ඇගේ දීප්තිමත් ම යුගයේ දී, ස්ත්‍රී ආදර වස්තුවට තිබූ පර්යාය පදය මාලිනී ය: ස්ත්‍රී සෞන්දර්යයේ නිර්ණායකය මාලිනී ය.
ඒ යුගය පියමං කර ආ බොහෝදෙනකු ගේ හදවත් තුළින් ඒ ආදර වස්තුව පසුගිය දශක එකහමාරක සිදුවීම් හේතුවෙන් මුළුමනින් මැකී ගියාය යි මම නොසිතමි.
ඇය මහින්ද රාජපක්ෂ යටතේ ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීකම සහ ජනාධිපති උපදේශක කමත්, රනිල් වික්‍රමසිංහ යටතේ ලද ජනාධිපති අරමුදල් ප්‍රතිපාදනත් මේ කියන අවසන් දශක එකහමාරට අයත් ය.

එහෙත් ඇගේ ස්වර්ණමය යුගයේ අග භාගයෙන් දිය බිඳක් හෝ තොලගෑ දරුවෙක්, ගැටවරයෙක් හා යෞවනයෙක් වශයෙන් මට ද කියන්නට ඇත්තේ, ඒ දශක එකහමාර වරහනකට දමා මා ඈට අදටත් ආදරය කරන බව ය.
දැනුවත් තඩි පිරිමි ටිකක් මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදල නම් දූෂිත ව්‍යූහයට බිලිදී ඇති ය යන්න මා මෙහි කරන යෝජනාව යි.
ජනාධිපති අරමුදල යනු අනාදිමත් කාලයක් තිස්සේ ඉතාම දරුණු ලෙස අවභාවිත වූ රාජ්‍ය අරමුදලක් ය යන්න අද වනවිට සාක්ෂි-සාධක, ගණන්-මිණුම් සහිතව හෙළිදරව් වී අවසාන ය.

පාර්ලිමේන්තුව තුළ ඒ හෙළිකිරීම කළේ මාලිමා ආණ්ඩුව යි.
මෙතැනින් එපිටටවත් මේ අරමුදල අවභාවිත කිරීම නවත්වන්නට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීමේ දී හා හැකිනම් එසේ අවභාවිත කළවුන් ද, අවභාවිත කළ මුදල් ද සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේදී, ඒ හෙළිදරව්ව අතිශයින් අවශ්‍යව තිබූ දෙයකි. ඒ තොරතුරු දැනගැනීම පොදු මහජනයාගේ ද අයිතියකි.
ඒ අනුව මේ අවභාවිතයට අදාළව මාලිනී ෆොන්සේකාගේ නම පාර්ලිමේන්තුවේ මාලිමා ආණ්ඩුවෙන් ප්‍රකාශ වීම ඒ අවශ්‍යතාවයේ ම, අත්හැර දමන්නට විශේෂ හේතුවක් නැති කොටසකි.
දිමූ ජයරත්න (ලක්ෂ 300) කෙහෙලිය (ලක්ෂ 110) රාජිත (ලක්ෂ 100) දයාසිරි ජයසේකර, වාසුදේව ඇතුළු විශාල පිරිසකගේ නම් අතරට නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා යන නම ද ඇතුළත් කරමින් 'මේ සරත් ෆොන්සේකා නෙවෙයි', යනුවෙන් දෙවරක් කියයි. එතැනින් එපිටට මේ කවුදැයි හරියටම කී බවක් ද මා දුටුවේ නැත.
රටේ අගමැති වූ දිමූත්, දීර්ඝ කාලයක් කැබිනට් ඇමැතිකම් කළ අනෙක් අයත් මේ අරමුදල ඇත්තේ කුමකටද, කාට පිහිටවීම සඳහා ද, නිර්ණායක මොනවාද, දියහැකි උපරිම ප්‍රතිලාභය කොපමණක්ද යන්න නොදැන සිටින්නට කිසිසේත් ම විදියක් නැත. ඒ අතින් ගත්විට මේ ලයිස්තුවේ ඉන්නවුන් අතරින්, මේ අරමුදල ගැන හරිහමන් අවබෝධයක් නොතිබුණානම්, ඉන් එක් අයකු විය හැක්කේ මේ කියන ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා ය.
අප මිත්‍ර අශෝක හඳගමගේ ලියැවිල්ලකට අනුව ඇයට මේ ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇත්තේ, රවීන්ද්‍ර රන්දෙනියගේ ඉල්ලීමකට අනුව අප මිත්‍ර සමන් අතාවුදහෙට්ටි ය. හඳගම හඟවන පරිදි මෙය මාලිනීගේ ඉල්ලීමකට අනුව සිදුවූවක් නොවේ.
මාලිනීට සාපේක්ෂව, ඇයට වඩා වැඩි කාලයක් දේශපාලනයේ සිටි රවීන්ද්‍රත් ජනාධිපති අරමුදලේ සීමා මායිම් දැනසිටිය යුතු ය.
ඔහුවත් පැත්තකින් තිබ්බත්, අවස්ථා ගණනාවක දී රනිල් ගේ කාර්ය මණ්ඩලයේ වගකිවයුතු තානාන්තර හෙබවූ සමන් අතාවුදහෙට්ටි මේ සීමා මායිම් හොඳින්ම දැනසිටිය යුතු ය.

