ඒයට 'මානුෂික' වදන පැලඳුව ද එය කිසිසේත් ම මානුෂික වන්නේ නැත; එය අමානුෂික ම ක්‍රියාවලියකි. එහෙත් අපේ රටේ රාජ්‍ය නායකත්වයේ සිට සාමාන්‍ය පුද්ගලයා දක්වා වූ අය අතුරින් මේ කටුක යථාර්ථය වටහාගන්නා පිරිස ඉතා අල්ප ය.
එක් පාර්ශ්වයකගේ විජයග්‍රහණය යනු තවත් පාර්ශ්වයකගේ පරාජයකි. එලෙස පරාජය වූයේ ද අකෙකු නොව ලාංකීය භූමියේ ම ඉපිද, හැදුණු වැඩුණු ලාංකීය පුරවැසියෝ ය. ඒසේනම් අප සැමරිය යුතු විජයග්‍රහණය යනු අපේ රටේ ම තවත් ජන කොට්ඨාසයකගේ පරාජය යි. ඒසේ නම් අනෙකකුගේ පරාජය උත්සවශ්‍රීයෙන් සැමරීම කෙතරම් අමානුෂික ද...?
යට කී මානුෂිකත්වයේ සහ අමානුෂිකත්වයේ බෙදුම් රේඛාව ඉතා මැනවින් පිළිබිඹු කරන ලිපියක් (සැබැවින් ම ඒය ලිපියක් නොව අදහස් ප්‍රකාශ කිරිමකි.) මාතර නගර සභාවේ සභිකයකු ලෙස සිටි Upul Nishantha Subawickramaගේ facebook පිටුවෙහි සටහන් කර තිබුණි. එම ප්‍රකාශය මාතර නගරසභා රැස්වීමක දී ඔහු විසින් කරන ලද්දකි.
මතු පළ වන්නේ එම ප්‍රකාශය යි.
මේ මා විසින් වර්ෂ 2014 ජුනි මාසයේදී මා විසින් මාතර මහා නගර සභාවේ මාසික සභා රැස්වීමේදී සිදුකරන ලද කතාවක්! නමුත් අදට වසර 08ට පෙර එනම් 2017 දී තමයි මගේ FB පිටුවේ මෙය පලකරනු ලැබුවේ. අද එය memories ලෙස පැමිණ තිබුනා. එදා මෙන්ම අදත් මේ කතාව විවිධ විවේඡනයන්ට භාජනය වේවි. ඒත් කියවා බලන්න කියලා හැමෝටම ඇරයුම් කරනවා!
නීතිය විනාශ කිරීමේ රාජපක්ෂ චර්යාව

‘විජයග්‍රහණයේ මාවත’ නම් කිරීමේ යෝජනාව තුලින් මේ රටේ ඉතාම වැදගත් ප්‍රශ්නය පිළිබඳව කථාකරන්නට අද අවස්ථාවක් ලැබීම ගැන මා ඉතාමත් සතුටුවෙනවා. මේ යෝජනාව කල් පැනපු නැතිනම් පිළුනු වුණ යෝජනාවක්. මේ පාර ඊයේ (09) ‘විජයග්‍රහනයේ මාවත’ නමින් විවෘතකරා. නමුත් එම කටයුත්ත සඳහා සභාවේ අවසරය ගැනීමේ යෝජනාව එන්නේ අද. මෙය සභාවේ ගෞරවය විනාශ කිරීමක්. සැබවින්ම ඊයේ පාර විවෘතකල අය සිදුකළේ සම්පූර්ණයෙන් ම නීති විරෝධී කටයුත්තක්. ඊයේ මැති ඇමතිවරුන් අනවසර හා නීති විරෝධී කටයුත්තක යෙදුණා. ඒ
ත් මම ඒ ගැන දිගට කථාකරන්න යන්නේ නැහැ. අද රටේ නීතිය සිය හිතුමතේට විනාශ කිරීම රාජපක්‍ෂ ආණ්ඩුවේ චර්යාව බවට පත් වෙලා. අද ආණ්ඩුව හිතන් ඉන්නේ පළාත් පාලනය කියන්නේ එයාලට හක්කේ තියලා සෙම අරින්න පුළුවන් දෙයක් විදියට, එයාලගේ ප්‍රීති උත්සවවලට පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් විදියට. මම එයට තදින්ම විරුද්ධ බව ඔබ දන්නවා. මම ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය හෙළා දකිනවා. ඒත් අද මම කියන්න යන්නේ ඊට එහා ගියපු කාරණයක්.
