The Leader News
BREAKING
Top Ad
Opinion

තත්ත්වය බරපතල් - වහා විසඳුමක් ගැන කතා කරමු ! -කුසල් පෙරේරා

T

The Leader Desk

April 25, 2020 • 7:14 AM

තත්ත්වය බරපතල් - වහා විසඳුමක් ගැන කතා කරමු ! -කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා
  •   වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත.
  • 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක පමණ වැඩිහිටි ජනගහනයක් ඉන්නා රටකට ඔරොත්තු දිය හැකි සංඛ්‍යාවක් නොවේ.
  • ආසාදනයට ගොදුරු වන්නට ඉඩ ඇතැයි සිතිය හැකි ඔවුන්ගේ පවුලේ සමීපතමයින්ද ගත් විට සමස්ථ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 1.5 ට වැඩිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය.  

වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක පමණ වැඩිහිටි ජනගහනයක් ඉන්නා රටකට ඔරොත්තු දිය හැකි සංඛ්‍යාවක් නොවේ. ආසාදනයට ගොදුරු වන්නට ඉඩ ඇතැයි සිතිය හැකි ඔවුන්ගේ පවුලේ සමීපතමයින්ද ගත් විට සමස්ථ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 1.5 ට වැඩිය.

මේ ආසාදනයට ඉඩ හැදී ඇත්තේ නාවික හමුදාවේ සෙබළුන්ගේම වරදින් නොවන බව කිව යුතුය. එය කෝවිඞ්-19 වැනි ගෝලීය වසංගතයක් පාලනය කිරීමට යොදා නොගත යුතු එවැනි කාර්යක් සඳහා කිසිදු ආකාරයක දැනුමක් අවබෝධයක් නොමැති හමුදා කාණ්ඩ යොදා ගැනීමෙන් සමාජයටම ගෙවන්නට සිදුවන බරපතල වන්දියකි.

''මේ ආසාදනයට ඉඩ හැදී ඇත්තේ නාවික හමුදාවේ සෙබළුන්ගේම වරදින් නොවන බව කිව යුතුය. එය කෝවිඞ්-19 වැනි ගෝලීය වසංගතයක් පාලනය කිරීමට යොදා නොගත යුතු එවැනි කාර්යක් සඳහා කිසිදු ආකාරයක දැනුමක් අවබෝධයක් නොමැති හමුදා කාණ්ඩ යොදා ගැනීමෙන් සමාජයටම ගෙවන්නට සිදුවන බරපතල වන්දියකි.''

මේ ගෝලීය වසංගතය අප යොදා ගත යුතුව තිබුණේ මා මාසයකට පමණ ඉහතින් මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ ලිපියෙන් හා පසුව “රාවය” මගින් ඉදිරිපත් කළ කාර්යක්ෂම හා පුහුණු ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය සේවා ජාල අනාගතයටද වැඩදායක වනසේ තහවුරුකර ගැනීමටය.

 

“පරණ 225 න් කොරෝනාවට උත්තර සෙවීම අවදානම්”

Sri Lanka Parliament Dissolved | Asian Tribune

එවැනි වැඩපිළිවෙලක් ආණ්ඩුවට පමණක් නොව, විපක්ෂයේ ලොක්කන්ටත් නොවින. දැනටත් ඔවුන්ට කිසිදු වැදගත් යෝජනාවන් නොමැත. ඔවුන් දැන් හතර අත දුවන්නේ කෙසේ හෝ පැරණි පාර්ලිමේන්තුවේ දොර ඇර ගන්නට ය. එය කිසිදු ප්‍රයෝජනයක් නොමැති හා අවදානම් සහගත පියවරක් යැයි මෙවර “රාවය” පුවත් පතට “පරණ 225 න් කොරෝනාවට උත්තර සෙවීම අවදානම්” යැයි මා ලියූ ලිපියෙන් හේතු දක්වා ඇත.

