ජුලි මස 03 වෙනිදා අවසන් වූ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.


ඇය එම ස්ථානයට පැමිණියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මුනි දෙවන ස්ථානයට පත් කරමින් වීම විශේෂත්වයකි.

තරග තුනකින් සමන්විත එම එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1ක් ලෙස ජයග්‍රහණ කරනු ලැබුවේ පළමු වරට නවසිලන්ත කණ්ඩායමට එරෙහිව ලද එක්දින තරගාවලි ජයග්‍රහණය ද සනිටුහන් කරමිනි.

තරගාවලිය පුරා ලකුණු අතර සිටි චමරි අතපත්තු ශතක දෙකක් ද සමගින් ලකුණු 248ක් රැස් කරනු ලැබීය.
 
chamari Athapaththu

පසුගිය මැයි මාසයේ දී අවසන් වූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ද චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණියා ය. ඒ, හත්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානයට ය.

එමෙන්ම ඇය එවර එක්දින තරගවල තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 16 වන ස්ථානයේ සිට 13 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා ය.

chamari Athapaththu No1


'මගේ ජයග්‍රහණය හැමෝටම අයිති දෙයක්'

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ චමරි අතපත්තු මේ සම්බන්ධයෙන් ඇගේ සතුට ප්‍රකාශ කළා ය.

"ඇත්තටම ගොඩක් සතුටුයි වර්ල්ඩ් නම්බර් වන් පුළුවන් වෙච්ච එක ගැන. ඒක මගේ තනි උත්සහයක් නෙමෙයි. ඒක පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා," ඇය පැවසුවා ය.

"විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මතක් කරන්න ඕන, මාත් එක්ක වැඩ කරපු සියලුම පුහුණුකරුවන්, මගේ ටීම් මේට්ස්ලා, මගේ අම්මා, තාත්තා සහ යහළුවෝ හැම දෙනාගේම සහය ලැබුණා. ඒ වගේම ලංකාවේ අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මතක් කරන්න ඕන. මම හොඳට පෆෝම් කරද්දී වගේම, හොඳින් පෆෝම් නොකරද්දී ඔවුන් මාත් එක්ක හිටියා. මම මේ ලබපු ජයග්‍රාහණය ඒ හැමෝටම අයිති දෙයක්," ඇය පැවසුවා ය.


ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නට ගිය චමරි

ඇය මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට තීරණය කළ ද, ලද ඉල්ලීම් නිසා නැවත ක්‍රීඩා කිරීමට තීරණය කළ බව චමරි අතපත්තු මෙහිදී ප්‍රකාශ කළා ය.

"ඇත්තටම අවසානයට තිබ්බ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න අපිට හැකියාව ලැබුනේ නැහැ. කොවිඩ් තත්ත්වය එක්ක ලෝක කුසලානය සඳහා වූ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෙල්ලම් කරන්න තිබ්බ අවස්ථාව මඟ හැරුණා.

"මම ඒ අවස්ථාවේ දී තීරණයක් ගන්න හිටියේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට්වලින් අයින් වෙන්න. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මට පෞද්ගලිකව කතා කළා ඒ තීරණය මේ වෙලාවේ ගන්න ඕන එකක් නෙමෙයි කියලා. ඔවුන්ගේ ඒ අදහසට ඉඩ දීලා මම තීරණය කළා තව අවුරුදු කිහිපයක් සෙල්ලම් කරන්න ඕන කියලා. මම උපරිම උත්සහ කරනවා මගේ ෆිට්නස් තියාගෙන උපරිම දේ කරන්න ශ්‍රී ලංකාව වෙනුවෙන්," ඇය අප හා පැවසුවා ය.

"ඕනෑම ක්‍රීඩකයෙක්ට, ක්‍රීඩිකාවකට හැමදාම සෙල්ලම් කරන්න බෑ. කවදා හරි අයින් වෙන්න වෙනවා. ඒකයි සාමාන්‍ය දේ.

"හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ තේරීම් කමිටුව ඉල්ලීමක් කරලා අයින් වෙන්න කියනකම් මම ඉන්නේ නැහැ, ඊට කලින් මම අයින් වෙනවා. මට ඕන හොඳ කණ්ඩායමක් හදන්න. හදලා, මට තේරුනොත් මම නැතුව ඒ අයට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා, එදාට මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගන්නවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය පවසයි.


නවසීලන්තයට එරෙහිව ලද එක්දින තරගාවලි ජයග්‍රහණයට හේතු

chamari Athapaththu 1

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණයට හේතුව ඉකුත් මාස කිහිපය තුළ දී කණ්ඩායමේ සිදුවූ වෙනස්කම බව, චමරි අතපත්තු අප විසින් ඒ පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් පැවසුවා ය.