වැඩවසම් සංකේතයක් වූ කඩුව

මෙයට මාසයකට කලින් ‘විජයග්‍රහණයේ සැමරුම’ට සූදානම් වෙන විට දැක්කා ඔබේ සුපුරුදු ප්‍රචාරක පුවරුව. එහි ලොකුවට ම තිබුණේ මහා කඩුවක්. මම ඕනෑකමින්ම බැලූවා. බලනකොට රණවිරු සැමරුම. කඩුව මෙවර එම උත්සවයේ තේමා රූපය. මම පුදුමයට පත්වුණා. අපි පුංචි කාලේ අපේ දෙමාපියෝ අපිට කීවේ කඩුවක් ගෙදරක තියේ නම් ඒක අතේ උසට වඩා ඉහළින් සවිකරන්න කියලා. එයින් පෙනෙන්නේ කඩුව ගෙදරක ප්‍රියජනක භාණ්ඩයක් නොවුන බව.
ඔබට මතක ද? ඔබ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සිටින අවදියේ සෝවියට් දේශය සඟරාවෙන් උපුටාගත් මිසයිලයක් දෙකට කැඩී ඒ මැදින් සුදු පරෙවියෙක් ඉගිලෙන රූපය. මට තවමත් මතකයි. අපි ලෝක සාමය ගැන රැස්වීම් පවත්වන විට යොදාගත්තේ ඒ රූපය. කෝ අද ඒ පරෙවියා? අද ඒ තැන හිමිවී තියෙන්නේ වැඩවසම් සංකේතයක් වූ කඩුවට නොවේද? කඩුවකට ගෙන ආ හැක්කේ වෛරය, ක්‍රෝධය, පළිගැනීම, යටත් කිරීම, පුහු මාන්නය හැර වෙන කුමක්ද? කඩුව සංකේතවත් කරනේ තවත් කෙනෙකු යටත්කරගතහැකිය යන පුහු මාන්නය නොවේද? එය සමගියේ හෝ සාමයේ සංකේතයක් වූයේ කවදාද? ඇත්තට ම මේ ප්‍රදර්ශනය කරන්නේ මේ ආණ්ඩුවේ ග්‍රාමීය ලූම්පන් සංස්කෘතිය නොවේද? පසුගාමී ගෝත්රික සිතුම්පැතුම් නොවේද? කඩුව පෙන්නලා සතුටින් හා සමගියෙන් ඉඳිමු යැයි කියන්නේ කාටද?

මට මතක හැටියට ඒ සැමරුම් උත්සවයේ දී ගරු ජනාධිපතිතුමා කථා කරන විට කීවේ මේක යුද ජයග්‍රහණය සැමරීමක් නොවේය සාමයේ ජයග්‍රහණය සැමරීමක් බවයි. අපූරුයි නගරාධිපතිතුමනි, කඩුවක් අතට අරන් සාමය ප්‍රකාශකරන හැටි. ඊළඟට අරන් බලන්න ‘විජයග්‍රහණය’ කියන වචනය. ඒ තුළින් ම පරාජිතයෙක් ඇඟවෙනවා නේද? කවුද මේ පරාජිතයා? විදේශීය ආක්‍රමණිකයෙක්ද?