මේ එම ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයකි. මෙයින් මා ඔබ හමුවේ තබන්නේ මේ මොහොතේ අප මුහුණ දී සිටින කෝවිඞ්-19 වසංගතය හා ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධාන අර්බූද දෙක විසඳා ගැනීම වෙනුවෙන් සමාජ සම්මුතියක් සමගින් පිහිටුවා ගත හැකි ජාතික පාලන ව්‍යුහයක් පිළිබඳ මගේ යෝජනාව ය.

මෙය මෙහි සාරාංශගත කෙරෙන්නේ අප මතුකර ගත යුතු අත්‍යාවශ්‍ය සංවාදයක් වෙනුවෙනි.  

කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා යැයි පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තර්ක කරනවුන් ළඟ පාර්ලිමේන්තු සංවාදයකට තැබිය හැකි විසඳුම් ඇත්තේ නැත. එවැන්නක් ගැන කිසිදු අදහසක්ද ඔවුන්ට නැත. එවගේම මේ කැඳවීම සතු බරපතල අවදානමක්ද ඇත.

''කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා යැයි පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තර්ක කරනවුන් ළඟ පාර්ලිමේන්තු සංවාදයකට තැබිය හැකි විසඳුම් ඇත්තේ නැත. එවැන්නක් ගැන කිසිදු අදහසක්ද ඔවුන්ට නැත. එවගේම මේ කැඳවීම සතු බරපතල අවදානමක්ද ඇත. ''

කොරෝනා වසංගතය පැතිර යන ආකාරයට මේ අවුරුද්ද ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට හැකිවේද යන්නට කිසිවකුට සහතික දිය නොහැක. ජුනි 20 වන දිනට නියම කෙරුණු මැතිවරණය යළි කල් දැමීමට සිදුවිය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති අනතුරු අඟවා ඇත්තේද එනිසාය.

එවැනි අවදානමක් හමුවේ පරණ පාර්ලිමේන්තුව කැඳවූ පසු එය අගෝස්තු මාසයෙන් පසුවටද රැගෙන යාමේ ඉඩ ඇත. එය සාධාරණය කරන්නටද මේ පිරිස් නැවත කොරෝනා වසංගතයම ඉදිරිපත් කරනු ඇත.

 

පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ තවත් අවදානමක් !

එවැනි පසුබිමක පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ තවත් අවදානමක් ඇත. මේ කුණු වුන දේශපාලන සංස්කෘතියෙහි ඉදිරි මැතිවරණයකින් බලාපොරොත්තු වූ තුනෙන් දෙකේ බලය කෙසේ වෙතත් දැනට තමන්ට අවශ්‍ය අයුරු මුදල් අනුමත කර ගැනීම වැනි කාරණා වෙනුවෙන් බහුතර බලය හදා ගැනීමේ වාණිජ ගනුදෙනු පාර්ලිමේන්තු සංකීර්ණයෙහි සිදු නොවනු ඇතැයි කිසිවකුට සහතික විය නොහැක.

එතැනින් පසු ඇතැම් විට තුනෙන් දෙකේ බලයද එහිම මිලට ගත හැකි වනු ඇත.

එනිසා අප කතා කළ යුත්තේ විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන නොවේ. එය මේ සමාජයට මේ මොහොතේ අදාල නැත. අදාල වන්නේ කොරෝනා වසංගතය අපට ඔරොත්තු දෙන මට්ටමින් පාලනය කර ගැනීමට විසඳුම් ගෙන එන්නේ කෙසේද යන්නය. පවතින නීති පුස්තක සතු වගන්ති එයට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සමාජ සම්මුතියක් පමණි.

 

සමාජ සම්මුතියක අවශ්‍යතාවය !

ඒ පිළිබඳ ඉතාම වලංගු අත්දැකීම ජනාධිපති නීතිඥ සුමන්තිරන්ම අපට ඊයේ පෙරේදා ලබා දුන්නේය. ඇඳිරි නීතිය උල්ලංඝණය කළේ යැයි පොලීසිය විසින් රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගංගොඩවිල උසාවියේ සුමන්තිරන්ගේ කරුණු දැක්වීම වූයේ ඇඳිරි නීතිය පැනවීම නිත්‍යානුකූලව කෙරුණක් නොවන නිසා උල්ලංඝණය කිරීමට නිත්‍යානුකූල ඇඳිරි නීතියක් නොමැති වූ බවය.

