සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අංශ තියෙනවා විවිධ දේවල් සඳහා වගකීම් දරණ. ඒ කියන්නෙ අපිට රජයේ රෝහල්වල දෙන ඖෂධ, උපකරණ වගේ දේවල් ගෙන්වන විදිහක් සහ ඒවාට වගකියන ආයතන තියෙනවා.
ඖෂධ හෝ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගත්තොත් එතනදී ආයතන තුනක් මට මතක් වෙනවා.
එකක් තමයි MSD එක ඊළඟට NMRA සහ SPC එක.
1. MSD - medical supplies division - වෛද්‍ය සැපයීම් අංශය
2.NMRA - National Medicines Regulatory Authority (NMRA)
3. SPC - State Pharmaceuticals Corporation
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

MSD එක කියන්නේ වෛද්‍ය සැපයුම් අංශය. MSD එක තමයි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භක ස්ථානය. ඒ අංශය තමයි මොන ඖෂධය කොච්චර ප්‍රමාණයක් කොහේටද අවශ්‍ය කියන එක තීරණය කරන්නේ. ඒ කියන්නේ අවශ්‍යතා ඇස්තමේන්තු කරන එක කරන්නේ එතනින්. රෝහල්වල භාවිතා කරන ප්‍රමාණවල දත්ත, මොන කාලවල දී මොන ප්‍රදේශවල ද මොන ප්‍රමාණ වලින්ද ඖෂධ අවශ්‍ය කියන දේ තීරණය කරන්න රෝග ව්‍යාප්තිය හෝ ඇතිවීමේ ප්‍රවණතා ගැන දත්ත එක්ක සමස්ථ රටේම ජාතික සෞඛ්‍ය දත්ත මේ අය එකතු කරනවා. ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම මාර්ගෝපදේශ වගේ දේවල් රිෆර් කරලා එයාල අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් හදනවා. ඒ අවශ්‍යතා ලැයිස්තුව හැදුවට පස්සේ ඒක තමයි SPC එකට යොමු කරන්නේ.
SPC එක මොකද කරන්නේ? SPC එක තමයි රජය වෙනුවෙන් ඖෂධ මිලදීගෙන ආනයනය කිරීම කරන්නේ. සමහර ඖෂධ ලංකාවේ හදනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. එතකොට ලංකාවට අවශ්‍ය අනෙකුත් ඖෂධ ලබාගන්නේ හෙවත් ප්‍රසම්පාදනය කරන්නේ ටෙන්ඩර කැඳවුම් මාර්ගයෙන්. එතකොට වෙළඳපොලේ ඉන්න ඕනෙම කොම්පැණියකට පුළුවන් මේ ටෙන්ඩර් සඳහා එකතුවෙන්න. මොකද ලෝකේ හැම කොම්පැනියකම වගේ ඒජන්තවරු හෝ කොම්පැණි තියෙනවා අපේ රටේ. ඒ ටෙන්ඩර් ඔස්සේ ඉල්ලුම් කළ සැපයුම්කරුවන්ගේ තාක්ෂණික හා මූල්‍ය ඇගයීම කරනවා SPC එකෙන් හෝ අදාල ටෙන්ඩර් එක ක්‍රියාත්මක වෙන ආයතනයෙන්. ඒ කියන්නේ ලොකු සෞඛ්‍යායතනයක නම් ඒවායේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සේවා ලාභීන් තමයි ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දෙන්නෙ. ඒ අදාල ඖෂධය හෝ උපකරණය ගැන එහෙම හොඳින්ම දැනුම තියෙන පිරිසක් තමයි TEC හෙවත් technical evaluation committee එකක් ලෙස පත් කරන්නේ. ඒ කියන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවක්.
ඒ වගේම Procurement committee එකක් දානවා මූල්‍ය ඇගයීම සඳහා. මේ tender boards වල අධ්‍යක්ෂ ලෙස බොහෝ දුරට මේ ආයතනවල අධ්‍යක්ෂවරු සහ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. මේ tenders කරලා agreement සයින් කරලා සුදුසුම සැපයුම්කරුවන්ට ඒවා බාර දීම වගේම ඒවා සිදුවනවද කියලා සොයා බැලීම දිගටම කරන්න ඕනේ. මේ දේවල් සිදු කරද්දී NMRA හෙවත් රාජ්ය ඖෂධ නියාමන අධිකාරිය හි ලියාපදිංචි වුණු ඖෂධ සමාගම් වලින් පමණයි ඖෂධ හෝ උපකරණ මිලදී ගන්නේ.