නගරාධිපති තුමනි, මේ රට ගමන් කරමින් සිටින්නේ අති විශාල ඛේදවාචකයකට. ඔබ තුමන්ලාත් නගරයේ ජනතාවගේ අයබදු ඊට වියදම් කරමින් අත්වැල් අල්ලනවා. මේ බලන්න මෙයට අවුරුදු 50ට විතර පෙර අපි කරපු මෝඩකමක් ගැන විශේෂඥ වෛද්‍යවරෙයෙකු වන ජයන්ත බලවර්ධන මහතා ‘රාවය’ පත්තරේට කියන දෙය,
ඇමරිකාවෙන් උගත යුතු පාඩම්

බලයෙන් හිස ඉදිමුනාම, ඒ බලය යොදාගෙන අනෙකා යටපත් කර පාගාගෙන අපිට අපි හිතින් හදාගත්තු ලෝකයක රජවෙන්න පුළුවනි. හැබැයි එවැනි අය ඉතිහාසයේ කුණු බක්කියට යනවා. ගම්වලත් සමහරවිට මෙවැනි පවුල් ඉන්නවා. ඒ අය අන්තිමට මුළු ගමෙන් ම කොන්වුණ අය බවට පත්වී ගරාවැටුණ වලව්වකට හිමිකම් කියනවා. ඒක තමයි අපේ අත්දැකීම. අද මේ ආණ්ඩුව අපේ රට ගෙනියන්නෙත් එතෙනට. නගරාධිපතිතුමනි, මට තව එක උපුටා දැක්වීමකට අවසර දෙන්න. කාලය 1860 දශකයේ මුල් භාගය. රට නම් ඇමරිකාව. නායකයා ඒබ්‍රහම් ලින්කන්. එදා ඇමරිකාව බරපතළ ලෙසින් පීඩා විඳි බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණය කරපු වෙලාවේ ඔවුන්ගේ හැසිරීම බලන්න...
‘යුද පෙරමුණෙහි අනෙක් පැත්තේ උතුරු යුනියන් හමුදාවේ සෙබළු තම විජයග්‍රහණය සමරන්නට පටන් ගත්හ. බෙදුම්වාදී කොන්ෆෙඩරසි හමුදාව අන්තිමේ දී පරාජය භාරගෙන ඇත. රට එක්සත් වී ඇත. ජෙනරාල් ලී ගේ හමුදාව පරදවා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් උත්තමාචාරය පුදනු වස් කාලතුවක්කු බළකාය ආචාර වෙඩිමුර දැල්වී ය. කාලතුවක්කු හඬ ජයග්‍රාහී සෙන්පති ග්‍රාන්ට ඇසිණි. වහාම එම ආචාර වෙඩිමුර නවත්වන ලෙස ඔහු නියෝග කලේය. ‘ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධව කැරලි ගැසූ කැරලිකරුවන් දැන් නැවතත් අපගේ සහෝදර රටවැසියන් බවට පත්වුනා.’ ග්‍රාන්ට් කීවේය. ‘අපගේ ප්‍රීතිය ප්‍රර්ශනය කළහැකි හොඳම ක්‍රමය නම් ඔවුන්ගේ පරාජය සැමරීම ප්‍රතික්ෂේප කිරීමයි.’
‘තමන්ගේ ජයග්‍රහනය සැමරීමට හෝ කොන්ෆෙඩරසි හමුදාවේ පරාජය සැමරීමට හෝ ජනතාව ඇමතීමට හෝ තමාට හදිසියක් නොමැති බව සිය ජනතාවට කියා සිටි ජනාධිපති ලින්කන් නිල වශයෙන් ජයග්‍රහනය ප්‍රකාශ කිරීම සඳහා පසුව දා රාත්‍රිය තෙක් ඉවසන්නැයි ජනතාවට කීවේය....’
බලන්න නගරාධිපතිතුමනි, අදට වසර 150ට කලින් රාජ්‍ය නායකයෙකුගේ පරිනත හැසැරීම. ඔහු සිය හමුදාව මෙහෙයවපු හැටි. ලින්කන්ටත් තිබුණා. වොෂින්ටන් නගරය මැදට පැනලා දෙනෝදහක් ඉදිරිපිට පොළොව ඉඹලා, පපුවට දෙකතුනක් ගහගෙන වීර කථාවක් කරන්න. 21වැනි සියවසේ ඉන්න අපිට වඩා එදාත් ඔවුන් ඉදිරියෙන් ඉන්නවා.
