The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සැලකෙන්නේ අපරාධයකටත් වඩා බරපතල වරදක් ලෙසය - වික්ටර් අයිවන්

T

The Leader Desk

April 23, 2020 • 3:58 PM

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සැලකෙන්නේ අපරාධයකටත් වඩා බරපතල වරදක් ලෙසය - වික්ටර් අයිවන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා ලලිත් වීරතුංග සමග කරන ලද රූපවාහිනී සාකච්චාවෙන් පළ කළ අදහස් වලින්ද, 20 වන දා මැතිවරණ කොමිසම දෙන ලද තීරණය හා එම තීරණය යුක්ති සහගත කිරීම සදහා එම කොමිසම
  • ජනාධිපතිවරයා එක හෙලා කියන්නේ තමන් කිසි සේත්ම පරණ පාර්ලිමේන්තුව නොකැඳවන බවය.
  • ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සැලකෙන්නේ අපරාධයකටත් වඩා බරපතල වරදක් ලෙසය.
  • නැතහොත් මහජනයා සමග ඇතිකරගත් ගිවිසුමක් උල්ලංඝනය කිරීමක් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළ කළ අදහස් වලින්ද, ඒ ගැන විරුද්ධ පක්ෂ පළ කළ අදහස් වලින්ද පළ වන වන දර්ශනය දෙස බලන විට ලංකාව දේශපාලන අර්ථයෙන් ඇද වැටී තිබෙන බංකොලොත්භාවයේ තරම සේම රට ගමන් ගනිමින් තිබෙන අගාදයේ තරම හොදින් පෙනුම් කරයි.

ජනාධිපතිවරයා එක හෙලා කියන්නේ තමන් කිසි සේත්ම පරණ පාර්ලිමේන්තුව නොකැඳවන බවය. කිසියම් දීර්ඝ කාලයක් මැතිවරණය පවත්වන්නට නොහැකි වී අලුත් පාර්ලිමේන්තුවක් කැඳවා ගැනීමට නොහැකි වෙතොත් ව්‍යස්ථානුකූල පාලනයක් සඳහා යොදා ගන්නා විකල්ප ක්‍රමය කුමක් දැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ නැත. 

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ මැතිවරණයකදී ජන නායකයෙකුට ලැබෙන ජන වරමේ ප්‍රමාණය කොතරම් විශාල වුවද එම තනතුරට ව්‍යවථාවෙන් ලැබී තිබෙන ප්‍රමාණයට වැඩි බලයක් එම තනතුර දරණ නායකයාට ලැබෙන්නේ නැත. අවශ්‍ය නම් ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කරගත හැකිය. එය කළ යුත්තේද ව්‍යවස්ථානුකූලවය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සැලකෙන්නේ අපරාධයකටත් වඩා බරපතල වරදක් ලෙසය. නැතහොත් මහජනයා සමග ඇතිකරගත් ගිවිසුමක් උල්ලංඝනය කිරීමක් ලෙසය.

victer 2020.04.23 textසිංහල රජ කාලය:

ලිඛිත ව්‍යවස්ථා තිබෙන වර්තමානයේදී පමණක් නොව ලිඛිත ව්‍යවස්ථා නොතිබුණු පැරණි සිංහල රජ කාලයේදී පවා ආරක්ෂා කිරීමට රජවරුන් බැඳී සිටි අලිඛිත ගිවිසුමක් තිබුණි. එම ගිවිසුම උල්ලංඝනය කිරීම සැලකුණේ රජකමින් පහ කළ යුතු තරමේ බරපතල වරදක් ලෙසය. 

රජු අභිෂේක ලබන අවස්ථාවේදී එම ගිවිසුම රජුට මතක් කර දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. රාජභිෂේකයේ දී විශේෂ නියෝජිතයින් තුන් දෙනෙකු එම ගිවිසුම මතක් කර දෙන ක්‍රමය ගයිගර් මහා වංශයේ ටීකාවෙන් විස්තර කොට අවසානයේ මෙසේද කියා තිබේ.

