The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යවස්ථා අර්බූදය: 'ජනාධිපතිවරයා සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමේ සබුද්ධික සිතීමට එළඹිය යුතුයි' - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

T

The Leader Desk

April 29, 2020 • 10:24 AM

ව්‍යවස්ථා අර්බූදය: 'ජනාධිපතිවරයා සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමේ සබුද්ධික සිතීමට එළඹිය යුතුයි' - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප රටේ ඇති ත්‍රිත්ව අර්බුදය-මහජන සෞඛ්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුද- දිනෙන් දින අලූත් වන බව පෙනේ.
  • එතුමාගේ ප්‍රකාශ රූපවාහිනී නාලිකාවලින් දුටු මැදහත්ව සිතන්නන්ට පෙනුණු දෙය, අවාසනාවකට දැන් තහවුරු වෙමින් පවතී.
  • එය නම්, මිලිටරි ප්‍රවේශය නිසා සිදුවන්නේ ප්‍රශ්නය විසඳීම නොව නොවිසඳී උග්‍රවීම බවය.
  •   ආණ්ඩුවේ මූලෝපායේ පළමුවැනි අදියර මේ වන විට අවසන් වී ඇත!
අකුරු ප්‍රමාණය (Font Size):

වැලිසර සහ සීදුව නාවික සහ විශේෂ කාර්ය බලකායේ කඳවුරුවල භටයන් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වීම, කොරෝනා වසංගතයේ ගැටලූව තවත් තීව්‍ර කිරීමට තුඩු දේ.

 

මිලිටරි විසඳුමක් නැත

මෙම සිද්ධියෙන් ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් ලබාදෙන බැරෑරුම් පණිවුඩයක්ද තිබේ. එය නම් කොරෝනා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට මිලිටරි විසඳුමක් නැත යන්නයි. ජනාධිපතිතුමා, කොරෝනා විරෝධී සටන දියත් කෙළේ, එය එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ‘සාර්ථක’ යුද මෙහෙයුමට සමාන කරමිනි. එතුමාගේ ප්‍රකාශ රූපවාහිනී නාලිකාවලින් දුටු මැදහත්ව සිතන්නන්ට පෙනුණු දෙය, අවාසනාවකට දැන් තහවුරු වෙමින් පවතී. එය නම්, මිලිටරි ප්‍රවේශය නිසා සිදුවන්නේ ප්‍රශ්නය විසඳීම නොව නොවිසඳී උග්‍රවීම බවය.

 

ආණ්ඩුවේ මූලෝපායේ පළමුවැනි අදියර මේ වන විට අවසන් වී ඇත!

Jayadeva Uyangoda

කොරෝනා මහජන සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ එතුමාගේ මිලිටරි සහ වෛද්‍ය උපදේශකයන් තීරණය කර මෙතෙක් කල් ක්‍රියාත්මක කරන ලද මූලෝපාය, විචාරාත්මක සමීක්‍ෂාවකට ලක්කිරීමට දැන් සුදුසු අවස්ථාව පැමිණ තිබෙන බවද කිව යුතුව තිබේ.

ආණ්ඩුවේ මූලෝපායේ පළමුවැනි අදියර මේ වන විට අවසන් වී ඇත. ජනාධිපතිතුමා ඒ බව පිළිගැනීම, එවැනි රිවීව් එකක් කිරීමේ පළමුවැනි පියවර විය යුතුය.

දෙවැනි අදියරක් සැලසුම් කළ යුත්තේ, කොරෝනා ප්‍රශ්නය විසඳීමට ‘මිලිටරි ප්‍රවේශයක් නැත’ යන යථාර්ථය පිළිගනිමිනි.

කොරෝනා ප්‍රශ්නය විසඳීමේදී, හමුදාවලට සහ පොලිසියට කාර්යයක් නැත යන්න, ‘මිලිටරි ප්‍රවේශයක් නැත’ යන පිළිගැනීම වෙතින් අදහස් නොවේ. එයින් අදහස් වන්නේ මිලිටරි/යුදවාදී චින්තනයට, ගණන් බැලීම්වලට සහ මනෝරාමුවට (එනම් mindset එකට), ආධිපත්‍යය දැරීමට තවදුරටත් අවකාශ නොදිය යුතුය යන්නයි.