NMRA කියන්නේ ස්වාධීන නියාමනයක් සහිත ආයතනයක්. දේශපාලනික ඇඟිලි ගැසීම් නෑ. NMRA වෙතින් තමයි රටේම මිනිස්සුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු වෙන්නේ. ඒ කොහොමද ?
යම්කිසි ඖෂධයක් මෙරටට ගෙන්වන්න ඒවායේ තත්ත්වය ඉඳන් සේරම අත්‍යවශ්‍ය කරුණු සලකා බලා නීතිමය අනුමැතිය ලැබෙන්නේ මේ ආයතනය හරහා. ඖෂධ වෙළඳපළට ඇතුළත් වීම වගේම ඖෂධ වෙළඳපල මිල පාලනය කරන්නේ මේ ආයතනය. ඉතින් ප්‍රධාන වගකීම තමයි ඖෂධ ලියාපදිංචි කිරීම, නීතිමය දේවල් සහ ගුණාත්මකභාවය වගේ දේවල් පරීක්ෂා කිරීම කලින් සිදුවෙච්චි අවුල් හෝ හරියට සිදු නොවුණු තත්ත්ව පරීක්ෂා, මේ ඖෂධය නිසා වෙන රටවල සිදුවුණු ප්‍රශ්න මේ කියන මේ දේවල් ගැන ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනය කරුවන් ලියාපදිංචි කිරීමේදී සොයා බලන්න ඕනේ. ඊට වඩා බොහොම බැරෑරුම් දේවල් මේ ක්‍රියාවලිය තුළ තියෙනවා. මේක බොහොම සරල පැහැදිලි කිරීමක්. එතකොට යම් ආයතනයක් NMRA ලියාපදිංචි වෙලා නැත්නම් ඒ අයට ඒ ඖෂධය ගෙන්වීම හෝ බෙදා හැරීම කරන්න බෑ ලංකාවේ.
SPC එක ටෙන්ඩර් කැඳවපුවහම NMRA ලියාපදිංචි වෙච්චි සමාගම් වලට පමණයි ඉදිරිපත් වෙන්න පුලුවන් ටෙන්ඩර් වලට. එවන් ටෙන්ඩර් වල TEC හරහා තෝරගත්ත අය ඉදිරිපත් කරනවා බෙහෙත් සපයන්න ලංකාවේ රෝහල් සඳහා.

ඒ එකතු කරන බෙහෙත් ටික මම දන්න තරමට SPC එක හරහා MSD එකට තමයි එන්නේ. MSD එකෙන් තමයි ඒවා අදාල රෝහල් හෝ ආයතනවලට බෙහා හරින්නේ. එතකොට MSD/SPC එකෙනුත් වෙනම ගුණාත්මකභාවය තත්ව පරීක්ෂා සිද්ධ කරනවා රැන්ඩම් සාම්පල් ඒ කියන්නේ ඖෂධ තොගයකින් අහඹු ලෙස තෝරා ගත්ත සාම්පල තත්ත්ව පරීක්ෂාවලට ලක් කරනවා. ඒ කියන්නේ කලින් ටෙන්ඩර් එකට ඉදිරිපත් කළ සාම්පල විතරක් නෙමෙයි බෙහෙත් ටික හෝ උපකරණ මිලදී අරගෙන තොග අපේ රටට ආවමත් ඒ තොගයෙන් අහඹු ලෙස කිහිපයක් අරගෙන ඒවා පරීක්ෂා කරනවා. ඒවාත් සමත් වෙන්න ඕනේ. එතැනදී ප්‍රශ්නයක් වුණත් ඒවා බාර ගන්නේ නෑ. ඒ වගේම මේ දේවල් වල end users හෙවත් රටේම රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලින් මේ ඖෂධ හෝ උපකරණ පරිහරණය කරද්දී ගැටළු ඇති වුණොත් ඒවාත් ඉක්මනින් දැනුම් දීලා කඩිනම් පියවර ගන්නවා ගැටළු නිරාකරණය ට. ඔහොම තමයි මේ ඖෂධ හෝ උපකරණ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ.
ඖෂධ වගේම අනෙක් හැම දේම ඒ කියන්නේ එන්නත් කටුව පුළුන් කැබැල්ල රසායනාගාර වල පාවිච්චි කරන උපකරණ මැෂින් ඒවාට යොදන රසායනික දෑ පවා මේ ආකාරයෙන් tender ඔස්සේ technical evaluation committee එකක් හරහා තමයි තෝරා ගන්නේ.
මේක කෙටියෙන් ලිව්වොත්
ඉස්සෙල්ලා MSD එකේ දත්ත මත පදනම් ව ඇණවුම් කළයුතු ප්‍රමාණ SPC එකේ tenders NMRA අනුමැතිය ලද සමාගම් වලින් , TEC and PC හරහා ඖෂධ සමාගම් තෝරාගෙන ඇණවුම් කිරීම MSD එකට ලබා ගැනීම. SPC and MSD මගින් තත්ත්ව පරීක්ෂා සහ ඉන්පසු රෝහල් වලට බෙදා දීම.

