සුනිල් පෙරේරා මගේ ජීවිතේට ඇතුල්වුනේ අසූගනං වල. ඒ කියන්නෙ දහම් පාසැල්වලින්, ඉස්කෝලවලින් අපිට ප්‍රබුද්ද දේවල් බලෙන් පුරුදු කරන කාලෙ.
සුනිල්ගෙ පාවෙන පීරිසියක් සිංදුව තමයි මං මුලින්ම ඇහුවෙ. ලංකාවෙ ඒ කාලෙ අඟහරු ලෝකෙන් එන කුරුමිට්ටො ගැන සිංදු කියන්න කවුරුවත් හිටියෙ නෑ. ඒවටම හරියන පුදුම ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් තිබුන.
උඹලට වැඩක් ඇති සිංදුවක නං වචනයක්වත් මතක හිටින්නෙ නෑ කියල අම්මලා බනින්න ගත්තෙ ඒ සිංදු නිකංම මුල ඉඳන් අගට කටපාඩම් හිටින හින්ද. ඕන තැනක කට ඇරපු ගමන් කියවෙන හින්ද.
මේ ප්‍රතිසංස්කෘතියක විප්ලවීය ආභාෂයක් කියල අපි දැනගෙන හිටියෙ නෑ. දහම්පාසල් සමිතියෙ සුනිල්ගෙ සිංදු කියන්න තහනම් කරලයි තිබුනෙ.
ඕයේ ඔජායේ ආවම ඒක පිස්සුවක් වගේ හැම කොල්ලෙක්ම නට නට කියන්න ගත්තා. ඔජායේ සංස්කෘතියක් හදනවා කියල මිනිස්සු සුනිල්ට බැන්නා.
සුනිල් ලුනුදෙහි ගැන, බීලා වැටෙන සයිමන්ලා ගැන, අංකල් ජොන්සන්ලා ගැන සිංදු කිව්වා.
එයා රට වෙනස් කරන්න හෝ සාහිත්‍ය නගා සිටුවන්න හෝ සිංදු කිව්වෙ නෑ. එයා සිංදු කිව්වෙ අතට අහුවෙන දකින වදින ඇගේ හැපෙන ජීවිතේ ගැන.
ප්‍රබුද්දයන්ට අහිතකර වීමට පුළුවන් කියල බය නැතුව කැසට්වල ගහලා තිබුන. ප්‍රබුද්දයො කියන්නෙ ලැජ්ජා හිතෙන පිරිසක් කියන එක අපේ ඔලුවලට ගියේ ඒ වැකියෙන් වෙන්නත් පුළුවන්. සුනිල් හින්ද අපිට කිසි දවසක ප්‍රබුද්ධයෙක් වීමේ ආසාවක් නැති වුනා.
සුනිල් පෙරේරා කියන්නෙ සංගීතකරුවෙක් නෙමෙයි. සුනිල් කියන්නෙ අපේ රටේ දැවැන්ත සංස්කෘතික විප්ලවකාරයෙක්. සමාජයට ඕන දේ නෙමෙයි තමන්ට ඕන දේ කරන්න බය නැති වුනු තනි මිනිහෙක්. අඩුම තරමෙ සුගායනීය හඬක්වත් නැතුව සංගීතය කනපිට ගහපු මිනිහෙක්.
නිදහස් ලිංගික ජීවිතයක්, සතුට හොයාගෙන යන ජීවිතයක් තිබුනු ඇරියස් නැති මිනිහෙක්. හැංගිලා දේවල් කරන්නෙ නැතුව එලිපිට ජීවත් වුන ලංකාවට ආගන්තුක ජීවියෙක්.
සුනිල් ජීවත් වුනේ ලෝකයට විවෘත සංස්කෘතියක. ඒත් සුනිල්ගේ සිංදු උඩම තලයෙ ඉඳන් පහලම මුඩුක්කුව දක්වා කන පැලෙන්න ඇහුවා.
ඕනම මාර ඩීසන්ට් පාටියක අන්තිමට සුනිල්ගේ සික්ස්එයිට් වැලක් වැදුනා. නැත්තං පාටියක් තිබුනෙ නෑ වගේ. සුනිල් පෙරේරා කියන්නෙම සාදයක්. ප්‍රීතියක්.
ඇඩ්වර්ටයිසින් කරන්න ගත්තට පස්සෙ මං ජින්ගල්වලට වැඩිපුරම ගත්තෙ සුනිල්ගෙ සිංදු. ඒවායේ ජනප්‍රියකම හින්දම ලොකු ගනං කියන්න ලේසියෙන්ම පුළුවන් වුනත් සුනිල් ගත්තෙ හිතාගන්නවත් බැරි තරම් පොඩි ගානක්.
මගේ සිංදු පුළුවන් තරම් කොපි කරනවට මං ආසයි මල්ලි.. හැබැයි එක්කෙනෙකුට විතරක් රයිට්ස් දෙන්න නං බෑ.. සුනිල් අයියා කිසි දවසක ලෝබ නැතුව අත දිග ඇරලා සිංදු දුන්නා.
අපේ සම්භාව්‍ය සංගීතකාරයො තමන්ගෙ රයිට්ස්වලට නඩු දදා හිඟා කන හැටි දැක්කම සුනිල් පෙරේරා කියන්නෙ කොහොම මිනිහෙක්ද කියල මතක් වෙනවා.
කොවිඩ් කාලෙත් අන්තිමට මං එච්අයිවී ගැන සුනිල් එක්ක සිංදුවක් කළා. ඒ වගේ වැඩවලට එයා සල්ලි ගත්තෙවත් නෑ. කිසි දවසක බෑ කිව්වෙත් නෑ. සමහර විට ඒක වෙන්න ඇති සුනිල් අයියා කරපු අවසාන වැඩෙත්.
මේ කාලකණ්ණි චීන වයිරසය අපේ රටේ ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා කියල මට හිතෙනවා. කිලී, මංගල දැන් සුනිල්.. ඒ සංස්කෘතික අවකාශය පුරවන්න කිසි කෙනෙක් නෑ. කොරොනා ඉවර වෙද්දි මිනිස්සු ඉතුරු වෙලා හිටියත් අපිට තියෙන්නෙ මැරිච්ච රටක් කියල මට හිතෙනවා. උපන්නාට මේ ලොව වැනි වැනී අපි ජීවත් වෙයි. මේ දූපතේ ගෝත්‍රිකයො තව වැඩිවෙයි. ලෝකයක් දකින මිනිස්සු නැති වෙයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - Faculty of Sex
THE LEADER TV
ස' පත්කළ මිලින්දට ඉන්දියාවෙන් බාල්දියක් !
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2