මෙම යුදවාදී චින්තනය සහ මනෝරාමුව, කොරෝනා අර්බුදය විසඳීමටද අවිවේචනාත්මකව යොදාගැනීම ප්‍රකාශ වූයේ පහත සඳහන් ආකාරවලටය.

1 - මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ, සිවිල් ජනතාවගේ චර්යාව පාලනය කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට, සිවිල් පරිපාලන නායකත්වයක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නවා වෙනුවට, සිවිල් පරිපාලන ව්‍යුහයද හමුදා නායකත්වය යටතේ තැබීම.

2 - ත්‍රස්තවාද විරෝධී ගොඩබිම් යුද්ධයකත්, කොරෝනා වෛරස විරෝධී සෞඛ්‍ය ප්‍රතිෂ්ඨාපන මෙහෙයුමකත් අතර ඇති මූලධාර්මික වෙනස්කම් නොසලකා හැරීම.

කොරෝනා රෝගීන් සොයා ගොස් පැනගිය රෝගීන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන පැමිණි සෙබළුන්ට තිබුණු එකම ආරක්‍ෂක ආවරණය, මුඛ ආවරණය පමණක් වීම සිතාගැනීමටවත් බැරි කරුණකි. එම භටයන්ට නිවාඩු ලබාදී ගම් බලා යාමට අවසර දීම, කොරෝනා වෛරසයේ ගතිකත්වයන් හා චර්යාව ගැන කිසිදු තැකීමක් නැතිව සිදුවී ඇති දේය.

කොරෝනා වෛරසය සමග සටනේදී හමුදා නිලඇඳුමට සහ ස්වයංක්‍රීය තුවක්කුවට කළ හැකි කාර්යයන්වල ඇති සීමිත බව දැන්වත් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.

Covid 19 militory ''කොරෝනා වෛරසය සමග සටනේදී හමුදා නිලඇඳුමට සහ ස්වයංක්‍රීය තුවක්කුවට කළ හැකි
කාර්යයන්වල ඇති සීමිත බව දැන්වත් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.''

3 - මිලිටරිවාදී මනෝරාමුව යටතේ නිර්මාණය කරන ලද කොරෝනා වසංගතය පරාජය කිරීමේ ජනාධිපතිතුමාගේ මූලෝපායේ තවත් ප්‍රකාශනයක් වූයේ, තමන්ට මෙම සටනද ‘ඒකපාක්‍ෂිකව’, තමන්ගේ පමණක් දේශපාලන කාලසටහනට අනුරූපව, සහ තමන්ට පමණක් ජයග්‍රහණ කීර්තියේ හිමිකම ලැබන පරිදි, අවසන් කළ හැකිය යන විශ්වාසයයි. එල්ටීටීඊය පරාජය කළ යුද්ධයේත්, කොරෝනා වෛරසය පරාජය කිරීමේ සිවිල් මෙහෙයුමේත් ඇති අතිමූලික වෙනස්කම දැන්වත් හෝ පිළිගැනීමට ජනාධිපතිතුමා විවෘතව සූදානම් විය යුතුය.

 

නව ප්‍රවේශයක්:

නව මූලෝපායක පළමුවැනි අංගය විය යුත්තේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ මෙහෙයුම මිලිටරිහරණයට පාත්‍ර කිරීමයි. එනම්, de-militarize කිරීමයි. එහි අර්ථය, එම කාර්යවලින් හමුදාව සහ පොලිසිය ඉවත් කිරීම නොවේ. ඔවුන්ගේ සහභාගිත්වය, සිවිල් පරිපාලන නිලධාරීන්ගේත්, වෛද්‍ය විශේෂඥයන්ගේත් නායකත්වය යටතේ ඇති පරිපාලන ව්‍යුහයක් තුළට ගෙනඒමයි. එයට ආසන්න නිදසුනක් වන්නේ, මැතිවරණ කාලයක් තුළදී පොලිසිය සහ හමුදාව මැතිවරණ කොමිෂන් සභාවේ මෙහෙයුම යටතේ ක්‍රියාකිරීමයි.

දෙවැනි අංගය විය යුත්තේ, ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් විවෘතභාවයේ මාවතට පිවිසීමයි. එහි තේරුම නම්, එතුමාගෙන් දැනට ප්‍රදර්ශනය වන විරුද්ධ දේශපාලන පක්‍ෂ සම්බන්ධ සැකය සහ පසමිතුරුභාවය, කොරෝනා වෛරසයේ ගැටලූව පාලනය කෙරෙන තුරු, අත්හිටුවීමයි.

