ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් නිකුත් කළ

විගණන කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් අදහස් හුවමාරු විය.


මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු විවාදය ආරම්භයට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුවකට අනුව සමගි ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේට අධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා ඇති බවය.

ඒ, අදාළ විගණන කෙටුම්පතේ ඇති කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් මන්ත්‍රී හේෂා විතානගේ හට එලෙස අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය ආරම්භ කිරීමට පෙර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ අධිකරණය හමුවේ නඩු කටයුතු කිහිපයක් විභාග වන බැවින් විවාදය සිදුකිරීමේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

xcfgre56

ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ගන්නා දේශපාලඥයින් සහ නිලධාරින්

මෙරට පළාත් ක්‍රිකට් ‍පරිපාලනය සිදුකරන පිරිස් අතර සිටින දේශපාලඥයින් හා ඇතැම් නිලධාරීන් ද සිටින බවත්, ඔවුන් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන බව ද විවාදයේ දී සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විවාදයට එක්වෙමින් පැවසුවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු පලපුරුදු ක්‍රීඩකයෙකු ලෙස දිස්ත්‍රික් ක්‍රිකට් කමිටුවක සභාපතිවරයෙක් ලෙස කටයුතු කරන්නේ සනත් ජයසුරිය පමණක් බවය.


පළාත් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දේශපාලඥයින් ඇතුළු නිලධාරීන් කවුද ?

පළාත් ක්‍රිකට් කමිටුවල කටයුතු කරන බොහෝ දෙනා දේශපාලනයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බව මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේය.

ඒ අනුව එලෙස දේශපාලනයට සම්බන්ධ පිරිස් ලෙස මධ්‍යම පළාතේ සභාපති ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක, පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභාපති ලෙස සි.බි.රත්නායක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සභාපති ලෙස කංචන ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන අය බවය.

මෙයට අමතරව උතුරු මැද පළාතේ ක්‍රිකට් පරිපාලනය භාර සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් මොහාන් ද සිල්වා බවත් එහි ලේකම්වරයාව ඉන්නේ සුජීව ගොඩලියැද්ද බවත් ඔවුන්ද ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන පුද්ගලයින් බව මන්ත්‍රීවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රිකයේ සභාපති ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර විජිත් මාදම්පේ ද ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන අය බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සභාපති ලෙස කටයුතු කරන ආර්.ඩි.එම්.බි.වනිගසේකර සහ එහි ලේකම්වරයා වන ඒ.ජී. කැලුම් ප්‍රභාත් ද ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන අය බව එහිදී හෙතෙම කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස කටයුතු කරන ජානක පතිරණ, මාතලේ දිස්ත්‍රික්කයේ සභාපති උපාලි සිරිසේන, මොණරාගල දිස්ත්‍රික්කයේ සභාපති කසුන් මධුරංග සහ එහි ලේකම් ඩබ්ලිව්.එන්.එම්. බණ්ඩාර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභාපති ලේකම් ජගත් ජයසුන්දර, වව්නියාව දිස්ත්‍රික්කයේ සභාපති වයි. රතීපන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස එරංග ප්‍රසාද් යන පිරිස ද ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන බව මෙහිදී මන්ත්‍රීවරයා අනාවරණය කරන ලදී.

xrfd5eyශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිස



LPL තරඟාවලියේ සිටි නීතිවිරෝධී ක්‍රිප්ටෝකරන්සි සමාගම් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්

මෙවර පැවති ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් එම තරඟාවලියේ දී නීතිවිරෝධී ක්‍රිප්ටෝකරන්සි සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

"මේ මෑතකදී පැවැත්වූ LPL තරඟාවලිය පිලිබඳ බරපතල ගැටලු තිබෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ආයතනය යන දිශානතිය ගැන ගැටලුවක් මතුවනවා."

"ඒකට හේතුව ලෙස LPL තරඟාවලියේ දී බොහෝදුරට ක්‍රිප්ටෝකරන්සි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. "

"එහි T20 ෆ්‍රැන්චයිස් පදනම් කර ගත් ලීගයේ මාතෘකා අනුග්‍රහය දක්වලා තියෙන්නේ Sky Fare කියන නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.
අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්"

"එතකොට ඒ තහනම් ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරල තියෙන්නේ."