නොදන්නවා නම්, මාලිනී වැන්නියකට කිසියම් දවසක අපවාදයක් අසන්නට නොලැබෙන පරිදි, එහි සීමා මායිම් සොයා දැනගැනීමේ හැකියාව ද, යුතුකම හා වගකීම ද ඔහුට තිබිණි.
එහෙත් ඔවුන් කර ඇත්තේ කුමක්ද? මේ ලයිස්තුවේ ඉන්නා අනෙකුත් ගර්හිත පුද්ගලයන් මෙන් කවදාවත් ජරාජීර්ණ දේශපාලන චරිතයකට පමණක් ලඝු නොවූ, සුවහසක් රසික ආදරය දිනාගත්තාවූ ජනකාන්ත ස්ත්‍රියක අපකීර්තිමත් ඉරණමකට බිලිදීම ය.
නලින්ද කියන නම් ලිස්ට් එකේ අන් කිසිවකුට ජනාධිපති අරමුදලෙනුත් ගසාකෑවාය කියා අමුතුවෙන් එකතු වෙන්නට අපකීර්තියක් නැත. ඔවුන් අයත් වන්නේ කොහොමත් ජනතා පිළිකුලට පාත්‍ර වූවන්ගේ ගොන්නට ය.
ජීවිතයේ අවසන් දශක එකහමාරේ දී දේශපාලනයට ගෙනත් දමා ප්‍රතිරූපයට හානි කරන ලද, ඊට වඩා අනාදිමත් කාලයක් තිස්සේ ජනතා ආදරය ලද ජනකාන්ත නිළියකට මේ ඉරණම අත්පත් කර නොදෙන්නට මේ හඳගම නම්කරන අපාය සහායකයන්ට යුතුකමක් තිබුණා නොවේද?
ඔවුන් එසේ නොසිතුවේ ඇයි? ජනාධිපති අරමුදල යනු තමන්ට හිතුමතේ කොල්ලකෑ හැකි ප්‍රසිද්ධ දන්සැලක් සේ ඔවුන් සිතාසිටි නිසා නොවන්නේද? ඒකෙන් හැන්ද ඇති වෙලාවේ කොයි තරම් බෙදාගත්තත් මැස්සෙක් මදුරුවෙක් කන තරම්වත් හානියක් මේ කපේදී සිදු නොවන බවට දැඩි විශ්වාසයක් ඔවුන් තුළ වූ නිසා නොවන්නේද?
වෘත්තීය පසුබිම පැත්තෙන් ගත්කල මේ දේවල් ගැන ඉතාම හොඳ දැනුවත් භාවයකින් සිටිය යුතු අශෝක හඳගම මේක හෝදන්නට යාමෙන් විශද කරන්නේ, ජනාධිපති අරමුදල යනු අතේ හැන්ද ඇති අයට හිතේ හැටියට බෙදාගෙන කෑ හැකි දන්සැල් බතක් කියා ඔහුත් හිතන බව නොවේද?
මෙවැනි තක්කඩි කමක් කරන්නට හඳගමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?

අප කියන්නේ මාලිනී ෆොන්සේකා යනු, මේ අරමුදල ගැන දැනුවත්, එසේ දැනුවත් නැතිනම් දැනුවත් වන්නට හොඳටම ඉඩ තිබූ, එහෙත් අවභාවිතය හා අක්‍රමිකතාව ඉතාම සාමාන්‍ය භාවිතයක් ලෙස ඇඟටම ජීර්ණය කරගෙන සිටි දූෂිත පිරිමින් කිහිපදෙනකු විසින් දැන දැන ගොදුරක් බවට පත්කරන ලද තැනැත්තියක බව ය. දිමූට, කෙහෙලියට, රාජිතට, දයාසිරිට, වාසුට නැතිවෙන්නට කීර්තිනාමයක් කියා දෙයක් නැත. ජනාධිපති අරමුදල කොල්ලකෑවත් නැතත්, ඒකේ ඇති අමුත්තකුත් නැත.
එහෙත් මාලිනීට එසේ නොවන බව සමන් අතාවුදහෙට්ට්ට හිතන්නට හැකියාව තිබිය යුතුය. මේ වගකීම් විරහිත ප්‍රකාශය කළ හඳගමට ඒ ගැන හිතන්නට හැකියාව තිබිය යුතු ය. මේ අරමුදලෙන් මෙවැනි සදාචාර සීමාවන් ඉක්මවා යන මුදලක් දීමෙන් ජනයාගේ ආදරයට ලක්ව සිටින මේ තැනැත්තියට කවදා හෝ අවමානයක් සිදුවන්නට ඉඩ ඇතැයි සිතන්නට මේකට අත්සන් කළ රනිල් වික්‍රමසිංහට හැකියාව තිබිය යුතු ය.
ඔවුන් කිසිවෙක් එසේ නොහිතුවේ, මොන මොන කොන්දේසි මෙහි ලියා තිබුණත්, ‘අපට ඕනෑ හැටියට මේක අවභාවිත කිරීම අපේ අයිතියකි, ලංකාවේ දේශපාලන බලය හුවමාරු කරගන්නා අපේ පෙළැන්තිය කිසිදා මේවා ප්‍රශ්න නොකරනු ඇතිය’ යන උද්දච්ච කල්පනාව හේතුවෙනි.

