තමන්ට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දිගු ලිපියක් යොමුකර තිබේ.

zdfser4e
නොවැම්බර් 03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව නඟන ලද චෝදනා මෙම ලිපිය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව යොමු කරන ලද චෝදනාවක් නොවන බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් තිදෙනා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

xdge45

අමාත්‍යවරයාගේ අනින් සිය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ හුදු නිවේදනයක් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාර්යයන් කිසිදු පදනමකින් තොරව විවේචනය කිරීම හුදු වචී මාත්‍රික දේශපාලනික ප්‍රකාශයක් පමණක් බව ද එම ලිපිය මගින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''ඔබතුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් අපවෙත එල්ල කරන ලද චෝදනා හමුවේ අප සතු නිර්දෝශිබව මෙහිලා අවධාරණය කරන්නෙමු''


ගරු ඇමතිතුමනි,

ඔබ තුමන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි යන මැයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද ඒකපාර්ශ්වික චෝදනාවට අදාළව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වශයෙන් අපගේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා පිළිතුරු සැපයීම අපගේ වගකීමක් යැයි සිතමු.

මෙහිලා අප කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්දයෙන් පමනක් බව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලංකා තේරීම් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වන අප ගරු අමාත්‍යවරයාට, වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින, අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7A ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවකි.

එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිලිබඳව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ නම් එය යොමුකළ යුතු නෛතික හා වෘත්තීයමය ක්‍රමවේදයන් පවතින බව ගරු අමාත්‍යවරයා නොදැන සිටීම අප පුදුමයට පත් කරවන්නකි. එකී සියළු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී  මාධ්‍ය හමුවේ අපට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කොට ඒ මත අපට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම අප තුළ ඉමහත් කනස්සල්ක් ඇති කොට තිබේ.


අප විශ්වාස කරන්නේ මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව  අපවෙත යොමු කරන ලද චෝදනාවක් නොවන බවයි. පළමුව කිව යුත්තේ ඔබගේ අණින් නිකුත්වු මාධ්‍ය නිවේදනය තුල ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව සඳහන් කොට ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගු අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත වන බවයි.


අදාළ නිවේදන‍යෙන් පැවසන්නේ ක්‍රිකට් පරාජයන්හි වගකීම වසර 4 පුරා තේරිම් කටයුතු සිදුකළ තේරීම් කමිටුව භාරගත යුතු බවයි. නමුත් ඔබතුමන්ගේ අමාත්‍යංශය සතු නිල වාර්තා නිසි ලෙස පරිශීලනය කළහොත් වැටහෙනු ඇත්තේ වර්තමාන කමිටුව පත් කොට ගතවී ඇත්තේ වසර දෙකහමාරක් පමණක් බවය.

එසේම එම මාධ්‍ය නිවේදනයේ අවධාරණය නොවන අතිශය වැදගත් කරුණ වන්නේ වර්තමාන තේරීම් කමිටුව පත් කිරීමට පෙරාතුව අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙමින් සිටි ඛේදනීය තත්වය පිලිබඳව ක්‍රීඩා ඇමති වරයාට ඇති නොවැටහීමයි.

ඒ අතීතය ඔබට සිහිපත්කරදීම මේ මොහොතේ අපගේ යුතුකමක් ලෙස සිතමු. 


ඒ අනුව,
 * 2017 අගෝස්තු මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජය වූ විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතට යෑමටද නොදී හූ කිව්වා ඔබට මතකද?

එය එක් පරාජයක් නිසා සිදුවූවක් නොව පරාජයන් රැල්ලක  ජනතා වේදනාව පුපුරායැමක් විය.

* ඉන්දියාව සමග පැවැති එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අප රටේදීම අප සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය පැරදුණා ඔබට මතකද?

* තරග අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය‍ම් දිගින් දිගටම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ මීළඟ පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජු සුදුසුකම් අහිමිවූ බව ඔබට මතකද?

* තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් දෙවැනි පෙළක් නිර්මානය කර නොතිබූ යුගය ඔබට අමතකද?  

