The Leader News
BREAKING
Top Ad
Opinion

අප මිනිසුන් වී සිටින්නේ වයිරසවලට බියේ හැංගී සිටීමට නොවේ -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 17, 2020 • 10:15 AM

අප මිනිසුන් වී සිටින්නේ වයිරසවලට බියේ හැංගී සිටීමට නොවේ -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ මර්දන උපායමාර්ගය යම් දුරකට සාර්ථක ය.
  • එහෙත්, තම කුඩා කණ්ඩායම සමග එක්ව ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව බිංදුව බවට පත් කර, මහ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගන්නට සිහින දකිමින් සිටි ජනාධිපතිවරයා කොරෝනා බිංදුව කිරීමට බැරි බව දැන් හෝ තේරුම් ගැනීම වැදගත් ය.
  • සති ගණනාවක ඇඳිරි නීතියෙන් පසු ඔහුගේ කණ්ඩායමේ හා ආණ්ඩුවේ අය දැන් කියන්නට පටන් ගෙන තිබෙන්නේ ජනතාව කොරෝනා සමග ජීවත් වීමට පුරුදු විය යුතු බවයි.
  • අප නම් මේ බව කීවේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඇරඹුණු මුල් දිනවල ම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රෝගය සමාජමය වශයෙන් ව්‍යාප්ත වීම වළක්වාගෙන, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා, හමුදාව යොදාගෙන නිරෝධායනය කරවමින්, බුද්ධි අංශ යොදවා වයිරස් ව්‍යාප්තියේ සුලමුල සොයමින්, මිලිටරි ස්වරූපයකින් හඹාගෙන ගොස් පහර දීම යම් දුරකට සාර්ථක ය. රෝගය මේ මට්ටමෙන් පවත්වාගෙන යමින් එම උපායමාර්ගය අනුගමනය කිරීම හොඳ ය.

එහෙත්, තම කුඩා කණ්ඩායම සමග එක්ව ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව බිංදුව බවට පත් කර, මහ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගන්නට සිහින දකිමින් සිටි ජනාධිපතිවරයා කොරෝනා බිංදුව කිරීමට බැරි බව දැන් හෝ තේරුම් ගැනීම වැදගත් ය.

සති ගණනාවක ඇඳිරි නීතියෙන් පසු ඔහුගේ කණ්ඩායමේ හා ආණ්ඩුවේ අය දැන් කියන්නට පටන් ගෙන තිබෙන්නේ ජනතාව කොරෝනා සමග ජීවත් වීමට පුරුදු විය යුතු බවයි. අප නම් මේ බව කීවේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඇරඹුණු මුල් දිනවල ම ය.

''මෙවැනි ගෝලීය වසංගතයකින් ලංකාවට ගැලවී සිටීමට අපහසු ය. එහෙත්, ගෝලීය රැලිවලින් ගසාගෙන නොයා සිටීමේ හැකියාව නම් ලංකාවට තිබිණි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය තරම් බුද්ධිමත් නායකත්වයක් අපට නැත. තියෙන එකට විකල්පයක් විපක්ෂයේ ද නැත.''

මෙවැනි ගෝලීය වසංගතයකින් ලංකාවට ගැලවී සිටීමට අපහසු ය. එහෙත්, ගෝලීය රැලිවලින් ගසාගෙන නොයා සිටීමේ හැකියාව නම් ලංකාවට තිබිණි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය තරම් බුද්ධිමත් නායකත්වයක් අපට නැත. තියෙන එකට විකල්පයක් විපක්ෂයේ ද නැත.

 

ලොක්ඩවුන්: ආර්ථික පරිහාණියකට රට ඇද දමා හමාර ය

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන කොරෝනා රැලි අතරින් එකක් වූ පූර්ණ ලොක්ඩවුන් රෝගය හා සමාජ ජීවිතය යන දෙක ම පාලනය සම්බන්ධයෙන් අසාර්ථක බව දැන් හෙළි වී තිබේ.

ලංකාව වඩා හයියෙන් ලොක්ඩවුන්වලටත් එහා ගිය ඇඳිරි නීතියක් දමා රට පූර්ණ අකර්මන්‍ය කිරීමක් කළ අතර දැන් එය තව දුරටත් කරගෙන යාමට බැරි ආර්ථික පරිහාණියකට රට ඇද දමා හමාර ය.

අප නම් මුල පටන් ම මෙම ඇඳිරි නීතියට විරුද්ධ වුණෙමු. මාස එකහමාරක් පමණ කල් ඇඳිරි නීති දමාගෙන සිටියත් රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා මිස අඩු වූයේ නැත. එහෙම නොකළා නම් තත්වය මීට වඩා දරුණු වන්නට තිබුණා යයි කීම පහුගිය ආණ්ඩුව තිබුණා නම් මේ වන විට කොරෝනාවලින් විශාල ජීවිත හානියක් වන්නට තිබුණා ය කීම වැනි ම අදාළ නැති කියුමකි.

 

කොවිඩ්-19 වගකීම කවදා හෝ මහජනතාවට බාරදීමට සිදුවේ !

අප කියන්නේ කොවිඩ්-19 සම්බන්ධයෙන් වගකීම කවදා හෝ මහජනතාවට භාර දෙන්නට සිදු වන බවයි. එය මුල් අවධියේ දුන්නත්, දැන් දුන්නත් වෙනසක් නැත. කෙසේ වෙතත්, අප තරමක් සුබවාදී වෙමු. අඩු තරමේ අප දැන් කොරෝනා වයිරසය ගැන තරමක් දුරට දන්නෙමු.