මැතිවරණ කාලයේදී දේශපාලන පක්‍ෂ අතර ඇතිවන පසමිතුරුතාව, දැනට රටේ පවත්නා මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය යටතේ කිසිසේත්ම නොගැළපේ.

පාර්ලිමේන්තුව විසුරුවා, අක්‍රියාකාරීව තිබෙන පසුබිමක, රාජ්‍ය ව්‍යුහයේ ක්‍රියාකාරීව පවතින එකම ශාඛාව වන විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිතුමාට, විවෘතභාවයේ දේශපාලනයේ මාවත තෝරාගැනීම නරක දෙයක් නොවේ. හොඳ දෙයකි. එය හදිසි අවස්ථාවක තිබිය යුතු දේශපාලන නායකත්වයක චර්යාධාර්මික ලක්‍ෂණයක්ද වෙයි.

 

මැතිවරණ අර්බුදය !

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ව්‍යවස්ථාවේ දක්වා ඇති කාලසීමාව ඇතුළත පැවැත්වීමට නොහැකිවීමේ පසුබිම තුළ ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ දේශපාලන අර්බුදයද සුළුපටු නොවේ. පහත සඳහන් කරුණු නිසා මෙම තත්වයේ උග්‍රභාවය තියුණු වෙමින් පවතී.

මැතිවරණ කොමිෂන් සභාව නියම කළ අලූත් දිනය වන ජුනි 20දා මැතිවරණය පැවැත්වීමට හැකිවේද යන්න ගැන කොමිෂන් සභාවම සැක පහළ කර තිබීම.

කොරෝනා ආසාදනය පැතිරීමේ නව ප්‍රවණතාව අනුව පෙනෙන්නේ, දැනට තිබෙන අවිනිශ්චිතතාව මැයි මාසය අවසන් වන තුරුද දිගටම පැවතිය හැකි බවයි.

දැනට කවුරුත් දන්නා පරිදි, ජුනි 02දාට පෙර නව මැතිවරණයකින් පත්වන නව පාර්ලිමේන්තුව රැස්වන්නේ නැතිනම් ඇතිවන බරපතළ අවිනිශ්චිතතාවයි.

මේ පසුබිම තුළ මතුවී ඇති එක් ප්‍රබල තර්කයක් වන්නේ, ජුනි 02දා වන විට නව පාර්ලිමේන්තුවක් පත් නොවුවහොත්, මාර්තු 02 වැනිදා ජනාධිපතිතුමා සිදුකළ පාර්ලිමේන්තුව විසිරවීම ඉබේම අහෝසි වන බවයි. ඒ අනුව, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බවයි.

මෙවැනි තත්වයක් පිළිගැනීමට ජනාධිපතිතුමාත්, එතුමාගේ පොහොට්ටු පක්‍ෂයත්, වියත්මග, GMOA සහ මහානායක හිමිවරුන් වැනි එතුමාගේ පක්‍ෂපාත කණ්ඩායමුත් සූදානම්ද? ඔවුන් ඒ සඳහා සුදානම් නැත්නම්, සහ මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් තැබෙන්නේ නම්, ලංකාවේ ආණ්ඩුකරණය පිළිබඳ බරපතළ සහ පෙර නොවූ විරූ නව තත්ත්වයක් මතුවනු ඇත.

එනම් ජනාධිපතිතුමා, නායකත්වය දෙන ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ විධායකය විසින් ලංකාව ආණ්ඩුකරණය කිරීමේ, දින නියමයක් නැති තත්වයක් බිහිවීමයි. කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට නොහැකි පසුබිමක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවී තිබීම නිසා මෙම තත්වය තවදුරටත් සංකීර්ණ කරනු ඇත.

 

සැම දිනන විසඳුම්?  විකල්ප දෙකක්

මේ තුළින් මතුවනු ඇත්තේ සුළුපටු දේශපාලන අර්බුදයක් නොවේ. එවැන්නක ප්‍රතිඵල සිතීමට තරම්වත් බැරි තරමට නරකය. එවැනි ගමන්මගකට රට අවතීර්ණ වීම වැළැක්වීම, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ එතුමාගේ පක්‍ෂය, විරුද්ධ පක්‍ෂයේ සියලූ පක්‍ෂ මෙන්ම රටේ මහජන මතය හැඩගැස්වීමට බලපෑම් කරන සෑම කෙනකුගේම වගකීමකි.