අවාසනාවට ඒ පෙළැන්තිය පෙරලාගෙන වෙනත් පිරිසක් රාජ්‍ය බලය ලබාගෙන සිටිති. දැන් ඉතින් කෙහෙලියලාට, දයාසිරිලාට නැතිවෙන්නට කීර්ති නාමයක් නැතත්, දිවියේ අන්තිම සැඳෑ සමයේ වැඩකට නැති මන්ත්‍රීකමක්, ජනාධිපති උපදේශක කමක් කරගහගෙන අපවාද ලැබුවත්, සිය දීප්තිමත් ජීවන සමයේ සුවහසක් ජනයාගේ හදවතේ නොමැකෙන පින්තාරුවක් වූ ජනකාන්ත නිළියකට කිසියම් හෝ අවමානයක් සිදුවී ඇත.
ඇය ජනාධිපති අරමුදලේ අවභාවිතයකට බිලිදෙන්නේ නැතිව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ මේ කියන ලක්ෂ 55 සොයාදෙන්නට රවීන්ද්‍රට, සමන්ට, හඳගමට සහ රනිල්ට බැරිකමක් තිබුණායයි මෙය කියවන ඔබ සිතන්නේද?
රාජ්‍ය අරමුදල් ගැන කිසිම වගකීමක් නැති, ඒවා තමන්ට අවභාවිත කරන්නට ම ඇති දේවල්ම ලෙස දුටු තඩි පිරිමි සෙට් එකක් නොවේද, මේ ගැහැනියට මේ සා අපවාදයක් ගෙනැවිත් දී ඇත්තේ?
අද අවසන් ගමන් යන මාලිනී ෆොන්සේකාගේ නම ඉදිරියෙන් ද කළු පැල්ලමක් සලකුණු කරන ලද ජනාධිපති අරමුදල් අවභාවිතය මෙතැනින් සදහට නවත්වන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස්කිරීමේ අත්හල නොහැකි වගකීමක්, පාර්ලිමේන්තුව හමුවේ මාලිනී නමට ඒ කළු පැල්ලම සායම් කළ ආණ්ඩුව වශයෙන් මාලිමාවට පැවරේ.

දැන් ඉතින් ජනාධිපති අරමුදල පැහැදිළි නිර්ණායකවලට යටත් කර, නැවත කවදා කවුරු බලයට ආවත් මේ ආකාරයෙන් අවභාවිත කළ නොහැකි තත්ත්වයකට ගෙන එන්න. ඒ නිර්ණායක අනුව ඔබේ නිල කාලය තුළ එම අරමුදල මෙහෙයවන්න. මේ වාගේම ඒ නිවැරැදි කළමණාකරණය පිළිබඳ සැබෑ තොරතුරු ද වසරින් වසර ගණන් හිලව් සහිතව ජනතාව හමුවේ තබන්න.
වසර පහකින් පසු ඔබ ගෙදර ගියත් අඩුම තරමේ කිසියම් කාලයක් යනතුරු ඔය අරමුදල සමඟ සෙල්ලම් කිරීමට ඊළඟට බලයට පත්වන්නන්ටත් බැරි තත්ත්වයක් ඉන් උදාවනු ඇත.
එය විසාල ධනස්කන්ධයක් වියදම් නොකර, හුදෙක් දේශපාලන තීන්දු තීරණ මතින්ම පමණක් ඔබට මේ මරණාසන්න රාජ්‍ය දේහයට කළහැකි වැදගත් ව්‍යූහාත්මක සැත්කමකි.
මාලිනිය වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න!
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
සබැඳි ලිපිය :
නිළි රැජින වෙනුවෙන් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? | Asoka Handagama



