතු කෙරුණු සම්මුතියක් ලෙස “ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය” සම්මත කරනු ලැබුවේ 1989 නොවැම්බර 20 වන දිනයේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

* බිම් මට්ටමේ ළමයින්ගේ මූලික රැකවරණය අමතක කර, ඩිජිටල් මායාවන් පසුපස හඹායන රාජ්‍ය යාන්ත්‍රණය ලෝක ළමා දිනය දේශපාලන ප්‍රහසනයක් බවට පත්කළ අයුරු

 


කිසියම් විෂයක්, කිසියම් සිදුවීමක් ලෝක අවධානයට යොමු කිරීමේ උපාමාර්ගික පිළිවෙතක් ලෙස එක්සත් ජාතීන් ඊට අදාල දිනයක් ඒ වෙනුවෙන් නම් කර ප්‍රකාශයට පත් කරති. ජනවාරි 24 වන දින “ජාත්‍යන්තර අධ්‍යාපන දිනය”, මාර්තු 08 වන දින “ජාත්‍යන්තර කාන්තා දිනය”, ජුලි 06 වන දිනය “ලෝක ග්‍රාමීය සංවර්ධන දිනය” හා ඔක්තෝම්බර 05 වන දින “ලෝක ගුරු දිනය” ලෙස එක්සත් ජාතීන් විශේෂ යෝජනා සම්මත කිරීමෙන් හෝ ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි විශේෂිත සංවිධාන මගින් හෝ නම් කර ප්‍රකාශයට පත්කර ඇති දින 200 ට වැඩි සංඛ්‍යාවක් අතුරින් මේ මොහොතේ මතක් වූ ජාත්‍යන්තර/ලෝක දින කිහිපයකි.

 

ඒ අතුරින් එක්සත් ජාතීන් “ලෝක ළමා දිනය” නම් කරනු ලැබූයේ 1954 දෙසැම්බරයේදී ඉන්දියාව සහ උරුගුවේ රාජ්‍ය විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සම්මත කිරීම හේතුවෙන් ය. ඉන්දියාව හා උරුගුවේව ඔවුන්ගේ යෝජනාවෙන් අවධානය යොමු කළ සහ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටි මැදිහත්වීම් දෙකක් විය. පළමු වැන්න ළමුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ අත්දැකීම් බෙදා හදා ගැනීමට අවස්ථා ලබා දීමය. දෙවැන්න, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ අරමුණු හා අපේක්ෂා ප්‍රවර්ධනය කිරීම සහ ලෝක ළමා ජනගහනයේ සුභසාධනය දියුණු කිරීම ය.

 

නොවැම්බර 20 වන දින “ලෝක ළමා දිනය” ලෙස නම් කිරීමට විශේෂ හේතුවක් ඇත. “ජාතීන්ගේ ලීගය” 1924 දී “ළමා අයිතිවාසිකම් සම්බන්ධ ජිනීවා ප්‍රකාශය” ලෙස සම්මත කළ ලියැවිල්ල, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් “ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය” ලෙස ප්‍රවර්ධනය කර සම්මත කරනු ලැබුවේ 1959 නොවැම්බර 20 වන දින ය. අනතුරුව එක්සත් ජාතීන් විසින් සාමාජික රටවල් නෛතික බැඳීමකට නතු කෙරුණු සම්මුතියක් ලෙස “ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය” සම්මත කරනු ලැබුවේ 1989 නොවැම්බර 20 වන දිනයේ ය. “ලෝක ළමා දිනය” අර්ථවත් වන්නේ “ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය” සම්මත කළ දින “ලෝක ළමා දිනය” ලෙස සැළකීමත් සමග ය.

 

බහුතරයක් රටවල් “ලෝක ළමා දිනය” තමන්ගේ සමාජයේ වැදගත් දින හා ගලපා ගෙන ඇත. ඒ අනුව අප මෙවරද පසුගිය වසරේ මෙන් කාන්තා හා ළමා කටයුතු ඇමතිවරියගේ යෝජනාවක් ඇමති මණ්ඩලය විසින් සම්මත කිරීමෙන් ඔක්තෝම්බර 01 වන දින “ළමා දිනය” ලෙස නම් කර සැප්තැම්බර 25 වන දින සිට ඉදිරි සතිය “ජාතික ළමා සතිය” ලෙස ප්‍රකාශකර ඇත. ඔක්තෝම්බර 01 වන දින අපගේ ඉතිහාසයේ වැදගත් දිනයක් ලෙස කොතැනකවත් හමු වන්නක් නොවේ. නොවැම්බර 20 වන දිනට එක්සත් ජාතීන් තීන්දු කර ඇති ලෝක ළමා දිනය අත හැර, අප නිල වශයෙන් ඔක්තෝම්බර 01 වන දිනට “ලෝක ළමා දිනය” යොදා ගැනීම සම්බන්ධව කෙරෙන පැහැදිලි කිරීම් සතු වැදගත් කමක් දකින්නට නැත.

