ඉතා තියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (සැප්තැම්බර් 15 වැනිදා) සමත් විය.

ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු 2 කින් ජය ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව 12 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගය සඳහා ලබන 17 වැනිදා කොළඹදී තරග වදිනු ඇත.

කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර 42කට සීමා කරන ලදී.

ඊයේ  තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

ඒ අනුව දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා තිබුණි.

සාර්ථක නොවූ ආරම්භය

පකිස්ථාන කණ්ඩායමට තරගයේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවුයේ නැත.

ඒ ප්‍රමෝද් මධුෂාන් විසින් තරගයේ 04 වන පන්දු වාරයේදී ෆාකර් සමාන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගය.

ඉන් පසුව පිටියට පිවිසි බාබර් අසාම් සහ අබ්දුල්ලා ෂෆීක් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.

දුනිත් වෙල්ලාලගේ තරගයේ 16 වන පන්දු වාරයේදී පකිස්ථාන නායක බාබර් අසාම් ලකුණු 29 කට දවා ගැනීමට සමත් විය.

පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් පන්දු 69 කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය.

මේ අතර තරගයේ 24 වන පන්දු වාරයේදී ලකුණු 3ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් හැරිස් ගේ කඩුල්ල දවා ගැනීමට මතිෂ පතිරණට හැකිවිය.

තරගයේ 28 පන්දු වාරයේ දී මහිෂ් තීක්ෂණ විසින් ලකුණු 12ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් නවාස් ගේ කඩුල්ල දවා ගනු ලැබුවේය. ඒ වන විට පකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 130කට කඩුලු 05ක් ලෙසය.

තරගයේ 28 වන පන්දු වාරයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Screenshot 2023 09 15 at 10.08.20
පකිස්ථානයට වාසියක් වූ වර්ෂාව

පැයක පමණ කාලයක් පැවති වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඊට පෙර තණ නිල්ලෙන් ලැබුණු සහයෝගය අවම විය.

ඒ සමග ක්‍රියාත්මක වූ මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 108ක් එක් කිරීමට සමත් වුයේ එතෙක් පකිස්ථානය මත තිබු පීඩනය ශ්‍රී ලංකාව වෙත හරවමින්ය.

41 වන පන්දු වාරයේ දී මතිෂ පතිරණ විසින් පන්දු 40 කට ලකුණු 47ක් රැස් කළ ඉෆ්තිකාර් අහමඩ් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඉන් පසුව ප්‍රමෝද් මධුෂාන් විසින් ෂදාබ් ඛාන් ගේ කඩුල්ල දවා ගනු ලැබිය.

පකිස්ථාන ඉනිමේ වගකීමට උර දුන් මොහොමඩ් රිස්වාන් පන්දු 73 කදී හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් සමග නොදැවී ලකුණු 86ක් රැස් කළේ ය.

ඒ අනුව පකිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 42ක අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 252ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 03ක්, ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02ක් , දුනිත් වෙල්ලාලගේ සහ මහිෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබිය.

ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු වාර 42 කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.

කලකට පසු පිටියට පිවිසි කුසල්

ලකුණු 252ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පකිස්ථානයේ පන්දු යවන්නට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදී.

කලකට පසුව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 08 කදී ලකුණු 17ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 04ක් ඇතුලත් වීය.

ශ්‍රී ලංකා ඉනිමේ 04 වන පන්දු වාරයේදී ඉක්මන් ලකුණක් කරා දිව යාමට ගොස් අවාසනාවන්ත ලෙස කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියේය.

පැතුම් සහ මෙන්ඩිස්ගේ සබඳතාවය

කුසල් ජනිත් පෙරේරාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සමග එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඛණ්ඩව රඳවා ගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57ක සබඳතාවයක් පැවැත්විය.

පැතුම් නිශ්ශංක පන්දු 44 කදී ලකුණු 29ක් රැස් කරමින් සිටියදී දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු දෙකට ලකුණු 77ක් ලෙසය.

ශ්‍රී ලංකා ඉනිමට ජීවය දුන් මෙන්ඩිස් සහ සදීර

පැතුම් නිශ්ශංක ගේ දැවි යාමෙන් පසු කුසල් මෙන්ඩිස් සමග පිටියට එක්වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙ මාවත එලි කිරීමට සමත් වූහ.

කුසල් සහ සදීර විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 100ක සම්බන්ධතාවයක් එක් කිරීමට විය.

පකිස්ථාන දඟ පන්දු යවන්නන් සහ වේග පන්දු යවන්නට එරෙහිව සාර්ථක පිති හරඹයක නිරත වූ සදීර සහ කුසල් පන්දු වාරයක සඳහා අවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට සමත් වූහ.

කෙසේවුවත් ශ්‍රී ලංකා ඉනිමේ 30 වන පන්දු වාරයේදී ලකුණු 48ක් ලබා ගෙන සිටි සදිර සමරවික්‍රම දවා ගැනීමට ඉෆ්තිකාර් අහමඩ් සමත් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 177ක් ලෙසය.

Screenshot 2023 09 15 at 10.10.16
නැවතත් ශතක සිහිනය බොදවූ කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වගකීම කර මතට ගෙන පිතිකරණයේ යෙදුණු කුසල් මෙන්ඩිස් පන්දු 87 කදී ලකුණු 91ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට ඉෆ්තිකාර් අහමඩ් සමත් විය.

කුසල් මෙන්ඩිස් මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ලකුණු 90 සීමාවේදී දැවී ගිය දෙවන අවස්ථාව මෙය විය.

කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු නායක දසුන් ශානක ලකුණු දෙකකට දැවී ගියේ ය.

Screenshot 2023 09 15 at 10.11.26

ක්‍රීඩා ලෝලීන්ගේ පීඩනය තිව්‍ර කළ අවසන් පන්දුව

තරගයේ 41 වන පන්දු වාරයේදී ෂහින් අෆ්රිඩි විසින් ධනංජය සිල්වා සහ දුනීත් වෙල්ලාලගේ ගේ කඩුලු දෙක පිට පිට දවා ගනු ලැබුවේය.

තරගයේ අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබුණේ ය.

චරිත් අසලංක නොදැවී ලකුණු 49ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය.

(BBC සිංහල සේවය )

Screenshot 2023 09 15 at 10.14.21Screenshot 2023 09 15 at 10.14.52Screenshot 2023 09 15 at 10.15.27

(උපුටා ගැනීම -kelimandala.lk)



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්