" ටීකාවේ දැක්වෙන පරිදි තුන් දෙනාගේ මේ ප්‍රකාශනයෙන් සාපයක් ද අදහස් වේ. කෙබඳු සාපයක්ද? අප වචනයන් අනුව රාෂ්ට පාලනය ගිය හොත් මැනවි. එහෙත් එසේ නොකරන්නේ නම් "ඔබ හිස සත් කඩකට පැලේවා යන සාපයක් සේය" (මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය-පිටුව 170 )

රාජ්‍ය පාලනයේදී ලිඛිත හෝ අලිඛිත නොවන ව්‍යවස්ථාවකට ලැබෙන වැදගත්කම හා ව්‍යවස්ථා උල්ලංඝනයක් කොතරම් බරපතල වරදක් ලෙස සැලකෙන්නේද යන්න ඒ ඇසුරෙන් තේරුම් ගත හැකිය.

මැතිවරණ කොමිසම:

Election Commission 2020.04.21 800x445                                                      මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා 

මැතිවරණ කොමිසම පලමු අදියරයේ දී ආණ්ඩුව ව්‍යවස්ථානුකූල පාලනයෙන් බැහැරවීම වැළකීමට නිර්භීත උත්සහයක යෙදිණි. මැතිවරණය කල් තැබීමෙන් නොනැවතී 31 වන දා ජනාධිපතිට යවන ලද ලිපියෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩක් නැති බැවින් ඇතිවන ගැටලු විසදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම් ලබා ගැනීම සුදුසු බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා කොමිසමේ එම උපදෙස් නොසකා ක්‍රියාකළ විට මැතිවරණයට නාම යෝජනා දුන් අනෙක් පක්ෂවලට අධිකරණය ඉදිරියට යාමේ හැකියාව තිබුණද සියලු පක්ෂ එම වගකීම පැහැර හැරියේය.


''ජනාධිපතිවරයා කොමිසමේ එම උපදෙස් නොසකා ක්‍රියාකළ විට මැතිවරණයට නාම යෝජනා දුන් අනෙක් පක්ෂවලට අධිකරණය ඉදිරියට යාමේ හැකියාව තිබුණද සියලු පක්ෂ එම වගකීම පැහැර හැරියේය.''

 ව්‍යවස්ථානුකූලභාවයෙන් බැහැර පාලනයක් ස්ථාපිතවීම වැළකීම සඳහා ක්‍රියාකිරීමේ වගකිමක් එම පක්ෂවලට තිබුණ අතර එහෙත් ඔවුන් එම වගකීම ඉටු කළේ නැත. 

මෙවැනි අර්බුදයකට මැදිහත් වීමට අධිකරණයට පුලුවන් කම ලැබෙනුයේ කිසියම් පාර්ශ්වයක් අධිකරණයට පැමිණිලි කිරීමෙන් පසුව පමණය. එම තත්ත්වය මැතිවරණ කොමිසමේ ආත්ම විශ්වාසය දුර්වල කිරීමට හේතු වූවා විය හැකිය.

එහෙත් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ලැබුණු ප්‍රතිචාරයට පසුව අධිකරණය ඉදිරියට යෑමේ යුතුකමක් හා වගකීමක් මැතිවරණ කොමිසමටද තිබුණි. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මග පෙන්වීම් ලබා දෙන අධිකරණ තීන්දුවක් ද තිබුණි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පැවරු නඩුව !

එම තීන්දුවට අදාල නඩුවට පාදක වී තිබුනේද ජනාධිපතිවරියකට අදාල ප්‍රශ්නයකි. පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව සාධාරණ හේතු නැතිව එම මැතිවරණය කල් දැමීම හා මැතිවරණ කොමසාරිස්වරයා එම මැතිවරණය සඳහා ක්‍රියාවට නගා තිබුණු ඇතැම් විදිවිධාන ඉවත්කර ගැනීම එම නඩුවට බල පෑ ප්‍රධාන නිමිත්ත විය. 

එහි දී අධිකරණය මැතිවරණ කොමසාරිස් වරයාට අවවාද කොට මැතිවරණ කොමසාරිස් වරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය හා ස්වාධීනත්වය පැහැදිලි කොට දී නිර්භීතව ක්‍රියා කරන්නට දුෂ්කර අවස්ථාවක් ඇති වෙතොත් අධිකරණ කටයුත්තක යෙදී අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාගන්නා ලෙස දැනුම් දුන්නේය.(karunaatilake and another v dayananda disanayake,commissioner of elections and other.1999. (1 ) p.157 ) 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එම නඩුව පවරන ලද්දේ වරුන කරුනාතිලක හා වර්තමාන මැතිවරණ කොමසාරිස් වරයාගේ සහෝදරයෙකු වූ සුනන්ද දේශප්‍රිය විසිනි.