දුටුගැමුණුගෙන් ඉගෙන ගන්න
එළාර සෑයආණ්ඩුව ඇතුළෙ වගේම මෙතනත් කොමියුනිස්ට් පක්‍ෂයේ මන්ත්රීවරු ඉන්නවා. බලන්න මේ ආණ්ඩුව ලෙනින්ගෙන්වත් ඉගෙන ගන්නේ නෑ. ස්වයංතීරණ අයිතිය පැත්තකට දමමු. ලෙනින්ගේ අයියා සාර් රජ්ජුරුවෝ මරන්න ගිහින් අහුවුනාම ලෙනින් කියනවා මිනිස් ඝාතනවලින් වැඩක් නැතිබව. ඔහු තව තැනක කියනවා බෝම්බ හා ආයුධ ජනතාව අක්‍රීය නරඹන්නන් පිරිසක් බවට පත්කරන වග. ඇත්තටම අද ආණ්ඩුවට ඕන ඒක නේද?
ඔක්කොටම වඩා හැමදාම අපි පම්පෝරි ගහන දුටුගැමුණු රජතුමාගෙන්වත් ඉගෙන ගන්නේ නැහැනේ. ඔහු එළාර පරදවලා එළාරට සොහොනක් බඳිනවා. ගැමුණුට අදටත් සොහොනක් නැහැ. ඒ සොහොන ඉදිරිපිට ප්‍රීති ඝෝෂා පමණක් නොවෙයි, පෙළපාලිත් තහනම් කරනවා. නගරාධිපතිතුමනි, අද මේ රාජපක්‍ෂ ආණ්ඩුව ලෝකයටම ප්‍රදර්ශණය කරන්නේ මෙයට සියවස් ගණනකට පෙර හිටපු දුටුගැමුණු තරම්වත් අපි සීලාචාර මෙන්ම පරිනත නොවූ බව නේද?

සමරු ඵලකවල නම සටහන් කරලා, බලය තියෙන කාලෙ රටේ හැමතැනම තමන්ගේ නම සඳහන් කළාට උත්සව තියලා ඉතිහාස ගතවෙන්න බෑ. නිශ්ශංකමල්ල රජතුමා තරම් තමන්ගේ නම සමරුඵලකවල ලියාගත්තු රජෙක් සොයන්න තරමක් අමාරුයි. ඒත් අද ඕනම පුරවැසියෙකුගෙන් ලංකාවෙ රජවරුන්ගේ නම් ටිකක් ඇහුවොත් නිශ්ශංක මල්ල රජුගේ නම කියන්නේ කීයෙන් කී දෙනාද? ඔය හීනමානයෙන් පෙලෙන හැම ලොක්කාම ඒක මතක තියාගන්නවානම් හොඳයි.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කඩුව පෙන්නලා, සන්නද්ධ පෙළපාලි පෙන්නලා එකම රටක ඉන්න ජාතීන් අතර සමගිය හා සහෝදරත්වය ගොඩ නගන්න බෑ. අද මේ ආණ්ඩුව ‘විජයග්‍රහණය’ නමින් නටන හැම නාඩගමකින්ම කරන්නේ අපේ රට දෙකඩ කරන දෙසට තල්ලූකරන එකයි. ඉතින්, මට කියන්න තියෙන්නේ ඊයේ නීති විරෝධී විදියට ‘විජයග්‍රහණයේ මාවත’ ඔබතුමන්ලා විසින් විවෘත කරලා අද සම්මත කරන්න හදන මේ යෝජනාව ඉතිහාසයේ කඩඉමක්. මෙහෙම ගියොත් සැබවින්ම මෙය ‘විජයග්‍රහණයේ මාවත’ වෙන්නේ නැහැ. ආණ්ඩුව ඊයේ විවෘත කළේ ඊළමට යන මාවත බව ඉතාම සංවේගයෙන් යුතුව මම කියන්න කැමතියි.




(උපුල් නිශාන්ත සුබවික්‍රම)