මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ එම චිත්‍රපටියේ ප්‍රධාන සංඝටකයක් වන 'ස්කයිප්' මෘදුකාංගය තවදුරටත් භාවිතයේ නොමැති වීමයි. මතකය නිවැරදි වන්නේ නම් මයික්‍රෝසොෆ්ට් සමාගම එය නිල වශයෙන්ම මාස කීපයකට පෙර භාවිතයෙන් ඉවත් කරගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් හඳගම තබා ඇති සටහන මෙම සුලබ මතය හොඳින් විදහා දැක්වෙන නිදර්ශනයකි. ස්කයිප් වෙනුවට වට්ස්ඇප්, සූම්, මැසෙන්ජර් වැනි දේවල් පැමිණ තිබෙන අතර අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබා දෙන විශාල ව්‍යාපාර බිහි වී තිබේ. තවදුරටත් බණ යන්නේ රූපවාහිනියේ පමණක් නොවන අතර එය ටික්ටොක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් හරහා බහුලව ප්‍රචාරය වෙයි. වෙනත් වැඩසටහන් වුවත් අද යන්නේ මේ නව මාධ්‍ය වලයි. හඳගම මාලකගේ චිත්‍රපටිය සමකාලීන නොවනවා කියා නිගමනය කරන්නේ මේ නිසාය.

මේ නව තාක්ෂණික වර්ධනයන් මගින් සමාජයේ මිනිසුන් අතර සම්බන්ධතා වෙනස් කරනවා යන්න සම්බන්ධයෙන් සැකයක් නොමැති වේ. නමුත් එම වෙනස නිශ්චිත ලෙස ග්‍රහණය කරගන්නේ කෙසේද යන්න සමාජීය විද්‍යාඥයන් විසින් විසඳිය යුතු ගැටලුවකි. එමගින් අප මිනිසත්බව යන්න තේරුම් ගන්නා ආකාරයේ බරපතල වෙනසක් තිබෙන්නේ ද?
සත්‍ය වශයෙන්ම මට මෙවැනි වෙනසක් වී තිබෙනවා කියා එතරම් විශ්වාසයක් නොමැත. නමුත් ඒ ගැන වාද කරගැනීම අර්ථ විරහිත වන්නේ එය ද තවත් එක් මතයක් (opinion) පමණක් වන නිසාය. මේ ආකාරයේ 'ඔපීනියන්ස්' සමාජීය සත්‍යය කුමක්ද යන්න සම්බන්ධයෙන් සිදුකරන විද්‍යාත්මක කතිකාවකට අනුව පරීක්ෂා කර බැලිය නොහැක.
මට අවශ්‍ය වන්නේ සිනමාව 'සමකාලීන' වන්නේ එය රූගත කළ කාලයේදීම ප්‍රදර්ශනය කරන්නේනම් පමණි යන අදහස ප්‍රශ්න කිරීමටයි. මට තේරෙන ආකාරයට මෙය 'සමකාලීනත්වය' ('contemporaneity') යන සංකල්පය සම්බන්ධයෙන් තරමක පටු කියවීමකි. සත්‍ය වශයෙන්ම ජෝජියෝ අගම්බෙන්, පීටර් ඔස්බෝන් වැනි චින්තකයන් 'සමකාලීනත්වය' යන්න නිශ්චිත සංකල්පයක් ලෙස න්‍යායගත කර තිබේ. එයට අනුව එය වර්තමාන දෘශ්‍ය කලා යුගය නම් කිරීමට සුදුසු සංකල්පයකි. පශ්චාත්නූතනවාදී යුගයෙන් පසුව තිබෙන්නේ සමකාලීනත්වයේ මොහොතයි.

