BREAKING
විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●
Top Ad
Opinion

'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera

T

The Leader Desk

September 6, 2026 • 3:08 PM

'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝහණ විජේවීරගෙන් පසු ග්‍රාමීය ප්‍රභූ මුහුණුවරක් ගත් ජවිපෙ නාගරික මැදපාන්තික ඡන්දයෙන් බලය ගනිද්දී, ඉතිහාසයේ පීඩිත පන්තියෙන් රටේ නායකත්වයට ගිය එකම නායකයා රණසිංහ ප්‍රේමදාස වූයේ කෙසේද?
  • ජවිපෙ නායකත්වයේ පන්ති පරිවර්තනය සහ '88 මැදමුලනින් ඇසුණු රතිඤ්ඤා හඬ මැදින් කෙරෙන දේශපාලන කියවීමක්.
  • එවිට ඔහු කියුවේ අපේ ඉතිහාසයේ පළමු වරට ජනතාව විසින් ප්‍රභූ පැලැන්තිය ප්‍රතික්ෂේප කර, පීඩිතයින්ගේ නායකත්වයක් ලෙස ජවිපෙ/මාලිමා නායකත්වය බලයට පත්කර ගෙන ඇතැයි, මහාචාර්යවරයෙකු කියා තිබුණු බවය.
  •   ඉංග්‍රීසියෙන් Subaltern (සබ්ඕල්ටන්) යැයි කියන්නේ “සමාජයේ, දේශපාලනයේ හෝ ආර්ථිකයේ හෝ ඒ සියල්ලෙන් අධිනිශ්චය කෙරෙන අධිපති ස්ථරයෙන් අතහැර දමා හෝ කොන්කර ඇති සමාජ හා  ප්‍රජා කණ්ඩායම්” හැඳින්වීමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මාලිමාව බලයට පත්වූයේ පීඩිතයන්ගේ ආණ්ඩුවක් ලෙසද? ජවිපෙ නායකත්වයේ පන්ති පරිවර්තනය සහ '88 මැදමුලනින් ඇසුණු රතිඤ්ඤා හඬ මැදින් කෙරෙන දේශපාලන කියවීමක්.


ඊයේ පෙරේදා දෙමළ මිත්‍රයෙකු මගෙන් “මාලිමාව පීඩිතයින්ගේ කියන්නේ කොහොමද? (How can NPP be called Subaltern?) යැයි ඇසු විට, එසේ අසන්නේ මන්දැයි මම පෙරළා ඔහුගෙන් ඇසුවෙමි. එවිට ඔහු කියුවේ අපේ ඉතිහාසයේ පළමු වරට ජනතාව විසින් ප්‍රභූ පැලැන්තිය ප්‍රතික්ෂේප කර, පීඩිතයින්ගේ නායකත්වයක් ලෙස ජවිපෙ/මාලිමා නායකත්වය බලයට පත්කර ගෙන ඇතැයි, මහාචාර්යවරයෙකු කියා තිබුණු බවය. මහාචාර්යවරයා කවුරුන්දැයි මම නොඇසුවෙමි. ඔහු කවුරුන්දැයි සිතා ගැනීම අසීරු නොවුනු හෙයිනි.  

ඉංග්‍රීසියෙන් Subaltern (සබ්ඕල්ටන්) යැයි කියන්නේ “සමාජයේ, දේශපාලනයේ හෝ ආර්ථිකයේ හෝ ඒ සියල්ලෙන් අධිනිශ්චය කෙරෙන අධිපති ස්ථරයෙන් අතහැර දමා හෝ කොන්කර ඇති සමාජ හා  ප්‍රජා කණ්ඩායම්” හැඳින්වීමට ය. ඒ සඳහාවන තාක්ෂණික සිංහල වදන ලෙස මා අසා ඇත්තේ “උපාශ්‍රිත” යන්න ය. එය මට නොතේරෙන හෙයින්, ඉංගීසි අර්ථය වඩා පහසුවෙන් තේරුම්ගත හැකි වන්නට මම “පීඩිත පැලැන්තිය” යැයි මෙහි යොදා ගන්නෙමි.
 