ඔවුන් සියලූ දෙනාම දැන් සෙවිය යුත්තේ, කව්රුවත් පරදින්නේ නැති, ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දිනන විසඳුමකි. ඒ සඳහා අඩුම වියදම් සහගත පියවර ගැනීමේ වරප්‍රසාදය තිබෙන්නේ ජනාධිපතිතුමාටය. එතුමාට පහත සඳහන් විකල්ප දෙකෙන් එකක් තෝරාගත හැකිය.

පළමුවැන්න, මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවා හළ නියෝගය ආපසු කැඳවීමයි. එම නියෝගය ආපසු කැඳවීමට ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විධිවිධානයක් නැති බව ඇත්තය. එහෙත් ජනාධිපතිතුමාට තමන් දුන් නියෝගයක් ආපසු කැඳවීමේ, අවලංගු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය තිබේ. අර්ථ නිරූපණ පනත යටතේ ඕනෑම රජයේ නිලධාරියකුට මෙම බලය තිබෙන බව ග්‍රාමසේවක නිලධාරීහු පවා දනිති.

දෙවැනි ක්‍රියාමාර්ගය වන්නේ, ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ, හදිසි තත්වයක් ප්‍රකාශ කර, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි රැස්වීමට අවස්ථාව සැලසීමයි. දැනට හදිසි තත්ත්වයක් රටේ ප්‍රකාශ කර නැතත්, ඇත්ත වශයෙන්ම තිබෙන්නේ හදිසි තත්වයකි.

ජනාධිපතිතුමා මෙතෙක් හදිසි තත්වයක් ප්‍රකාශ නොකර සිටින්නේ, හදිසි තත්වයක් ප්‍රකාශ කර දින දහයක් ඇතුළතදී විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව කැඳවීමේ නියෝගයක් ලෙසද, එය සැලකෙන බව ව්‍යවස්ථාවේ 155(4)(ස) වගන්තියේ ප්‍රකාශ වන නිසාය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව, එම හදිසි අවස්ථාව අවසන් කරන තුරු හෝ තව දිනයක් නියම කර පාර්ලිමේන්තුව රැස්වන තුරු, බලාත්මක වන බවද ව්‍යවස්ථාව කියයි.

''ජනාධිපතිතුමා මෙතෙක් හදිසි තත්වයක් ප්‍රකාශ නොකර සිටින්නේ, හදිසි තත්වයක් ප්‍රකාශ කර දින දහයක් ඇතුළතදී විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව කැඳවීමේ නියෝගයක් ලෙසද, එය සැලකෙන බව ව්‍යවස්ථාවේ 155(4)(ස) වගන්තියේ ප්‍රකාශ වන නිසාය.''

පැහැදිලිවම ජනාධිපතිතුමා තවමත් මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කර නැත්තේ මේ කරුණු දෙක නිසාය.

මේ පසුබිම තුළ තිබෙන අභියෝගය නම්, ඉහත දක්වා ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට ජනාධිපතිතුමා යොමුකරවන්නේ කෙසේද යන්නයි. එයට ඇත්තේ දේශපාලන ක්‍රියාමාර්ගයක් පමණි.

එම විකල්ප දෙකෙන් එකක් හෝ තෝරාගැනීම විරුද්ධ පක්‍ෂවල ජයග්‍රහණය සලකුණු කරනු ඇත යන්න ජනාධිපතිතුමාගේ කඳවුරේ අය දැනට දරන මතය බව පෙනේ. විරුද්ධ පක්‍ෂවලට අඟලක් හෝ වැඩිවනු දැකීමට ඔවුහු අකමැතිය.

මේ අතර, පාර්ලිමේන්තුව නැවත කැඳවුවහොත්, විරුද්ධ පක්‍ෂ එය ආණ්ඩුව පරාජය කිරීමට හෝ ආණ්ඩුවට හිරිහැර කිරීමට හෝ අවභාවිත කරනු ඇත යන සැකයද ඔවුන් පළකර තිබේ.