"පහුගිය මාස පහක හයක කාලය තුළ දී අපේ කණ්ඩායමේ ලොකු වෙනසක් ඇති වුණා. විශේෂයෙන් අපේ නව පුහුණුකාරතුමා රොමේෂ් රත්නායක නිසා. ඔහුගේ අත්දැකීම් උපකාරී වුණා කණ්ඩායම නැවත හොඳ තත්ත්වයට ගන්න. අපේ ටීම් මීටින්වල කතා කරන්නේ පොසිටිව් දේවල් විතරයි. කිසිම නෙගටිව් දෙයක් කතා කරන්නේ නැහැ. ලොකු දෙයක් ඔහු කළා අපේ කණ්ඩායම මේ තත්ත්වයට ගේන්න.

"දැන් දැන් ඒකෙ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි කණ්ඩායම ඇතුළේ තියෙන හෙල්තී එන්වයරමන්ට් එක ගැන.

ඇය කණ්ඩායම පිළිබඳව බොහෝසෙයින් සතුටු වෙනවා සේම, කණ්ඩායමේ නායිකාව ලෙස කණ්ඩායම ක්‍රීඩා කළ විලාසය ගැන ද ආඩම්බර වනබව පවසයි.

"කෝචස්ලා, ප්ලේයර්ස්ලා හැමෝම එකම අරමුණකට වැඩ කරනවා. එකේ ප්‍රතිඵලයක් තමයි අපි නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කරපු එක. දැන් මේ තරගාවලිය ඉවරයි. ඊළඟ තරගාවලි හොදින් කරන එකයි මගේ බලාපොරොත්තුව," ඇය පැවසුවා ය.


කවුද මේ චමරි අතපත්තු ?

chamariA

අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු උපත ලබන්නේ 1990 වර්ෂයේ පෙබරවාරි මස නවවෙනිදා යි. ඇගේ උපන් ගම ඉබ්බාගමුවේ ගොකරැල්ල ප්‍රදේශය යි.

වමත් පිතිකාරිණියක් වන චමරි, දකුණත් දඟ පන්දු යවන්නියක් වන අතර තුන් ඉරියව් දස්කම්වලින් හෙබි දක්ෂ ක්‍රීඩිකාවක් ද වේ.

ඇය පළමු වරට 2010 වර්ෂයේ අප්‍රේල් මස 10 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කීරීමට අවස්ථාව උදාකර ගත්තා ය.

මේ දක්වා එක්දින තරග 95කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු එහිදී ලකුණු 3,199ක් රැස් කිරීමට සමත්ව තිබේ.

එහි සාමාන්‍ය 34.77ක් වන අතර ඇය ශතක අටක් සහ අර්ධ ශතක 15ක් රැස් කර ගෙන තිබීම ද විශේෂත්වයකි.

ඇය මේ වන විට කාන්තා එක්දින තරගවල වැඩිම ශතකලාභිනියන් අතර සිව්වෙනි ස්ථානයේ පසුවන්නී ය.

චමරි එක්දින ක්‍රිකට් තරගවල දී රැස්කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව 2017 වර්ෂයේදී නොදැවී රැස් කළ ලකුණු 178යි.

එම ලකුණු සංඛ්‍යාව මෙරට කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පිතිකාරිණියක විසින් ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව යි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පිතිකාරිනියක විසින් වාර්තා කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ද එය යි.

ඇය 20 යි 20 තරග 113කට ක්‍රීඩා කර ඇති අතර, ඉනිම් 111ක දී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2,402කි. එහි සාමාන්‍ය 22.03ක් වේ. 20 යි 20 තරගවල දී ශතකයක් සහ අර්ධ ශතක හයක් රැස් කිරිමට චමරි අතපත්තු සමත්ව ඇත.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු එක්දින තරග වලදී කඩුලු 28ක් සහ 20 යි 20 තරගවලදී කඩුලු 34ක් දවා ගැනීමට සමත්ව තිබේ.


ජාත්‍යන්තරය දිනු පළමු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව

chamari A

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලීග් තරග නියෝජනය කළ පළමු ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ඉතිහාසයට එක්වෙයි.

2017 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ දී පැවැති කාන්තා බිග්බෑෂ් තරගාවලියේ දී, චමරි මෙල්බර්න් රිබෙල්ස් කණ්ඩායම නියෝජනය කළා ය.

එම තරගාවලියෙන් පසුව ඇය අවස්ථා රැසකදී ජාත්‍යන්තර ක්‍රිකට් ලීග් තරගාවලි රැසක් නියෝජනය කිරීමට සමත් විය.

එමෙන්ම, චමරි අතපත්තු එම වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ක්‍රීඩිකාව ලෙසත්, එක්දින සහ 20 යි 20 අංශ දෙකේම හොදම පිතිකාරිණිය ලෙසත් සම්මාන හිමිකර ගැනීමට සමත් විය.


(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image