* ක්‍රීඩකයන් පමණක් නොව තේරීම් කමිටුවටද තරග පාවාදීමේ චෝදනා එල්ලවෙමින් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී විමර්ශන කමිටුව විසින් ප්‍රකාශ කරනු ලැබූ බව ඔබට අමතකද? එදා ඒ චෝදනා එල්ලවූ සමහරෙක් මේ අවස්ථාවේදී ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ අනුශාසකයන් ලෙසින් කටයුතු කරන බව ඔබ පිළිගන්නවාද?
 
ඔබතුමන් විසින් අමතක කොට ඇති යථාර්ථය වන්නේ එවැනි ව්‍යාකූල තැනකට වැටී තිබූ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව, පසුගිය වසර දෙක හමාරක කාල වකවානුව තුළ වර්ථමාන තේරීම් කමිටුවද මැදිහත්වනු ලැබු සාමුහික ක්‍රියාත්මකවීමක් මගින්, එකී කණගාටුදායක තත්වය පරාජය කරමින් අත්කර දුන් ප්‍රගතිය කෙසේ වීද යන්නයි.
 

ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹා වියෝවන යුගයක සිට අප නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව බලාපොරොත්තුවක් ඇති කරවන තැනට කටයුතු කළේය.

අපගේ මැදිහත්වීම සිදුවන්නේ නිසි කුසලතාවයක් සහිත ක්‍රීඩකයන් තෝරා ගැනීම තුල පමණක් බව මෙහිලා සඳහන් කල යුතුව තිබේ. අප විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා දෙනු ලැබු ක්‍රීඩකයන් පහත දැක්වෙන ජයග්‍රහණ පසුගිය වසර දෙකහමාරක කාලය අතරතුර රටට අත්කොට දී තිබේ. එම ජයග්‍රහණ පිලිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

එකී ජයග්‍රහණ වන්නේ:
kjsdfe

I. ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර ක්‍රීඩාවලිය 3-2 ලෙස ලැබු
ඵෛතිහාසික ජයග්‍රහණය
(මෙය දෙරට අතර මෙරට පැවැති එක්දින තරගාවලියකදී වසර 30කට පසුව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණ විය)

II. වසර 08 කට පසුව, ආසියානු කුසලාන ජයග්‍රහණයක් අප රටට හිමිකර දීම,

III. වසර 09 කට පසුව ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ අනුශූරතාවය අප රටට හිමිකර දීම,

IV.  ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පස්වන තැනට ශ්‍රී ලංකාව පත්වීම,

V.  ඉන්දියාව සමග T-20 තරගාවලියක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම,

VI. නවසීලන්තය සමග T-20 තරගයක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම

VII. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීම.

VIII. 2016න් පසු පළමු වරට T-20 ලෝක කුසලානක් සඳහා සෘජු සුදුසකම් සනාථ කිරීම

IX. තවත් වසර ‍දහයක් ක්‍රීඩා කිරීමට හැකියාව සහිත අනාගතයේදී ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගත හැකි කණ්ඩායමක් ගොඩනැගීම


මේ අනුව පෙනී යායුත්තේ ගරු ඇමතිවරයාගේ අනින් නිකුත්වු මාධ්‍ය නිවේදනය මඟින් දක්වා ඇති අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා දෙනු ලැබූ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ගෙන එනු ලැබු කණ්ඩායමක් නොවු බවය. මෑත යුගයේ ඉහළම ප්‍රතිඵල පෙන්වා ඇති කණ්ඩායම බවය.

ඉතා අසීරු අවධියක සිට ක්‍රමිකව තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවකට යොමුවෙමින් සිටින තරුන ජවයකින් හෙබි කණ්ඩායමක් දැන් බිහිවී ඇති බව මෙහිලා අවධාරණය කළ යුත්තේය.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් තේරීම් කමිටුවක කාර්යභාරය හා එහි වපසරිය පිළිබඳව නිසි අවබෝදයක් නොමැතිවීම පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි. ආර්ථිකයක් බංකොලොත්කල රටක ක්‍රීඩාව පිලිබඳව ගැඹුරක් නොදැකීම පුදුමයක් නොවේ.

Rahul Dravidරාහුල් ඩ්‍රාවිඩ් : ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු

වරෙක තේරීම් කමිටුවක කාර්යභාරය පිළිබඳව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් මෙසේ පවසා තිබේ; “
 
“You don’t win or loose the games because 11 you select. You win or loose with what those 11 do on the field”.