 

මෙහිදී වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිත දිනයේ ඔවුන්ගේ තේමා පාඨ හා යෝජනා සමග අප “ලෝක ළමා දිනයේ” ළමුන් අමතන්නේ නම් ය. ඒ පොදු බව තුල “ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව හා සුභසාධනය” ඉස්මතු කර ගන්නේ නම් ය. එක්සත් ජාතීන්ගේ ඒ දිනය සහ වාර්ෂික තේමාව අතහැර, අපගේ දේශීය සන්දර්භයන් හා ගැටළු වෙනුවෙන් අපේම විසඳුම් සැළසුම්කර දියත් කිරීමේ අවුලක් නොමැත්තේ ඒවා කියන ලෙස කෙරෙන්නේ නම් පමණය.

 

Sri Lankan young children posing on a tea plantaion. Their parents work on this tea plantattion near Nuwara Eliya, Ceylon. Sri Lanka (Ceylon) is the world's fourth largest producer of tea and the industry is one of the country's main sources of foreign exchange and a significant source of income for laborers.

 

පසුගිය 2025 වසරේ කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇයගේ අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කෙරුනු “ජාතික ළමා සතිය” සඳහා තේමා පාඨය වූයේ, “ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” යන්න ය. එම තේමාව යටතේ වූ “ජාතික ළමා සතිය” වැඩ සටහන, තෝරාගත් පාසල්වල ළමුන් 350 ක් ඇතුළු ආරාධිතයින් 700 ක් සහභාගිවූ ඔක්තෝම්බර 01 වන දින අරලියගහ මන්දිරයේ පැවති “ළමා දිනය” උත්සවයෙන් නිමා කෙරිණ. 2025 වසර “ලෝක ළමා දිනය” නිමිතිකොට පෝල්රාජ් ඇමතිවරිය යටතේ ක්‍රියාත්මක කළ “ළමා සතිය” වැඩසටහන පෙර ආණ්ඩු වලට වඩා වෙනස් නැතැයි ප්‍රදර්ශනය කෙරුවකි. ඒ වගේම සතියක් දේශන, වැඩ මුළු පවත්වා, ඒ වගේම ආරාධිතයින්ට අරලියගහ මන්දිරයේ පැවැත්වූ තේ පැන් සංග්‍රහයකින් වැඩසටහන නිමා කළේය. මෙවර 2026 ළමා දිනයද තේමාවේ වෙනස හැරුණු විට වෙනත් වැදගත් වෙනසක් නැති සෙයකි. ජනතාවාදී දැනුවත් ආණ්ඩු විශේෂයෙන් “ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව හා සුභසාධනය” වැනි ක්ෂේත්‍රයක් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් සැළසුම් කරන්නේ අවුරුදු කිහිපයකට මිස, සංදර්ශනාත්මක උත්සව වලට සීමා කරමින් නොවේ.


වාර්ෂික තේමා මාරුව සහ නොවිසඳුණු ප්‍රශ්න

 

මෙවර 2026 ළමා දින තේමාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” යැයි කියා ය. අප විමසිය යුත්තේ මෙතැන් සිට “මනසින් සවිමත්” දරුවන් හැදීමට, පසුගිය වසරේ තේමා කරගත් ළමුන් “ආදරෙන් සුරැකීම” කෙතරම් සාර්ථක වූයේද යන්නය. ඒවායේ සාර්ථකත්වය මිනිය හැකි ප්‍රධානම සාධකය වන්නේ ලබන දෙපෝයෙන් පසු සම්පූර්ණ වන අවුරුදු 02 හිදී පෝල්රාජ් ඇමතිතුමිය යටතේ වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කෙතරම් කාර්යක්ෂමවී ඇති දැයි විමසීමෙනි.  

