මේ දේශපාලනය ඇතුළේ තවදුරටත් රාජපක්ෂලාට ඉඩක් තියනවද කියන ප්‍රශ්නය අහගෙන ජනතාව අතරට ගියොත් මොකක් වෙයිද? 80% ක් කියයි ආය
ඉඩක් නෑ කියලා.

හැබැයි ඒ අර විජිත හේරත් කියන 80% නං නෙවෙයි. විජිත කියන ජාතියේ 80% ක් විප්ලවය කිට්ටුවෙලා රුසියාවේවත් හිටියේ නෑ.

කොහොම හරි කවුරු හරි ඔය ප්‍රශ්නයම රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළ කියන්නේ තවම බේරගන්න පුළුවන් දෙයක් රාජපක්ෂලට ඉතිරිවෙලා තියනවා කියලා. ඒ කියන්නේ හතුරාට ගහගෙන ඉස්සරහට යන තැනක නෙවෙයි රාජපක්ෂලා දැන් ඉන්නේ. හතුරාගෙන් බේරෙන්න ආරක්ෂිත බංකර් හදන තැනක.

මේ කතාව මීට කලිනුත් රටේ රාළ කියලා ඇති. සටනකදී මෙහෙම දෙයක් තියනවා. තමන් සතුව තියෙන හොදම ආයුධය හතුරා අතට පත්වෙන්න යනවා නං ඊට ඉස්සෙල්ලා ඒක විනාශ කරන එක සටනක සාමාන්‍ය දෙයක්. නැත්තං වෙන්නේ තමන්ගේම බඩුවලින් තමන්ටම කන්න වෙන එක. එහෙම කාපු තැන් යුද්ධයේදී වගේම දේශපාලනයේදීත් ඕනි තරම් තියනවා.

ඒ Point එක හරියට පාවිච්චි කළේ නැත්තං යුද්ධයකදී නම් අත් වෙන්නේ මරණය. දේශපාලනයේදී මරණය අත් උනේ නැතත් බලය අහිමිවීම වෙලා ඊළගට උරුම වෙන්නේ අඳුරු සිරකුටි තමයි. ඒකට ගියහම තමයි ඔය මහ ලොකු වීරයෝ ලෙඩ වෙලා ලෙඩේ ආශිර්වාදයක් කරගෙන ඉස්පිරිතාලවලට රිංගන්නේ..
 
 
රටේ රාළ නං හිතන්නේ රාජපක්ෂලා හිරේ දාන එක නං නෙවෙයි මේකට උත්තරය. රටේ ප්‍රශ්නයට උත්තරය රාජපක්ෂලා හිරේ දැමීම නං ඒක කලාට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද හිරේ යන්න සුදුසුකම් එයාල ඕනිවටත් වැඩිය සම්පුර්ණ කරලා තියනවා. හැබයි ස්ථිරවම ඒක උත්තරය නෙවෙයි.
 
 
ඒක නිසා ඒ තැනට රට පත්වෙන්න ඉස්සෙල්ලා රාජපක්ෂලාටත් මේක ඇතුළේ කරන්න දෙයක් තියනවා. ඇත්තටම ඒ ඉඩ රාජපක්ෂලාට ඉතුරු කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ දේශපාලන වශයෙන් අවතැන් වෙලා ඉන්න විපක්ෂය. නැත්තං මේක එයාලා අතට අරන් කරන්න ඕනි වැඩක්.

සජිත් ලෑස්ති වෙන්නේ ඊළඟට මේ විධායකය ජනාධිපතිධූරය කියන මුග්ධ අවිය තමන් අතට ගන්න. ඒ වෙනුවෙන් සජිත් මේ දවස්වල එයාගේ බඩු බෙදන Plan එක කියාගෙන යනවා. හොයන විදිහක් කියන්නේ නැතිව බෙදන විදිහ කියාගෙන යනවා. රටේ රාළට අනුව නං සජිත් ගන්නේ මොඩ චූන් ඒකක්. ඇත්තටම විනෝද සමය බැලුවාට වඩා හොඳ ආශ්වාදයක් තියනවා සජත්ගේ කතාවල.

ඊළඟට අනුර දිසානායක බලාගෙන ඉන්නෙත් ඒකට. ඒකනේ අනුර දැන් කියන්නේ හිතන තරම් විධායක යකා කළු නෑ කියලා. රටේ රාළට නං අනුරට කියන්න තියෙන්නේ කන්න හිතුනම කබරගොයාත් තලගොයා වගේ පේනවා කියලා. තව තවත් අය ඇති විධායකය අතට අරන් ගේමක් ගහන්න හීන මවන.