ශ්‍රී ලාංකික සමාජය හොඳින් දන්නා පරිදි ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස පසුගිය වසර දෙකහමාරක කාලයේදී පිටිය තුළ දස්කම් පෑහැකි හොඳම ක්‍රීඩකයන්, පවතින තත්වයන් යටතේ තෝරා දී තිබේ. ඒ සඳහා අපගේ පලමු නිර්නායකය වුයේ යෞවන ක්‍රීඩකයන් පෙරට ගැනීමයි. අනාගතයට ආයෝජනයක් විය හැකි තරුණ විශිෂ්ඨයන් විශාල පිරිසක් අප විසින් මේවන විටත් රටට හඳුන්වාදී තිබේ. එම තරුණ ක්‍රීඩකයන් පෙරට ගන්නා අතරතුරෙහිදීම ඔවුන් හා ජ්‍යේෂ්ඨයන් අතර සමබරතාවය රැක ගැනීමටද අප කටයුතු කොට තිබේ.

එසේම අප හඳුන්වාදුන් දෙවන නිර්නායකය වුයේ ක්‍රීඩකයන් අවශ්‍යයෙන්ම  පවත්වාගෙන යායුතුව තිබෙන ශාරිරික යෝග්‍යතාවයයි. නමුත් විවිධ අංශයන්ගෙන් ගොඩනැගුනු විවිධාකාර පීඩන හමුවේ එකී නිර්නායකය අවධාරනය කිරීමේ හැකියාව අවම මට්ටමක පවත්වා ගෙන යන්නට අපට සිදුවු බව නොරහසකි. අද එය ක්‍රීඩකයන්ගේ ගිවිසුමේ කොටසකට පමනක් සීමාවී තිබේ.
 
ඒ කෙසේ වෙතත් ක්‍රීඩකයන් ශාරිරික ආභාදයන්ට ලක්වීමෙන් මුදා ගැනීම අපවෙත පැවරෙන වගකීමක් නොවේ. එවැනි අවස්තාවක අපගේ වගකීම වන්නේ ආබභාදයට ලක්වු ක්‍රීඩකයාට පවතින විකල්පය කන්ඩායමට හඳුන්වාදීම බව කිව යුතුව තිබේ. තේරීම් කමිටුව සතු කාර්යභාරයක් නොවුනද ක්‍රීඩකයන්ගේ නිසි මානසික යහපැවත්ම පිලිබඳව අවධානය යොමු කිරීමටද අප කටයුතු කොට තිබේ.

අවසාන වශයෙන් ගත් කල පිටියට එලඹෙන ක්‍රීඩකයන් 11 දෙනා පිලිබඳ තේරීම ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයාගේ තීරණයන්ට යටත්ව ගනු ලබන සාමුහික තීරණයක් වන්නේය. එහිදී සමබර කණ්ඩායමක් නිර්නය කිරීම එකී සාමුහික තීරණයේ ප්‍රථිභලයක් වන්නේය.

ඒ අනුව බලන කල ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුන තත්වයන් යටතේ තෝරාගත හැකිව තිබු හොඳම සමබර කණ්ඩායම වන බවද මෙහි ලා සිහිපත් කරනු වටී.

khsjdsdrඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුන තත්වයන් යටතේ තෝරාගත හැකිව තිබු හොඳම සමබර කණ්ඩායම යි.

පරාජය පිලිබඳව විවේචනයක් එල්ල කරනු විනා එදිනට ක්‍රීඩා කළ යුතුව තිබුණු, නමුත් අප විසින් තෝරා ගැනීම මඟ හරිනු ලැබු විකල්ප ක්‍රීඩකයන් වුයේ කව්ද ඒ කුමන හේතුවෙන්ද යන්න පිලිබඳව සඳහනක් හෝ ඔබ නිවේදනයේ දක්නට නොලැබීම එම නිවේදනය තුල පවතින හිස් බව තහවුරු කරයි.

ඔබගේ නිවේදනයේ සදහන් කර ඇති දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනා අපගේ තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨත්වයේ අවශ්‍යතාව සලකා යොදාගත් අවස්ථා මෙන්ම එම ලබාදුන් අවස්ථාවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට එම ක්‍රීඩකයන්ට හැකිවූයේද යන්න ඔබ විසින් විමසා බැලුවේ නම් මැනවි. නමුත් ඔබ විසින් මෙලෙස ක්‍රීඩකයන්ව නම් වශයෙන් දක්වා සිටීම තේරීම් කමිටුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් සිදුකළ සෘජු බලපෑමක් ලෙසින් අපි දකිමු.


