LPL පන්දුවාර 20 - 20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වේ. පලමු තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයික්ස් යන කණ්ඩායම් අතරයි.

මෙවර LPL තරගාවලිය කරුණු රැසක් හේතුවෙන් විශේෂ වේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ක්‍රීඩක වෙන්දේසි ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරාගෙන ලොව පැවැත්වෙන දෙවනි ක්‍රීකට් ලීග් තරගාවලිය ද මෙයයි.

ක්‍රීඩක වෙන්දේසියේදී සහ ඉන් පෙර කණ්ඩායම්වලට ඇතුළත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවිධ හේතු මත මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි නොවීම හේතුවෙන් ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරගනිමින් තරගාවලියේ සිවුවැනි අදියර මෙසේ අද ආරම්භ වේ.

මෙවර තරගාවලියට කණ්ඩායම් 05ක්

ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, බී-ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් සහභාගීවන මෙවර එල්.පී.එල්. තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටය තරග 20 කින් සමන්විත වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 4 ට එරෙහිව අවස්ථා දෙකකදී බැගින් තරග වදිනු ඇත.

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබාගනු ඇත.

අවසන් වටය තරග 4 කින් සමන්විත වන අතර ඊට අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමේ තරග 2 ක්, පිළිමළුන් පිටුදැකීමේ තරගයක් සහ අවසන් මහ තරගය ඇතුළත් වේ. ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර පළමු සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන අතර තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර පිළිමළුන් පිටුදැකීමේ තරගය පැවැත්වේ.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය ජය ගන්නා කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. ඉන් පරාජයට පත්වන කණ්ඩායම සහ පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමටද අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.

මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 දීම ශූරතාව දිනාගැනීමට යාපනය කණ්ඩායම සමත්ව ඇති අතර ගාල්ල කණ්ඩායම ඉන් අවස්ථා 2 කදීද, කොළඹ කණ්ඩායම සෙසු අවස්ථාවේදීද තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට සමත්ව තිබේ.

තරගාවලියේ වත්මන් ශූරයන් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියේදී මිලදීගත් ක්‍රීඩකයන් අතරින් දකුණු අප්‍රිකාවේ හාඩස් විලියන් තරගාවලියට සහභාගි නොවන අතර පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් තරගාවලියට එක් වන්නේ ජැෆ්නා කණ්ඩායම කණ්ඩායම සහභාගි වන මුල් තරග කිහිපය අවසන් වීමෙන් පසුවය.

එබැවින් ඔවුන්ගේ හිදැස පිරවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩක නැන්ඩි්‍ර බර්ගර් සහ බංග්ලාදේශ ක්‍රීඩක තවුහිද් රිඩෝයි කණ්ඩායමට එක්කර ගැනීමට ජැෆ්නා කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවර ගෙන තිබේ. ඔවුන්ට අමතරව කණ්ඩායමේ පුරප්පාඩු පුරවා ගැනීම සඳහා දේශීය ක්‍රීඩකයන් වන ප්‍රියමාල් පෙරේරා සහ රවීන් ද සිල්වාද ජැෆ්නා කණ්ඩායමට ඇතුළත්කර ගෙන ඇත.

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි අයර්ලන්ත ක්‍රීඩක ලෝකන් ටකර් සහ පාකිස්තාන ක්‍රීඩක වහබ් රියාස් තරගාවලියට සහභාගි නොවන අතර ඔවුන් වෙනුවට පාකිස්තාන ක්‍රීඩක ඉමාම් උල්හක් සහ බංග්ලාදේශ ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් කණ්ඩායමට එක්කරගෙන තිබේ. කණ්ඩායමේ නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නම් කර ඇත.

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිටම දඹුල්ල අවුරා කණ්ඩායමට එක්කරගෙන සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් වේඩ් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ලුංගි න්ගිඩි තරගාවලියෙන් ඉවත්වී ඇත. ඔවුන් වෙනුවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බෙන් මැක්ඩමෝට් සහ පාකිස්තාන ක්‍රීඩක හසන් අලී කැඳවා ඇති අතර කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.

බී-ලව් කැන්ඩි කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩක සර්ෆරාස් අහමඩ්ද, ගෝල් ටයිටන්ස් කණ්ඩායම නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල්ද සිය කණ්ඩායම්වලට ඇතුළත් කරගෙන තිබේ. තවද ගෝල් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරගේ අබාධ තත්වය සුවවන තුරු ඔහුගේ හිදැස පිරවීම සඳහා මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවා ඇත.



ජැෆ්නා කිංග්ස් පිල :
නායක - තිසර පෙරේරා
පුහුණුකරු - තිළිණ කණ්ඩම්බි

කලම්බු ස්ට්‍රයිකර්ස් පිල :
නායක - නිරෝෂන් දික්වැල්ල
පුහුණුකරු - සයිමන් හෙල්මොට් (ඕස්ට්‍රේලියාව)

දඹුල්ල අවුරා පිල :
නායක - කුසල් මෙන්ඩිස්
පුහුණුකරු - අවිෂ්ක ගුණවර්ධන

බී-ලව් කැන්ඩි පිල :
නායක - වනිඳු හසරංග
පුහුණුකරු - මුෂ්ටාක් අහමඩ් (පාකිස්තානය)

ගාල්ල ටයිටන්ස් පිල:
නායක - දසුන් ශානුක
පුහුණුකරු - චාමර කපුගෙදර
 
 
මෙවර ශූරයින්ට පිරිනමන කුසලානය ද විශේෂ වේ. කුසලානය සකස් කර ඇත්තේ, ප්‍රතිචක්‍රිකරණය කල ඇලුමේනියම්වලිනි. ඒ සඳහා ඇලුමේනියම් සොයාගෙන ඇත්තේ වෙරල තීරයෙනි. කුසලානය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති ඇලුමේනියම් කෑන් ප්‍රමාණය 2500කට අධික බවත්, එලෙස ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියකින් සැකසූ පළමු කුසලානය මෙය බවටත් වාර්තා වේ.
 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්