 

cd3 20260923

 

“ජාතික ළමා ආරක්ෂක අධිකාරිය” අයත් වන්නේ ඇයගේ අමාත්‍යාංශයට ය. ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අවසන් “කාර්ය සාධන හා ප්‍රගති වාර්තාව” වන්නේ 2021 වසරේ වාර්තාව ය. ඇය ඇමතිවරිය වශයෙන් වැඩ බාරගත් 2024 නොවැම්බර සිට මෙතෙක් 2021 න් පසු කිසිදු කාර්ය සාධන හා ප්‍රගති වාර්තාවක් ප්‍රකාශයට පත්කර නැත. ප්‍රකාශයට පත්කර ඇති අවසන් “වාර්ෂික වාර්තාව” වන්නේද 2023 වාර්තාව ය. එම වාර්තා අනුව 2019 සිට 2023 වන විට අවුරුදු 04 ක කාලයේ ළමා ලිංගික හිංසන ඇතුළු ළමා අපචාර සංඛ්‍යාව 8,558 ක සිට 11,387 ක් දක්වා වැඩි වී ඇත.

 

මහපොළොවේ යථාර්ථය කියන සංඛ්‍යාලේඛන


ඉකුත් අගෝස්තු 14 වන සිකුරාදා ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මාධ්‍යයට කියා තිබූ අයුරු, ඔවුන්ට මේ 2026 අවුරුද්දේ පළමු මාස 06 ක කාලයේ ලැබුණු ළමා අපරාධ හා හිංසන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව කලින් 2025 වසරට වඩා වැඩිවී ඇත. පසුගිය සය මසක කාලය තුල ලැබී ඇති නිල පැමිණිලි සංඛ්‍යාව 4,388 කි. ඉකුත් දසකයේ - 2016 සිට 2026 දක්වා කාලයේ ළමා අපරාධ හා හිංසන සම්බන්ධ පැමිණිලි 9,361 සිට අවුරුදු පතා වැඩිවී ඇති ආකාරයට අනුව, සමාජ හැඩ ගැසීම් දෙකක් දැකිය හැක. ප්‍රධානම කාරණය ළමා අපරාධ හා හිංසන සිදුවීම් ඉහළ යාම ය. දෙවැන්න පෙරට වඩා පැමිණිලි කිරීමට ඉදිරිපත් වීමේ ප්‍රවනතාවක් ද තිබීම ය.

 

ඒ සියල්ලේ සමුච්චය වන්නේ මෙතුවක් කල් හැම ආණ්ඩුවක් යටතේම වසරක් පාසා රුපියල් බිලියන ගණන් වැයකර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් එය යටතේ වන ජාතික ළමා ආරක්ෂක අධිකාරයත් විසින් ළමුන් වෙනුවෙන් යැයි පවත්වන ලද වැඩ සටහන් කිසිවකින් සාධනීය කිසිවක් නොවීමය. පාර්ශවකරුවන් පුහුණු කිරීම්, ළමුන් දැනුවත් කිරීම් හා නීතිය ක්‍රියාත්මක කිරීම් සමග ලෝක ළමා දිනය වෙනුවෙන් “මනසින් සවිමත්” දරුවන් හදන්නට “ආදරෙන් සුරැකීම” සඳහා මේ මාලිමා ආණ්ඩුව සැළසුම්කර දියත් කරන කිසිදු වැඩ සටහනකින්ද විශේෂ කිසිවක් ඉතිරි නොවනු ඇත.

 

cd4 20260923

 

එයට ප්‍රධානම හේතුව මේ මාලිමා ආණ්ඩුව යටතේද දේශපාලකයින් වාගේම එවැනි වැඩසටහන් සැළසුම් කරන ප්‍රතිපත්ති සම්පාදකයින්ද ඒවා කරන්නේ ඇපයෙන් ගැලවීමට වන හෙයිනි. ඔවුන් දන්නේ පොළොවේ පය ගසනවුන්ගේ ගැටළු නොව, නාගරික මධ්‍යම පංතිකයින්ගේ අඳෝනා ය. එයට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. ඔවුන් මෙවර “ජාතික ළමා සතිය” සහ “ළමා දිනය” වෙනුවෙන් ඉලක්ක කර ඇති වැඩසටහන පිරික්සීම ප්‍රමාණවත්ය. එම වැඩ සටහන් සඳහා වැඩි අවධාරණයක් ඇත්තේ මේ බලධාරීන් ළමා හිංසන, ළමා අපරාධ කියවා ගන්නා අයුරුය. මෙවර “ජාතික ළමා සතිය” සඳහා සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධ අදහස් දැක්වීමේදී ඔවුන් කියා තිබුණේ, “වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමාරක්ෂාව අභිබවා අන්තර්ජාල හා  සංඛ්යාංක තාක්ෂණය සමග වර්ධනය වන ගැටළු බවය. ඒවා මානසික හා සමාජීය ආතතීන් දක්වා වර්ධනය වන්නේ” යැයි කියා ය. පොළොවේ යතාර්ථය ඊට හාත්පසින් වෙනස් බැව් පසුගිය 06 මසක කාලයේ වාර්තාවූ ළමා හිංසන හා අපරාධ සම්බන්ධ ඔවුන්ගේම දත්ත හා සංඛ්‍යා කියන්නකි.