මාධ්‍යයට ඔහු කියන්නට උත්සාහ කෙරුවේ අධිකරණය ඔහුගේ කරුණු දැක්වීම් පිළිගත් හෙයින් රන්ජන් රාමනායකට ඇප ලැබුණු බවය. මෙය ප්‍රෝඩාකාරී කරුණු දැක්වීමකි. ඇඳරි නීතිය එළෙසින් නීති විරෝධී යැයි අධිකරණය පිළිගත්තේ නම්, රන්ජන් රාමනායක නිදහස් නොකර ඔහුට ඇප ලබා දුන්නේ මන්දැයි සුමන්තිරන් කියන්නේ නැත.

Curfew lankaඇඳිරි නීතිය නීති විරෝධි යැයි අධිකරණය තීන්දු කෙරුවේ නම්, මේ රට බරපතල අර්බූදයකට හසු වන්නේය.

සැබෑව නම්, ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවලියෙහි දෝස අධිකරණය පිළිගනු ලැබූවත් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මොහොතේ නීති විරෝධි යැයි තීන්දු නොකළ බවය. ඇඳිරි නීතිය නීති විරෝධි යැයි අධිකරණය තීන්දු කෙරුවේ නම්, මේ රට බරපතල අර්බූදයකට හසු වන්නේය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අයිතියක් නොලැබෙන්නේය.

ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති 35,000 ට වැඩි පිරිස වහා නිදහස් කළ යුතු වන්නේය. කඩ සාප්පු, කාර්යාල විවෘත කිරීමට සිදු වන්නේය. කොරෝනා වසංගතය මැඩලීම සහමුලින් අත හරින්නට සිදුවන්නේය.            

 

උගෙන ගත යුතු පාඩම !

සමාජ වගකීමක් ඇතිව අධිකරණ තීන්දුව දෙනු ලැබූයේ මේ මොහොතේ සමාජයේ ආරක්ෂාව සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවත්වා ගැනීමේ සමාජ අවශ්‍යතාව මතය. එය ගෙන ආවේ කෙසේද යන්න ඊට අදාල නොවුනි. ඇඳිරි නීතිය පැනවූ ආකාරය නීතියට පටහැනි වූවත් “පවතින තත්ත්වය තුල කරුණාකර ඇඳිරි නීතිය පිළිපදින්න” යැයි සුමන්තිරන්ටද මාධ්‍ය අමතා කියන්නට සිදු වූයේ එබැවිනි.

ඉන් උගෙන ගත යුතු පාඩම වන්නේ පවතින තත්ත්වයට අනුව සමාජයේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරනවා මිස, විශෙෂයෙන් අර්බූද හමුවේ නීති පුස්තක වල වගන්ති ලෙස ඒවාට අර්ථකතන සැපයීමේ වැදගත්කමක් නොමැති බව ය.

 

ජාතික පාලක මණ්ඩලයක් !

ඒ සිද්ධාන්තයට අනුව, දැන් අවශ්‍ය වන්නේ සමාජ සම්මුතියක් සමගවන තාවකාලික ජාතික පාලක මණ්ඩලයක් පිහිටුවා ගැනීම මිස අතහැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීම නොවේ.

Kusal perera talk

ඒ වෙනුවෙන් මගේ යෝජනාව වන්නේ විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ අඩු බලයක් තිබූ දේශපාලන නියෝජනයට අයත් තාවකාලික ආණ්ඩුවක් පවත්වා ගැනීම වෙනුවට, ඒ පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන්නාවූ සැබෑ ජාතික පාලක මණ්ඩලයක් ස්ථාපිත කිරීමය.