'සබ්ඕල්ටන්' නොහොත් පීඩිත පැලැන්තිය යනු කවුරුන්ද?

 bvfbxbdfg

වෙනත් ඕනෑම නොදියුණු සමාජයක මෙන් අපගේද නොයෙකුත් හේතු මත පොදු සමාජ ප්‍රවාහයෙන් ප්‍රතික්ෂේප වී, කොන් වී පීඩිතයින් බවට පත්වන සමාජ ස්ථර, පැලැන්ති, ප්‍රජා කණ්ඩායම් සිටිති. වාර්ගික හා ආගමික වශයෙන්ද සමාජයේ කොන් කෙරුණු පීඩිතයින් ඇත. අප “පීඩිත” යැයි සාමාන්‍යයෙන් කතා කරන්නේ ආර්ථික වශයෙන් දුප්පත් වාගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, නිවාස වැනි සමාජයේ පොදු සේවාවන් හා පහසුකම් සඳහා අවම වශයෙන් ප්‍රමාණවත් ගුණාත්මක අවකාශයක් නොලබන, සමාජයේ පොදු ප්‍රවාහයෙන් අතහැරුණු පිරිස් සම්බන්ධවය. එවැනි බහුතරය හමු වන්නේ ග්‍රාමීය සමාජයෙහි ය. සමාජයේ පොදු ප්‍රවාහයෙන් අතහැරුණු දුප්පත් පිරිස් අතර පාරම්පරික කුල ධූරාවලියෙහි පහළින් ස්ථානගත වුනු පිරිස් අනිවාර්ය නියෝජනයකි. ඔවුන් අතරින් අනාගතය ගැන නිකමට හෝ සිතන්නේ ඉතා සීමිත කොටසකි.  

ග්‍රාමීය සමාජයෙහි “ප්‍රභූත්වය” තීන්දුවීමේදී ආර්ථික සාධකයට වඩා පාරම්පරික සමාජීය සාධක ප්‍රමුඛ වන්නේය. ආර්ථික වශයෙන් දුප්පත් වූවත් කුල ධූරාවලියේ ඉහළින් ඉන්නා ගොවිගම කුලයේ පිරිස සංඛ්‍යාත්මකව වැඩිය. ප්‍රභූත්වය ගාම්භීර ලෙස වර්ණනා කෙරුනු තවත් වලව්කාර, රදළ කාණ්ඩ කිහිපයක්ද ගොවිගම කුලයේ ඉහළින් ඇත. හරිහමන් මුදලක් නිතර අත නොගැවසුනද කුඹුරු කෑල්ලක්, ඉඩම් කුට්ටියක් සමග පරම්පරාගත නිවසක්, දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබා දිය හැකි ආදායමක් ඇති ගොවිගම කුලයේ පවුල් ග්‍රාමීය සමාජයේ ප්‍රභූන් ය. ඔවුන් අතරද සමාජ පඩි පෙළෙහි ඉහළට නැගීමේ අපේක්ෂා ඇත.  

විජේවීරගේ පීඩිත ඇමතුම සහ 5% සීමාව

xfgdgsdd

විජේවීර අමාන්ත්‍රණය කෙරුවේ, අනාගතය ගැන බලාපොරොත්තු තබා ගන්නා සමාජයේ පොදු ප්‍රවාහයෙන් අතහැරුණු පීඩිත පිරිස් වලටය. ඔහුගේ අමාන්ත්‍රණයට වැඩි අවධානයක් ලැබුණේ ගොවිගම කුලයේ දුප්පත් ස්ථරයට වඩා කුල ධූරාවලියෙහි පහළින් ස්ථානගත වන කුල පිරිසෙනි. එනිසා ජ.වි. පාක්ෂිකත්වයෙන් බහුතරය වූයේ ග්‍රාමීය සමාජයේ පාරම්පරික කුල අතරින් පහළින් ස්ථානගත වන පිරිස්ය. බහුතරය කුල ධූරාවලියෙහි පහළින් ස්ථානගත වන කුල පිරිස් වන විට, ප්‍රාදේශීය නායකත්වය පත් වන්නේද ඔවුන්ගෙනි. එනිසා විජේවීරගෙන් පසු ජ.වි.පෙ නැවත 1994 වන විට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණෙන විටද ග්‍රාමීය සමාජයේ ප්‍රභූ පැලැන්තියෙන් පැමිණි නායකත්වයක් ජ.වි.පෙ සතු නොවුනි.