 

සංදර්ශනවලින් මිදී සැබෑ වෙනසක් කරන්නේ කෙසේද?

ළමා ආරක්ෂක අධිකාරයට මෙම 2026 ජනවාරි සිට ජුනි අවසානය දක්වා ලැබී ඇති පැමිණිලි 4,388 න් පැමිණිලි 1,358 ක්ම “ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනතේ 35 වන වගන්තිය” යටතේ විශේෂ රැකවරණයක් ආරක්ෂාවක් හා සුපරීක්ෂණයක් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ළමුන් විය. තවත් පැමිණිලි 1,100 ක් ළමුන්ට කුරිරු ලෙස සැළකීම සම්බන්ධව විය. ලිංගික හිංසන සම්බන්ධ පැමිණිලි 213 ක් විය. ශාරීරික හිංසන 122 කි. මේ වසරේ පළමු සය මාසයේ ළමා ආරක්ෂක අධිකාරයට ලැබුණු මේ පැමිණිලි කිසිවක් ඔවුන් කියන “....... සාම්ප්‍රදායික ළමාරක්ෂාව අභිබවා අන්තර්ජාල හා සංඛ්යාංක තාක්ෂණය සමග වර්ධනය වන ගැටළු” නොවේ. ඒවා ඔවුන් නොසළකා හරින “සාම්ප්‍රදායික ළමාරක්ෂාව” සම්බන්ධ මහපොළොවේ ගැටළු ය. කොළඹ ප්‍රතිපත්ති සම්පාධකයින් බිම් මට්ටමේ ළමා ජීවිත හා දෙගුරුන් නොසළකා හරිමින් අන්තර්ජාල හා සංඛ්යාංක තාක්ෂණය සමග වර්ධනය වන ගැටළු සොයා යෑම ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන “ලෝක විහිළුවකි”.  

 

cd5 20260923

 

නොවැම්බර 20 වන දින පැවැත් වූවත් ඔක්තෝම්බර 01 වන දින පැවැත් වූවත් ලෝක ළමා දිනයෙන් විය යුත්තේ ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධ දෛනික කටයුතු සඳහාත් ළමා දැනුම හා පෞරුෂ වර්ධනයටත් වැඩි අවධානයක් හා අවධාරණයක් තැබීමය. ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සහායක හා සම්බන්ධීකරණ රේඛීය අමාත්‍යාංශය විය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ය. “ජාතික ළමා සතිය” සහ “ළමා දිනය” වෙනුවෙන් ඉලක්ක කෙරෙන වැඩසටහන තේමා කරගත යුත්තේ ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව තම වෘත්තිමය වගකීමක් ලෙස පිළිගන්නා, ආකල්පමය වශයෙන් දියුණු අනාගතවාදී ගුරු පරපුරක් හැදීමය. එම වැඩසටහන සම්පාදනය විය යුත්තේ පළාත් බද ගුරු සංගම් නියෝජනයක්ද ඇතිවය. ඒ අනුව, “ජාතික ළමා සතිය” සඳහාවන වැඩ සටහන වාර්ෂික පොදු සිරස්තලයක් යටතේ පළාත් කේන්ද්‍රීයව සැළසුම් කෙරෙන්නක් වන්නේය.      

 

කොළඹ ප්‍රතිපත්ති සම්පාධකයින් එවැනි විමධ්‍යගත ගමනකට කැමැත්තක් දක්වාවි දැයි සැක සහිතය. ඔවුන්ගේ බලාධිකාරය ඉන් ගිලිහෙන්නට බොහෝ සෙයින් ඉඩ ඇතැයි සිතෙන්නට හැකි හෙයිනි.


kusal perera2 

 (සටහන | කුසල් පෙරේරා)

 ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 kusal.perera@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...