The Leader News
BREAKING
Top Ad
Opinion

පාසල් විවෘත කිරීමේදී දරුවන්ට අමතරව මේ ගැනත් හිතන්න - කුසල් පෙරේරා

T

The Leader Desk

May 15, 2020 • 11:04 AM

 පාසල් විවෘත කිරීමේදී දරුවන්ට අමතරව මේ ගැනත් හිතන්න - කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම පාසල් විවෘත කිරීම පිළිබඳව දෙනු ලැබූ සහතිකය වූයේ රට පුරා ඇඳිරි නීතිය ඉවත් කරන තුරු සියලු පාසල් විවෘත නොකරන බවය. ඒ සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර මාධ්‍ය
  • එහෙත් “සිසුන් 1,000 ට වැඩි පාසල් 868 ක් තියෙනවා.
  • ඒවා අලුත් ක්‍රමයට ආරම්භ කිරීමේ ගැටළුවක් තියෙනවා, නමුත් අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මිලියන 4.5 ක් වන සිසුන් සහ ලක්ෂ 03 ක් වන ගුරුවරුන් නිසා ඒක කරන්න වෙනවා.” යැයි ඇමතිවරයා කීවේය.  මෙය මා මීට ඉහතින්ද කියා ඇත.
  • එබැවින් ඇමතිවරයා කියූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලක්ෂ 03 අතිශය වැදගත් සාධකයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අමතමින් ඇමතිවරයා කියුවේ, සිසුන් 50 ට අඩු පාසල් 1,486 ක්ද, සිසුන් 100 ට අඩු පාසල් 1,560 ක්ද, සිසුන් 150 ට අඩු පාසල් 1,138 ක්ද සිසුන් 200 ට අඩු පාසල් 977 ක්ද ඇති අතර එම පාසල් කුඩා කණ්ඩායම් ලෙස ආරම්භ කිරීමේ කිසි ගැටළුවක් නොමැති බවය.

එහෙත් “සිසුන් 1,000 ට වැඩි පාසල් 868 ක් තියෙනවා. ඒවා අලුත් ක්‍රමයට ආරම්භ කිරීමේ ගැටළුවක් තියෙනවා, නමුත් අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මිලියන 4.5 ක් වන සිසුන් සහ ලක්ෂ 03 ක් වන ගුරුවරුන් නිසා ඒක කරන්න වෙනවා.” යැයි ඇමතිවරයා කීවේය. 

මෙය මා මීට ඉහතින්ද කියා ඇත. නමුත් එය යළි කියන්නේ අධ්‍යාපන ඇමතිවරයා පමණක් නොව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන නායකයින් පවා සුපුරුදු පරිදි අවශේෂ ගැටළු මිස ප්‍රධාන ගැටළු ගැන අවධානය යොමු නොකරන බැවිනි. 

ප්‍රධානම සාධකය පාසල් සිසු සිසුවියන් නොවේ:

''පාසල් විවෘත කිරීමේදී වඩා සංවේදී විය යුත්තේ ඊට අනිවාර්යෙන් අවශ්‍යවන හා හවුල් වන වැඩිහිටි පුද්ගලයින් පිළිබඳව ය. එබැවින් ඇමතිවරයා කියූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලක්ෂ 03 අතිශය වැදගත් සාධකයකි. ''

කෝවිඞ්-19 ගෝලීය වසංගතය හමුවේ පාසල් විවෘත කිරීමේ ප්‍රධානම සාධකය පාසල් සිසු සිසුවියන් නොවේ. කෝවිඞ්-19 පැතිරීමේ ප්‍රවණතාවයෙහි ළමුන් ඇත්තේ පහළම ස්ථරයෙහිය. ඇත්තටම ආසාදනය නොවන මට්ටමේය. 