විවෘත, පාර්ලිමේන්තුවාදී දේශපාලනයට පැමිණි පසු පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ හැමකින්ම ජ.වි.පෙට සියයට 05 - 06 ට වඩා ඡන්ද ගැනීමට නොහැකි වූයේද බහුතර ඡන්දයක් ප්‍රාදේශීයව එකතු කර ගැනීමට ගමේ ප්‍රභූ නායකත්වයක් මැදිහත් විය යුතු බැවිනි. ජ.වි.පෙ පීඩිත පැලැන්තියේ දේශපාලන ව්‍යාපාරයක් යැයි වූ පොදු මතය නොවෙනස්ව පැවතියේද ග්‍රාමීය ප්‍රභූත්වයක් ඔවුන් අතර සක්‍රීයව නොපෙණුනු බැවින් ය.

විවෘත වෙළදපල ආර්ථිකයෙහි ආත්මාර්ථකාමිත්වය, තරගකාරී පාරිභෝගිකත්වය, දූෂණ වංචා සියල්ල සමග පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ ප්‍රධාන ධාරාවට ඇතුළු වන්නට 90 දසකය අවසන් වන විට දැඩි අධිශ්ඨාණයක් ඇතිව නායකත්ව වෙනසකට උපාමාරු සැළසුම් කරන්නට වූයේ, මීට අවුරුදු 12 ට පමණ ඉහතින් සෝමවංශ අමරසිංහ ජ.වි.පෙන් ඉවත්ව “හතර දෙනාගේ කල්ලිය” යැයි චෝදනා කළ ජ.වි.පෙහි ඉදිරි ගමන තීන්දු කළ නව නායකත්වයට ය. 2000 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග “පරිවාස ආණ්ඩුවකට” ගිවිසුම් අත්සන් කරන්නට සිදුවූයේද නැවත 2004 අප්‍රෙල් මැතිවරණයේදී ජනාධිපති කුමාරතුංග ගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ලෙස තරග කරන්නට ජ.වි.පෙට සිදුවූයේද හතර දෙනාගේ කල්ලියේ බලපෑම මත යැයි සෝමවංශ කිහිපවර කිහිප තැන කියා තිබූණි. එවර ජනාධිපති චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති ධූර සතරෙහි දිවුරුම් දුන්නේද හතර දෙනාගේ කල්ලියේ ටිල්වින් සිල්වා මන්ත්‍රීවරයෙකු නොවුනු නිසා අනුර කුමාර, විජිත හේරත්, ලාල් කාන්ත සහ ඔවුන් විශ්වාස කළ ගාල්ලේ මන්ත්‍රිවරයෙකු වූ චන්ද්‍රදාස විජේසිංහ ය. එදා නියෝජ්ය ඇමතිවරුන් ලෙස ඔවුන් තෝරා ගත්තේද අද ඔවුන්ගේ ප්රධාන පෙළ ඇමතිවරුන් වන බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්යාරත්න සහ ජ.වි.පෙ ඉතිහාසයේ අඛණ්ඩ පුරුකක් වන සාමාන්යයෙන් ඉතා නිහඬ චරිතයක් වන ජ්‍යෙෂ්ඨ සාමාජික නිහාල් ගලප්පත්ති ය.  


'මුදියන්සේලාගේ' නායකත්වය සහ මැදපාන්තික මුහුණුවර

xgdgdsff

එතැන් සිට 2019 ජනාධිපතිවරණය වන විට පැලවත්ත ජ.වි.පෙ මධ්යස්ථානයේ හිමිකරු ලෙස ටිල්වින් සිල්වා සිටියදී ජ.වි.පෙ නායකත්වය අතට ගත් අනුර කුමාර, විජිත හේරත්, ලාල් කාන්ත සමග බිමල්, හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස ඇතුලු කාණ්ඩය ජ.වි.පෙ සතුවූ පීඩිත පැලැන්තියේ දේශපාලන ප්රතිරූපය වෙනස් කර ගැනීමට සාර්ථක උත්සාහයක් ගත්හ. එයට ශක්තියක් වූයේ ඔවුන් ග්රාමීය සමාජයේ ප්රභූ පැලැන්තියට හිමිකම් කිව හැකි ගොවිගම කුලයේ නියෝජනයක් වීමය. ඔවුන් ගමේ දිසානායක, හේරත්, සමරසිංහ මුදියන්සෙලාගේ පරම්පරා නියෝජනය කෙරුවෙනි. එබැවින් ග්රාමීය සමාජයේ ඔවුන් දෙස අලුතින් බැලීමක් විය.

