පොලිසිය, ආරක්ෂක අංශ, රහස් ඔත්තු සේවා ('බුද්ධි අංශ' කියල වැරදි විදියට හඳුන්වන) විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඇරුණම ලංකාවේ කිසිම රැකියාවක් කරන්න හැඳුනුම්පතක් අවශ්‍යයි කියල නීතියක් හෝ විධිවිධානයක් නැහැ.
ඒ නිසා ප්‍රතිපත්තියක් විදියට, අවශ්‍ය වෙලාවක තමන්ගේ අනන්‍යතාව සනාථ කරන්න ජාතික හැඳුනුම්පත තිබීම හැරුණවිට, මාධ්‍යවේදීන්ට තමන්ගේ රැකියාව කරන්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතක් තිබීම කිසිසේත්ම අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි.
මම විතරක් නෙවෙයි, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාරත් මෑතදී ඒ බව ප්‍රසිද්ධියේම සඳහන් කරල තිබුණ. ඔහු ඒ බව කිවුවේ, යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන පානදුරේ ලාල්ට CID එක ඉස්සරහදී පිරිසක් තර්ජනය කළ වෙලාවේ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පුළුවන් අවශ්‍ය නම් රාජ්‍ය මාධ්‍යවල සේවකයින්ට හැඳුනුම්පතක් නිකුත්කරන්න නමුත් ඒක මාධ්‍යකරණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් කරගැනීම ගැන කොහෙත්තම එකඟවෙන්න බැහැ. කොටින්ම මාධ්‍යවේදියකුට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතක් අවශ්‍යයි කියල නියෝගයක් පණවනවා නම් ඒක වැරදියි. තමන්ගේ රැකියාවේ පහසුව සඳහා කිසියම් මාධ්‍යවේදියකුට හැඳුනුම්පතක් අවශ්‍යම නම් රැකියාව කරන ආයතනයෙන් හෝ මාධ්‍ය සංවිධානයකින් ඒක ලබාගන්න එක තමා සුදුසුම ක්‍රමවේදය.
එහෙම කියන ගමන්ම මෑත දිනවල කැබිනට් මාධ්‍ය හමුවේ දකින්න ලැබුණ අප්‍රසන්න වෘත්තීයමය නොවන (unprofessional) හැසිරීම ගැනත් මට තියෙන්නේ දැඩි අප්‍රසාදයක් සහ පිළිකුලක්. මේ ගැන තරිඳු ජයවර්ධන, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්, ගයාන් ගාල්ලගේ වගේ බොහෝ දෙනා අදහස් දක්වල තිබුණ. මමත් ඒ අදහස් එක්ක අඩු වැඩි වශයෙන් එකඟයි.
කැබිනට් මාධ්‍ය හමුව කියන්නේ, ආණ්ඩුවක් තමන්ගේ තීන්දු තීරණ ජනතාවට දැනුම්දෙන වැදගත්ම පුවත් සාකච්ඡා අතරින් එකක්.

නමුත් දැන් බොහෝ 'මාධ්‍යවේදීන්' කැබිනට් හමුව තෝරාගෙන තියෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමට වඩා තමන්ගේ වෙබ් අඩවිවල හරි යූටියුබ් එකේ හරි හිට්ස්, likes, රේටින්ග්ස් වැඩිකරගන්න.
විශේෂයෙන්ම සමහර 'මාධ්‍යවේදීන්' කැබිනට් මාධ්‍ය හමුව use කළේ ඇත්ත කියනවට වඩා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හරි කැලෑ පත්තර මාධ්‍යයක් වෙනුවෙන් හරි ගොතාගෙන ආපු පට්ටපල් බොරුවක් සමාජගත කරගන්න අවස්තාවක් විදියට.
මම මේ කියන්නේ ආණ්ඩුව විවේචනය කිරීම වැරදියි කියල නෙවෙයි; වැරදි සහ අඩුපාඩු පෙන්වාදීම සහ අවශ්‍ය අවස්ථාවල ආණ්ඩුව විවේචනය කිරීමත් - කොටින්ම පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීම - තමයි මාධ්‍යවේදීන්ගේ වගකීම. නමුත් පටු ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා බොරු ප්‍රචාරය කිරීමත් මාධ්‍ය හමුවක් කඩවීදියක් බවට පත්කිරීමත් කොහෙත්තම මාධ්‍යකරණය නෙවෙයි. ඒක එහෙම පිටින්ම වෘත්තීයමය නොවන unprofessional හැසිරීමක්. ප්‍රශ්නයේ පසුබිම කියල ප්‍රශ්නයක් අහනවා වෙනුවට මාධ්‍ය හමුවට ඇවිත් දේශනා පැවැත්වීම තවත් ගැටලුවක්.
මුදල, දේශපාලන අවශ්‍යතා සහ මාධ්‍ය හිමිකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මාධ්‍යවේදීන් වේශයෙන් පෙනී සිටින ඇතැමුන්ගේ මේ පහත් හැසිරීම නිසා අවසානයේ victims ල වෙන්නේ මේ රටේ ජනතාව. ඒ වගේම වෘත්තීය මාධ්‍යවේදීන්ටත් රටට ජනතාවට බලපාන වැදගත් ප්‍රශ්න මතුකිරීමේ අවස්තාවත් මේ මාධ්‍ය වේශධාරීන්ගේ හැසිරීම නිසා අහිමිවෙනව.
මාධ්‍යකරණය සඳහා හැඳුනුම්පතක් නියම කිරීම ගැන මම ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වුණත්, කැබිනට් මාධ්‍ය හමුවේ වෘත්තීයමයභාවය ඇති කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් තියෙනව. එතෙන්දි නලින්ද ජයතිස්ස ඇමතිවරයාට සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට සමහර පියවර ගන්න සිද්දවෙනවා.
එතෙන්දි මාධ්‍ය හමුවට හැඳුනුම්පත ඉල්ලා සිටීම තාවකාලික පියවරක් වෙන්න පුළුවන්.
නමුත් වෙබ්අඩවි සහ සමාජ මාධ්‍යවල ආගමනයත් එක්ක මතුවෙලා තියන මේ ගැටළු ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය සංවිධාන වගේම ග්‍රාහකයින් එක්කත් පුළුල් කතිකාවතකට යා යුතුයි කියල මට හිතෙනව. අපි ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේ. ඒ නිසා දෙරණෙ චතුර අල්විස් කියනවා වගේ මාධ්‍ය කියන්නේ 'ප්‍රධාන ධාරාවේ' සම්ප්‍රදායික මාධ්‍ය පමණයි කියන දේට නම් මම එකඟ නැහැ.
මේ unprofessional හැසිරීම ගැන මාධ්‍යවේදීන් පුහුණු කිරීමත් ඒ වැඩපිළිවෙලට ඇතුළත් විය යුතුයි. 
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 මැයි 01
(පසු සටහන: නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කළ පහත දැක්වෙන අදහස් දැක්වීම කැබිනට් මාධ්‍ය හමුවට පෙර පැවති රැස්වීමකදීය)
මේ ලිපියට සම්බන්ධ තවත් විස්තර
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ජයතිස්සට කැබිනට් තීන්දු දැනුම් දීම ප්‍රශ්නයක් වෙලා ද? | කුසල් පෙරේරා
කැබිනට් මාධ්‍ය හමුවට සීමා පැනවීම මාධ්‍ය නිදහසට තර්ජනයක් : වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
කැබිනට් මාධ්‍ය හමුවට හැඳුනුම්පත අනිවාර්ය කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය
කැබිනට් මාධ්‍ය හමුවට කොන්දේසි පනවයි !



