තෘප්තියේ වේශයෙන් පැමිණෙන මානුෂීය අතෘප්තිය සහ බටහිර සබඳතා සංස්කෘතිය ලංකාව තුළ විකෘති වී ඇති ආකාරය පිළිබඳ සංවාදයක්
ගෝලීය තරුණ අරගල සහ ඉන්දියානු රාජ්‍යයේ භූ-දේශපාලනය
TV සුප්‍රීම් නාලිකාවේ විකාශය වූ 'IF - Smart Casual' වැඩසටහනට එක්වෙමින් ප්‍රවීන දේශපාලන හා සමාජ විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දුන්නේ, 20 වන සියවසේ මුල් භාගයේ සිට වර්තමානය දක්වා ලෝකය පුරා තරුණ හා ශිෂ්‍ය අරගල විකාශනය වී ඇති ආකාරය පිළිබඳවයි. නාරද බක්මිවැව මෙහෙයවූ මෙම සංවාදයේදී දීප්ති සඳහන් කළේ, ඉන්දියාව වැනි රටවල සිදුවන තරුණ අරගල හුදෙක් අභ්‍යන්තර ප්‍රගතිශීලී හෝ පද්ධතිමය වෙනසක් (System Change) සඳහාම සිදුවන ඒවා නොවන බවයි. ඒවා ඇමෙරිකාව සහ චීනය වැනි ගෝලීය බලවතුන්ගේ භූ-දේශපාලනික බලපෑම් හා ජාත්‍යන්තර උවමනාවන් මත මෙහෙයවෙන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සමාජ මාධ්‍ය සහ ඇමෙරිකානු සංස්කෘතික බලපෑම (Americanization) හේතුවෙන් විවිධ රටවල තරුණයන් එකම ආකාරයේ විරෝධතා රටාවලට හුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය පද්ධතියට වඩා ඉන්දියානු රාජ්‍යය, එහි බුද්ධි අංශ (RAW) සහ ප්‍රාග්ධන හිමි ධනපති පන්තිය අතිශය ප්‍රබල මෙන්ම සංවිධානාත්මක බැවින්, ගල් ගසා හෝ අරාජික අරගල මගින් එරට පාලකයන් පහසුවෙන් පීඩනයට පත්කිරීමට නොහැකි බවද මෙහිදී විශ්ලේෂණය කෙරිණි.
ගෝලීය යුද්ධවල සැබෑ අරමුණ සහ ශ්‍රී ලංකාවට ඇති අවස්ථා
ගෝලීය යුදමය උණුසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දුන්නේ, මැදපෙරදිග සහ ඇමෙරිකා-ඉරාන මට්ටමේ පවතින යුදමය පසුබිම හුදෙක් සාමාන්‍ය වෙළඳපොළක් අල්ලා ගැනීමට එහා ගිය එකක් බවයි. නැගී එන ගල්ෆ් (Gulf) සහ ආසියානු ආර්ථිකයන් ඇමෙරිකානු පරායත්තතාවයෙන් මිදීම වැළැක්වීමත්, ගෝලීය මූල්‍ය වෙළඳපොළ සිය පාලනය යටතේ තබා ගැනීමත් මෙම යුද්ධවල ප්‍රධාන අරමුණ බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෙවැනි යුද්ධවලින් පසු සිදුවන නැවත ගොඩනැගීමේ (Construction) කටයුතු සඳහා ශ්‍රී ලංකාව වැනි රටවලට ශ්‍රම වෙළඳපොළ (Labor Market) හරහා විදේශ විනිමය ඉපැයීමේ දැවැන්ත අවස්ථා නිර්මාණය වන බවද පෙන්වා දුන් අතර, පවතින දේශපාලන අධිකාරිය ඊට නිසි වෘත්තීය පුහුණුවක් ලබාදීමට අසමත් වීම හේතුවෙන් එම අවස්ථා අහිමි වී යන බවද සඳහන් කළේය.
'Sugar Daddy / Sugar Mommy' සංස්කෘතිය සහ මානුෂීය ආශාවේ ස්වභාවය
මිනිස් ආශාවේ පවතින මනෝවිද්‍යාත්මක ස්වභාවය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, මිනිසාගේ ආශාව යනු තෘප්තිමත් කළ සැනින් නැවත අතෘප්තිය කරා ගමන් කරන එකක් බවයි. යම් පුද්ගලයෙකු භෞතිකව හෝ ආර්ථිකව යම් තෘප්තිමත් තැනකට පැමිණි පසු, ඔහු තුළ ඇතිවන අසහනය නිසා අතෘප්තිය සොයා යන්නේ තෘප්තියේ වේශයෙන් බව ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය 'Sugar Daddy / Sugar Mommy' සංස්කෘතිය හා සම්බන්ධ කරමින් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, බටහිර රටවල මෙවැනි සම්බන්ධතා සෘජුවම ද්‍රව්‍යාත්මක (Materialistic) පදනමකින් ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වැනි දේශීය සමාජයක් තුළ මෙවැනි සම්බන්ධතාවලට ප්‍රේමය, සෙනෙහස සහ පැරණි සම්ප්‍රදායික සංකල්ප ඈඳාගැනීමට යාමෙන් පුද්ගල ජීවිත, පවුල් සංස්ථාව සහ දරුවන්ගේ අනාගතය දැඩි ලෙස විනාශයට පත්වන බවද මෙම සංවාදයේදී අනාවරණය විය.
දීප්ති කුමාර සහභාගිවන IF - Smart Casual වැඩසටහන සතියේ සැම අඟහරුවාදා දිනකම රාත්‍රී 9.30ට TV සුප්‍රීම් රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වේ.