මේ වනවිට (මැයි 13) ලොව පුරා ආසාදිත සංඛ්‍යාවෙන් ළමා ආසාදිතයින් ඇත්තේ සියයට 02 ට අඩුවෙන් යැයි ළමා රෝග සහ සෞඛ්‍ය විශේෂඥ රාජකීය සමාජයෙහි ප්‍රධානී මහාචාර්ය රසල් වීන බ්‍රිතාන්‍ය මාධ්‍යයට පවසා තිබිණ. ඉන් බහුතරය බටහිර යුරෝපීය රටවල සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වූහ. එහෙත් පාසල් විවෘත කිරීමේදී ළමුන් පෙරට දා ගනු ලබන්නේ මිනිසුන්ගේ ආවේග සමග දේශපාලනය කිරීමටය. 

පාසල් විවෘත කිරීමේදී වඩා සංවේදී විය යුත්තේ ඊට අනිවාර්යෙන් අවශ්‍යවන හා හවුල් වන වැඩිහිටි පුද්ගලයින් පිළිබඳව ය. එබැවින් ඇමතිවරයා කියූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලක්ෂ 03 අතිශය වැදගත් සාධකයකි. 


School Service         ''ගුරුවර ගුරුවරියන් හා ළමුන් පාසල් එන යන ප්‍රවාහනය ද පාසල් විවෘත කිරීමේදී ගණන් හැදිය යුතු වැදගත් සාධකයකි. ''

ඊළගට එළෙසින්ම වැදගත් වන්නේ මේ ගුරුවර ගුරුවරියන් හා ළමුන් පාසල් එන යන ප්‍රවාහනයට සම්බන්ධ පිරිස්ය. එනිසා බස් රථ වලට අමතරව පාසල් වෑන් සහ ත්‍රී රෝද රථද පාසල් විවෘත කිරීමේදී ගණන් හැදිය යුතු වැදගත් සාධකයකි. 

පාසල් වෑන් සම්බන්ධ නිවැරදි සංඛ්‍යා දත්ත ඔවුන්ගේ සංවිධාන සතුවද නැත. රාජ්‍ය ආයතන සතුවද නැත. එහෙත් 2017 දී පාසල් වෑන් ලියාපදිංචි කිරීමේ පළාත් දත්ත අනුව එම සංඛ්‍යාව 30,000 ක් පමණ විය. ත්‍රීරෝද රථ සංඛ්‍යාව ගැන එනමුත් ගණන් හිලව් කිසිත් නැත.  

සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත:

''මේ සියලු පිරිස් සඳහා ඇති ප්‍රධානම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත දෑත් සෝදා ගැනීම සහ සමාජීය දුරස්ථභාවය රැකීමය. එය සෝදිසි කිරීමේ හා නියාමනය කිරීමේ ක්‍රමවේද හැදීම අතිශය අසීරු බව පිළිගත යුත්තකි.''

මේ සියලු පිරිස් සඳහා ඇති ප්‍රධානම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත දෑත් සෝදා ගැනීම සහ සමාජීය දුරස්ථභාවය රැකීමය. එය සෝදිසි කිරීමේ හා නියාමනය කිරීමේ ක්‍රමවේද හැදීම අතිශය අසීරු බව පිළිගත යුත්තකි. එම සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් රැකිය හැක්කේ සමාජය දැනුවත් කිරීම මත පුද්ගල වගකීම් ඉටු කිරීමට සියලු දෙන බඳවා ගන්නා ප්‍රමාණය අනුව පමණි. 

අදාල ප්‍රජා කණ්ඩායම් තමන් අතර පවත්වා ගන්නා සෝදිසිය හා නියාමනය අනුව පමණය. ප්‍රජා මට්ටමේ දැනුවත් කිරීම සමග එවැනි පුද්ගල වගකීම් ඉස්මතු කෙරෙන ආකාරයේ අධ්‍යාපනික වැඩසටහන් ඇත්තේ නැත. ඇත්තේ රූපවාහිනි ඇතුලු මාධ්‍ය ප්‍රචාර පමණි. ඒවායේ පුද්ගල වගකීම් අවධාරණයක් නැත.