එම ජාතික පාලක මණ්ඩලයේ සභික සංඛ්‍යාව, ඒ පක්ෂ සතු වූ මන්ත්‍රී සංඛ්‍යාවට අනුපාතව තීන්දු කළ හැකිය. මුළු සංඛ්‍යාව විශාල නොවන්නට 07 දෙනෙකුට එක සභිකයෙකු ලෙස ජාතික පාලක මණ්ඩලය පත්කර ගත හැකිය. එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 95 දෙනා වෙනුවෙන් 14 ක්ද, එ.ජා.පය දේශපාලන වශයෙන් බෙදී ඇති බව පිළිගනිමින් ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 107 දෙනා වෙනුවෙන් සජිත් පිළට 10 ක් හා රනිල් පිළට 05 ක්ද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා වෙනුවෙන් 03 ක්ද, ජ.වි.පෙ 06 දෙනා වෙනුවෙන් 01 ක් අයෙකුද, ඊ.පී.ඩී.පි තනි මන්ත්‍රීද ඇතුළුව සභිකයින් 34 කු ගෙන් ජාතික පාලක මණ්ඩලය ස්ථාපිත කළ හැකිය.

එය සාමාන්‍ය ඇමති මණ්ඩලයක ප්‍රමාණය වැනි ය. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ නියෝජනය ඔවුන්ගේ 10 දෙනා අතර බෙදා ගැනීම ඔවුන්ගේ එකඟත්වය අනුව සිදුවිය යුත්තකි. එවගේම සජිත් පිළෙහි හා රනිල් පිළෙහිද නියෝජනය ඔවුන් විසින් තීන්දු කළ යුතුය. ස්ථාවර කොන්දේසිය වනුයේ එළෙසින් නම් කරන නියෝජිතයින් පාලක මණ්ඩලයේ ස්ථිර සභිකයින් විය යුතු බවය.  

මෙම ජාතික පාලක මණ්ඩලයේ ලේකම් කාර්යාලය ලෙස කැබිනට් ඇමති මණ්ඩල කාර්යාලය ක්‍රියා කළ යුතු අතර, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එහි ලේකම් විය යුතුය. ඔහු විසින් පළමුවම ජාතික පාලක මණ්ඩල සභික ලැයිස්තුව වහා ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එය සති පතා රැස්විය යුතු අතර, රැස්වීම් වාර්තාව හා තීන්දු සවිස්තරව ප්‍රසිද්ධ කිරීමේ පූර්ණ වගකීම එහි ලේකම් ලෙස ඔහුට පැවරෙන්නකි.

 

ජාතික පාලක මණ්ඩලයේ වගකීම

ජාතික පාලක මණ්ඩලයේ වගකීම වනුයේ දෙවන රැස්වීම වනවිට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ හා සමාජ ක්‍රියාකාරිත්වය නැවත ක්‍රමානුකූලව තහවුරු කළ හැකි ඔවුන්ගේ වැඩපිළිවෙල සමාජය හමුවේ තැබීමය. එය ක්‍රියාත්මක කිරීමෙහිදී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ අය වැයක්ද ඒ සමග ඉදිරිපත් කිරීමය.

මේ වනවිට ලැබී ඇති විදේශ ආධාර යොදා ගන්නේ කෙසේද යන්නත් සති 04 ක් ඇතුළත රටට කිව යුතුය. කෙටියෙන් කියන්නේ නම්, ඔවුන් ගන්නා සියලු තීන්දු සහ මුදල් වැය කිරීම් ඒ සැණින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට දැඩි අකමැත්තක් ප්‍රකාශ කරන ජනාධිපතිට ජාතික සම්මුතියක් සමගින් කෝවිඞ්-19 වසංගත කාලය පාලනය කර ගැනීමට අවශ්‍ය නම්, එළෙසින්ම ඒ වෙනුවෙන් එඩිතර තීන්දුවක් ගැනීමට සූදානම් නම්, මේ යෝජනාව ඔහුට බාරගත හැකිය.

- කුසල් පෙරේරා
-රාවය 2020 අප්‍රේල් 24 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...