* සාකච්ඡාවෙන් තොර බහුතර බලය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත්, පාලකයන් සිතිය යුත්තේ ඊළඟ ඡන්දය නොව ඊළඟ පරම්පරාව ගැන බවත් පෙන්වා දෙන විග්‍රහයක්.
අද අප අත් දකිමින් සිටින්නේ මීට පෙර ලාංකේය සමාජය මුහුණ නොදුන් නව තත්ත්වයකටය. රට සාමුහික දේශපාලනය නොසලකා හැරීමක ගිලී ඇති බව විද්‍යාමාන වේ.
සමාජයක් විදිහට මුහුණ දෙන ගැටළු විසදීම සම්බන්ධව හා සමාජ ප්‍රගමනය වෙනුවෙන් අදහස් දක්වන බලපෑම් කළ හැකි පුද්ගලයින් වේගයෙන් අඩු වෙමින් ඇත. සොක්‍රටීස් වරක් තම ශිෂ්‍යන්ට පවසා සිටියේ උසස් මනස් සහිත පුද්ගලයන් සාකච්ඡා කරන්නේ අදහස් බවත් සාමාන්‍ය මනස් සහිත පුද්ගලයන් සාකච්ඡා කරනුයේ සිදුවිම් සම්බන්ධ කරුණු බවත්, දුර්වල මනස් සහිත පුද්ගලයන් සාකච්ඡා කරනුයේ පුද්ගලයන් සම්බන්ධ කරණු බවත්ය. එසේ බැලු විට අද ලාංකේය සාමාජය සමන්විත වනුයේ දුර්වල මනස් සහිත පුද්ගලයන්ගේ එකතුවක් ලෙසය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දේශපාලන උපක්‍රමය වී ඇත්තේ රටේ අර්බුදයට වගකිව යුතු පිරිස ලෙස තමන්ට නිහඬ කළ යුතු පුද්ගලයන් ඉලක්ක කොට මර්ධනයක් ක්‍රියාත්මක කිරීමය. මෑත කාලීන හොඳම උදාහරණය ලෙස සැලකිය හැකි වනුයේ අධිකරණය සම්බන්ධව ආණ්ඩුව ගෙන ආ ව්‍යවස්ථා වෙනස සම්බන්ධව කටයුතු කළ ආකාරයයි. එහිදි ආණ්ඩුවේ ප්‍රධාන අභියෝගය බවට පත් වුයේ ප්‍රතිවිරුද්ධ අදහස් දැක් වූ පුද්ගලයන්ගේ අදහස් වලට නොව ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ජිවිතය අල්ලා යම් යම් මඩ ප්‍රහාර එල්ල කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වනුයේ සාකච්ඡා කිරීමය. තවදුරටත් බහුතරයේ මතය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ නොවේය.
සමාජ මාධ්‍ය රැල්ලෙන් බලය රැකගත නොහැකි යථාර්ථය

ආණ්ඩුව විශ්වාස කරනුයේ තමන්ගේ මාධ්‍ය මෙහෙයුම (මුහුණු පොත හා යුටියුබ්කරුවන්) මඟින් දිගින් දිගටම තමන්ගේ ඡන්ද පදනම පවත්වා ගත හැකියි යන්නයි. මාධ්‍ය මෙහෙයුම් මඟින් ආණ්ඩු පෙරලිය හැකි වුවත් ආණ්ඩු බලය පවත්වා ගෙන යා නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. පසුගිය අවුරුදු 20 තුළ ලාංකේය දේශපාලනය තුළ අප එය අත්දැක ඇත. 2015 මෛත්‍රි - රනිල් ආණ්ඩුවත්, 2019 ගෝඨාභය ආණ්ඩුවත් පරාජය වු ආකාරය අප දැක ඇත. පසුගිය දශක 02 තුළම බලයට පත් වු ආණ්ඩු බලයට පත් වු විගසම කරන ලද ප්‍රධාන කාර්යය වුයේ ඊළඟ මැතිවරණය ගැන සිතීමය.
මේ ආණ්ඩුවෙත් ප්‍රමුඛතම කාර්යය වී ඇත්තේ ඊළඟ මැතිවරණය ගැන සිතීමය. දියුණු රාජ්‍ය පාලකයෙක් කල්පනා කළ යුතු වනුයේ ඊළඟ මැතිවරණය ගැන නොව ඊළඟ පරාම්පරාව පිළිබඳවය. ඊළඟ මැතිවරණ ගැන හිතමින් කටයුතු කළ සියළු රටවල් අදටත් පවතින්නේ ඉතාම අඩු දියුණු මට්ටමකය.
අපට වඩා ජනගහනයෙන් අඩු සිංගප්පූරුව වගේ රටක් හැමදාම ක්‍රියාකර ඇත්තේ ඊළඟ පරම්පරාව ගැන කල්පනා කරමින්ය. ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියේ දිශානතිය වනුයේ ඊළඟ පරම්පාරවේ අභිවෘද්ධිය වෙතටයි. වරක් සිංගප්පූරුවේ හිටපු අගමැති ලි ක්වාන් යු ලංකාවේ මැතිවරණ ගැන පවසා සිටියේ ලංකාවේ මැතිවරණ යනු ලංකාවේ නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි.
ආණ්ඩුව අභිමුඛ අභියෝගය වනුයේ තමන්ට ලබා දුන් මැතිවරණ ජයග්‍රහණය සඳහා අර්ථයක් ලබා දීමය. සමාජය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීමට තවමත් ප්‍රමාද නැත. ලාල් විජේනායක මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණයෙන් පසු කිසිදු ඵලදායි සාකච්ඡාවක් කර නැති බවය.
රෝම අධිරාජ්‍යය බිඳ වැටුණේ රෝම අධිරාජ්‍යයේ පාලන තත්ත්‍රයේ ගැටළුවකින් මිස රෝමන් නොවන බාබේරියන්වරුන්ගේ දක්ෂතාවයක් නිසා නොවේය. බාබේරියන්වරු කරන ලද්දේ රෝම අධිරාජ්‍යයේ දුර්වලතාවය අවබෝධ කර ගැනීම පමණී.
(සටහන | විපුල කරුණාතිලක)දේශපාලන හා සමාජ විශ්ලේෂක
wipulakarunathilake@gmail.com