පාසල් විවෘත කිරීමේ එක ගැටළුවක් වන්නේ මේ දැනුවත් කිරීමේ බරපතල හිඩැසය. 


rain water 1 22092019 LCP CMY                                            රජයේ 10,100 ට වැඩි පාසල් සම්බන්ධයෙන් නම් ජල පහසුකම අතිශය ඛේදජනක ය:

ඒ සමගින් අධ්‍යාපන ඇමති ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන සතු වූ බරපතල අඩුවක් තිබුණි. දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම සඳහා සෝදා ගැනීම තීන්දු වන්නේ අවශ්‍ය අවම ප්‍රමාණයට වඩා හොඳ ජල සැපයුමක් තිබීමෙහි ය. මේ රටේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් සතුව හෝ එවැනි පහසුකම් ඇති දැයි අධීක්ෂණය කිරීමක් තිබේදැයි නොදනිමි. රජයේ 10,100 ට වැඩි පාසල් සම්බන්ධයෙන් නම් ජල පහසුකම අතිශය ඛේදජනක ය.   

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පිළිබඳ 2017 සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, 

# බස්නාහිර පළාතේ පාසල් 1,100 ට වැඩි සංඛ්‍යාවෙන් මහ නගර හා නගර සභා මගින් සහ ජල ප්‍රවාහන මණ්ඩලයෙන් අඛණ්ඩව ජල නලය සපයනු ලබන්නේ පාසල් 600 (සියයට 54) ට පමණ සංඛ්‍යාවකට ය. ඉතිරි 550 ට ආසන්න පාසල්වල ඇත්තේ ගලා යන දිය මාර්ග, නල ළිං හා ළිං වලින් ජලය ලබා ගැනීමේ පහසුවක් පමණි. 

නල ජලය සැපයෙන පාසල් වලද තද බදයකින් තොරව ළමුන්ට හා ගුරු මණ්ඩලයට භාවිත කළ හැකි ආකාරයට ප්‍රමාණවත් ජල නල පහසුකම් නඩත්තු කෙරෙන්නේදැයි සොයා බැලිල්ලක් නැත. බස්නාහිර පළාතේ කිසිදු ජල පහසුකමක් නොමැති පාසල් සියයට 04 ක් ඇත.   

බස්නාහිර පළාතේ තත්ත්වය එසේ වනවිට අනෙක් පළාත්වල තත්ත්වය කෙසේ විය හැකිද? 


#  මධ්‍යම පළාතේ නල ජලය ඇත්තේ පාසල් සියයට 35 ට පමණි. සියයට 23 ට කිසිදු ජල පහසුකමක් නැත.

#  උතුරේ නල ජලය ඇත්තේ පාසල් සියයට 12 ට ය. සියයට 10 ට කිසිත් නැත. 

#  සබරගමුවේ නල ජලය ඇත්තේ පාසල් වලින් සියයට 25 ට පමණි. කිසිදු ජල පහසුකමක් නැති පාසල් සියයට 19 කි. 

#  වයඹ පාසල් වලින් නල ජලය ඇත්තේ සියයට 18 ට පමණි. කිසිදු ජල පහසුකමක් නැති පාසල් සියයට 25 කි. 

#  ඒ අර්ථයෙන් වඩා දියුණු නැගෙනහිර පළාත ය. එහි පාසල් සියයට 57 ක නල ජලය ඇත. එහෙත් කිසිදු ජල පහසුකමක් නොමැති පාසල් සියයට 13 කි. 