එහෙත්, එයින් බේරී සිටීමට අවශ්‍ය සියලු ඇවතුම්, පැවතුම් අප කරනවා ද? පූර්ණ වශයෙන් වයිරසයෙන් ආරක්ෂා වී සිටීමට පුළුවන් තත්වයක් අප රටේ තිබෙනවා ද? අපේ රටේ පොදු පහසුකම්වල තත්වය මීටරේ පරතරය තබාගත හැකි මට්ටමට වැඩිදියුණු කිරීමට කෙතරම් කලක් ගතවේ ද? එතෙක් රට වසාගෙන සිටින්නට පුළුවන් ආර්ථිකයක් අපට නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

Covid 19 with

ප්‍රශ්නය වන්නේ එම අත්හදා බැලීම විසින් රටේ ආර්ථිකයට කරන ලද දැවැන්ත හානියයි. ආර්ථිකයක් අඩපණ කර දැමීම කොතරම් පහසු ද යන්න රජය විසින් ඔප්පු කර හමාර ය. එහෙත්, එසේ අඩපණ කරන ලද ආර්ථිකයක් නැවත සක්‍රිය කිරීම පහසු නැත.

 රජය විසින් කර්මාන්ත ශාලා, අපනයනය, කෘෂිකර්මාන්තය, වෙළඳපොළ, බෙදාහැරීමේ ජාලයන්, පොදු ප්‍රවාහනය, බැංකු ආදී සියල්ල අඩාල කර දමා තිබේ. ඒවා සක්‍රිය කිරීමට රජය වහා ක්‍රියා කළ යුතු ය. රජයේ කාර්යාල ටික විතරක් ඇරගත්තාට කිසිම වැඩක් නැත. ඒවා වසා දමා හෝ ඵලදායී වැඩ කරන අංශවලට වැඩි පහසුකම් සැපයිය යුතු ය.

කොරෝනා වයිරසය ඇතුළු වයිරස්, බැක්ටීරියා ආදී ක්ෂුද්‍ර ජීවීන්ට බියේ අපට ජීවත් විය හැකි ද? අප මෙතෙක් කල් ජීවත් වූයේ විෂබීජවලින් තොර පරිසරවල ද? මෙතෙක් කල් අප රැක ගත්තේ රජය ද? හමුදාව ද? නැතිනම් අපගේ ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අපේ සෞඛ්‍ය පද්ධතිය නොවේ ද?

 

'ඩෙංගු වැනි වඩා බරපතල රෝගාබාධ අප අතින් ගිලිහී යමින් තිබේ'

මහජනතාව වන අප කොවිඩ්-19 සමග ජීවත් වන්නට උගත යුතු ය. වයිරසය වැළඳගන්නට අපට උවමනා නැත. අප නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු ය. වැඩි අවදානමකට ලක් විය හැකි පුද්ගලයන් වන වැඩිහිටියන්, ශ්වසන ආබාධ ඇතුළු තදබල රෝගාබාධ ඇති අය, ප්‍රතිශක්තිය පිළිබඳ ගැටලු ඇති අය, ගැබිණි මව්වරුන් හා පරිස්සම් විය යුතු ය.

Ajith Perakumඅප වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ කොවිඩ්-19ට පමණක් නිසා ඩෙංගු වැනි වඩා බරපතල රෝගාබාධ අප අතින් ගිලිහී යමින් තිබේ. ගිය අවුරුද්ද තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් 100කට වැඩි පිරිසක් මිය ගිය හ.

මේ වන විට නිරිත දිග මෝසම සක්‍රිය වන්නට ආසන්න ය. එහෙත්, වෙළඳපොළේ මදුරු කොයිල් පවා හිඟ ය.

කොවිඩ්-19 සමාජය තුළ පැතිරීම වැළැක්වීමට ආණ්ඩුව, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ ගත් පියවර ප්‍රශංසනීය ය. එහෙත්, වයිරසය සමාජයේ පැතිරෙනවාට බියේ සමාජය සඟවා තැබිය නොහැකි ය.

රජය ඇඳිරි නීති සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු ය. ඒ වෙනුවට, රෝග පාලනය සඳහා වර්තමානයේදී කරගෙන යන නිරෝධායන වැඩසටහන සහ සීමිත ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම දිගටම කරගෙන යා යුතු ය. රට වසාගෙන සිටිනවා වෙනුවට, ලක්ෂ 14ක් වන රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ආරක්ෂාකාරීව රට නැවත විවෘත කිරීමට පහසුකම් සැපයිය යුතු ය.

ඒ ලක්ෂ 14 වැඩකරන ජනතාවට පහසුකම් සැපයිය යුතුවා මිස ඔවුන්ට පරිස්සම් වන්නට පහසුකම් සපයන්නට වැඩ කරන ජනතාව ගෙදර සිටිය යුතු නැත. රජයේ සේවකයන්ට වැටුප් ගෙවාගන්නට පවා බැරි තත්වයක් ඇති වී තිබෙන්නේ ඒ නිසා ය.

මුල පටන් ම අප කී කාරණයක් නැවතත් මෙහි සටහන් කරන්නෙමු. කොවිඩ්-19 යනු සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ. එය සමාජ ගැටලුවකි. මේ වන විට නම්, බරපතල ආර්ථික අර්බුදයකි. අප මිනිසුන් වී සිටින්නේ වයිරසවලට බියේ හැංගී සිටීමට නොවේ.

[උපුටා ගැනීම - praja.lk]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...