"ඒ විතරක් නෙමෙයි අනුග්‍රාහකයින් රාශියක් නිතිවිරෝධී ෆොරෙක්ස් අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15 ක් හඳුනා ගෙන තිබෙනවා."

"දැන් මේ තරගාවලිය ජයග්‍රහණය කරපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තියෙන්නේ B Love කියනා ක්‍රිප්ටෝ කරන්සි ආයතනය. එය තහනම් කරපු ආයතනයක්."

"මේ ක්‍රිකට් මණ්ඩලය ක්‍රියාදාමය නීතියෙන් පිට කළ ක්‍රියා හරිද වැරදිද කියල හොයල බලන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයල වැඩක් නැහැ එය නිවැරදි කරන්න පියවර ගන්න ඕන." අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ය.


'පැයට කිලෝමීටර් 150ක් වේගයෙන් එන බෝලෙට බැට් එක දාන්න අපිට බැහැ '

මෙරට ක්‍රීඩා සංගම් තහනම් වීම හරහා අපහසුතාවයට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා නොව අදාළ ක්‍රීඩාවේ යෙදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ක්‍රීඩාව සම්බන්ධ නොකොට කටයුතු කිරීම සැමදෙනාගේ වගකීමක් බවත්, පවතින ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

"අපිට මෙතැන ඉදන් කතා කරන්න පුළුවන්. කටින් ක්‍රිකට් ගහන්න බැහැ. පිට්ටනියට ගියාම පැයට කිලෝමීටර් 150ක වේගයෙන් බෝල දානකොට බැට් එක දාගන්න අපිට බැහැ." මන්ත්‍රීවරයා සඳහන් කළේය.



"පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු නොකර රගර් පිටියක් හදන්න මුදල් දෙනවා "

මෙරට පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රය දියුණු කිරිමට කටයුතු බොහොමයක් සිදුකිරීමට තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහනුවර රග්බි ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 200ක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ රග්බි ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමට මිලියන 200ක් ලබාදීමට එකඟ වී ඇති බවත් මේ වන විටත් එයින් රුපියල් මිලියන 20ක් ලබා දී ඇති බවයි.

එමෙන්ම ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එළිදක්වා ඇති විගණන කෙටුම්පත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතට යොමු කරන ලෙස ද මෙහිදී මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත යෝජනා කළේය.



"මාෆියා කල්ලි වලින් ක්‍රිකට් ආයතනය බේරා ගන්න ඕන"

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ විස්සයි 20 ලෝක කුසලානයට අදාළ විගණනය පමණක් බවත් ඔවුන් තමන්ට සිතුසේ මුදල් වියදම් කිරීම අනුමත කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධව ඇති ව්‍යවස්ථා වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත්, දකුණු අප්‍රිකාවේ ද මෙවැනි තත්ත්වයක් පැවතීම නිසා එරට ක්‍රීඩා අමාත්‍යවරයා නව නීති සම්පාදනය කොට ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දීම සිදුකළ බවත් එහිදී ඔහු කියා සිටියේය.

"මේ වන විට ක්‍රිකට් ආයතනයේ බලය මාෆියා කල්ලි කිහිපයක් අතර සැරිසරන බැවින් ඔවුන්ගෙන් එම ආයතනය බේරාගැනීමට වහාම පියවර ගත යුතුයි" මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.



"මමයි ජනපතියි අතර ගැටුම් ඇති කරන්න හදනවා"

කෙසේ වෙතත් විවාදයට එක් වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ ඇතැමුන් තමන් හා ජනාධිපතිවරයා අතර ගැටුම් ඇති කිරීමට පියවර ගන්නා බවයි.

"සමහරුන් මා සහ ජනාධිපතිතුමා අතර ප්‍රශ්න ඇති කරන්න හදනවා. ඒ මොකද ක්‍රීඩා ඇමතිකමට සමහරුන් කෙළ හලාගෙන ඉන්නවා. හේතුව ක්‍රීඩා සමාජ වල තිබෙන මුදල් නිසා." ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


(BBC සිංහල සේවය )

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්