#  ඉතිරි පළාත් කිහිපයේ තත්ත්වයද එවැනි හෝ ඊට වඩා බාල්දු වූවකි. 



''ඒ සමග අවධාරණය කළ යුතු අනෙක් කාරණාව නම්, නල ජලය ඇති පාසල් මෙරට ඇත්තේ සියයට 35 කි. ඒ අනුව නල ජලය නොමැති මෙරට පාසල් 6,500 ට වැඩි සංඛ්‍යාවකට වැසිකිළි-කැසිකිළි පහසුකම් කිසිත් තිබිය නොහැකිය යන්නය. ''

ඒ සමග අවධාරණය කළ යුතු අනෙක් කාරණාව නම්, නල ජලය ඇති පාසල් මෙරට ඇත්තේ සියයට 35 කි. ඒ අනුව නල ජලය නොමැති මෙරට පාසල් 6,500 ට වැඩි සංඛ්‍යාවකට වැසිකිළි-කැසිකිළි පහසුකම් කිසිත් තිබිය නොහැකිය යන්නය. 

වැසිකිළි-කැසිකිළි තිබෙන්නාවූ පාසල්වල පවා ඒවා කෙතරම් පිරිසිදුව නඩත්තු කෙරෙන්නේද යන්න බරපතල ප්‍රශ්නයකි. පොදු පහසුකම් ලෙස මේවා පවතින හෙයින් කෝවිඞ්-19 සමග ඒවායේ නඩත්තුව අතිශය වැදගත් වන්නකි. 

පාසල් විවෘත කිරීමේ අභියෝගය ඇමතිවරයාගේ දත්ත හරඹයට වඩා සංකීර්ණ බැව් අධ්‍යාපනයට සම්බන්ධ සියල්ලන් දැන් දැනගත යුතුය. එනිසා ඊට අප ඉදිරිපත් කළ යුතු විසඳුම් කවරේද යන්නත් කතාවට ගැනීම වැදගත්ය. එහිදී පාසල් විවෘත කිරීමට පෙර සියලු පාසල් සඳහා ප්‍රමාණවත් අඛණ්ඩ ජල පහසුකම් ලබාදීම අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්පූර්ණ කළ යුතුව ඇත. 

අනතුරුව, මූලිකව අවධානය යොමු කළ යුත්තේ, 
 


01. ගුරුවරුන් සහ දෙමාපියන් සතු වගකීම් පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් සංවිධානය කිරීමය. එය කොට්ඨාශ 370 ක් ලෙස ව්‍යුහගත කර ඇති මහජන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ මගින්, එහි කාර්ය මණ්ඩල සමගින් කළ හැකිය. 

02. එළෙසින්ම පාසල් වෑන් රථ හිමියන් සහ ත්‍රීරෝද රථ රියැදුරන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව දැනුවත් කළ යුතුය.

03. පාසල් සංවර්ධන සභා ප්‍රමුඛ පාසල් නියාමන කමිටු පිහිටුවීමත් ඒවායේ කාර්යන් මහජන සෞඛ්‍ය කාර්යාල මගින් අධීක්ෂණය කිරීමත් සංවිධානය කළ යුතුය. පාසලේ ජල පහසුකම් සහ වැසිකිළි-කැසිකිළි නඩත්තුව ඒවායේ වගකීමට පැවරිය යුතුය.

04. ජල පහසුකම් සහිත පාසල් එවැනි අධීක්ෂණයක් යටතේ පළමුව විවෘත කළ හැකි අතර, එම පහසුකම් සම්පූර්ණ කෙරෙන ආකාරයට පාසල් විවෘත කළ හැකිය.  

Kusal Prera text 15.05අහිමි වූ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනම කතා කළ යුතු අතර, එය ළමුන් සහ ගුරුවරුන් මත අමතර බර පැටවීමකින් තොරව සැළසුම් කිරීමද අතිශය වැදගත් බැව් අමතක නොකළ යුත්තකි. එබැවින් විභාග ඉලක්ක නොකරන්නාවූ පාසල් අධ්‍යාපනයක් ගැන අවධාරණය තැබීම අවශ්‍ය වන්නකි. 

මෙය හුදෙක් සංවාදයකට තැබීම වෙනුවෙන් සටහන් කෙරුණක් හෙයින් වෙනත් අදහස් සඳහාද මෙය විවෘතය.

කුසල් පෙරේරා
2020 මැයි 15 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...