දැන් මෙතනදී රාජපක්ෂලාට එන ප්‍රශ්නය තමයි මේ විධායකය අන්සතු නොකර තියාගන්නෙ පුලුවන්ද බැරිද කියන එක? ඒකට එයාලා විවිධ උත්සාහයන් ගනී. අර මෛත්‍රී කියන ජාතියේ ව්‍යවස්ථා ගැට ගහන්නත් හදයි. මොන දහං ගැට ගැහුවත් මේ පාර විධායකය රැක ගන්න රාජපක්ෂලාට බෑ. ගෝඨාභය කියන්නේ තවදුරටත් ඒ රේස් එක ගහන්න පුළුවන් අශ්වයෙක් නෙවෙයි. ඒ රේස් එක ඉස්සරහා ඇත්තටම බැසිල් අශ්වයෙක් නෙවෙයි. පෝනියෙක්. ගෝඨාභයටයි, බැසිල්ටයි ගහන්න බැරි රේස් එකක් ගහන්න නාමල්ට කොහොමවත් බෑ.



විපක්ෂයේ ඔය ඉන්න කීපදෙනාට තියන උණත් තව ටික දවසකින් අඩුවෙයි. සමහර අයට ඔය යසට සනීප උනේ. හැබැයි සජිත්ටයි, අනුරටයි නං තවම සහලෝල උණ. සජිත් පොදු සටනට ආවේ නැත්තං සඡබේ බ්ලාස්ට් වෙන එක නවත්තන්න බෑ. අනුරලත් පොදු සටනට එන්නේ නැත්තං එයාගේ සිහින ලෝකෙටත් වෙන්නේ ඒක.

ඒ වගේම රටේ රාළ වගකීමෙන් කියනවා අපේ රටේ ජනාධිපතිවරණය කියන්නේ දෙකොන් සටනක්. ඒක තුන් කොන් සටනක් වෙන්නේ නෑ. මතකනේ ගිය ජනාධිපතිවරණය තුන් කොන් සටනක් කරන්න ගිහින් අනුරට වෙච්චිදේ. යන්තම් 3.16% ක් බේරගෙන, ජවිපෙ ඉතිහාසයේ හිටිය දුර්වලම ජනාධිපති අපේක්ෂකයා විදිහට ලෝක වාර්තාවක් තිබ්බා. අනුරට ඕනි නං ආයෙත් ඒ වාර්තාව අලුත් කරන්නත් පුළුවන්.
 
 
මෙතනදී මෛත්‍රී කියන කතාවට රටේ රාළ එකඟයි. මෛත්‍රී කියන්නේ තනි ජයග්‍රහණ කාටවත් නෑ කියලා. ඒක හරියට හරි. ඒක නිසා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ගැන දැන්මම හිතන්න ඕනි නෑ. ඒකට මේ පැත්තේ තියන විවෘත තරගයක්.
 
 
සමහරු රේස් එක පටන් ගන්න ඉස්සෙල්ලා දුවන්න පටන් අරන්. ඉන්න රේස් එක පටන් ගන්නකං. විපක්ෂයේ පොදු අපේක්ෂකයා නම් කරන්න දැන්මම කළබල වෙන්න එපා. සමහරවිට එයා කාන්තාවක් වෙන්න බැරි නෑ. නැත්තං දැනට ආණ්ඩුව ඇතුළේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරවිට හිටපු කතානායක වෙන්නත් බැරි නෑ. නැත්තං ඩඩ්ලි සිරිසේන වගේ ව්‍යාපාරිකයෙක් වෙන්නත් බැරි නෑ. එහෙමත් නැත්තං සජිත්, අනුර, පාඨළී තුන්දෙනාගෙන් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තං අලුත්ම චරිතයක් වෙන්නත් බැරි නෑ උවිඳු වගේ.

කොහොම හරි ඒක ගැන සංවාදයක් දැන්ම ඕනි නෑ කියලයි රටේ රාළ කියන්නේ.


''දැන් හැබැයි එකක් ෂුවර්. ආණ්ඩුවේ අපේක්ෂකයා බැසිල්''


දැන් හැබැයි එකක් ෂුවර්. ආණ්ඩුවේ අපේක්ෂකයා බැසිල්. දැන් බැසිල් කැම්පේන් එක පටන් අරන්. 09 වෙනිදා ඉඳන් රැස්වීම් පටන් ගන්නවලු. බැසිල් හදන්නේ ඇස් නිලංකාර කරලා ගේම ගහන්න. ඒවට ඉතින් සමහරු බය වෙයි. රටේ රාළ කියන්නේ බැසිල් 2015 ත් ඔහොම ගේමක් ගහන්න හැදුවා.