Varuna text 23ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව !

මැතිවරන කොමිසම අධිකරණය විසින් ලබාදී තිබූ එම මග පෙන්වීම් අනුව ක්‍රියා නොකොට ජූනි 20 මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ කළේය. 

කොමිසම එම දිනය ප්‍රකාශ කළේ වසංගත තත්ත්වය ඉදිරියේ ඒ දිනයේ දී මැතිවරණයක් පවත්වන්නට ඉඩක් නැති බව දැන දැනම වුවත් එම දිනය නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද දැන සිටියේය. එ මගින් මැතිවරණක් පැවැත්වීම වලකා ඇතත් ව්‍යවස්ථානුකූල නොවන පාලනයකට අවකාශය ලබා දී තිබෙන්නේයැයි කිව හැකිය. එම වරදට මැතිවරණ කොමිසම පමණක් නොව විරුද්ධ පක්ෂද වග කිව යුතුය.

කොමිසමට ක්‍රියා කිරීමට සිදුවන්නේ මැතිවරණ නීති අනුව මිස ව්‍යවස්ථාව බලා ගැනීම නොවන බව මැතිවරණ කොමසාරිස් වරයා කියා තිබුණි. 

ව්‍යවස්ථාව සියලු නීතිවලට ඉහළින් තිබෙන උත්තරීතර නීතිය වන අතර කිසියම් විශේෂ අවස්ථාවකදී මැතිවරණ නීතියේ ඇතැම් අංග ව්‍යවථාව සමග ගැටේ නම් වැදගත් කොට සැලකිය යුත්තේ ව්‍යවස්ථාව මිස මැතිවරණ නීතිය නොවන බව පෙන්වාදීමට අවශ්‍යවන්නේ නැත. 

අනෙක් අතට අධිකරණය පමණක් නොව මැතිවරණ කොමිසමද මැතිවරණවලදී ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ යුතුය.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය.

ව්‍යවස්ථාව අනුව රාජ්‍ය බලයේ ප්‍රභවය ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවය. පාර්ලිමේන්තුව සතු බලය උදුරා ගත නොහැකි අතර වෙනත් කෙනෙකුට හෝ ආයතනයකට පවරාදීමද කළ නොහැකිය.

 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවක් නැතිව පැවතිය හැකි උපරිම කාලය මාස තුනකි. 

ඇතිවී තිබෙන වසංගත තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමේ හැකියාව නැතිනම් පරණ පාර්ලිමේන්තුව කැඳවනවා හැර ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති කර ගැනීමට අන්ක්‍රමයක් නැත. 

''ඇතිවී තිබෙන වසංගත තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමේ හැකියාව නැතිනම් පරණ පාර්ලිමේන්තුව කැඳවනවා හැර ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති කර ගැනීමට අන්ක්‍රමයක් නැත. ''
 

අවශ්‍ය අරමුදල් වෙන්කර ගත හැකි වනු ඇත්තේද, අධීක්ෂණයකින් යුතුව වෙන්කළ මුදල් ක්‍රමවත් ලෙස වැයළ හැකිවනු ඇත්තේද වසංගතය මැඩලීමට අලුත් නීති අවශ්‍ය නම් එවා ඇති කරගත හැක්කේද එසේ කිරීමෙන් පමණය.

ව්‍යවස්ථාකූල නොවන පාලනයක් කවර අකාරයකින් වත් රටේ යහපතට හේතු වන්නේ නැත. නූතන ලෝකයේ එවැනි පාලනයකට පුළුවන් කමක් ඇත්තේද නැත.

 ව්‍යවස්ථානුකූල නොවන පාලනයකට තල්ලු වුව හොත් එය නැති අර්බුද ඇති කරන්නට හේතු වී ජාත්‍යන්තර වශයෙන් රටට ලැබෙන සහායද අහිමි කරන්නට හේතු වී වසංගත තත්ත්වයද උග්‍ර කිරීමට හේතු විය හැකිය.

-වික්ටර් අයිවන් 
(ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...