මේ පසුබිම තුළ, ජනාධිපතිතුමාටත්, ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂවලටත් දැන් අවස්ථාව උදා වී තිබෙන්නේ, මෙම ගොඩනැගෙන අර්බුදය පිළිබඳව සබුද්ධිකව (Rationally ) සිතා බලා, හැම දෙනාගේම ස්වයං-යහපතටද (enlightened self-interest ) එකට සේවය කරන, සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමය. එවැනි සබුද්ධික සිතීමකදී පහත සඳහන් කරුණු ගැනද සලකා බැලිය හැකිය.

''මේ පසුබිම තුළ, ජනාධිපතිතුමාටත්, ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂවලටත් දැන් අවස්ථාව උදා වී තිබෙන්නේ, මෙම ගොඩනැගෙන අර්බුදය පිළිබඳව සබුද්ධිකව (Rationally ) සිතා බලා, හැම දෙනාගේම ස්වයං-යහපතටද (enlightened self-interest ) එකට සේවය කරන, සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමය. එවැනි සබුද්ධික සිතීමකදී පහත සඳහන් කරුණු ගැනද සලකා බැලිය හැකිය.''

1-  පාර්ලිමේන්තුව කැඳවීමෙන් ආණ්ඩු පක්‍ෂයට සහ විපක්‍ෂයට යන පාර්ශ්ව දෙකටම ‘ජය’ ලබාගත හැකිය. තවත් දිගු කාලයක් පවතින බවට නියත කොරෝනා වසංගතය පාලනය කිරීමට, දැනට පැරණි නීති වෙනුවට නව සහ නූතන සමාජයට ගැළපෙන නීති පනවා ගැනීමට ඉන් අවකාශය ලැබේ. දැනට නීතිමය තත්වය පැහැදිලි නැති ඇඳිරි නීතියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන, එය නෛතික වශයෙන් සුජාත කළ හැකිය. ඒ සමගම ඉතා වැදගත් තවත් ‘දිනුමක්’ ආණ්ඩුවට ලබාගත හැකිය.

එය නම්, අප්‍රේල්  30 දායින් පසුව රජයේ වියදමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව ලබාගත හැකිවීමයි. අප්‍රේල්  30 දායින් පසු ආණ්ඩුව වියදමට මුදල් සොයාගන්නට යන්නේ නෛතික තත්ත්වය පැහැදිලි නැති ක්‍රියාමාර්ගයක් වන මුදල් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට දෙන නියෝගයක් පදනම් කරගෙනයි.

2 - විරුද්ධ පක්‍ෂවලට ලබාගත හැකි ‘දිනුම’ වන්නේ ජාතික අර්බුදයක් වන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අවසන් කිරීමේ ක්‍රියාවලියට, ඍජු පාර්ශ්වකරුවකු ලෙස සහභාගිවීමේ අවකාශය ලබාගැනීමයි.

3 - මහජනතාවට ‘දිනුම’ ලැබෙන්නේ, දැනට තිබෙන දේශපාලන හා ව්‍යවස්ථා අර්බුදය ගැටලූ රහිතව කළමනාකරණය කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවීමට දේශපාලන නායකත්වය සමත් වූ විටය.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පමණක් ක්‍රියාකරන්නයැ’යි තමා හමුවීමට පැමිණි ජනාධිපතිතුමාට, මල්වතු-අස්ගිරි නායක හිමිවරුන් අනුශාසනා කළ බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවලින් අපි දුටුවෙමු. එසේ කියා තිබුණේ පාර්ලිමේන්තුව යළි නොකැඳවන්න යන පණිවුඩය සමග බවද පෙනිණ.

එහෙත්, ඉහත විකල්ප දෙකෙන් කවරක් තෝරාගත්තත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, එහි හරයාත්මක රාමුවටත් අනුකූල ඒවා බව කිව යුතුව තිබේ.

(මහාචාර්ය ජයදේව උයන්ගොඩ : anidda.lk පුවත්පතින් උපුටා ගන්න ලදී)

(පෙළ අවධානය අපෙන් – theleader.lk සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවස්ථා අර්බූදය: 'ජනාධිපතිවරයා සාමූහික ක්‍රියාමාර්ගයක් ගැනීමේ සබුද්ධික සිතීමට එළඹිය යුතුයි' - මහාචාර්ය ජයදේව උයන්ගොඩ | The Leader