එතකොට යම් කිසි තැනකදී මේ ඖෂධවල තත්ත්වය ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒකට මේ හැම ආයතනයක්ම වගකියන්න ඕන.
ටෙන්ඩර් පටිපාටියට හෝ MSD එකෙන් හදන ඖෂධ ලැයිස්තුවලට හෝ NMRA දෙන ලියාපදිංචියට හෝ ඇඟිලි ගහන්න අමාත්‍යාංශයට හෝ අදාල ඇමතිවරයාට කිසිම අයිතියක් නෑ. එහෙම කරන්නත් බෑ.
අපි දන්නවා පහුගිය කාලේ කෙහෙලිය රඹුක්වැල්ලට ඉමියුනොග්ලොබියුලින් මිලදීගැනීම හරහා ප්‍රශ්නයක් වුණා. මොකද ඔහු කරලා තියෙන්නේ ටෙන්ඩර් හරහා නොයා වෙනම කොම්පැණියකට හදිසි මිලදී ගැනීමක් සඳහා කැබිනට් අනුමැතිය අර ගැනීම. එයාම මැදිහත් වෙලා. එතනදි අන්න ඇමති වගකීමක් අරන් තියෙනවා. එතකොට ඒකෙන් අවුලක් වුණා නම් ඇමති වැරදියි.
හැබැයි මුළු මහත් රටේ ජනතාවගේ සෞඛ්‍යය වගකීම තියෙන්නේ අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඇමති මේ tender boards වල ඉඳගන්නේ නැති වුණත් ඒ ආයතනවල අක්‍රමිකතා මැඩලන්නත් අවශ්‍ය වෙලාවට මැදිහත් වෙන්න ඕනේ.
MSD, NMRA ඒක හෝ SPC එකෙන් හරියට වැඩේ වෙන්නේ නැත්නම් එතැනදී අමාත්‍යවරයාට තියන වගකීම මොකක්ද කියන එක ගැන මට අවබෝධයක් නැහැ. නමුත් මට හිතෙනවා මේ සමස්තය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය, අර ආයතන වල ටෙන්ඩර් බෝඩ් වල අධ්‍යක්ෂ ඇතුළු හිටිය අය, TEC වල හිටිය අය, තත්ත්ව පාලන ගුණාත්මක බව පාලනය පරීක්ෂා කළ අය මේ හැමෝම මේකට වග කියනවා. ආයතන තුළ ඉන්න පුළුවන් අදාළ කාර්ය හරියට සිදු නොකරන පිරිස් ඒ නිසා මේ ගැන සොයා බලන්න අමාත්‍යාංශයට දැඩි වගකීමක් තියෙනවා.
මතු පලවෙන සටහන ඖෂධ ප්‍රසම්පාදනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත වෛද්‍යවරයෙකුගේ පැහැදිලි කිරීමක් ඇසුරිනි. (මගේ අදහස්වලට අනුව graphic එක ChatGPT නිර්මාණයකි)

(සටහන | සරෝජ් පතිරණ)බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)