ඇත්තටම දැන් බැසිල්ට බලන්න තියෙන්නේ මෙච්චරයි. විධායකය කියන කඩුව තමන් අතට ගන්න පුළුවන්ද බැරිද කියන එකයි. බැසිල්ට ඒ තක්සේරුව කරගන්න බැරි වෙන එකක් නෑ. හරියට තක්සේරුව කර ගත්තොත් බැසිල්ට එන්නේ බෑ කියන උත්තරය.
 
 
දැන් ඊළඟට එන ප්‍රශ්නය බැරිනං හතුරට කඩුව දෙනවද කියන ප්‍රශ්නය. හතුරා කඩුව ගත්ත ගමන් මොකද වෙන්නේ කියලා බැසිල් දන්නවා. එතකොට තමයි බැසිල්ට උදේ පාන්දරම ඇමරිකාවට යන්න තියන ෆ්ලයිට් එක මතක් වෙන්නේ. ඒත් ඉතින් ඒ චාන්ස් එක අනිත් අයට නෑ. ඒක නිසා බැසිල්ලටත් හොදම දේ තමයි කඩුව අතුරුදන් කරන එක.
 
 
ඒක ඉතින් එක්නැලිගොඩ, ලලිත් කූගන් අතුරුදන් කළා වගේ වැඩක් නෙවෙයි. රටේ ජනතාවත් එක්ක කතා කරලා, ජනතාව එක්ක කරන්න පුළුවන් වැඩක්. ඒ චාන්ස් එක ලගදීම රාජපක්ෂලාට එනවා. දැන් එයාලාට එයාලගේ අලුත් ව්‍යවස්ථා කතාව උඩට ගේන්න වෙනවා. ඒකෙන් පැනලා යන්න බෑ. ඒක ඇතුළට කඩුව අතුරුදන් කිරීම ඔබන්න ඕනි නමී පුළුවන්.

එහෙම නැතිව තව අවුරුදු දෙකක් මේක දික් කරගන්න නං හිතන්නේ, තියන එකත් කපාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. ඒක නිසා මේ සටනේ හැටියට කඩුව විනාශ කිරීම හොද උත්තරයක්.
 
 
 
ඒකෙන් වාසි තුනක් වෙනවා. එකක් තමයි විපක්ෂය ගත්ත නැති සටන් පාඨය ආයෙත් රාජපක්ෂලා අතට එනවා. කඩුව විනාශ කිරීමෙන් රාජපක්ෂලාට කොටන්න කට්ටිය හිටියට කොටන්න කඩුවක් නැතිවීම පවුලට ලැබෙන ලොකු සහනයක්. තියන ඒවයින් කට්ටිය දමලා ගහයි. ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. අනික තමයි කඩුව විනාශ කිරීම රටටත් හොදයි.
 
 
 
රටේ රාළ කියන්නේ රාජපක්ෂලා ඔය ගැන හිතන තැනට තල්ලු කරන්න පුළුවන්. මොකද රාජපක්ෂලාට දැන් බය ඇතිවෙලා තියෙන්නේ. කවුරු කිව්වත් රාජපක්ෂලා බය නෑ කියලා. රටේ රාළ කියන්නේ අනාගතය ගැන වැඩිම බයෙන් ඉන්නේ රාජපක්ෂලා.

ඇත්තටම මේ වෙලාවේ 20 අහෝසි කිරීමේ සටන් පාඨ හරියට රටේ උස්සන්න පුළුවන් නම් ඒක ඉස්සරහා රාජපක්ෂලා දණ ගස්සන්න පුළුවන්. මොකද 20 අහෝසි කරන්න රාජපක්ෂලාට එකඟ කරගැනීමේ සම්භාවිතාවක් මේ දේශපාලනය ඇතුළේ මතු වෙනවාම තමයි. ඒකට විරුද්ධ උනොත් විරුද්ධ වෙන්නේ ගෝඨාභය. හැබැයි ඒකට මහින්ද වගේම බැසිල් පක්ෂ වෙන්න තියෙන ඉඩ වැඩී. මොකද එයාලට අවධානම ගැන ගෝඨාභයට වඩා දැනෙන හින්දා.

ගෝඨාභයටත් ඉතින් ඒකට පක්ෂ උනා කියලත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැනුත් ඉතින් එතුමා කරන්නේ ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්න එක විතරනේ. ඔක්කොම ටික කරන්නේ බැසිල්නේ. දැනට මේ රටේ දේශපාලන ගැන රාජපක්ෂලා කරලා තියන තක්සේරුවට අනුව එයාලා ඉක්මනට යන්න හිතනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට.