අනෙක් කාරණය නම් ජ.වි.පෙට ඉදිරියෙන් මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය (ජා.ජ.බ) නමින් ආචාර්ය හරිනි අමරසූරිය, සමසමාජ පක්ෂයේ විසම්මුතිකවාදී නායකයෙකු වූ ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, සාහිත්යධර හා පේරාදෙනිය විශ්ව විද්යාලයයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති, විවෘත දේශපාලනයක් නොකළ හෙයින් සමාජය දේශපාලනිකව හඳුනාගෙන නොතිබූ අනුරවාදී ජ.වි.පෙ පාක්ෂිකයෙකු වූ වෛද්ය විශේෂඥ නිහාල් අබේසිංහ වැන්නන් 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගාලු මුවදොර පිටියේ පැවැත් වූ ප්‍රචාරක රැස්වීමේ වේදිකාවෙහි ප්‍රදර්ශනය කරවීම ය. එතෙක් ජ.වි.පෙ සතු නොවුනු නාගරික මැදපංතික පෙනුමක් ඉදිරිපත් කිරීමට එදා ඔවුන් සමත් වීමය.

අනුර කුමාර අසහාය ජ.වි.පෙ නායකයා වීමත් ජ.වි.පෙ සමග මාලිමාවද ඔහුගේ දේශපාලනයට නතු වීමත් 2020 න් පසු ලාංකීය සිංහල දේශපාලනයේ බිඳ වැටීම මධ්‍යයෙහි සීඝ්‍රයෙන් සිදු වූවකි. 2020 වන විට රාජපක්ෂලාට එරෙහි ජනප්‍රිය විකල්පයක් දකින්නට නොවුනි. ශ්රී.ල.නි.පය පතුරු ගැසී අභාවයට ගොස් තිබුණකි. එහි මැතිවරණ පදනම රාජපක්ෂ විසින් ගලවා ගෙන, දූෂිත ප්‍රාදේශීය ඡන්ද යාන්ත්‍රණයක් ලෙස ස්ථාපිත කරගෙන තිබිණ. එ.ජා.ප නායක වික්‍රමසිංහ විසින් අවුරුදු 25 ට වැඩි කාලයක් දෙවන පෙළ නායකත්වයකට ඉඩක් නොදුන් එ.ජා.පය, 2020 අගෝස්තු මැතිවරණයේදී ඉතිහාසයේ පළමු වරට එකම ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකිව සුන්නද්දූලිවී ගිය පක්ෂයක් බවට පත් විය. ඒ වන විටත් වික්‍රමසිංහ මැතිවරණ සඳහා ඉදිරිපත් කළ හැකි නායකයෙකු නොවේ යැයි සමාජයේ පොදු තීන්දුව විය. වික්‍රමසිංහගෙන් සහ එ.ජා.පයෙන් වෙන්වී සිටි සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමගි ජන බලවේගය (ස.ජ.බ) රාජපක්ෂලාට එරෙහි ජනප්‍රිය විකල්පයක් නොවන බව වොෂිංටනය තීන්දුකර තිබුණකි.

පීඩිත ලේබලය අතහැර නාගරික බලය අතට ගැනීම

zdggsdg

ඒ හේතුවෙන් මැතිවරණයේදී ඡන්ද නොලැබුණද රාජපක්ෂලාට එරෙහි ප්‍රචාරකවාදී විකල්පය ලෙස තෝරා ගැනීමට සිටියේ අනුර කුමාර සහ මාලිමාව පමණි. ඔවුන් තෝරා ගැනීමේ වාසිය ලෙස තිබූයේ අලුත් වෙනසක් වෙනුවෙන් දූෂණ විරෝධී, දූෂණයෙන් තොර, ජනතාවාදී දේශපාලන නායකත්වයක් ලෙස අනුර කුමාර නාගරික මැදපංතියට ඉදිරිපත් කළ හැකි වීමය. ගාලුමුවදොර “අරගලය” ඉල්ලා සිටියේ එවැනි වෙනසක් සඳහා දේශපාලන සම්මුතියක් යැයි අනුර කුමාර සහ හරිනි නාගරික ප්රභූ පැලැන්තිය හමුවේ පෙනී සිටියහ. එබැවින් ජ.වි.පෙ සතු වූ පීඩිත පැලැන්ති නියෝජනය 2022 වන විට අත හැරුනකි.