තේරීම් කමිටුවේ කාර්යභාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ දක්වා ගොඩනඟා ඇති විශිෂ්ඨයන් අතරින් අති විශිෂ්ඨයන් කණ්ඩායමක් පිටියට හඳුන්වාදීම පමණක් බව මෙහිලා සඳහන් කළයුතුව තිබේ.

එම ක්‍රීඩකයන්ටද පිටියට ගොස් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙනුයේ ක්‍රීඩා පනතට අනුව ඇමතිවරයා සතු බලතල අනුව එම ක්‍රීඩක ලැයිස්තුව අනුමත කරන්නේ නම් පමනකි. නමුත් පසු ගිය වසර දෙකහමාරක කාලයක් තුළ අමාත්‍යවරයකු එවැනි අප තෝරාදුන් එවැනි ක්‍රීඩක ලැයිස්තුවක් ප්‍රතික්ශේප කරනු ලැබුයේ නැත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් සඳහා තේරීම් කමිටුව වගකිව යුතු යයි පැවසීම හාස්‍යයක් වනවා සේම එම තේරීම වැරදි නම් එවැනි ‍වැරදී තේරීමක් අනුමත කළ ක්‍රීඩා අමාත්‍යවරයාද එහි වගකිවයුත්තෙක් වන්නේය.


අප වගකීමෙන් ප්‍රකාශ කරනුයේ  ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස අපගේ වගකීම නිසි අවධානයෙන් යුතුවද නිසි වෘත්තික භාවයෙන් යුතුවද රට කෙරෙහි වූ උපරිම භක්තියෙන් යුතුවද මෙතෙක් ඉටු කර ඇති බවයි.

නමුත් අමාත්‍යවරයාගේ අවසාන අනුමැතියට යටත්ව පත් කරනු ලබන  ක්‍රිකට් තේරීම් කමිටුවට මේතාක් සිය කාර්යභාරය මෙන්ම සිය වගකීම් හා යුතුකම් පිලිබඳව නිල ලියවිල්ලක් හෝ ලබා දීමට අමාත්‍යංශ්‍ය හෝ ජාතික ක්‍රීඩා උපදේශක සභාව ක්‍රියාකර නොමැති බව මෙහිලා සඳහන් කරනු වටී.

එවන් පසුබිමක සිට අමාත්‍යවරයාගේ අනින් සිය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ හුදු නිවේදනයක් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාර්යයන් කිසිදු පදනමකින් තොරව විවේචනය කිරීම හුදු වචී මාත්‍රික දේශපාලනික ප්‍රකාශයක් පමණක් බව කිව යුතුව තිබේ.


ඉන්දියාව හමුවේ අවස්ථා දෙකකදී අපගේ ක්‍රිකට් කණ්ඩායම ලැබූ අවසනාවන්ත පරාජය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවද කම්පනයට හා කනස්සල්ලට පත්ව ඇති බව මෙහිලා කිව යුතුව තිබේ.  නමුත් එයට පිලියම වනුයේ එම පසුබෑම් හමුවේ දේශපාලනික හෝ පෞද්ගලික වාසි සඳහා එම පසුබෑම් දඩමීමා කර ගැනීමට තැත් කිරීම නොව, පසුබෑමට හේතු විද්‍යාත්මකව සොයා  විකල්ප හඳුනාගැනීම බව අප ගෞරවයෙන් යුතුව සඳහන් කර සිටිමු.


උක්ත කරුණු ඔස්සේ ඔබතුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් අපවෙත එල්ල කරන ලද චෝදනා හමුවේ අප සතු නිර්දෝශිබව මෙහිලා අවධාරණය කරන්නෙමු.

මෙයට විශ්වාසී,
ක්‍රිකට් තේරීම කමිටුව

ප්‍රමෝදය වික්‍රමසිංහ - සභාපති
රොමේෂ් කළුවිතාරණ - සාමාජික
හේමන්ත වික්‍රමරත්න - සාමාජික



පිටපත් - අතිගරු ජනාධිපතිතුමා
මුද්‍රිත මාධ්‍ය


2022 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image