ඒ තේරීම කරන්නේ පරාජය අවම කරගන්න. ඒ මැතිවරණයට ගොඩක් සන්ධාන හැදෙයි. පොහොට්ටුවට හදන්න වෙන්නේ තිබුණ තැනට සාපේක්ෂව දුර්වල සන්ධානයක්. ආණඩුවේ ගොඩක් අය මෛත්‍රී හදන සන්ධානයට එයි. තවත් සමහරු රනිල් - චන්ද්‍රිකා සන්ධානයක් හැදුවොත් ඒකට යයි. ඒ වගේම ජාතික ඡන බලවේගයටත් යම් බලයක් ලැබෙයි.

සජිත්ගේ සන්ධානයත් තිබුණ තැනට සාපේක්ෂව දුර්වල එකක් වෙනවා. සජිත්ගේ කට්ටියක් පොහොට්ටුවත් එක්ක වගේම රනිල් එක්ක එකතු වෙලා තරග කරයි.
 
 
 
රනිලුත් මෙතනදී පොඩි හරි ගේමක් ගහයි. ඊළඟ මැතිවරණයේ සජිත්ට රනිල්ගෙන් ලොකු අභියෝගයක් එල්ල වෙන එක නවත්තන්න බෑ. රනිල් ඒ ගේම ඔළුවෙන් ගහද්දී සජිත් මුළු වැර යොදලා ඇඟෙන් ගහන්න ට්‍රයි කරයි. දැන්ටමත් දෙගොල්ලෝ සටන පටන් අරන්.
 
 
පාඨළීලටත් ඔය සන්ධානවලින් මොකකට හරි යන්න වෙනවා. සජිත් පාඨළීට සජබේ දොර වහනවාම තමයි. එතකොට පාඨළීලට ආයෙත් හැරෙන්න තියෙන්නේ එක්කෝ යූ.එන්.පිය හදන සන්ධානයට නැත්නම් ශ්‍රීලනිපය හදන සන්ධානයට.

හැබැයි කවුරු කොහෙන්, කොහොම තරග කලත් එදාට එන ඡන්ද ප්‍රතිඵලය අද රටේ රාළ කියන්නම්.කිසිම කෙනෙකුට තනි ආණ්ඩුවක් පිහිටවන්න බැරි ප්‍රථිපලයක් තමයි එන්නේ. එදාට ආයෙත් හැදෙන්නේ සභාග ආණ්ඩුවක්. එතනදී තමයි අද ඉන්න වෙන්ඩ ජනාධිපති අපේක්ෂකයන්ගේ ගෑස් බහින්නේ. කට්ටිය මහ පොලොව එන්නේ එදාට. විපක්ෂ පොදු අපේක්ෂකයා කවුද කියලා තීරණය වෙන්නේ එතනින් පස්සෙයි.ඒක නිසයි රටේ රාළ ඒ ගැන කළබල නොවී ඉන්නේ.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ආර්ථික සටන් පාඨ වගේම දේශපාලන සටන් පාඨත් තියෙයි. 20 අහෝසි කිරීම කියන්නේ ඒ සටන් පාඨ අතර ප්‍රමුඛ එකක්. විධායකය අහෝසි කරනවා කියන සටන් පාඨය වඩා 20 අහෝසි කිරීමේ සටන් පාඨය ප්‍රබල වෙයි කියලා රටේ රාළ හිතනවා. ඒ අයිතිය ගන්න සන්ධානයට ලොකු සදාචාර බලයක් හැදෙයි.
 
 
මේ රටේ ජනතාව 20 අහෝසි කරන්න ජනවරමක් දෙනවාම තමයි. ඒක වෙන තැනකින් සිද්ධ වෙනවා නම් රාජපක්ෂලාට වෙන්නේ ඒත් කඩුව නැතිවීමම තමයි. ඒක නිසා වෙන කෙනෙක් ඇවිත් කඩුව අතුරුදන් කරනවාට වඩා රාජපක්ෂලා විසින්ම කඩුව අතුරුදන් කිරීම රාජපක්ෂලාගේ පැත්තෙන් හිතුවොත් එයාලාගේ ශරීර සෞඛ්‍යයට යහපත්. මොකද කඩුව දැනුවත්ව විනාශ කිරීම තමයි හොදමදේ.
 
 
රටේ රාළට නං ඕනි මොකා හරි ලව්ව මේ රට අවුරුදු 44 ක් විනාශයට අරන් ගිය විධායක ජනාධිපතිධූරය කුඩු පට්ටම් කරන්න.

හැබැයි ඒ පුටුවේ දැන් ඉදගෙන ඉන්න කෙනාව කුඩුපට්ටම් කරන්න රටේ රාළට ඕනි නෑ. ඒත් දැන් රාජපක්ෂලා සම්බන්ධව මේ රටේ ජනතාවගේ හිත් ඇතුළේ ගොඩනැගිලා තියෙන වෛරය නම් සුළුපටු නෑ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)
 
 


Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්