අපේ පුතා ගිය අවුරුද්දේ නවකතාවක් ලියා මේ අවුරුද්දේ ඊට සම්මානද ලැබුවේය.



සම්මානනීය නවකතාකරුවන් කරන පරිද්දෙන් ඔහු ලබන අවුරුද්දේ සම්මාන සඳහා මේ අවුරුද්දේද නවකතාවක් ලියනු ඇතැයි මම සිතුවෙමි.

එහෙත් සම්ප්‍රදාය නොදන්නා ඔහු කියා සිටියේ තමා මේ වෙලාවේ නාට්‍යයක් ලියමින් සිටින බවය.

එහෙත් ඒ සඳහා සුදුසු ආරම්භයක් තෝරාගැනීම දුෂ්කර බැවින් පහත සඳහන් ආරම්භ අතුරින් කුමක් ඒ සඳහා ගැළපේදැයි කියන ලෙස ඔහු සිය මිත්‍රයන් කීපදෙනෙකුට දැනුම් දී තිබේ.

 ඔහු නාට්‍ය සඳහා ලියා ඇති ආරම්භ මෙසේයි.


* * * *

(1) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’

‘‘එයා ගෙදර නෑ.’’

‘‘කොහේ ගිහින්ද?’’

‘‘එයාව හොයන්න දාල තියෙන පොලිස් කණ්ඩායම් හයට තාම එයාව හොයාගන්න බැරිවෙලානෙ.’’

‘‘ඉතින්... ඉතින්?’’

‘‘එයා ගියා ඒ පොලිස් කණ්ඩායම් හොයන්න විශේෂ විමර්ශනයක් කරන්න.’’

* * * *


(2) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’

‘‘මම හැංගිලා.’’

‘‘හැංගෙන්නෙ මොකටද මනුස්සයො බය නැතුව එළියට එනවා.’’

‘‘එහෙම කොහොමද?’’

‘‘ඔය තමුසෙට ඇප දෙන්නනෙ හොයන්නෙ. බය නැතුව එළියට ඇවිත් ඇප ගන්නවා.’’

* * * *


(3) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’

‘‘එයා හැංගිලා.’’

‘‘ඒ මොකටද හැංගුණේ?’’

‘‘නාට්‍ය පිටපතේ තියෙනවලු දවස් කීපයක් හැංගිලා ඉන්න කියලා. ඊට පස්සෙ තමයි බාරවෙන්න තියෙන්නෙ.’’

* * * *


(4) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’

‘‘එයා දෙවියන්ට යාඥා කරනවා.’’

‘‘තමන්ව මේකෙන් බේරලා දෙන්න කියලද?’’

‘‘නෑ, සැකකරුවන්ගෙ මානව අයිතීන් රකින රටක ජීවත් වෙන්න ලැබුණට දෙවියන්ට ස්තුති කරනවා.’’

‘‘ඒ මොන හරුපයක්ද?’‘

‘‘ඇයි එහෙම කියන්නෙ? වෙනදටත් කාව හරි අත්අඩංගුවට ගන්න කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවද අත්අඩංගුවට ගන්නව කියල.’’

* * * *


(5) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’


‘‘මට කතා කරන්නෙපා. මම තරහයි.’’

‘‘තරහ වෙන්නෙපා මචං. මෙහෙමනෙ පිටපතේ ලියවිල තියෙන්නෙ.’’

‘‘ඒ වුණාට බං....’’

‘‘ඒ වුණාට ඔය තරහ මරහ අමතක කරල ඡන්දෙදාට කට්ටියත් එක්ක වරෙන් හොඳේ.’’

* * * *



(6) ‘‘බදුර්දීන්! බදුර්දීන්!’’

‘‘ඇයි මොකෝ?’’

‘‘ඔහේ මේ කවිය අහල තියෙනවද?’’

‘‘මොකක්ද?’’

‘‘උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ - අපේ පුතුන් ලොකු වන්නේ’’

මේ අතරින් නාට්‍යයේ ආරම්භයට වඩාත් සුදුසු ජවනිකාව යැයි ඔබ සිතන්නේ කුමක්ද?

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන්)

 

රිෂාඩ් බදියුදීන් සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝ කිහිපයක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්