වික්‍රමසිංහ ගෙන් සහ එ.ජා.පයෙන් ගිලිහුණු නාගරික මැදපංතියෙහි අලුත් ආදේශකය බවට ඔවුන් පත් විය. දේශපාලන ඉදිරි ගමනෙහි වෙනස අනුර කුමාර ගේ නායකත්වයෙන් හරිනි සහ මාලිමාව නියෝජනය කළ අතර, අවුරුදු 30 ක් පුරා අහෝසි කරන්නට පොරොන්දුවූ ජනාධිපති ධූරයෙහි සියයට 42 ක ඡන්දයෙන් අනුර කුමාර 2024 දී දිවුරුම් දෙන්නේ පීඩිතයින්ගේ නියෝජිතයා ලෙස නොවේ. නාගරික මැදපංතියේ නියෝජිතයා ලෙසය. රාජ්‍ය බලය වෙනුවෙන් ඔවුන් පීඩිත පැලැන්ති කතාව හැලුවකි.

පීඩිතයින් ඔසවා තැබූ සම්ප්‍රදායික නොවූ යූඑන්පී නායකයා

gdgfgfd

පීඩිත නියෝජනය ජනාධිපති ධූරයට රැගෙන ගිය එකම ජාතික නායකයා එ.ජා.පයේ රණසිංහ ප්‍රේමදාස ය. ඔහුගේ ජන්මය ඇත්තේ බ්‍රිරතාන්‍ය යටත් විජිත පාලන සමයේ පිටකොටුවට යා බද දුප්පත් ප්‍රදේශයක් වූ සාන්ත සැබැස්තියන් ප්‍රදේශයෙහි ය. පසුකාලීනව ඔහු එ.ජා.ප නායකත්වයට ගැලපෙන අලුත් ප්‍රභූ ඉතිහාසයක් ලියා ගන්නා විට ඉගෙන ගත් පාසල මරදානේ ශාන්ත ජෝසෆ් විද්‍යාලය යැයි සඳහන් කෙරුණද ඔහු පාසල් අධ්‍යාපනයක් ලබා තිබුණේ ස්කින(ර්)ස් වීදියේ ලෝරන්ස් විදුහලේ ය. ඉතා ලා බාල වයසේදීම රණසිංහ ප්‍රේමදාස සමාජ ක්‍රියාකාරකයෙකු වන්නේ පාසල් ළමුන් සඳහා ආධාර උපකාර කිරීමේ “සුචරිත” වැඩසටහන් ඇරඹීමෙනි. ඔහු 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹට තරග කළ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ වෙනුවෙන් වැඩ කළේය. රණසිංහ ප්‍රේමදාස ගේ ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ වන්නේ 1950 දී කොළඹ මහ නගර සභාවේ සාන්ත සැබැස්තියන් කොට්ඨාශයට සාර්ථකව තරග කිරීමෙනි. ඔහු සර් ජෝන් ගේ නායකත්වයෙන් වූ එ.ජා.පට සම්බන්ධ වන්නේ 1956 දී ය.

රණසිංහ ප්රේමදාස සම්මත, සාම්ප්‍රදායික එ.ජා.ප දේශපාලනඥයෙකු නොවී ය. ඔහු 60 දසකයේ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසියේ බහු මන්ත්‍රී ආසනයක් වූ මැද කොළඹ තුන්වන මන්ත්‍රී වශයෙන් ආසනයේ දුප්පත් පීඩිත ඡන්ද එකතුකර ගැනීමෙනි. 60 දසකයේදී ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි ආකර්ශනීය සිනමා චරිත හවුල්කර ගනු ලැබූ “පුරවැසි පෙරමුණ” ඔහු දියත් කළේ දුප්පත් පීඩිත ජනතාව ජාතික වශයෙන් ඒකරාශි කිරීමට ය.
 