මෙහිදී සමකාලීන යනුවෙන් අදහස් වන්නේ විවිධ 'කාලිකත්වයන්' වල සිටිනා මිනිසුන් එකම මොහොතක හමුවීමයි. තරමක් සරල කරන්නේ නම් මින් අදහස් වන්නේ අරමුණු, සමාර්ථයන්, අතීත කුණු කන්දල්, අනාගත බලාපොරොත්තු, අත්දැකීම් ආදියෙන් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයන් එකම අවකාශයක මුණ ගැසී සිදු කරන ගනුදෙනුවයි.
ෆේස්බුක් එක මේ සඳහා ඉස්තරම් නිදර්ශනයකි. මෙහි ඉහලම චින්තකයන්, දක්ෂ දේශපාලන සිතන්නන්, දක්ෂ විද්‍යාඥයන්, ආගමික අන්තවාදීන්, ජීවිතේට පොතක් නොකියවන මිනිසුන්, ඉගෙන ගැනීමට උනන්දු නැති අය සියල්ල සිටියි. සියලු දෙනා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනියි. එනිසා එකිනෙකා තේරුම් ගැනීමේදී ඇති වන්නේ මහා ජංජාලයකි. සියලු දෙනා 'එකම කාලයකදී' හමු වෙයි. එනිසා අප සියල්ලෝ සමකාලීනයෝ වෙති.

මට සිතෙන්නේ මෙම නිශ්චිත අර්ථයෙන් මාලකගේ "බහුචිතවාදියා" අතිශය දක්ෂ ලෙස අපේ ජීවිතයේ මෙම සමකාලීනත්වය ස්පර්ශ කරනා බවයි. එහි බහුචිතවාදී තරුණයා විවිධ කාලවල් වල සිටිනා තරුණියන් සමග එකවර ගනුදෙනු කරයි. එම නිසාම ඒවා අතර ඇති පරස්පරතා වලට මුහුණ දෙයි. නමුත් එයින් ගැලවීමක්ද ඔහුට නැත. චිත්‍රපටිය අවසන් වන්නේද නැවත ඔහු චක්‍රයේ ආරම්භයට යාමෙනි.
"The Wind Will Carry Us"
මේ ඉක්මන් සටහන තැබුවේ මේ චිත්‍රපටිය ගැන මගේ පුද්ගලික කියවීම ලෙස නොවේ. ඒ වෙනුවට මෙය තැබුවේ මාලකගේ චිත්‍රපටිය 'සමකාලීන නොවනවා' යන චෝදනාව අර්ථ විරහිත බව පැවසීමට පමණි. මෙය කලා නිර්මාණ සම්බන්ධයෙන් අතිශය වැරදි අර්ථකථනයක් කියා මම සිතමි. අබ්බාස් කියරොස්තාමිගේ "The Wind Will Carry Us" චිත්‍රපටියේ මුල් කාලීන 'ගඩොල් බාග' ජංගම දුරකථනය රැගෙන කඳු මුදුනේ සුසාන භූමියට දුවන චරිතය දෙස මම බලන්නේ එම දුරකථනය පැරණි තාක්ෂණික යුගයකට අයිති වනවා කියා නොවේ.
ඒ වෙනුවට මා උනන්දු වන්නේ කියරෝස්තාමිගේ දිග පාරවල් වල යන තනි වාහනය දැක්වෙන ඓතිහාසික දුර රූපරාමු ගැනයි. සුසානභූමිය, අනෙකා සමග සම්බන්ධය, සුසානභූමියේ කැණීම් කරන නොපෙනන මිනිසා වැනි සංඝටක මගින් උත්පාද කරන අර්ථ විශ්වය ගැනයි. එමගින් මගේ බුද්ධිය කළඹවමින් ඇති කරන ආවේදනාත්මක නවීනත්වය ගැනයි.

කියරෝස්තාමිට අප දෙන ඒ අවස්ථාව එයට වඩා බොහෝ 'අලුත්' චිත්‍රපටියක් නිපදවා ඇති මාලකට නොදෙන්නේ ඇයි?
(සටහන | වංගීස සුමනසේකර)
උපුටා ගැනීම - Vangeesa Sumanasekara ගේ ෆේස්බුක් පිටුවෙන්