රණසිංහ ප්‍රේමදාස හැම විටම ඇමතිවරයෙකු වූයේ නිවාස හා ඉදිකිරීම් විෂය සමග ය. ඔහු එ.ජා.පයේ සාම්ප්‍රදායික ව්‍යාපාරිකයින් වෙනුවට පහළ සමාජයෙන් අලුත් ව්‍යාපාරික පැලැන්තියක් හැදීමට ඇඟළුම් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන මගින් උත්සාහ කළේය. ඔහුගේ හැම ව්‍යාපෘතියක්ම දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් විය. “උදාගම්” ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය සමාජයේ දුප්පත් පීඩිත ජනයාට “ගම හදා රට හදමු” යැයි පිළිවෙලක නිවාස ඉදිකර දුන්නේය. පළමු “උදාගම්” ව්‍යාපෘතිය 1978 දී යාපහුවේ මැදගම, නවන්දන්න කුල ප්‍රජාවක් වෙනුවෙන් ඉදිකෙරුණකි. උදාගම් ව්යාපෘති සඳහා ප්‍රජාව තේරීමේදී දුප්පත්කම අනිවාර්ය සුදුසුකමක් වූවා සේම පහළ කුල නියෝජනය නොකියූ නිර්ණායකයක් විය. මාපිය කැපකරු වැඩසටහනද දුප්පත් ළමුන් වෙනුවෙන් දියත් කෙරුවකි. 1990 දී පිහිටුවනු ලැබූ “ජනසවිය අරමුදල” මෙරට දුප්පත්කම තුරන් කිරීමේ පළමු සුවිශේෂි වැඩසටහන විය.          

ඔහුගේ උත්සාහ හැම විටම සම්පූර්ණ සාර්ථක උත්සාහ නොවුනත්, ඒවා ඔහුගේ ප්‍රතිරූපය ඔසවා තැබීම වෙනුවෙන් සැළසුම් කෙරුණත්, අවසානයේ ඒ සියල්ල දුප්පත් පීඩිත ජනයා ඉලක්ක කෙරුණු වැඩසටහන් විය. එබැවින් ඔහුගේ ඡන්ද පදනම බහුතර දුප්පත් පීඩිත ජන පදනමක් විය.

මැදමුලන දෙදරුම් කෑ රතිඤ්ඤා හඬ

vncxx

පරණ මතකයක් අවදි කරමින් මෙය අවසන් කරන්නේ නම්, මට මතක හැටියට ‘88 ඔක්තෝම්බරයේ දිනෙක අප මහින්ද රාජපක්ෂ සමග ඔවුන්ගේ වීරකැටියේ මැදමුලන ගෙදර කතා බහක ඉන්නා අතරතුර සවස් යාමයේ අවට ප්රදේශවල හදිසියේ විශාල වශයෙන් රතිඤ්ඤා පත්තු කරන ශබ්දය ඇසින. එළෙස රතිඤ්ඤා පත්තු කරන්නට තරම් වැදගත් කිසිත් මේ පළාතේ මේ දිනවල නොමැති යැයි මහින්ද කීවේය. මහින්ද ඇවිත් ඉන්නේ යැයි ආරංචියට ගමේ කිහිප දෙන ඔහුට කතා කිරීමට යැයි ආහ. “මොනවටද උපුල් ඔය රතිඤ්ඤා පත්තු කෙරුවේ?” යැයි මහින්ද එවේලේ පැමිණි ඥාති සොහොයුරකුගෙන් ඇසීය. “ආහ්....හවස ප්‍රවෘත්ති අහලා..... ප්‍රේමදාස යු.ඇන්.පියේ අපේක්ෂකයා කියලා” ඔහු කීවේය.
 
1988 දෙසැම්බර ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප අපේක්ෂකත්වය වෙනුවෙන් අගමැති රණසිංහ ප්රේමදාස සහ ශ්රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති, මහවැලි ඇමති ගාමිණි දිසානායක අතර බරපතල පොරයක් තිබිණ. අප අසා තිබූ අයුරු, ජනාධිපති ජයවර්ධනට අවශ්‍යව තිබූයේ ගාමිණි දිසානායක ඇමති එ.ජා.ප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ය. “අපේ ඡන්ද ප්‍රදේශ නෙ....රතිඤ්ඤා පත්තු කෙරුවේ...” යැයි මහින්ද කියුවේ තරමක කණස්සල්ලකිනි. “ප්‍රේමදාස ආවම ඒවා එයාට යනවා....දුප්පත් වහුම්පුර ඡන්දනෙ” ඔහු නැවත කීවේය.

පීඩිත පැලැන්තිය නියෝජනය කිරීමේ පළමු රාජ්‍ය නායකයා ඔහු ය. රණසිංහ ප්‍රේමදාස ය. ඔහු පීඩිත පැලැන්තිය නියෝජනය කිරීම, ජනාධිපති ධූරය වෙනුවෙන් අත් හලේ නැත. පසුකාලීනව ඔහුට අවශ්‍ය වූයේ මේ රටේ පීඩිතයින් නියෝජනය කරන ඔහුද ප්‍රභූ පැලැන්තියේ යැයි කීමටය.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 සැප්තැම්බර 06 වන දින

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera | The Leader